Wednesday, October 19, 2016

මල්වර වෙලා.



අද ඔක්තෝම්බර් මාසේ 19 වෙනිදාය.පාන්දරින්ම  මා හමුවන්නට පාරිභෝගිකයෙකු පැමිණ ඇත. ඔහුගේ උවමනාව මගේ සේවය ලබා ගැණීමයි. මම සුව පහසු අසුනක් පෙන්වා වාඩි ගන්වා පිලිසදරට එක්වෙමි. සේවකයෙකු තේ එකක් පිලි ගන්වා ඇත් වෙයි. මම සිරිත් පරිද්දෙන් පාරිභෝගිකයාට සවන් දෙන්නට සුදානමින් ඔහු ආ කාර්යයට පිවිසෙන්නට ඉඩ ඇරියෙමි. වටින් ගොඩින් කියනා පරිද්දෙන් මංගල්‍යයක් විය යුතුයයි මම සිතුවෙමි. මගේ මනසේ ඇදෙන්නේ විවාහ මංගල්‍යයක් පැවත්වීමට අප ශාලාවත් පහසුකමුත් පාරිභොගිකයාට අවශ්‍ය බවයි . මම ආහාර ලැයිස්තුත් බීම වර්ග වල මිළ ගනන් කට ගැස්ම පිලිබදවත් ශාලා සැරසිලි පෝරුව සෙටි බැග් ආදිය ගැන දැනුම්වත් කරන්නට පටන් ගතිමි. “ නෑ නෑ මහත්තයා මට ඕන  මේ පුංචි මගුල් ගෙයක් පවත්වන්න ” පාරිභෝගික මහතා මා ඔහුගේ ධාවන පථයට ගෙන එයි.

දවස කවද්ද ? . මම අසමි. නොවැම්බර් 02 දා. මගේ කාර්ය සටහන අනුව ශාලාව වෙන් කරදිය හැකි බව පවසමි. ඒ ගමන්ම මගේ සිතට නැගී ආයේ තවත් කරුනකි. දවස් දොලහක් දහතුනක් සිරකර තබන දියණියක ගැන මම සිතමි. ඔක්තෝම්බර් මාසේ උත්සව නැකත් හෙටින් පසු ඇති බව මගේ කාර්ය සටහන අනුවම කිව හැකිය. එබැවින් “ ඇයි  ? මේ මාසේ නැකත් තියෙනවා නේ මම කියමි.”
ඔව් .  ඒ වුනත් නොවැම්බර් 02 තමයි නැකත් ගත්තේ

මල්වර උත්සවය නිවසින් බැහැරව උත්සව ශාලාවක පැවත්වීම  දක්වා අද කාලය විකෘතිව ඇත. මගේ පාරිභොගිකයාගේ ආරාධිතයන් ප්‍රමානය තුන්සියයකි. ඔහු මෙතරම් වියදමක් දරන්න සුදානම් වන්නේ ඇයිදැයි මට ප්‍රශ්න කල නොහැක.මම උපදේශකයෙකු නොවෙමි. මම මගේ ආයතනික පැත්ත ගැන සිතන්නෙක්  වෙමි.  පසුගිය දිනක සහභාගීවු මල්වර උත්සවයකට එම දෙමව්පියන් වියදම් කර තිබු මුදල ගැන සිතූවිට පුංචි ගෙයක් හදා ගන්නට තිබුනා නේදෑයි එදා මට සිතිනි.
මතෘත්වය කාන්තාවකට හිමිවීමේ පලමු වරම ලෙස මල්වර වීම හැදින්විය හැක.කායික විද්‍යාණුකුලව මල්වරවීම කාන්තා සිරුරක සිදුවන සාමාන්‍ය ක්‍රියාවලියක ආරම්භක අවස්ථාවයි.මෙය අඩ බෙර ගසා රටට කිවයුතු කාරනාවක් නොවේ.එහෙත් අපේ සංස්කෘතිය විසින් යම් යම් සිරිත් විරිත් මල්වර වීමෙදී පෙර පටන් අනුගමනය කරන්නට පරිසරය සකස් කර තිබේ. ඒවා අඩු හො වැඩි වශයෙන් අනුගමනය කරන අතර දැනුම්වත් දෙමව්පියන් පවුලේ ඥාතීන් අතර පමනක් පවත්වන සරල උත්සවයක් බවට මල්වර උත්සවය පත්කර ගෙන සිටී.

