Tuesday, January 17, 2012

කැළණි රජමහා විහාරයේ - ආනන්දයේ ප්‍රඥාව .


කලාගුරු වලිමුණි සොයිලියස් මැන්දිස් මහතා 

කැළණිය ගැන තොරතුරු සොයා යන විට කැළණි විහාරයත් සමග අපට තවත් නමක් සිහිපත් වන්නේ ය ඒ විශිෂ්ඨ කලා කරුවෙකුවු  කලාගුරු වලිමුණි සොයිලියස් මැන්දිස් මහතා ය. චිත්‍ර කලා විශාරදයෙක් වු මෙතුමා පෙරදිග සම්භාව්‍ය සම්ප්‍රදාය  අනුව යමින් ශ්‍රී ලාංකීය අනන්‍යතාව ද ස්වභාවිකත්වයද  ඇසුරින් නිර්මාණාත්මක සිතුවම් කලාවක් ශ්‍රී ලංකාව තුල බිහිකිරීමට පුරෝගාමී විය.

1896 ජූලි මස දොළොස්වැනි දින මාදම්පේ මහ බද්දේගම උපන් සෝලියස් මැන්දිස් මහතා ගේ පියා වූයේ ආයුර්වේද වෙද මහතෙකුවූ වලිමුණි සිරිනේලිස් මැන්දිස් මහතා ය. සිරෝ මැන්දිස් මහත්මිය එතුමාගේ මෑණියන් විය.
මාදම්පේ ක්‍රිස්තියානි පාසලේ සත්වැනි පන්තිය දක්වාත්  අනතුරුව නාත්තන්ඩිය වීරසේන විද්‍යාරතන පිරිවෙනට ඇතුළුව අධ්‍යාපනය ලැබ  සොයිලියස් මැන්දිස් පාලි හා සංස්කෘත භාෂාවන් පිළිබඳව අවබෝධයක් ලබා ගත්තේ ය.
ඔහුගේ ඥාතියකු වූ මෙමෝනිස් ද සිල්වා ඇතුළු ශිල්පීන් කිහිප දෙනෙකු විසින් මාවිල විහාර බිතුසිතුවම් නිර්මාණය  කරමින් සිටින අවධියේ ඔහු හා එක්ව කටයුතු කරමින් සිතුවමට මෙන්ම ඇඹීම් කටයුතුද ප්‍රගුණ කිරීමට  අවස්ථාව ලබා ගත්  එතුමා එතැන් පටන් විහාර කර්මාන්තයෙහි නියැලුණු සිත්තරෙකු බවට පත්විය.
මාවිල විහාරස්ථානයේ කලා කර්මාන්තයන්ගෙන් අනතුරුව සොයිලියස්  මහතා පොළොන්නරුව ශ්‍රී ජය විහාරය, උඩුබද්දාව විහාරය, මල්වානේ ලෙනගම්පල පුරාණ විහාරය හා ගිරිඋල්ලේ මැද්දෙපොල යන විහාරස්ථානවල චිත්‍ර හා මූර්ති කර්මාන්තයන්හි යෙදී ඇත. 1922 වර්ෂය ගිරිඋල්ල මැද්දේපොල විහාරස්ථානයේ  විශේෂත්වය වන්නේ එහි කල  මූර්ති කලානිර්මාණයන් ය. එම මූර්ති තුළින් මතුවන්නේ සොයිලියස් මැන්දිස්ගේ නිදහස් බෞද්ධ කලා ආරේ අනන්‍යතාවයි.මේ වන විට ප්‍රවීන සිත්තරයෙක් බවට පත්ව සිටි සොයිලියස් මැන්දිස් මහතා හෙලේනා විජයවර්ධන ළමාතැනියගේ ආරාධනයෙන් කැලණි රජ මහා විහාර කර්මාන්තයේ  සිතුවම් හා මූර්තියෙන් විසිතුරු කිරීමට එක්වන්නේය.
කැලණි රජ මහා විහාරයේ නව බිතුසිතුවම් ඇඳීමට පෙර මෙතුමා  භාරතීය චිත්‍රකලා නිර්මාණ අධ්‍යයන චාරිකාවක යෙදී ඇත. පෙරදිග සම්භාව්‍ය කලාවේ විශිෂ්ටතම නිදසුන් සමූහයක් සහිත අජන්තා, එල්ලෝරා හා භාග් යන ස්ථාන නිරීක්‍ෂණ චාරිකවකින් පසු කැලණි රජ මහා විහාරයට හෙල ආරට නිමවුන සිංහල බෞද්ධ සිතුවම් කලාවේ විශිෂ්ටතම නිර්මාණ එක් කලේය.
බොහෝ පන්සල් වල මෙන් ඒකාකාරී ලෙසින් ජාතක කථා ඇඳීමක් කැලණි සිතුවම් වල නොමැත. ඒ වෙනුවට සම්බුදු සසුනෙහි ඓතිහාසික සිදුවීම් මාලාවක් බොදු සිත් පහන්වන හැඟුමින් යුතුව සිතුවම් වී ඇත. කැලණි වෙහෙර පිළිබඳ ඉතිහාසය, ශ්‍රී මහා බෝධිය වැඩම කරවීම, විහාර මහා දේවියගේ කථාපුවත, ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩම කරවීම බුදුරජාණන් වහන්සේගේ ලංකාගමනය, චූලෝදර, මහෝදර යුද්ධය ආදී ඓතිහාසික පුවත් ගුරු, දුඹුරු හා අඳුරු කහ යන වර්ණ ප්‍රභේද සංයෝජනයෙන් අපූර්වත්වයෙන් යුතුව චිත්‍රණය කොට ඇත.කැලණි සිතුවම් වර්ණ ගැන්වීම සඳහා එතුමා යොදාගත්තේ දේශීය අමුද්‍රව්‍යයන් වූ මකුළු මැටි ස්වභාවික කොළ, මල් හා කැඩුනු බිත්තරවල සුදු මද වලින් කල මිශුණයකි.
අව්‍යාජ ගැමියෙක් ලෙස  සරමක් හැඳ කොණ්ඩය බැඳි, බුලත්විට සපන සාමාන්‍ය සිත්තර බාස් උන්නැහේ කෙනෙකුවු සොයිලියස් මහතා මුළු දිවියම නිහඬව තම නිර්මාණ ශක්තිය ජාතියට, ආගමට,හා  රටට මහඟු මෙහෙවරක්  උදෙසා දායාද කර තම නාමය සදාකාලික ජීවනයට පත්කරවමින්  1975 සැප්තැම්බර් මස පළමුවැනි දින  අප අතරින් සදහටම සමුගත්තාය

No comments: