පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Thursday, February 02, 2017

කාලෙකට පස්සේ.


නැගණහිරෙන් එන වැස්ස බලා ගෙන හිටපු අපට   වැදගත් මහත්තුරු ක්‍රොටන් කොළ කන්න කියනවා. අඩු ජල භාවිතයෙන් ගොවිතැන් කරන ක්‍රමවේදයන් ගැන උපදෙස් දෙන්න ඕණි මේ රාළලා ඒ වැඩේ නොකර  අපිට කොස් කොළ ක්‍රොටන් කොළ  කන්න    උපදෙස් දෙනවා.
“මුන් නම් රටත් පාලකයොත් කාලා අපිත්  කන්නම උපන් මිනිස්සු  !.
සෙනසුරුත් බටකොළ කෑවළු.
ඒ මේ ඇත්තන්ගේ උපදෙස් අරන් වෙන්න ඇති.
මේ සෙනසුරුගේ මොකක්ද තියෙන කාලේ කියනවානේ. ”
මහත්වරු  පිරිසක් බරපතල සාකච්ඡාවක.
ගැටෙන වීදුරුත් හැඩෙන හඩත්පැතිරෙන උස් හඩත්  මගේ අවධානය ඔවුන්ගේ කතා බහට නිකම්ම යොමු වුනා. උන්නැහේලාට පදම ඉක්මවා යා ගෙන යන්න ඇවිල්ලා වගෙයි මම හිතුවා.හෙමින් මුමුනමින් පටන් ගන්නා පිළිසදර මිලි ලීටර් 100...150....200....250...300 පහුවෙන කොට ටිකින් ටික වේගවත් වෙනවා. අවට ඉන්නේ කවුද කියන්නේ මොනවද මායිම් නැතිව වා තලය ගිණියම් වෙනවා.
අනුන්ගේ කතාවලට කන්දීම හොද පුරුද්දක් නොවුනත් ඇහෙන එක වලක්වා ගන්න මා ස්ථාන ගත වී සිටි  තැනට පුළුවන් කමක් නැහැ. වරින් වර මා ගැන සොයා බලන සේවක මහතා හැර මගේ මේසේ පාළුයි. මගේ තනියට කවුරුත් නැහැ.තනියට ඇහෙන කතා මම අහගෙන හිටියා.
සෙනසුරුට වැඩි ප්‍රතිචාරයක් නැතිව කතා අතීතයත් වර්තමානයත් අතර ගැටුමක්වු මාතෘකාවකට මාරුවුනා. 
“ මචන් උඹට මතකද ?  අපේ ඒ ලෙවල් ක්ලාස් එකේ හිටපු මුහන්දිරම් ?.
ඇයි බන් අමතක ?
ඌ  ලංකාවට ඇවිල්ලා ....
මම කතා කලා.... ඌ කියනවා මාව අදුරන්නේ නැහැ කියලා.
මචං වයස යනකොට කල්පනාව අඩුවෙනවා.
උබේ වයස කීයද ?
මට හැත්තෑ එකයිනේ බන්.
ඉතින් ඌටත් හැත්තෑ එකයි නේ බන් .
ඌ උබට හමුවුනේ අවුරුදු හතලිහකට විතර පස්සේනේ .ඉතින් ඌට උබව මතක නැතිවෙන්න ඇති.
වයසයි - මතකයයි අතර සම්බන්‍ධයක් තියෙනවානේ.
එනෙම් යකෝ මට මතක තියෙන්නේ ?”

මේසේ වටේ කතාව යනවා. එකට කා ගෙන බී ගෙන හිටපු යාළුව හදුනා නොගත් සිද්ධියට බරපතල විවේචනයක්.
හිතේ අමාරුවක් .

මේ කතා බහ අස්සේ මගේ මතකයට මින් වසර කිහිපයකට පෙර උන  ඔය වගේ නොවුනත් පුංචි අකරතැබ්බයක් මතක් වුනා. මගේ ඥාති සහෝදරයෙක් ඉන්නවා පොලොන්නරුවේ. මම මාතලේ මළ ගෙදරක ගියා. අවසන් කටයුතුත් අවසන් වෙලා එන්න සැලසුම් වෙලා තිබුන නිසා ඒ අතර දවසක විවේක කාලයක් තියෙනවා. ඒ දවස ප්‍රයෝජනයට අරගෙන කාලයකින් හමු නොවුන සහෝදරයා සොයා ගෙන මම පොලොන්නරුවට යනවා. සහෝදරයා එවකට සේවාගම විද්‍යාලයේ විදුහල්පතිවරයා.
මම දිවා කාලය නිසාවෙන්  එකවරම  නිවසට නොගිහින් විදුහලට යන විට විදුහල්පතිවරයා කලාප කාර්යාලයට ගිහින්.
නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් හමුවු මම මා හදුන්වා දී ආ ගිය කතා කීවිට
මාව කාර්යාලයේ අසුන් ගැන්වු නියෝජ්‍ය විදුහල්පතිවරයා
“ සර් නම් නැහැ  - සර්ගේ දුව උසස් පෙල පන්තියේ ඉන්නවා . ඉන්න මම එන්න කියන්නම්.
දුව එනවා ..
නියෝජ්‍ය විදුහල්පතිවරයාත් ඉන්නවා.
හ්ම්...  මම අදුනන්නේ නැහැ ..දැරිවි  කියනවා.
මම දරුවා හදුනා ගන්නවා. ඒත් මේ දැරිවි මාව  හදුනාගන්නේ නැහැ . මම මෙහොතකට අසරන වෙනවා.
මගේ ජාතික  හැදුනුම් පත දැරිවියගේ අතට දික් කරන මම
“ මෙයාව හදුනනවාද ?”
අප්පේ .... මේ .........බාප්පානේ.
යාන්තම් විදුහල්පතිවරයා එනකම් මාව බේරෙනවා.

මේ කතා දෙක අතර සහසම්බන්‍ධයක් නැතිව ඇති.

කාලෙකින් හමුනොවුනාම මතකය වියකෙනවා. අපේ අවධානය තිබෙන මතකයන් පමනක් රැදිලා තියෙනවා. අවධානයෙන් ගිලිහෙන මතක රැදී තියෙන්නේ නැහැ. ධන සම්පත් පංති ස්ථරයන් අතරත්  සම්බන්‍ධතා ගිලිහි යනවා. මගේ සේවා දායකයාට උසස් පෙල මිත්‍රයා දැක්වු ප්‍රතිචාරයත් අතර එවැනි සාධකයක් තියෙන්න ඇති.
මගේ ව්‍යාපාරක මිත්‍රයෙක් ඉන්නවා. ඔහුගේ දුරකතනයේ ඇති ග්‍රාහක අංක දහසකට ආසන්නයි. ඔහුට කතා කල සැනින් හඩින් හදුනා ගන්නවා. තිරයේ දිස්වෙන නමින් තහවුරු කරගන්නා හඩට අනෙක් කෙළවර ආමන්ත්‍රනය කරනවා. අවුරුදු හතලිහක පමණ අතීත පාසල්වියේ මිතුරන් රෑනක් ඔහු වටා තාමත් ඉන්නවා. මම හිතන්නේ ඔහු      ධනයත් සමගම පිරිසත් රැස්කරගන්නවා  කියලා. සමහර උදවියට මේ අවශ්‍යතාවය නැහැ . ධනය සම්පත් ගොඩනගා ගත්තම ඇති. පිරිසක් ඕනී නැහැ. පිරිස කරදරයක්.

මළ පසු දුක් ගී ගයන්න  ගෙදර හතර පස් දෙනා විතරක් ඉතිරි වන මළ ගෙවල් වලට අපිට  ගොඩ නගින අවස්ථා ඇතිවෙනවා. ඒ  මෙවැනි හුදකලා වෙන්න කැමති  අයගේ කියන සිතිවිල්ල සමග මා අතරමං  වෙනවා.


notes of imaginary

Monday, November 21, 2016

ඕපනායක පුංචි කෝච්චිය.



පුංචි කෝච්චිය මගේ මතකයට ආවේ පුංචි කෝච්චිය දැකලා  නෙමෙයි.දැන් කාලේ  පුංචි කෝච්චියක් දකින එක හීනයක කතාවක්. නැත්නම් සිගිති උයනක සිගිත්තන්ගේ සෙල්ලම් කෝච්චියක කතාවක්. තියෙන පාර කොන්ක්‍රිට් කරගන්නවත් බැරිව දුෂ්කර ආර්ථිකයක හීන දකින අපිට  කෝච්චි පාරක් අළුතින් හදනවා කියන එකත්   ලොකු ම  ලොකු  හීනයක්.

