පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Thursday, September 10, 2009

මාධ්‍යය නිදහස නැත්තේ ජන සමාජයටයි.

තිස්සනායගම් නඩු තීන්දුව සහ ලංකා සති අන්ත පුවත්පතේ මාධ්‍යවේදීන්ගේ සිද්ධිය නිසා මාධ්‍ය නිදහස ගැන කතිකාවක් මේ දිනවල නිර්මානය ව ඇත. මාධ්‍යකරුවන් 100%ක් නිවරදිව, අපක්ෂපාතව හැසිරෙනවාද යන්නත් අපේ රටේ අධිකරනය හැර අධිකරනයට කරුණු කාරනා ඉදිරිපත් කරන ආයාතන නිවරදිව හැසිරෙනවාද යන්නත් මීදුමට ඇති ගැටළුවකි.

තිස්සනායගම්ට එරෙහිව ඉදිරිපත්ව තිබු චෝදනා සාධාරණ සැකයකින් තොරව සනාථ කරවු නිසා නීතී පොතේ අනුරුපවු නිර්නායකයන්ට සමානුපාතිකව මේ වරදට මෙපමණයි යනුවෙන් අවුරුදු විස්සක සිරදඩුවමකට ඔහු යටත් කරවීය.තිස්සනායගම් පාර්ශවයෙන් ඔහුට එරෙහිව නගා තිබු චෝදනා අසත්‍ය නම් නිරවද්‍යතාවය තහවුරු කිරීමට හැකියාව තිබූ බැවින් එසේ අධිකරනය හමුවේ කරුණු කාරනාද ඉදිරිපත් කරනු ලැබීය. එහෙත් එම කරුණු ද තිස්සනායගම්ගේ ක්‍රියාකලාපය තහවුරු කරන්නක් වු බව “දිවයින සදුදා වම් ඉවුර” ( සී.ඒ.ප්‍රේමචන්ද්‍ර) ලිපියක පලවී තිබුන බව මීදුමට මතකය.එසේ වී නම් තිස්සනායගම් අපේ රටේ නීතිය උල්ලංඝණය කරමින් කටයුතු කල පුරවැසියෙකි.ඔහු කල වරදට දඩුවම් විදීම ඔහු සිදුකල යුතුය. එසේ නොවේ නම් වැරදි පූර්වාදර්ශ ලැබ රටේ සිටින සියළු තිස්සනායගම්ලා ආයාලයේ යන්න පටන් ගනු නොඅනුමානය.
තිස්සනායගම්ට එරෙහිව කටයුතු කිරීම මාධ්‍ය නිදහසට - ලිවීමේ නිදහසට - කතාකිරීමේ නිදහසට එරෙහිව යාමක් ලෙස මීදුමට සිතුනේ නැත.

‘ලංකා’ සති අන්ත පුවත්පතේ මාධ්‍යවේදීන්ගේ සිද්ධිය අධිකරන කටයුත්තක් බවට පත්වී ඇති බැවින් මීදුම ඒ පිලිබදව අදහසක් පලකිරීමෙන් වලකනු ලැබේ. රනිල් වික්‍රමසිංහයන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනු ලැබුයේ දෙනියායේ වත්තක හදන කුස්සියේ පොල් බිදින හඩ නිවස ඇතුලට ඇසීම වැලක්වීම පිණිස sound proof කුස්සියක් හදන බවකි. අනවසරයෙන් කුස්සියට ඇතුල්වීමේ වරදට අනවසරයෙන් ඇතුළුවීම යන චෝදනා මත නඩු පැවරීම කල හැකි බවත් ත්‍රස්තවාදී විමර්ශණ ඒකකය මගින් ප්‍රශ්න කිරීම පමනක් ප්‍රශ්නකාරී බවයි.එක්සත් ජාතික පක්ෂසයේ සාගල රත්නායක මහතා ගේ චෝදනාව වන්නේ දෙනියාය පොලිස් බල ප්‍රදේශයේ ජනාධිපතිවරයාගේ සොහොයුරියකට අයත් වත්තක රාජ්‍ය දේපල යොදා ගෙන කරන ලද ඉදිකිරීමක් වාර්තා කිරීමට අනවසරයෙන් මෙම වත්තට ඇතුල්වීම නිසා මෙම අකරතැබ්බය වූ බවකි.මාධ්‍යවේදීන් තිදෙනා මේ වන විට ඇප මත මුදා හැර තිබේ.

