Wednesday, October 01, 2014

බුදුරුවගල - වැල්ලවාය.

නැගණහිරෙන් ආ වැස්ස බුත්තලට නියගය හමාර කර ඇත. දැඩි නියගයෙන් හෙම්බත්ව සිටි ගහ කොල  කොළපාටින් බැබලෙන්න දැඩි උත්සහායක් දරමින් සිටි සැප්තැම්බරයේ අවසන් සතියේ මම බුදුරුවගලට යාමට වාසනා ලද්දේය.

මට  වැල්ලවාය නගරයේ සිට තිස්සමහාරාම පාරේ තිස්සමහාරාමය දෙසට කිලෝමීටර් හතරක් පමන පැමිණ වමට හැරී අතුරු පාරක තවත් කි.මි. 4 ක් පමණ ගිය තැන හමුවු  වන ගහණය තුළ  ගල් තලාවේ  නෙලා ඇති  බුද්ධ ප්‍රතිමාවක් ප්‍රධාන කොට තවත් බෝසත් ප්‍රතිමා  කිහිපයක්  දැක ගැනීමට ලැබිනි. මෑත කාලයක් වනතුරුම මෙම ප්‍රදේශයේ අලි ඇතුන්ගෙන් ගහණ හුදකලා ප්‍රදේශයක් වශයෙන් පැවැතුන බව මට හමුවු සාමනේර ස්වාමීන් වහන්සේ පැවසීය.
නව ගොඩනැගිලි කිහිපයක් ඉදිවෙමින් ඇත. සංචාරක මණ්ඩලය විසින් ඉදිකල ගිමන් හලක් දක්නට තිබිනි. මේ හැරෙන්නට ලංකාවේ ඇති පිහිටි ගලක නෙළන ලද උසම ප්‍රතිමාව ලෙස සැලකෙන බුදුරුවගල ශෛලමය බුද්ධ ප්‍රතිමාවට තනි රකින්න කවුරුවත් නැති බවක් මගේ හිතේ සටහන් විය.

හිටි ඉරියව්වෙන නිරූපිත බුද්ධ ප්‍රතිමාව උස මීටර 13 ක් පමණ වෙයි. ප්‍රතිමාව සමඟ දෙපස තවත් ප්‍රතිමා හයක් මෙම ගල් බිත්තියේ පෙළට නෙළා තිබෙයි. ගල් බිත්තිය අඩි 70 ක් පමණ දිගය. ගල් තලාවක් මත නෙළා ඇති දැවන්ත බුදුරුව නිසා බුදුරුවගල වශයෙන් ප්‍රසිද්ධියට පත්වන්නට ඇත.
කවුරුන් විසින් කවර දා කරන ලද්දැක්දැයි නිශ්චිතව තහවුරු කර ගෙන නොමැති මෙම කලා නිර්මාණයන්ගේ ස්වභාවය අනුව මෙය ක්‍රි.ව. 8 – 9 සියවස් වලට අයත් මහායානිකයන් විසින් කළ නිමැවුමක් බව පුරාවිද්‍යාඥයන්ගේ අදහස වෙයි.
ගල් පව්වේ බිත්තිය මධ්‍යයේ දැවැන්ත ප්‍රතිමා නෙලා ඇත්තේ අර්ධ උන්නතව ය. බුදුරුව දෙපස පරිවාර ප්‍රතිමා තුන බැගින් දර්ශනය වෙයි.


බුද්ධ ප්‍රතිමාවේ විශාලත්වය සහ දෙපස සෙසු ප්‍රතිමාවන්ගේ ස්වරූපය නිසා මෙය දීපංකර බුදුරදුන්ගේ පිළිබිඹුවක් බව අනුමාන කෙරේ.
ප්‍රධාන බුද්ධ ප්‍රතිමාවේ දකුණු පස ඇති ප්‍රතිමා ත්‍රිත්වයේ මැද නෙළා ඇත්තේ අවලෝකීතේශ්වර බෝධි සත්ව ප්‍රතිමාවකි. එහි උස මීටර් 7.16 කි.  එම ප්‍රතිමාවේ වම් පසින් නෙළා ඇති ත්‍රිභංග ඉරියව්ව පිළිබිඹු කරන තාරා දේවී ප්‍රතිමාවේ උස මීටර් 5.98 ක් පමණ වෙයි.  මහායානිකයන්ට අනුව තාරාදේවිය අවලෝකීතේශ්වර බෝධිසත්වයන්ගේ භාර්යාවය. අවලෝකිතේශ්වර බෝධි සත්ව රූපයයේ දකුණු අත පැත්තේ දකින්නට ලැබෙන ප්‍රතිමාව සුධන කුමාර ප්‍රතිමාවයි. මහායාන සම්ප්‍රදායට අනුව සුධන කුමාරා ද බෝධිසත්වවරයෙකි. එහි උස මීටර් 6.53 ක් පමණ වෙයි.


ප්‍රධාන බුද්ධ ප්‍රතිමාවේ වම් පසින් දිස්වෙන රූප ත්‍රිත්වයේ මැද නෙලා ඇති ප්‍රතිමාව මතු බුදු බව ලබන මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාවය. මෙහි උස මීටර් 7.3 කි. එම බෝධිසත්ව රූපයේ වම් අත පැත්තේ නෙලා ඇති ප්‍රතිමාව වජ්‍රපානී බෝසත් ප්‍රතිමාවය. මෙහි උස මීටර් 6.4 කි. මෛත්‍රී බෝසත් රුවෙහි දකුණු අත පැත්තේ නෙලා ඇති රුව මංජු ශ්‍රී බෝධිසත්ව ප්‍රතිමාවයි. 
මේ අනුව බුදුරුවගල ඇති ප්‍රතිමා හත වම් අත සිට දකුණට පිළිවෙලින් නම් කළහොත් මෙසේ හඳුනාගත හැකිය. සුධනකුමාර, යෝගී අවලෝකීතේශ්වර, තාරා, දීපංකර බුද්ධ, මංජු ශ්‍රී, මෛත්‍රී හා වජ්‍රපානී වශයෙනි.







notes of imaginary

4 comments:

ඉන්දික උපශාන්ත said...

පහල ඌවේ බුදුපිළිමවලට ආවේනික වෙච්චි මේ මුද්‍රාව සම්පූර්ණයෙන්ම දකින්න ලැබෙන්නෙ මාලිගාවිල විතරයි.

බුදුරුවගල ඔබ ඉහිත දක්වා තිබෙනව.

මෙන්න මාලිගාවිල.

මෙම මුද්‍රාව තියෙන, බුදුරුවගලට සමාන ඔබ අප මෙතෙක් නොදත් තැනක් ගැන ඔත්තුවක් දෙන්නද?

මෙයට ලඟා වීම ඉතාම අපහසු උනත් මේ වෙනකොටත් නිධන් හොරු ඒ අමාරු ගමණ ගිහින් වනසාපු "බුදුපටුන්න" ගැන අහල තියෙනවද?

මෙන්න විස්තර.

Wicharaka Asami Dakimi Soyami said...

තවම යන්න බැරිවුන තැනක්. පොඩි සිතියමක් දැම්මනම් අගෙයි පාර පැහැදිලි වෙන්ඩත් එක්ක.

කුරුටු ගෑ ගී පවුර said...

විචාරකගේ කතාවට එකගයි... ලිපිය නම් අගෙයි.. යන පාර ගැනත් ටිකක් කිව්වනම් අගෙයි... මොනවා වුණත් අදහස් බෙදා ගැනීමට තුති

Lionel Liyanagamage said...

ඒ අඩුව පුරවන්නම්.