 
 ඕපනායක පොලිස් ස්ටේෂමේ තියෙනවා සංරක්‍ෂිත කරන ලද දුම්රිය මැදිරි වල බර කිරන තරාදියක් . මේ තරාදිය දැකපුවම ආයෙත් මට පුංචි කෝච්චිය මතක් වුනා කීවාම නිවරදියි. දැන් කාලේ ඕපනායක පොලිස් ස්ටේෂම පිහිටා තියෙන්නේ -  ඒ කාලේ පුංචි කෝච්චියේ අවසාන ගමනාන්තය වු ඕපනායක කෝච්චි ස්ටේෂමේ.  ඒ කාලේ  ඕපනායක ස්ටේෂමේ ප්‍රධානියා “ ස්ටේෂන් මහත්තයා” - අද කාලේ නම් “ ඉනිස්පැට්ටර් මහත්තයා ! .”

1830 ලිවර්පූල් හා මැන්චෙස්ටර් අතර දුම්රිය සේවය අයත් අයිතිකරුවෝ හොඳම දුම්රිය ඇන්ජිම සඳහා පවුම් 500 ක ත්‍යාගයක් පිරිනමන බව ප‍්‍රකාශ කරනවා. මෙම තරගයට ඉදිරිපත් වන  රොකට්නැමැති දුම්රිය ඇන්ජිම නිපදවූ “ජෝර්ජ් ස්ටීවන්සන්ට”  රොකට්නැමැති මේ දුම්රිය ඇන්ජිම මගින් කිලෝමීටර් 56 ක දුරක් පැය දෙකක් වැනි කාලයක් ඇතුළත ගමන් කර පෙන්වීමෙන් ජෝර්ජ් ස්ටීවන්සන් සහ ඔහුගේ පුත් රොබට් ස්ටීවන්සන් ප‍්‍රසිද්ධියට පත්වනවා .  ජෝර්ජ් ස්ටීවන්සන් ගෙන් ඇරඹුන කෝච්චියේ වංශ කතාව දහ නව වන ශතවර්ෂය වන විට ලොව පුරා ප්‍රචලිත ප්‍රවාහන මාර්ගයක් බවට පත්වනවා. 


 සුද්දන්ගේ  හිරු නොබසින  යටත් විජිතයේ රටින් රට ඔවුන්ගේ ලාභාංශ තරකර ගැණිම පිණිස   සංවර්ධණ කටයුතු සිදුවිය. මෙම සංවර්ධනයේ අතුරු පලයක් ලෙස දකුණු අප්‍රිකාවේ  දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට සුද්දො සැලසුම් කරනව.
මෙම සැලසුම අනුව ලන්ඩනයේ සමාගමකට කිලෝ මිටර් 100  ක පමණ දුම්රිය මගක්  ඇතුළු දුම්රිය පද්ධතියක් සැදීම සදහා ඇනවුමක් ලැබෙනවා . මෙම ඇනවුම සම්පුර්ණ කර   දකුණු අප්‍රිකාවේ ස්ථාන ගත කරන්නට ගිය විට අප්‍රිකාණුවෝ   සහ එවකට සිටි යටත් විජිත ආණ්ඩුකාරයා එම දුම්රිය මග ස්ථාපනය කිරීමට විරුද්ධ වෙනවා. අප්‍රිකාණුවන්  බලාපොරොත්තුවු යේ  පුළුල් අමාන දුම්රිය ව්‍යාපෘතියක්.  එහෙත් ඔවුන්ට ලැබුනේ   පටු අමාන දුම්රිය ව්‍යාපෘතියක්.   කර කියා ගත නොහැකිව අතරමංවු  ව්‍යාපෘතිය පසුව යටත් විජිත භාර ලේකම් වරයා සහ ලංකාවේ ආන්ඩුකාරයාගේ මැදිහත් වීමෙන් කැළණිවැලි දුම්රිය මාර්ගය ලෙස කොළඹ -රත්නපුර ඕපනායක දක්වා ඉදිවෙනවා.