ජීවිත තර්ජනයකට මුහුනදී සිටින ජනාධිපතිවරයාගේ ආරක්ෂාමව ගැන වග බලාගැණිමද වැදගත් කටයුත්තකි.දකුණු පලාත් සභා මැතිවරණ සමයේ මෙවැනි ප්‍රවෘත්තියක් නිර්මාණය කර ගැණිම අමුම අමු මඩ ප්‍රහාරයකට හොද අමුද්‍රව්‍යයක් ලෙස මීදුම සිතයි.ප්‍රවෘත්තියේ ඇත්ත නැත්ත හෙළිවන විට කෝච්චිය ගොස් හමාරවේ.එතෙක් ප්‍රහාරය බලවත්ව ක්‍රියාකරයි.

පසුගිය කොටි බලවත්ව සිටි සමයේ යම් යම් මාධ්‍ය හැසුරුන අයුරු මීදුමට හොදින් මතක තිබේ. හමුදාවට දරුවන් බදවා ගැණිමට අවහිර වන අන්දමින් දිනපතා සහ සතිපතා පත්‍ර යුද්ධයේදී මියයන වීරෝධාර හමුදා සාමාජිකයන් ගැන දුක ශෝකය ජනිත කල ලිපි නොකඩවා පලකෙරිනි. යුද්ධය අනර්තකාරී විනාශයක් බව ජනතාව තුල පැල පදියම් වීමට බීජයන් වැපරීනි.යුධ විශ්ලේෂන කල ලේඛකයෝ කොටි පුම්බමින් අපේ හමුදා දුර්වල බව කීවෝය .නොයෙක් උපදෙස් දෙමින් විවිධ ආයුධ ගැනත් ඒවා මිළදී ගත යුතු රටවල් ගැනත් ලීවෝය. හමුදාවේත් මෙම යුධ විශ්ලේෂකයෝ තරම් ප්‍රවීනයන් නැති බව මේ ලිපි කියවන විට මීදුමට නිතර සිත්විනි.

මාධ්‍යකරුවෝ ජරාජීර්නවු දේශපාලන මඩවලේ මඩකරියන් (මඩේ සිටින මසුන් විශේෂයකි. ) ලෙස හැසිරෙති.අලවිය සහ පාඨකයන් පරමාර්ථ කරගත් මාධ්‍ය කලාවක් අපේ රටේ ඇත්තේම නැත.පිටපත් අලවියත් දැන්වීම් අලවියත් සිදු කරමින් ලැබෙන ආදායම පදනම් කරගෙන පමනක් පවත්වාගෙන යන ප්‍රවෘත්ති පත්‍ර ලංකාවේ ඇතිනම් ඒවා එක් අතක ඇගිලිවලටත් අඩු විය හැක. අනෙක් පත්‍ර පිටපත් අලවිය හා ඒවායේ දැන්වීම් පලකරන ආයාතන ප්‍රමානය සලකා බැළුවහොත් එම ආයතන පවත්වා ගෙන යාමත් විස්මජනකය. එම පත්‍ර ආයතන පවත්වා ගෙන යාමට කවුරුන් හෝ ආර්ථික ලාභයක් නොලබා ආයෝජන කල යුතුය.ආර්ථික ලාභයක් නොලබා දිගින් දිගටම ආයෝජන කලහැකි අයෙක් සිටිය නොහැකි බැවින් ඒවා පවත්වා ගෙන යන්නේ යම් යම් දේශපාලන සංවිධාන වල අරමුණු තකාවිය යුතුය.නැත්නම් මාධ්‍යය පතාල අරමුණු උදෙසා විය යුතුය.රුපියල් මෙන්ම ඩොලර් වලින්ද යැපෙන මාධ්‍ය කරුවෝ මෙන්ම මාධ්‍යය ආයතනද ඇතුවා විය හැක.

සැබැවින්ම මාධ්‍යකරුවෝ ජනතා මිත්‍රයෝ නොවෙති. පුවත්පත් ,සතිඅන්ත පුවත් පත්, වාරසගරා වැනි මාධ්‍ය මෙන්ම විද්යුත් මාධ්‍යයද සේවය කරනු ලබන්නේ ජනතාවාදී අරමුණක සිට නොව තම හාම්පුතුන් ගේ අරමුණු මත සිටය. ආයාතනික මට්ටමේ සිටම මාධ්‍යයට නිදහසක් නැත. මේ නිසා මාධ්‍ය නිදහස ඇහිරී ඇත්තේ ප්‍රකාශණයේ හෝ භාෂණයේ නොව අපට කියවීමේදී සහ ඇසීමේදී යයි සිතන්නට සිදුව ඇත.
මාධ්‍යකරුවන් හැසිරෙන රටාවට මීදුම දොස් නගන්නේ නීතිය කරවන ඇත්තන්ටය. අපේ රටේ නීති පද්ධතිය ස්ථාපනයවු දා පටන් වැරදි නිවරදි යන තීරු දෙකක් පිලිබදව නිර්නායකයන් ඇතිවිය.වැරදි තීරුව අනුගමනය කරන්නන් නීතිය ඉදිරියට පත් කිරීමත් වැරදිකරුවන් දඩුවමට ලක්වීම නිසා අනාගතයට නිසි පුර්වාදර්ශයන් සමාජය තුල ඇතිවීමත් සිදුවන්නක් විය. එහෙත් කල් යත්ම බූවල්ලෙකු ලෙස ජරා දේශපාලනය සෑම අංශයක්ම වෙලා ගත් හෙයින් මේ තීරු දෙක අතරට පක්ෂ හා විපක්ෂ යන තවත් කැළැ ( වල්) තීරු දෙකක් එකතුවිය.
අධිකරණය සර්ව ස්වාධීන වුවත් අධිකරණයට ඉදිරිපත් කරන පැමිණිලි අනුව කටයුතු කරනවා විනා වැරදි හඹායාමේ ස්වභාවයක් අධීකරණයට නැත.අධීකරණයට පැමිණිලි ඉදිරිපත් කරන පාර්ශවය දේශපාලන බූවල්ලන්ගේ ග්‍රහණයට පත්ව ඇති බැවින් තමන්ට විරුද්ධ කොටස සමාජයට කරන අසාධාරණය සහ වැරදි අධිකරනයට යොමු වන අතර තමන්ට පක්ෂපාත කොටස සමාජයට කරනා අසාධාරණය සහ වැරදි දකින්නේ නැත.පාතාලය මෙන් ම මාධ්‍ය පාතාලයක්ද බිහිකරනු ලැබුයේ මේ දේශපාලන බූවල්ලන් මිස අන් ක‍වරෙකු විසින් නොවන බව නම් පැහැදිලිය.

යම් පාලකයෙක් සත් භාවයෙන් සහ සාධාරණයෙන් යුතුව නීතිය ක්‍රියාත්මක වන්නට ඉඩ හරිනවා නම් කාලයක් යන විට නීතිය ස්ථාවරවනු ඇත. එවිට ත්‍රස්තවාදය පාලනය කරගත්තාක් මෙන් කොයි කෙරුමාත් නීතියට බියවනු ඇත. නීති ගරුකව සමාජය ස්වයංක්‍රීයව හැසිරෙන්නට ගත්විට මාධ්යන කරුවන්ටත් එය පොදු න්‍යා යක්ව නීති ගරුකව හැසිරීම නිසා අපේ රටේ මාධ්යට නිදහස ඇති බව ඔවුන්ටත් අපටත් තේරුම් යනු ඇත.එතෙක් කොටසකට පමනක් යම් නිදහසක් ඇති බව දකිනා විට අනෙක් පාර්ශවයට නිදහසක් නොමැති බව දර්ශණය වීම වැලක්විය නොහැක.

Sunday, September 06, 2009

සුන්දරව නොවු මරණයද සුන්දරයි.

මිතුරන් ඇති කරගන්න නම් පලමුව තමන් හොද මිතුරෙකු විය යුතු යැයි කියමනක් ඇති බව මම අසා ඇත්තෙමි. මේ කියමන සිහිවී එක් සිද්ධිමය වටිනාකමක් අසල මම නතර වුනෙමි. මට ඥාතිවරයෙකුගේ අකල් ජීවිත සමාප්තියකට සහභාගි වන්න සිදුවිය. ඔහු සිගිති පුතාත් ආදරණිය බිරින්දෑත් සදාකාලිකවම අතහැර ගිය ඒ ශෝකා කූල ගමනේදී සැබැ මිත්‍රයෙකුයැයි තහවුරු කල සාධකයන් ජීවමාන වන්නට විය.

ඔහුට මා වැඩිහිටි ඥාතිවරයෙකු පමනක්ම විය. කලාතුරකින් මුණ ගැසුන අපි වැඩිහිටි පවුර විසින් දෙපසට වෙන් කල චරිත බවට පත් කර තිබිණි. එහෙයින් දෝ අප අතර විශේෂවු සම්බන්ධතාවයක් ඇතිවී තිබුනේ නැත.මට අවසන් වරට ඔහු හමුවු දවස සිහිපත් විය. ඔහු ඥාතීයෙකුගේ විවාහ මංගල්‍ය උත්සවයක තම බිරින්දෑත් සමග සහභාගීවී සතුටු සාදයක අපුරු රංගනයක සහ ගායනයක යෙදෙමින් සිට කවුරුත් අතර ප්‍රසාදයට පත්විය.එදා මගෙන් සමුගත් ඔහුගේ දෙවුර බදා තෙරුවන් සරන පතා ආශිර්වාද කලා මට සිහිපත් විය. ඉන්පසුව මා ඔහු මුණ ගැසෙන විට අනතුරකට ලක්ව රෝහලේදී තම ජීවිතය අතහැර ගොස් සිටියාය. සමීප ඥාතීන් කම්පිතව හා අසරනව සිටි ඒ මොහොතේ සිටම මෙතෙක් හදුනා නොගත් ඔහුගේ ජිවිතය හදුනා ගැනීමේ අවස්ථාව මට නිර්මාණය විය.

මහා විශාල ධනවතෙකු හෝ සමාජයේ ඉහල තලයක වැජඹෙන වෘත්තියක් නොකල ඔහු වැවිලි සමාගමක ඉඩම් වාහනයක රියදුරෙකු ලෙස සුළු යයි සිතන රැකියාවක නිරතවිය. ඔහු තවමත් තමන්ට කියා නිවසක් ඉදිකරගන්නවත් නොසිතූ සිතන්නට බැරි ජීවන අරගලයක නිරත වෙමින් වතු සමාගම සැපයූ නිවාසයක තාවකාලික පදිංචිකරුවෙකු විය.තවත් ඔහුගේ ජීවන අරගලය පැහැදිලි කල යුතු නැත. ඔහු සමාජයේ ධන සිට සෲණ දක්වාවු පරපුරකට හිමිකම් කීවත් පම්පෝරියකින් තොරව ජීවත්වු බව නම් මට ඔහුගේ අසල්වාසීන්ගේ මත වාද තහවුරු කලාය.

මේ පුංචි මිනිසාගේ අකල් සමුගැන්මේ පුවත ඇසු වතුකරයේ ද්‍රවිඩ ජනතාවද ,සියළු තරාතිරමේ සිංහල ගම්වාසීන්ද විවිධ ආගම්වල ආගමික පුජකවරුද පාසල් සිසු සිසුවියන්ද විටින් විට පැමිණ අජීවි ඔහුට ආචාර කරමින් ශෝකාකූලව මුමුනමින් ඔහුගෙන් සමුගත්තේය. දෙදහසක් පමන ජන ගගක් දෙදිනක් තුල රැස් කර ගැනීමට මේ පුංචි මිනිසාට තිබුන ශක්තිමත් බවේ හේතු පාදකත් ඔහුගේ ආකර්ෂනයත් සොයමින් මම මේ අතරටවී කම්පිත මනසින් යුතුව බලා සිටියේය. දරුවාගේ සහ සහ අසරනවු තරුන බිරිදගේ අවිනිශ්චිතවු අනාගතය ගැන සිතනා විට තව තවත් සිත පීඩාවට පත් කලේය.

ඔහු අනේක විධ ජීවන දුෂ්කරතා මැද උවද , ජීවත්වු සමාජය තුල සිනහවත් සුන්දර කතාවත් අතහැර දමා නොතිබිණි. කිසිදා ‘නැත’ යන්නත් ‘බැහැ’ යන්නත් ජිවිතයට ආදේශ කරගෙන නොතිබුන මේ පුංචි මිනිසා හට අයදුම් කල පුංචි උදව්වක්වත් කිසිදා බැහැර කරන්නට සිතක් නොතිබිණි. මේ ගුණාංගයන් ජීවත්වු පරිසරයේ ඔහු මහා විශාල මිනිහෙකු බවට ඔහු පත්කර තිබෙන බව මම ගලන ජන ගග දෙස බලමින් තේරුම් ගත් කාරනාවක් විය.