අතීතයේ සිට පැවත එන සිරිත් අනුව දියණියක විසින් තම මවට මේ බව දැන්වු විට , මව ඇය අතට ලෝහමය ආයුධයක් අතට දී කිරි ගහක් ලගට ගොස් ගසට කිරි එනසේ කැපුමක් කරනු ලැබේ ලෝහමය ආයුධයෙන් ආරක්‍ෂාවත් කිරි ගහෙන් සෞභාග්‍යත් සංකේතවත් කරනු ලැබේ. 

ශබ්ද නඟා කතා නොකිරීම, දින තුනක්‌ ගතවන තුරු කිසිවෙකුට මුහුණ නොපෙන්වීම, තාරකාවන් දෙස නොබැලීම, සුවඳ විලවුන් පාවිච්චි නොකිරීම, ස්‌නානයෙන් වැළකීම, ආභරණ නොපැළඳීම, නියපොතු, හිසකේ නොකැපීම, හිසකේ පීරීමෙන් වැලකීම යන අංග මල්වරය හා සම්බන්ධ සිරිත් විරිත් අතර ඇතුළත් වේ. නැවුම්   බදුනමැටික ආහාර ගැනීම, දෝතින් ගෙන ජලය පානය කිරීමත් ,මල්වරවු දියණියකට තාවකාලික සිර දිවියක් ගතකිරීමට සිදුවේ.

 සමහර ප්‍රදේශවල පස්‌ මොරු කුල්ල දීම නමින් චාරිත්‍රයක්‌  තිබේ. මෙම චාරිත්‍රයේදී  හාල්, පොල්, තුනපහ, පළතුරු, කැවිලි, බුලත්, පුවක්‌ ආදිය ද, දියලබු, වට්‌ටක්‌කා වැනි එළවළු වර්ග කීපයක්‌ද කුල්ලක අතුරා   පහනක්‌ තබනු ලැබේ

මල්වරවු දියණියක ස්නානයෙන් පසු නිවසට  පිවිසෙන අවස්ථාවේ දොරකඩ හරහා පැදුරක් එලා වී,තල උදු මුං මෑ ඇට  දමා ඒ මත තොලබෝ අත්තක් සහ මොල්ගහක් හරහට දමා ඒ උඩින් ඇවිද ගෙන යාමට සලස්වනු ලැබේ .මේ අවස්ථාවේ රෙදි නැන්දා විසින් පොල් ගෙඩියක් බිම තබා දෙපළු වනසේ බිදිනු ලැබේ. මින් පසු ඈ කැදවා ගෙන යන්නේ නිවසේ මැද සකස් කර ඇති     රන්, රිදී, මුතු, මැණික්‌ ආදියෙන්ද කැවිලි, එළවළු, හාල්, පොල් හා ඇඳුම් ආදි ද්‍රව්‍ය වලින්  බිම පැදුරක අතුරා සකස් කර ඇති  ස්‌ථානයටයි. මෙම ස්ථානය පැදකුණු කර  පහන් දල්වා සිරිත් කරනු ලැබේ. වැඩිවියට පත්වන අවස්ථාවේ  ඇඳ පැළඳගෙන සිටි කණකර ආභරණ, ඇඳුම්, කොට්‌ට, පැදුරු සියල්ලම රෙදි නැන්දාට භාරදීම වැනි සිරිත්ද  ඇතුලත්වේ.    


රෙදි නැන්දා අද වොසින් මැසින් එකවී ඇති බැවින් මව හෝ ඥාති නැන්දා කෙනෙක් මේ සිරිත් විරිත් සදහා මැදිහත්වේ. සිරිත් විරිත්ද වර්තමානය වන විට ලඝු වි ඇතත්, උත්සවශ්‍රීය නම් සංකීර්ණවී ඇත. මගේ පාරිභෝගිකයාට සිදුව ඇත්තේ උත්සවශ්‍රීය සංකීර්ණවීමයි.


notes of imaginary

2 comments:

MPP Gunasinghe said...

සංස්කෘතිය වෙනස් වන අන්දම හා වේගය අත්දකින්නට හොඳම අවස්ථාවන් මීදුම අතරින් ඉබේම ලැබී තියනවා. පුරාණ මල්වර සිරිත් ගැන විස්තරය ඉතාම වටිනවා

විචාරක Wicharaka said...

අනේ මේ වගේ ඊනියා චාරිත්‍ර තවමත් කරන 'මිනිස්සු' දැක, අනුකම්පාවක් තමයි ඇතිවෙන්නේ නූගත්කමක මහත කියලා.