Thursday, January 28, 2010

ප්‍රජාතන්ත්‍රවාදයට ලංසුවක්‌!



………..
මේ පලවන්නේ  දිවයින ජාතික පුවත් පත මැතිවරණයට කලින් පල කල කතුවැකියකි. මේ කතාන්දර සියල්ල අමතක ව යලිත් ඒවා සිහියට ගන්නේ ඊළඟ මැතිවරණය ලංවු විටය. මෙවැනි ක්‍රියාදාමයන් නිහඩ වීමට නම් අදාළ වු නීති ශක්තිමත් විය යුතු බව මීදුම සිතයි. එහෙත් කිසි දා එම සිතිවිල්ල ක්‍රියාත්මක තලයට නො පැමිණෙන්නෙකි. යහ සමාජයක් නිර්මාණය වන්නට මුලින් ම උපුටා දැමිය යුත්තේ වරප්‍රසාද ලත් පන්තියේ මැර අවීනීතකම්ය. මේ මැතිවරණ ප්‍රතිපල  මහින්දට පෙන්නා දෙන්නේ ද වරප්‍රසාද ලත් පන්තියේ අභිප්‍රාය සහ වරප්‍රසාද නො ලත් පන්තියේ අභිප්‍රාය බව මීදුම අවධාරණය කරයි.
“..................හැම දෙයකට ම තිබෙන්නේ මිලක්‌ හෙවත් වෙළෙඳ වටිනාකමක්‌ බව ධනවාදී පාරිභෝගික සමාජයක එන මූලික සිද්ධාන්තයකි. ඒ අනුව නිශ්චල හා චංචල දේපොළ පමණක්‌ නොව සාහිත්‍ය කලාව, සාරධර්ම හා පුද්ගලයෝද විකිණෙති. සාහිත්‍ය කලාව, සාරධර්ම යනාදිය විකිණීම යනු ඒ සමාජය කුණු වී ඕජස්‌ ගලන වණයක්‌ බවට පත්වීමක්‌ සේ සමහරු හඳුන්වති. එහෙත් එය වැළැක්‌විය හැකි ද?

ඡේ. ආර්. ජයවර්ධන උතුමාණන්ගේ විවෘත ආර්ථික සොරොව්ව ඔස්‌සේ මේ රටට ගලා ආ සංස්‌කෘතික හා සදාචාර පරිහානිය තුළින් අප තවමත් පාඩම් ඉගෙන ගෙන ඇති බවක්‌ ද කිව නොහැක. මේ උතුමාණන්ගේ දේශපාලන භාවිතයේ බරපතල මෙන්ම දුෂ්ටතම ප්‍රතිඵලයක්‌ වූයේ ප්‍රජාතන්ත්‍රවාදයටත් මිලක්‌ නියම වීමය. ඒ අනුව දේශපාලනඥයාටද අගයක්‌ නියම වීමය.

1948
දී අප ලද නාමික නිදහස යටතේ වුවද අපේ දේශපාලනය ගරු ගාම්භීර ජනතා සේවයක්‌ ලෙස ඇරැඹී ගලා ආ බව අප පිළිගත යුතුය. තට්‌ටුමාරු ක්‍රමය යටතේ ප්‍රධාන පක්‍ෂ ලෙස එජාපයත් ශ්‍රී. ල. නිපයත් ප්‍රමුඛ පක්‌ෂද ඒවා සමඟ සන්ධානගත වූ පක්‌ෂද මේ රට පාලනය කළහ.

1977
න් ඇරඹුණු නව දේශපාලනය විසින් රටට අත්පත් කර දුන් යහපතට වඩා අයහපත වැඩි බව විවිධ ක්‍ෂේත්‍රයන්හි විද්වතුන්ගේ නිගමනය වී තිබේ. අප කතා කරන්නේ එහි එක්‌ අංශයක්‌ වන දේශපාලනය ගැන පමණි. එතෙක්‌ ගරු සේවයක්‌ ලෙස තිබුණු මන්ත්‍රීකම විශ්‍රාම වැටුප් සහිත රැකියාවක්‌ බවට පත්වීම ඇරඹීමත් සමඟ මේ රටට සිදු වූ සන්තෑසිය කවුරුත් දනිති. එහි බරපතලම විපාකය වූයේ බුද්ධිමත් හා උගත් බහුශ්‍රැතයන් විසින් නියෝජනය කරන ලද දේශපාලනයේ දොරටු පාතාල මැරයන්ට දූෂිතයන්ට හා නූගත් කළු සල්ලිකාරයන්ටද විවෘත වීමය.

අද කාටත් එපා වී තිබෙන විධායක ජනාධිපති ක්‍රමය සමඟ හඳුන්වා දුන් ජාතික ලැයිස්‌තුවද වැඩිපුරම ඉඩ සලසා ඇත්තේ නන්නත්තාර දේශපාලනයකට බව අපගේ විශ්වාසයයි. විධායක ජනාධිපති ලෙස මන්ත්‍රීවරුන්ගේ ඉල්ලා අස්‌වීමේ ලියුම් ලබාගෙන සාක්‌කුවේ දමාගෙන සිටි ඡේ. ආර්. ට හෝ ව්‍යවස්‌ථාව බහුබූත එකක්‌ යෑයි හඬ තැලූ චන්ද්‍රිකා කුමාරතුංගට හෝ එම ක්‍රමයෙන් රටට වැඩක්‌ කළ නොහැකි විය.

මේ දෙදෙනාම විධායක ක්‍රමය නමැති කුණ්‌ඩලාභරණය පැළඳ ගාම්භීරව සිට නිකම්ම විශ්‍රාම ගියෝය. එහෙත් එය ආභරණයක්‌ නොව රටට වැඩක්‌ කළ හැකි බලයක්‌ බව වටහාගත් මහින්ද රාජපක්‍ෂ එය උපයෝගී කර ගනිමින් තිස්‌ අවුරුදු ත්‍රස්‌තවාදී ශාපය අවසන් කිරීමට සමත් විය. අද බොහෝ දෙනකුට අමතක වුවද එය විශිෂ්ට ඓතිහාසික වාර්තාවකි.

කෙසේ හෝ අද එම දේශපාලනය විසින් නිර්මාණය කරන ලද මන්ත්‍රීකම, නැතහොත් ගරු මන්ත්‍රීකමට සිදුවී තිබෙන අභාග්‍යය අපට පමණක්‌ නොව රටටම මහා විනාශයක්‌ බව කනගාටුවෙන් වුවද කීමට සිදු වී තිබේ. ඒ එකී ගරු මන්ත්‍රීවරුන් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස වෙන්දේසි වීමය.

අද ගරු මන්ත්‍රීවරයකුගේ මිල රුපියල් කෝටි ගණන්වලින් තීරණය වන්නකි. ජනතාවගේ මනාපයෙන් තේරී පත් වී දේශපාලන මණ්‌ඩුකයන් හෙවත් මැඬියන් බවට ස්‌ව කැමැත්තෙන්ම පත්වන්නෝද සිටිති. ඔවුන්ට ගෙවන ලදැයි කියන කෝටි ගණන් මුදල් ගැන අදත් ඇසෙයි. පක්‍ෂයත් ප්‍රතිපත්තිත් මුදලට පාවා දෙන්නන් ලෙස අවමානයට ලක්‌ වුවද ඔවුහු වගේ වගක්‌ නොමැතිව සිටිති.

අද මන්ත්‍රීවරයකුගේ අගය කෝටි ගණනින් මනිනු ලබන්නක්‌ වුවද කලකට පෙර පනස්‌දහසක්‌ වැනි මිලකට ආණ්‌ඩු පෙරලන්නට හවුල් වූ ගරු මන්ත්‍රීවරුන් ගැන ද දේශපාලන ඉතිහාසයේ එයි. එහෙත් මේ කිසිවක්‌ තහවුරු වී නැති වාර්තා බව ද අප කිව යුතුය. තහවුරු නොවූ නිසාම ඒවා කටකතා ලෙස බැහැර කළ හැකි ද? ඒ කුමක්‌ වුවත් දැන් යළිත් එම වර්ගයේ තුච්ඡ දේශපාලන ගනුදෙනුවක්‌ පිළිබඳ බරපතල චෝදනා පත්‍රයක්‌ ඉදිරිපත් වී තිබේ.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මන්ත්‍රීවරයකු වන එම්. මුසම්මිල් මහතාට ලක්‍ෂ 300 ක අල්ලසක්‌ ලබා දීමට තැත් කළ බවට දැන් ජ. නි. පෙ. සභාපති විමල් වීරවංශ මන්ත්‍රීවරයා එකී බරපතල චෝදනාව නගා තිබේ. හේ ඒ පිළිබඳ සාක්‍ෂි ඇතුළු වෙනත් හඬපටවල් පවා මාධ්‍යවලට ලබා දී ඇත.

මෙම සිදුවීම පිළිබඳ අල්ලස්‌ කොමිසමට පැමිණිලි කර එහි සියලු තතු රටට හෙළි කරන බව ද විමල් වීරවංශ මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණි. ජ. වි. පෙ. අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා එයට අභියෝගයක්‌ද කර තිබුණි. ඉතිරි හරිය අපට පසුව බලාගත හැකිය. එහෙත් අපට තිබෙන වේදනාව ගරු මන්ත්‍රීකම මේ ලෙස මුදලට විකිණෙන මෙවලමක්‌ බවට පත්ව තිබීමය.

මන්ත්‍රීවරුන් මිලට ගැනීම මෙන්ම විකිණීමද ඉතා පහත් හා බාල ක්‍රියාවක්‌ බව අපි ඉඳුරා කියමු. ආණ්‌ඩු පෙරළා දැමීමට මෙන්ම බලය ලබා ගැනීම සඳහා කෙරෙන මේ වර්ගයේ තුච්ඡ ගනුදෙනුවලට සම්බන්ධ අය නීතියේ රැහැනට හසු කර දීමද අවශ්‍යම දෙයකි. මේ වර්ගයේ මෙහෙයුම් පසුපස විවිධ දූෂිත චරිත මෙන්ම මේ රට වනසන දුෂ්ට බලවේගද තිබෙන බව අප තේරුම් ගත යුතුය.

මෙම සර්ප මෙහෙයුමේ සැලසුම්කරුවා හෝ සැලැසුම්කරුවන් රටට අනාවරණය කිරීම යනු ප්‍රජාතන්ත්‍රවාදය පවිත්‍ර කිරීමක්‌ ද වේ. ප්‍රජාතන්ත්‍රවාදයට ලංසුවක්‌ තබන අමනයන්ගෙන් රටකට සිදුවිය හැකි යහපත කුමක්‌ද?
 ප්‍රජාතන්ත්‍රවාදය බාල්දු කරන මේ වර්ගයේ තක්‌කඩි දේශපාලුවන්ගෙන් රට බේරා ගැනීමේ වගකීම ජනතාවට බාරය.......................“


මහින්දගෙන් ජනතාව බලාපොරොත්තුවන්නේ බඩ නොව රටයග රට හදාගෙන බඩ පුරවා ගැණීමයග

No comments: