Tuesday, June 09, 2015

ඌරු බුරු සහ කුකුල් කොටු.



කාලය ගෙවී යනවා. පසුගිය දවස් වල ........ මාස කිහිපයකින් අළුතින් යමක් ලියවුනේ නැහැ.
බුරු පිටිය සහ ඌරු කොටුව දිහා බලා ගෙන හිටියට පිටියේ සෙල්ලම් කරන බූරුවෝ සහ මඩ කාගෙන දගලන ඌරන් ගැන කිසිවක්  ලියන්න හිතෙන්නේ නැහැ. ඒත් කා එක්ක කතා කලත් මේ බූරුවන්ගේ සහ ඌරන්ගේ කතාව අවසානයට මාතෘකා වෙනවා.
මගේ කරුමයටද  කොහේද මේ බුරු පිටිය සහ ඌරුකොටුව මාතෘකා කර ගත් කොළමක් ලියු මහත්තයෙක් ( මහත්මයෙක්  අර්ථකතනය වෙන්නේ වෙන විදියකට ) අද වන කොට ඌරු කොටුව තරනය කරලා බූරුපිටිය හරහා අමාත්‍යංශයක ලේකම් කෙනෙක් වෙලා ඉන්නවා  දකින මට හිතෙනවා මටත් රටට බණ දේශනා කරමින් ලෞකික සැප සම්පත් ප්‍රාර්ථනා කරන්න අපේ අම්මා ඉගන්නුවේ නැත්තේ ඇයි කියලා.
මේ ඌරන්ගෙන් සහ බුරුවන්ගෙන් ගැලවෙන්න සති අන්ත පත්‍ර කියවන එකයි රූපවාහිණි චැනල් බැලිල්ලයි ඔය දේශපාලන වෙබ් අඩවි වලට හොට දාන එකයි ජනාධිපතිවරණයටත් බොහෝම කාලෙකට ඉස්සර ඉදන් අත්හැරලා දැම්මා . ඌරු කොටුවට බුරුවෝ පැනලා කරන විගඩම් බලා ඉන්න බැරිව.. නොකියවා නොබලා ඉන්න ගියාම හිතන්න දෙයක් නැති නිසා දැනුනේ අපමන සහනයක්. වියමනක් කරන්න උත්තේජනයක් ලැබෙන්න හිත ඇවිස්සෙන්නේ නැහැ. ඒත් එක්කම වාගේ මගේ වියමනත් කල් බල බලා විඩා අරින්න වුනා
දැන් ආයෙත් සතියක් දෙකක ඉදන් තෝරා ගත්ත සති අන්ත පත්‍රයක දැන්වීම් බලන්න පටන් ගත්තා. ඌරන්ටයි බූරුවන්ටයි අතිරේක පන්ති පවත්වන්න පුළුවන් මාස්ටර්ලා ඉන්නවද බලන්න. ඒත එක්කම අපිට මොකද වෙන්නේ කියලා කියන්න පුළුවන් රාජකීය වන නොවන ශාස්ත්‍රාචාර්යොත් හොයනවා.
මේ ලියන්නේ වෙනමම කතාවක්.
මගේ ටෙලිපෝනය එහා කොනේ සක්විති ගනයේ ටියුෂන් මාස්ටර් කෙනෙක් !.කතා කරනවා.
 ටියුෂන් කියපුවම  එක එක  ජාතියේ මාස්ටර්ලා මතක් වෙනවා.රටටම සිංහල උගන්නන වගේම රටටම ඉංග්‍රීසි උගන්නන්න ඇවිත් “ රටටම උගන්නපු මාස්ටර්ලත් මතක් වෙනවා. මේ මාස්ටර් කතා කලේ තම ගෝල බාලයින්ට කටට රහට කෑම වේලක් දෙන්න තැනක් හොයන අරමුනින්. මාත් මෙනුව කියෝලා ඇස්තමේන්තුව ඉදිරිපත් කලා වැඩේ අඩමානයට තියලා. මාස්ටර්ට මගේ ගාන දිරවයිද නැද්ද සැකයෙන්, පෝන් එක ක‍නේ තියාගෙන ඉන්න මට ඇහෙනවා “ චීප් ප්‍රයිස් එකක්නේ. ඒත් ඔන්න ඔහේ දීලා දාමු “ කියලා.
මට මතක් වුනේ 1968 - 1970 අවුරුදු  වල අපේ ස්කෝලේ කාලේ. උසස් පෙල කරද්දී අපිට organic chemistry කරන්න ගුරුවරයෙක් හිටියේ නැහැ. පලවෙනි අවුරුද්දේ කොටසකුත්  ගෙවි යද්දී මේකට මැදිහත් වුනේ පංති භාර applied science  උගන්වපු ගුරුතුමා. එතුමා නාලන්දේ organic chemistryකරපු ගුරුතුමාව හවස් වරුවේ උගන්වන්න  ගෙන්වලා දුන්නා. දැන් සතියේ දින තුනක් හවස 3.00ට organic chemistry පංතිය පටන් අරන් 4.45ට විතර  පංතිය එවර වෙනවා.දෙවෙනි අවුරුද්දත් මෙහෙම ගෙවිලා ගිහින් විෂයය නිර්දේශය සම්පුර්න කරපු එතුමා වෙනුවෙන් අපිට වැය වුනේ මාසෙටම රුපියල් විස්සයි. කොළඹ ඉදන් හොරණට ගමන් ගාස්තු ගෙවා ගෙන අපිව එතෙර කරන්න ගත්ත වෑයමට අදනම් කීයක් ගනීද ?.
මට කතා කරපු මාස්ටර් සති අන්තයේ  එක් සෙනසුරාදාවක 9.00 පටන් ගන්න ටියුෂන් පංතිය එවර වෙන්නේ හවස 4.00ට. විෂයයන් තුනක වානිජ විෂයය ධාරා පැකේජය සදහා මසක අයකිරීම රු6 000/=යි!.සිසුන් දෙතුන් සියයක් එක් පංතියක ඉන්නවා. මේ ආදායමට ඉද හිටලා  මේ වගේ වෙනසකට සිසුන් යොමු කරපුවම පාඩු වෙන්නේ නැහැනේ !. ඒත් එක්කම එන අවුරුද්දට නිකම්ම පබ්ලිසිටි එකක් ලැබෙනවා. නරකම නැහැ ප්‍ර මෝෂන් එක.

දේශපාලන ඌරු කොටුවයි  -බුරු පිටියයි - අධ්‍යාපන කුකුල් කොටුවයි  1977 න් පස්සේ සීග්‍ර යෙන් වෙනස් වෙන්න පටන් ගත්තා. අවුරුදු  38 කට පස්සේ මේ ඔක්කොම නරා වලක් වෙලා තවත් නරකම පැත්තට වෙනස් වෙනවා.ඒත් මේක වෙනස් කරන්න කතාතරනවා මිසක වෙනස් කරන්නේ නැහැ.වෙනස් කලොත් ඌරන්ටයි බුරුවන්ටයි වස වැරද්දක් වෙන්නේ .
notes of imaginary

4 comments:

ඇණය said...

77 දී ඔය ටිකට මුල පිරුව කියල දුක් වෙන්න එපා, 77 දී වුනේ නැත්නම් 78දී මුල පුරනවා, නැත්නම් 1980 දී වත්. ඇත්තෙන්ම වෙනස පටන්ගත්තේ නියමිත අවුරුද්දට අවුරුදු 2කට පස්සෙයි. ඌරු කොටු, කුකුල් කොටු මග හැරලා ගමන යන්න බෑ, අර 80 ගනන් වල තිබ්බ ටුුක් ටුක් ගගා සද්දේ එන ගේම් වල වගේ බාධක සේරම පැන්නොත් විතරයි නෙක්ස්ට් ස්ටේජ් එකට දොර ඇරෙන්නේ. මග ඇරලා යන්න ගියොත් ආයේ මුල ඉදල පටන් ගන්න වෙනවා. ඔයි පරණ සමාජවාදී රටවලට වෙලා කියෙන්නේ, ආපහු මුල ඉදලම යන්නේ දැන්. වැදගත් හැකි ඉක්මනින්ම ඔයි බාධක පැනගැනීමයි.

මගේ කිචී said...

ඌරන්ට ආදරය කරන බූරුවන්ගෙන් පිරි ආසියාවේ ආශ්චර්යය

MPP Gunasinghe said...

මොන බූරුවාටත් තේරෙන්න ලියල තියනවා.

රසිකොලොජිස්ට් - Rasikologist said...

මා මාස දෙකක් පමණ ටියුෂන් ගිය ඇන්ඩෲ ප්‍රනාන්දු නම් භ්‍යෙතික විද්‍යා ගුරුවරයා ඒ අතරතුර යෙදී තිබුණු ඔහු ගේ උපන් දිනය දා අපිට බිබික්කං කෑල්ල බැගින් කන්න දුන්නා....!!!

ඔය කියපු රුපියල් විස්ස එක්කෙනෙකුගෙන් මාසයකටද? නැත්තම් සියලු දෙනාටම ද?