මිනිසෙකු මසුරු කමින් ජීවිත කාලයක් රැස් කළ මහා මුදල් සම්භාරයකට නොකලහැකි බොහෝ දේ ඔහුට මරණයෙන් පසුවත් කලහැකිව තිබිණි. මරණය ප්‍රදේශයම කම්පා කල පුවතක්ව දෙනෝ දහසක් ජනයා ඔහු අබියස කිසියම් ප්‍රාර්ථනයක නිරතවී “මොහු නැවත අප අතරට පැමිනේවා”යි ප්‍රාර්ථනා කලාද විය හැක.

ඔහු හොද මිතුරෙකුව සිට බොහෝ මිතුරන් එක් රැස්කර ගෙන සිටි බැවින්දෝ අකල් සමුගැන්මෙන් අසරනවු බිරිදට හා දරුවාට පිලිසරනක් නිර්මානය කරදෙන්නට බලකරනා පසුබිමක් ඔහුගේ මරණයෙන් පසුව උපත ලබා සිටියේය.ඔහු ගේ සේවාදායකයා ඔහු ගෙන් වෙන්ව යන්නට නොහැකි යුතුකමක් තිබු බැවින්දෝ දරුවාට සහ බිරිදට රැකවරනය සැලසීමට රැකියාවක් සහ රාජකාරි නිවස පැවරීමෙන් තහවුරු විය.
මුදල් පමනක් අගයන සමාජයක මේ අපුරු මිනිසා ලබා තිබු සමාජ වටිනාකම් මිළ මුදලින් නම් කවදා වත් උපයා ගත නොහැකි බව මට ඉන්පසු පසක් වු කාරනාවක් විය.සුන්දර නොවු මරණයද සුන්දරවු මිනිසුන්ගේ මරණයෙන් මතුවද සුන්දර වන බව සටහන් වන්නේ එබැවිනි.

Wednesday, September 02, 2009

අනර්කාලි සහ කාලි



බාල සිනමාවේ චරිත දේශපාලනයට පිවිසෙන්නේද දේශපාලනයද බාල නිසා යයි මීදුමට සිතිනි.

සබරගමුවේදී නන්තාරව සිටි එජාපය රන්ජන් රාමනායක නිසා පිබිදුනා යයි යමෙක් සිතන්නේ නම් එය මුලාවකි. වෙනසක් නොවී අදත් සබරගමුවේ එජාපය නන්තාරව ඇත. රන්ජන් රාමනායක රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂ්කයාව එජාපයට අළුත් චන්ද එකතු කලේ නැත. සම්ප්‍රදායිකව එජාපයට ලැබුන චන්ද වලින් කන්ඩායම් නායකයා වශයෙන් දිස්ත්‍රික්කය පුරාවට එක් මනාපයක් ලබා ගැනීමට වාසනාව පාදා ගත්තා පමනකි. එදා සබරගමු පලාත් සභාවට රන්ජන් රාමනායක ඉදිරිපත් වු විට ඇද කුද දුටු පොදු ජන එක්සත් පෙරමුණ අද තම චන්ද පදනමට තරු පෙන්වමින් සිටී.

මීදුමට රජවාසල සිහිවිය. රජ කතා කියවන විට අසන විට රජතුමාට පුරෝහිත ඇමතිවරු මෙන්ම අන්දරේ වැනි කවටයෝද සිත් පිනවන නාට්‍යාගනාවෝද සිටි බව කියවන්න අසන්න ලැබේ. දැනුත් එවන් රජ කාලයක් පහල වෙමින් තිබෙන්නේද?.වාසල විකටයන්ගෙන් නාට්‍යාගනාවන්ගෙන් වාදක කණ්ඩායම් වලින් ගායක ගායිකා වන්ගෙන් පුරවා ගත් විට ජනතාවට විනෝදයෙන් සතුටෙන් කාලය ගත කලහැකියයි සිතනවා විය හැක.
නැත්නම් වේදිකාවේ මාතෘකා නොමැතිව සිටින ජවිපෙයට සහ එජාපයට මාතෘකා සපයා දෙන්නට පොදු ජන එක්සත් පෙරමුණ සිතුවා විය හැක.

එජාපයට කවුරුන් මොනවා කීවත් ස්ථීර සාර චන්ද පදනමක් ඇත. තනි පක්ෂයක් වශයෙන් අදත් එජාපයට අභියෝග කලහැකි දේශපාලන පක්ෂතයක් නැත. එහෙත් අද තම චන්දදායකයින් චන්ද පොලට ගෙන්වා ගැනීමට සමත් වැඩ පිලිවෙලක් සහ නායකත්වයක් නොමැති කමින් එජාපය බින්දුවට බැස ඇත. එජාපයේ වර්තමාන නායකත්වයේ බාල උපක්‍රම කොපි කිරීමෙන් පොදු ජන එක්සත් පෙරමුණ සංවර්ධණය කරගැනිමට යාම නම් නුවනට හුරු නොවනු ඇත.
එජාපය චන්ද පදනමෙත් පොදු ජන එක්සත් පෙරමුණ වටා එකතුවන අර්ධ වාමාංශික චන්ද පදනමෙත් සිතුම් පැතුම් සමාන කල නොහැක.

මීදුම පුංචි පහේ සමීක්ෂණයකට අනර්කාලි ඉදිරිපත් කරනු ලැබුවාය අනර්කාලි ආකර්ෂණය කරගන්නා තරුන කොටස ඉලක්ක කරගනු ලැබු මේ කතා බහේදී ඔවුන්ගෙන් වැඩි දෙනෙකුන්ගේ මතයවූයේ වර්තමාන පොදු ජන එක්සත් පෙරමුණේ සංයුතිය යම් විකෘතියකට භාජනය වෙමින් තිබෙන බවය. පොදු ජන එක්සත් පෙරමුණට චන්දය දෙන ඡන්දදායකයින්ගේ දේශපාලන මානසිකත්වය ගොඩනැගී ඇත්තේ දේශමාමකත්වය පදනම් කරගත් අඩිතාලමක් මතය. ඔවුන් මනසින් දේශපාලන නායකත්වයට සුදුසු පුද්ගලයින්ගේ අධ්‍යාපනය ගතිපැවතුම් සමාජ සම්බන්දතා තක්සේරුවට ලක්කිරීම සිදුකිරීම අනිවාර්යෙන්ම සිදුකරනු ලබන්නේය. දකුනේ දී මේ නිර්නායක විශේෂයෙන් ක්‍රීයාකාරීය.

අනර්කාලි වැනි චරිත දකුණත් සමග බද්ධ වන්නේ කෙසේද?. ඈ පදිංචි කොළඹය. දකුනේ ජනතාව සමග ඈ කොතෙක් කාලයක් සමාජ සේවා කටයුතු වලට සම්බන්ධවී සිට ඇත්ද?.මහජන නියෝජිත වරයෙකු වශයෙන් චන්දයෙන් දිනුවොත් මහජනතාව සමග පවත්වා ගෙන යා හැකි, අනාගත සමාජ ක්‍රියාකාරිත්වය ගැන විශ්වාසයක් තැබිය හැකිද?. යන කරුණු චන්ද දායකයා හිතුවොත් අනර්කාලිට මනාප නැතිවනු ඇත.
සෙලොලයිට් පටයක, රූපවාහිණි විකාරයක බැරි සිංහල උච්චාරනයෙන් නැලවෙන විගඩමකට මනාප අයනම් ඈ හට මනාපවනු ඇත. එවැනි විකාර මනසින් යුත් චන්දදායකයින් ඇත්නම් ඒ සීමිත ප්‍රමානයක් වනු ඇත.රන්ජන් රාමනායකගේ පැරචුට් ගමන අනර්කාලිට දකුනේ ආදේශවුනේ පොදු ජන එක්සත් පෙරමුණ දකුනේ දි පසුබෑමකව ලක්වී ඇති බව නිරීක්ෂණය විමෙන්ද?.

දකුනේ ජනතාවගෙන් ඉදිරියට එන දේශපාලන අංකුර වලට පොදු ජන එක්සත් පෙරමුණ තුල ඉඩ කඩ අහුරා මෙවැනි විගඩම් දේශපාලන කරලියට ගෙන ඒම එජාපය ගමන් කරන අන්ධකාරයට පොදු ජන එක්සත් පෙරමුණත් ගමන් කරවීම ආරම්භ කර ඇති බවට ඉගිකරන්නක් ලෙස මීදුමට සිතිනි.
“කාලිය” නම් විනාශය සංකේත කරවන යක්ෂ ණියකි.