1890 සැප්තැම්බර් මාසේ දෙවැනිදා තමයි කැලණිවැලි රේල්පාර හදන්න පටන්ගන්නේ. 1902 සැප්තැම්බර්  මාසේ 15 වෙනකොට පුංචි කෝච්චිය අවිස්සාවේල්ලට එනවා. ඊළඟට 1912 අපේ‍්‍රල් 18 වෙනකොට රත්නපුරේට එනවා. ඔන්න ඔහොම 1919 මැයි 2 වෙනකොට පුංචි කෝච්චිය  ගමනාන්තය වෙන ඕපනායකටම ආවා.  කැළණී වැලි  ( කැළණි මිටියාවත ) සුද්දන්ගේ වැවිලි ආර්ථිකය නිසා ඇතිවුන නමක්. ඔවුන්ගේ වැවිලි නිෂ්පාදන කොළඹ එන්න මේ දුම්රිය මාර්ගය බොහෝම ප්‍රයෝජනවත් වුනා. ඔවුන්ට ක්‍රියාශිලි මගී ගමනාගමන සේවාවක අවශ්‍යතාවයක් නොතිබෙන්න ඇති.
1919 මැයි මාසේ 02 දා ඉදන් ඕපනායකට ආපු පුංචි කෝච්චිය 1997  පමණ වන විට අවට ගියාට එන ගමනක් වී  වර්ෂ 1998 දිනක උදෑසන, සංචාරකයින් කණ්ඩායමක් සමග  ඕපනායක ඉදන් ආපසු කොළඹ ගියාට පස්සේ තාමත් ආපසු ආවේ නැහැ.
පැරණි කැළණිවැලි දුම්රිය මාර්ගයේ අවසාන දුම්රිය ස්ථානය ඕපනායක දුම්රිය ස්ථානයයි. වර්තමාණයේ ඕපනායක පොලිස් ස්ථානය මෙම ගොඩනැගිලි පරිශ්‍රයේ පිහිටා තිබේ. මෙම පින්තූර වලින් දැක්වෙන්නේ මෙම පරිශ්‍රය තුල පිහිටුවා සංරක්‍ෂණ කර ඇති 1901 වර්ෂයේ නිෂ්පාදිත බිම් තරාදියකි. එහි දර්ශක පුවරුව විනාශවී ඇති අතර අනෙක් රක්‍ෂිත කොටස් මෙම පොලිස් ස්ථාන බිමේදී ඔබට නැරඹීමට පහසුකම් සලස්වා ඇත.
ස්තුතිය - ඕපනායක පොලිසිය වෙත.
මම  පුංචි කෝච්චිය දකින්නේ පැල්මඩුල්ලේ ගන්කන්දේ ඉගනා ගන්නා කාලයේ.  ( එකල පැල්මඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය )  සති අන්තයට ගෙදර යන එන අතර වාරයේ. තනියෙන් ගමනක් බිමනක් යන්න හිතේ  වාරු නැති ඒ වයසේ පුංචි කෝච්චියේ සවාරියක් යන්න හේතුවාසනා තිබුනේ නෑ. බස් එකේ යන එන අතර වාරේ හුණුවල ඉදලා ඕපනායක දක්වා මහා මාර්ගයට සමාන්තරව පිහිටලා තියෙන කොටසේ මම ගිය බස් එකත් එක්ක ( ඒ කාලේ බසුත් දැන් වගේ කගවේනා පිම්මේ ගියේ නෑ ) ඉබි ගමනේ තරගයක ගියා මට මතකයි. 
“දවස පත්‍රයේ සති අන්ත පත්‍රය වුන රිවිදින පත්‍රයට චන්ද්‍රා අනගිරත්න කෝච්චි ගමන ගැන ලියපු කොළමක මේ වගේ කවියක් පළවෙනවා. පසු කාලෙක මේ කවිය ඕපනායක කෝච්චියේ ගමන ගැන හොද උදාහරනයක් වුනා.
“පුංචි කෝච්චිය යයි හරි වේගෙන් - පැය හතරට එක හැතැම්මේ වේගෙන්
කොල්ලයි කෙල්ලයි නැගුනම කොටුවෙන් - දරුවෙක් බිහිවෙයි ඕපනායකින්


කොළ හා රතු කොඩි ගාඩ් වනන්නේ - අනේ මුන්ට මොන දේශපාලනේ
ගනින් බෝතලේ යමන් මාතලේ - යකාට ගියදෙන් ටයිම් ටේබලේ....,...”

notes of imaginary