Sunday, October 04, 2009

GSP + Generalized System of preferences

අද ‍බොහෝ දෙනාගේ මතෘකාව බවට පත්ව ඇති GSP + බදු සහනය ගැන සටහනක් මීදුම වියමන් කරන්නට අදහස් කලේ එය අද කාලීන ප්‍රවෘත්තියක් වී ඇති බැවිනි. බොහෝ විද්වතුන් මේ සම්බන්ධයෙන් නොයෙක් මතවාද පලකරමින් සිටිති. දේශපාලන වේදිකාවේ ආණ්ඩුව විපක්ෂයටත් - විපක්ෂ ය ආණ්ඩුවටත් මල්ටි බැරල් ප්‍රහාර එල්ල කිරීමට යොදා ගන්නා මේ මාතෘකාව අපට නම් විහිළුවකි. රටකට ආදරේ ඇති පිරිසක්වේ නම් බලය අල්ලා ගැණිමේ ව්‍යාපෘති මැතිවරණ වලට පමනක් සීමා කර මැතිවරණයෙන් පසු රටට හිතකරව සේවය කිරීම සිදුකල යුතුවේ. අපේ රටේ ආණ්ඩුවත් විපක්ෂයත් හැසිරෙන්නේ ජම්ම වෛරක්කාරයෝ පිරිසක් ලෙසිනි.

මේ දෙපිරිසම නඩත්තු වන්නේ දියළුනු කැටයෙන් පවා අය කරගන්නා බදු මුදල් වලිනි.තීරු බදු රහිත දීමනා, මාදිවලින් නේවාසික පහසුකම් දුරකතන, ගමන්,සංග්‍රහ ආදී කී නොකී දීමනා ලැබෙන්නේ ආණ්ඩු පක්ෂයට පමනක්ම නොවේ. විපක්ෂයටත් ලැබේ.වෙනසක් ඇත්නම් සොච්චමක් විය හැකියි. අපේ රටේ මේ දෙපක්ෂයේ ආර්ථික පරතෙරය ඇති කිරීමට පමනක් නිර්මාණය කරගත් අළුත් මාවත ආණ්ඩු පක්ෂය සියල්ලම ඇමතිවරු බවට පත් කිරීමෙන් සිදුකරගෙන තිබේ. මෙම පුර්වාදර්ශයද 1977 දී ධාර්මිෂ්ඨර් විසින් මේ රටට ලබා දුන්නකි.

මිදුම පාරෙන් පිට පැන්නා යයි සිතුවා විය හැකියි. ඒත් අපට වී ඇති දේශපාලන වින්නැහිය සෑම කරුණටම පාදක වී ඇති බව අමතක කර ගත හැකි කරුණක් නොවේ. GSP + කතාව ඇරඹෙන්නේ සුනාමියත් සමගිනි. ආසියාතික රටවලට සුනාමියෙන් ඇතිවු විපතින් ආර්ථිකයද සුනාමියක් බවට පත්වු විට ඒ ඒ රටවල නිෂ්පාදිත භාණ්ඩ 7200 ක් යුරෝපා සංගමයේ රටවල්වලට මිළදී ගන්නා විට තීරු බදු සහ රේගු බදු අය නොකර ගැණිමෙන් සහනයක් ලබා දීමට තීරණය කෙරිණි. මෙම සහනය ඇගළුම් ඇතුළු අපේ කර්මාන්ත වලට යුරෝපා සංගමයේ වෙළද පල තුල යම් ස්ථාවරයක් ගොඩනංවා ගැණිමට හේතු වන්නට ඇත. එමෙන්ම මෙම සහනයෙන් ප්‍රයෝජන ගැණිමට විදේශිය ආයෝජකයෝද යම් යම් කර්මාන්ත ඇරඹීම නිසා අපේ රෑකියා නියුක්තියන්ගේ ප්‍රමාණයද ඉහල ගියාය. අප මෙම සහනය දැන් අවුරුදු හතරක් පමණ භුක්ති විද ඇත්තෙමු.
දැන් ඇතිවී ඇති අනතුරෙන් යුරෝපා වෙළදපලේ අපේ භාණ්ඩවල මිළ ඉහළයාම නිසා එම රටවල පාරිභෝගිකයෝ අප අත්හැර වෙනත් රටවල නිෂ්පාදන කෙරෙහි අවධාණය යොමුවුවහොත් අවසානයේ අපගේ රැකියා නියුක්තියෝ පාරට බසින්නට සිදුවන්නේය. මෙම අනතුර මුව විටට ආ බවක් පෙනෙන්ට ඇති බව දැක දෙගොල්ලෝම අසරන රැකියා නියුක්තියන් ගේ මළමිනී මතින් බලය ලබා ගැණිමේ සහ බලය රැක ගැණිමේ පාපකාරී සිතුවිල්ලක සිටිමින් සිටින බව විද්‍යාමාන කරන බවක් මිස පිලියම් හෝ සැලසුම් ගැන අවබෝධයක් ඇති බවක් නම් නොදක්වන බව මීදුමට සිතේ.

