Friday, October 14, 2016

අල මහත්තයා.

ගොවි ජන සේවා මධ්‍යස්ථාන වලට අනියුක්තව කෘෂිකර්ම සංවර්ධන පර්යේෂණ නිලධාරි නමින් තනතුරු ලාභි රාජ්‍ය නිලධාරීන් පිරිසක් අද රාජකාරියේ නිරතය. එමෙන්ම 1970 – 1977 පාලන යුගයේ වගා නිලධාරින් යයි කොටසක් බිහිවු අතර මේ දෙපිරිසම කරන  ලද්දේ එකම සේවාවක්ය.මොවුන් දෙපාර්ශයේම කරන ලද රාජ්‍ය සේවය විවාදිතය. එමෙන්ම කරන සේවාව කුමක්දැයි අවිනිශ්චිතය.
මොවුන්  ජනතාවගේ සූරා ගන්නා බදු මුදලින්  වැටුප් ලබා යැපෙන්නෝය.අදාල විෂයය වන කෘෂිකර්මය ගැන නිසි අවබෝධයක් නැති ඒ පිලිබද පත් කිරීමෙන් පසුව වුවද නිසි පුහුණුවක් නොලැබු  පිරිසක් ලෙස මා දකින මොවුන් ගෙන් පලදායි සේවාවක් ලබා නො.ැණීම අවධානයට ලක් විය යුතුය.

මොවුන්ගේ පත්වීම් දේශපාලන පත්වීම්ය.  මහින්ද රාජපක්‍ෂ මුල් යුගයේ  එක්සත් නිදහස් සන්ධාණයේ මැතිවරණ ප්‍රචාරක නිලධාරින් ලෙස කටයුතු කර  ඒ වෙනුවෙන් ප්‍රතිලාභ වශයෙන් මේ පිරිසෙන් කෘෂිකර්ම සංවර්ධන පර්යේෂණ නිලධාරින්  ලෙස පත්වීම් ලද්දේය. 1970 ජයග්‍රහණය සදහා උර දුන් මැතිවරණ ප්‍රචාරක නිලධාරින්  හට එවකට  ධාර්මිෂ්ඨ පාලනය විසින්   වගා නිලධාරින් ලෙස පත් කර ගත්තාය. පසු කාලයක වගා නිලධාරි තනතුර අහෝසි කර  එම තනතුරුලාභින් ග්‍රාම සේවා නිලධාරින් ලෙස පත් කලේය.මේ දෙගොල්ලම කෘෂිකර්මය නගා සිටුවීම පසෙකලා   ගම් මට්ටමින් තමන් නියෝජනය කල දේශපාලන ධාරාව වගා කිරීමට කටයුතු කලේය. 

1970 ට පෙර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රජකාරි කල කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරීන් කොටසක් ගම්වලට අනියුක්තව සිටියේය. එවකට පැවති ගම්මුලාදෑණි / ග්‍රාම සේවක කොට්ඨාශ කිහිපයකට එක් නිලධාරියෙකු බැගින් පත්ව සිටි මෙම රාජ්‍ය සේවකයෝ ගම්වාසීන් විසින් හැදුන්වුයේ “ ගොවි මහත්තයා ” නමිනි. ගොවි මහත්තයා  - වහරේදී  “ගොයි මහත්තයා ” විය. මේ ගොයි මහත්තයා  ස්කොලේ මහත්තයා මෙන් ගමට ප්‍රභු වරයෙක් විය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පේරාදෙණිය ,ගන්නොරුව වැනි කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථාන වල පුහුණුව ලබාදී ගමට එවු මේ ගොවි මහත්වරු ගමේ ගොවිපල වල ගොවින්ට උපදෙස් සැපයු නියම උපදේශක වරු විය

1965 – 1970 ඩඩ්ලි සේනානායක යුගයේ දියත්වු වගා සංග්‍රාමය  “ 71 මෙන්ම 89 දරුවන්ට මතක නැතිවා වෙන්න පුළුවන. මේ යුගයේ ප්‍රථම වරට ලක් පොලොවේ වානිජ පදනමින් අර්තාපල්  වගා කිරීම ඇරඹු යුගය විය. අර්තාපල් වගා කිරීම සදහා ගොවීන්ට බීජ , පොහොර . වගා උපදෙස් සැපයීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් සිදු කල අතර ක්‍ෂෙත්‍රයේදී  දෙපාර්තමේන්තුවේ කටයුතු මෙහෙය වන ලද්දේ ගමේ කෘෂිකර්ම නිලධාරියා වු ගොයි මහත්තයා විසින්ය.

 මගේ කතානායකයා    තම පලමු පත්වීම රැගෙන අර්තාපල් වගාව පිලිබද පුහුණුවකුත් සමග වැලිමඩ ප්‍රදේශයට යනු ලබන්නේ මේ වකවාණුවේය. එළවළු වගා බිම් වල අර්තාපල් වගාව ප්‍රචලිත කිරීමට වගා බිමෙන්  - වගා බිමට උපදෙස් දීමට ගිය නිසා වෙන් සහ ආර්ථික බෝගයක්  ලෙස අර්තාපල් වගාව තහවුරු   වීම නිසා ඔහු වැසියනට ගොවි මහත්තයා නොවී  ඔහු  “අල මහත්තයා ”විය.

වැලිමඩ ප්‍රදේශයේ ගොවීන් අතර ජනප්‍රිය චරිතයක් බවට පත්වු  ඔවුන්ගේ  ආදරණීය අල මහත්තයා  අවුරුදු හැත්තෑ නවයක් ආයු විද කම්වු පරිද් දෙන් පසුගිය 10 වෙනිදා සවස් භාගයේ අප අතරින් වියෝවිය. වැලිමඩින් කිලෝමීටර් හැත්තෑවක් පමන දුර බලංගොඩ / ඉඹුල්පේ අ.මු.ස.මු ජයසේකර බණ්ඩාර නමින් උපතේදී නම් ලබා වැඩිදුර අධ්‍යාපනයෙන් පසු වැලිමඩ රැකියාවට ගිය ඔහු එහිදී විවාහව දූ දරුවන් සමග පදිංචිව සිටි දශක පහක් පමණ කාලයේ උපයා ගත් අභිමානය අපට නම් කිසිදා ලබා ගත නොහැක. ඒ සියල්ල ඔහුට හිමිකර දී තිබුනේ තමන් පලදායී රාජ්‍ය සේවයක නිරත වෙමින්  ජනතාවත් සමග ඉදිරිපෙල සිටි නියමුවෙකු නිසා වෙන්යයි  මට සිතුනි.




වැලිමඩ ප්‍රදේශවාසී ජනතාවගේ ආදරණීය අල මහත්තයාට අජරාමර  නිවන් සුවය අත්වේවායි  එසේ පැතූ  ජනතාව සමග එක්ව මමද  ප්‍රාර්ථනය කරමි !.

notes of imaginary

2 comments:

විචාරක Wicharaka said...

තමන් මෙලොව යහපත්ව ජීවත්ව සිටි බව, අනුන්ගේ මතකයේ තබා යාමත්, මහා විප්ලවයකි.

තවත් අල මහත්තයෙක් හිටියා නේද කෑගල්ල පැත්තේ?

Lionel Liyanagamage said...

ඔව් නෝමන් ගුණතිලක මහත්මයා . ඔහු ජාතික තලයේ අර්තාපල් නියමුවා.