ආණ්ඩුව සහ අදහස් දක්වන විද්වත්තු GSP + සදාකාලිකව ලැබෙන සහනයක් නොව තාවකාලික බදු සහනයක් බව පවසයි. අපිද එය පිළිගත යුතුවමු. යම් රටක් හෝ රටවල් සමුහයක් සදාකාලිකවම තම රටේ බදු ආදායම පිනට දෙන්න කෙසේවත් කැමතිවන්නේ නැත.එසේ නොදෙනුද ඇත. සුනාමිය ගෙවී අවුරුදු පහකි. යුද්ධය ඊට අවුරුදු විස්සක් විසිපහක් තිස්සේ පැවත්වෙමින් තිබියදීද අපේ රටේ ඇගළුම් ඇතුළු වෙනත් නිෂ්පාදන අපනයනය වෙළද පලට යොමු කරමින් සිටියේය. සුනාමියෙන් ලැබුන GSP + සහනය අමතර සහයෝගයකි. ඒ සහනය තුලින් අපේ රටේ නිෂ්පාදන සදහා විදේශීය පාරිභෝගිකයන් තුළ නමක් ඇතිවුවාටද සැකයක්ද නැත. එය අමතරව ලැබු ප්‍රතිලාභයකි.

මිදුමට ඇති ප්‍රශ්නය මෙය නොවේ අපේ රටේ එක් එක් විෂය භාර ඇමතිවරු රොත්තක් සිටී. විදේශිය, විදේශිය වෙළදාම, වෙළද ප්‍රවර්ධණ , කර්මාන්ත, ආදී මෙම විෂය පථයන්ට ආදාල ඇමතිවරු අඩුම තරමේ විස්සක්වත් ගැන ගත හැකිවීම සිම්පල් කාරනාවකි.මෙම ඇමති රොත්ත බුරුත්තට ඇති කාර්ය මණ්ඩලය , උපදේශකයෝ කොයිතරම් ඇත්ද ?. මේ මිනිසුන් අවුරුදු පහක් තිස්සේ GSP + සදාකාලිකවම අපට ලැබෙන බව සිතාගෙන ජොලි කල බවක් පේනවා හැරෙන්නට විකල්ප විසදුම් ගැන සැලසුම් ඇතිකලේ නැත. ලෝකයේ ඇත්තේ යුරෝපා වෙළද පොලක් පමනක් නොවේ. වෙනත් වෙළද පලවල් පසුගිය අවුරුදු හතරේ සොයාගන්නට තබා හිතන්නටවත් මේ මිනිසුන් පෙළඹී ඇතිද?.අපේ රට නියෝජනය කරමින් විදේශීය රටවල නිත්‍ය නියෝජිතයින් ,කොමසාරිස්වරුන් , තානාපතිවරුන් සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලයන් ඒ ඒ රටවල සිට නිදිවදින්නේද ?. ඔවුන් ගේ කාර්ය භාරයට විදේශීය වෙළදපල අපනයන සදහා අප රටට සකස් කර දීමට සැලසුම් ඇති කිරීමවත් ඇතුලත්වන්නේ නැද්ද ?.

නහය තෙක්ම ගිලෙන තෙක් සිට ‘අපිව එවරයි කියා මර ලතෝනි දෙන්නන්” සහ ‘උඹට මරු වැඩේ උනේ ඕකත් කාලා මැරියන්” කියන අයගේ බයිලා සංවාදය හැරෙන්නට දේශප්‍රේමය නම් මේ මිනිසුන් ගේ අහලකින්වත් ගෑවිලා නැත.

No comments: