පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Showing posts with label රසකතා. Show all posts
Showing posts with label රසකතා. Show all posts

Saturday, March 16, 2024

හිලව්ව

Trash on white background 293769 Vector Art at Vecteezy
ගේ ඉදිරිපිට පාරෙන් නිරතුරු ඇසෙනා
සුපුරුදු හඬක් විය පීකරයෙන් කියනා
පොල්කටු පොල්මැඬිද අප ඉවතට දමනා
මිලකට ගන්නවලු නොම අදහන වටිනා
පත්තර පරණ පොත් හා යකඩද තිබෙන
වත්තට පැමිණ බැලුවේ කොලුවෙකි තරුණ
තිස්සෙම නැතත් ඉඳහිට දවසක රැගෙන
දුන්නා අතට මුදලක් බිරිඳට ඔබින
මේ ලෙස ගෙවෙන විට කාලය නොදැනීම
බිරිඳගෙ සිරිත විය උදයෙහි අතුගෑම
පොල්කටු ලොරිය දැක මිදුලෙහි ගැවසීම
මගෙ ඇසගැටුනෙ නැහැ කරුමය පලදීම
මෙච්චර ඉවතලන දේ නිතරම පිරුනේ
කොයිලෙසකින්ද නිකමටවත් නෑ හිතුනේ
ළංවන විටදි රිය ඒ දෙසටම ඇදුනේ
ලස්සන මලක් මෙනි ඇගෙ මුහුණම පිපුනේ
දිනකදි පුරුදු ලෙස පැමිණෙන කල ලොරිය
එළියට ඇවිත් වටපිට බැලුවා බිරිය
මහලොකු මල්ලකුත් පටවා ගෙන දිරිය
අසුනට ගොඩවුනා අයියෝ වුන හරිය
ඇදිලා යන ගමන් ලොරියෙන් හිස පෙව්වා
මා දෙස බලබලා ඈ මා වෙත රැව්වා
"අහපන් මචං" මම උන් පස්සෙන් දිව්වා
"ප්ලාස්ටික් බේසමක්වත් දීපන්" කිව්වා
පී. ජී. ආරියපාල


A day in the life

Saturday, March 09, 2024

“ක්‍රිටෝ ! අපි අස්ක්ලිපියෝස්ට කුකුළෙක් ණයයි.

සොක්රටීස්ගේ මරණය (The Death of Socrates) නමැති සිතුවම ගැන යමක් නො ලියන්නේ මන් දැයි සාහිත්ය ක්ෂේත්රයට සම්බන්ධ ජ්යෙෂ්ඨයෝ දෙදෙනෙක් අහඹු ලෙස එකම දිනකදී මගෙන් ඇසූහ. ඉන් එක් අයෙකු තම සයනයට යාබද බිත්තිය ද සරසාගෙන ඇත්තේ මේ සිතුවමේ විශාල ප්රමාණයේ පිටපතකිනි.

 


සොක්රටීස්ගේ ජීවිතය සහ දාර්ශනික විශිෂ්ටත්වය සම්බන්ධයෙන් පවත්නා ඇතැම් තොරතුරු සහ ප්රවාදයන් විවිධ මතභේදයන්ට ලක් වුව ද, ඔහුගේ චරිතය පිළිබඳ සියලු මූලාශ්රයන් වෙතින් පළ වන ප්රතිපත්තිගරුකභාවය නම් විශිෂ්ට මානව ගති ස්වභාවය කිසිසේත්ම බැහැර කළ නොහැක්කකි. බටහිර දර්ශනයේ පීතෘවරයෙකු ලෙස සැලකෙන සොක්රටීස් (ක්රි.පූ.470-399) ඇතැන්ස් නුවර කේන්ද්ර කර ගත් පැරණි ග්රීසියේ ජීවත් වූ අද්විතීය නිදහස් චින්තකයා බව අපි දනිමු.

 

දර්ශනයේ (Moral Philosophy) සදාතන වීරයා වන ඔහුගේ දර්ශනවාදය පදනම් වූයේ සාකච්ඡා සහ වාදවිවාදාදිය මත ය. නිවැරදි හෝ සාවද්ය පැවතුම් මොනවා ද යන කරුණ මූලික කොටගත් ඔහුගේ ප්රශ්න කිරීම් ක්රමය, සත්යය පිළිබඳ සංකල්ප පාදා ගැනීමේ, තහවුරු කිරීමේ සහ නිර්දේශ කිරීමේ අපේක්ෂාවන් මුල් කොට ගත්තකි.
මානව වර්ගයාට හිමිව ඇති චින්තන ශක්යතාව, සත්යය විමසා බලා තමන් ම ඥාණනය වීමට යොදා ගත යුතු බවත්, තමන්ට කවර හානියක් සිදු වුවත්, හරි වැරැද්ද නොසලකන මානසික වහල් භාවයකට මිනිසා පත් නොවිය යුතු බවත් සොක්රටීස් ලොවට කියා පෑවේ ය. ඔහු කිසිදු ග්රන්ථයක් තබා එකදු අකුරක්වත් ලියා නැත. ඔහුගේ දර්ශනය ලේඛනගත කරන ලද්දේ ප්ලෝටෝ, සෙනොෆොන් ආදී ශිෂ්යයන් විසිනි. ප්ලේටෝට අනුව සොක්රටීස් යනු ‘සිය දෂ්ටයෙන් ඇතැන්ස් සමාජය නමැති අශ්වයා කුලප්පු කළ ඇට මැස්සා (Gadfly) ය’. බුද්ධිමතුන් ලෙස පෙනී සිටින්නන්, සැබැවින්ම ඉතා ස්වල්පයක් පමණක් දන්නා අඥාණයන් බව සිය වාදයන් මගින් සනාථ කළ සොක්රටීස් ජීවිතය සහ සදාචාරය පිළිබඳව එකිනෙකා දරන මතවාද පරිධියේ පවතින බැවින්, සත්යය සොයා කේන්ද්රයට ගමන් කළ යුතු බව යෝජනා කළේ ය. “සැබෑ ඥාණය නම් තමා නොදන්නා බව දැන ගැනීම ය” යන ඔහුගේ ව්යක්ත ප්රකාශයෙහි අඩංගු වන්නේ එකී දර්ශනය නොවේ ද?
‘කාර්යබහුලත්වය නමැති නිශ්ඵල කරදරයෙන් ප්රවේශම් වන ලෙස’ උපදෙස් දුන් සොක්රටීස්, ‘නොවටිනා මිනිසුන් කෑමට සහ බීමට පමණක් ජීවත් වන බවත්, වටිනා මිනිසුන් ජීවත්වීම සඳහා පමණක් කෑම බීම ගන්නා බවත්’ පැවසී ය.

 

හෙතෙම මිය යන තෙක් ම සිදු කළේ ජනතාවගේ ආකල්ප වර්ධනය කිරීමයි. මරණයට මොහොතකට පෙර පවා ඔහු සිය ශිෂ්යයන් අමතා උපදෙස් දෙන අයුර අපගේ පාදක සිතුවමෙන් පිළිබිඹු වේ. බලන්න! තවත් මොහොතකින් හැම්ලොක් විෂ බඳුන පානය කර මිය යන්නට නියමිත පුද්ගලයාගේ අභීත ආස්ථානයත්, ප්ලේටෝ, ක්රිටෝ ඇතුළු ඔහුගේ ශිෂ්යයන්ගේ ශෝකබරිත කම්පාවත් තුළ කිව යුතු සියල්ල අන්තර්ගත ය.
ජාකොස්-ලුවිස් ඩේවිඩ් නම් ප්රකට ප්රංශ සිත්තරා ගේ තෙළිතුඩින් 1787 වසරේදී නිර්මාණය වූ මේ සිතුවම, ඔහුගේ බොහෝ නිර්මාණ සේ ම අතිශයින් නිර්මාණශීලී එකකි. දීප්ත වර්ණයන් සිතුවමේ මධ්යයට රැස් කරන අතර සොක්රටීස් සහ ප්ලේටෝ ඇඟ ලා සිටින සළු පමණක් ඊයම් සුදෙන් වර්ණ ගැන්වී ඇත. පිටුපසින් ආරුක්කුවට හිස තබා වැලපෙන්නේ ශෝකය දරා ගත නොහැක්කෙකු ලෙස නම් කර සොක්රටීස් විසින් බැහැර යවන ලද්දෙකි. ශිෂ්යයන්ගේ ඉරියව්වලින් නික්මෙන, දාර්ශනික වීරයාගේ මරණයේ ශෝකය සිතුවමේ කොන් කරා ඇදී යයි. එහෙත් මධ්යය ආලෝකවත් වී ඇත්තේ සිංහ සෙයියාවෙන් මරණයට අභියෝග කරන ගුරුතුමාගේ ස්ථිරසාර බැල්මෙනි.

 

අමුතු දෙවිවරුන් හඳුන්වා දෙමින් ඇතැන්ස් නුවර යෞවනයන් නොමග යවන බවට චෝදනා ලැබූ සොක්රටීස්ට නඩු විභාගයකින් පසු මරණ දඬුවම නියම කෙරේ. වැරදිකරු කිරීමෙන් පසු තමාට හිමි විය යුතු දඬුවම යෝජනා කරන්නැයි සොක්රටීස්ට පැවසූ විට ‘තමාට හොඳ වැටුපක් ද, දිනපතා රාත්රී භෝජන සංග්රහයන් ද ලබා දී රජය විසින් මිය යන තුරු තමාව පෝෂණය කළ යුතු බව’ ඔහු උපහාසයෙන් පැවසූ බව සඳහන් ය. මරණ දඬුවමට පෙර භටයින්ට අල්ලස් දී සොක්රටීස්ව සිරගෙයින් පිට කිරීමට අනුගාමිකයන් කළ යෝජනාව ඔහු විසින් ප්රතික්ෂේප කිරීමට හේතු වූ කරුණු ප්ලේටෝගේ ‘ක්රිටෝ’ නමැති සංවාදයේ අන්තර්ගත වේ. සැබෑ දාර්ශනිකයා මරණයට බිය නැත්තෙකු බව ඔප්පු කිරීම, තමා පළා ගියහොත් සිය අනුගාමිකයන්ට දඬුවම් විඳින්නට සිදු වීම, පුරවැසියෙකු ලෙස තම රාජ්යය සමග ඇති ‘සමාජ ගිවිසුම’ කඩ කිරීමට අකමැති වීම යනාදී කරුණු එහිදී විග්රහ කෙරෙයි.
මේ සිතුවමේ නිරූපනය වන අවස්ථාවෙන් ඉක්බිතිව සිදුවනුයේ මෙයයි. හැම්ලොක් බඳුන පානය කළ සොක්රටීස් හට, විෂ ක්රියාත්මක වී දෙපා හිරිවට්ටන තුරු ඇවිදින ලෙස අණ කෙරිණි. ඔහු ඇද වැටුණු පසුව නිලධාරීහු ඔහුගේ පාදවලට කටුවලින් ඇන පරීක්ෂා කළහ. ඒවා සම්පූර්ණයෙන් හිරි වැටී තිබූ අතර ක්රමයෙන් ඒ හිරිය සිරුරේ ඉහළට පැතිරී, ඔහුගේ හදවත ද වසා ගත්තේ ය.
සොක්රටීස්ගේ අවසන් වචනවලින් පවා පැහැදිලි වනුයේ ඔහු කෙතරම් ප්රතිපත්තිගරුක මිනිසෙකු ද යන්නයි.
“ක්රිටෝ ! අපි අස්ක්ලිපියෝස්ට කුකුළෙක් ණයයි. අමතක නොකර එය පියවන්නට ඕනෑ”

ලක්ශාන්ත අතුකෝරල




A day in the life

Tuesday, February 27, 2024

අහිමි මුල මැද අග



අහලා බලමු අපේ ලස්සන ජන කතාවක්.
ඉස්සර කාලේ ගම් වල තිබුනේ කෘෂිකර්මය මුල් වුන ආර්ථික ක්රමයක්නේ.ගමේ ගොඩක් අය කලේ භෝග ජාති වගා කරන එක තමයි.මේ ගමේ ගමරාලත් එහෙමයි.
මඩ ගොවිතැන් ඉවර වෙලා ඊළඟ එන වැහි කාලේ ගොඩ ගොවිතැනක් කරන්න ඕන කියලා ගමරාළට හිතුනා. ඒ හේන කොටන්න යනකොට දිග කැත්තකුත් අරගෙන තමයි මේ ගමරා‍‍‍ළ ගියේ. හේන මැද්දෙ මහ විසාල කහට ගහක් තිබුණ. අර දිග කැත්තෙන් ගමරාළ කහට ගහේ අතු පාහින්න පටන් ගත්ත. ඔන්න කහට ගහේ අතු පාහිනකොට මේ ගහේ හිටපු යකා ගමරාළත් එක්ක කතා කරන්න පටන් ගත්තා.
"පරම්පරා ගන්නක ඉඳන් මේ ගහ අයිති මට.ඉතින් උඹ මොකටද මට අයිති ගහේ අතු පාහින්නේ?"
-හෑ..උඹ මාර කතාවක්නේ කියන්නේ..මේක උඹට ගිය රට.මම මේ වගාවක් කරන්නයි මේ කැලේ එළි කරන්නේ.
මෙහෙම කතාව දිගින් දිගටම ගියා.අන්තිමට යකා කියපි.හරි මම මේ ඉඩමේ උඹට වගා දිගා කරගන්න අවස්ථාවක් දෙන්නම් හැබැයි මට අස්වැන්නෙන් භාගයක් ඕන කියලා.
"මේ සැරේ අස්වැන්නෙන් මුල උඹට උඩ මට" යකා කිව්වා.
ගමරාළ මේ කතාව හොඳට හිතට ගත්තා.අරගෙන බතල වගා කලා හේනේ.හේන පුරා බතල සරුවට වැවුනා.
පොරොන්දුව වගේම ගම මහත්තයා උඩ හැදුනු වැල් ටික තියලා බතල ටික සේරම ගලවගෙන ගියා.
ඇයි ඉතින් පොරොන්දුව පොරොන්දුවම නේ.
ඔන්න ඉතින් ඊළඟ පෑවිල්ලත් ආවා.
යකාට මතකයි ගිය පාර තමන්ට වුන ඇබැද්දිය
"ගමරාල මේ පාර මුල මට උඩ උඹට"
ගමරාළ මේ පාර වගා කලේ කුරක්කන්.ගිය පාර වගේම මේ පාරත් තමන් ගමරාලගේ ගැටේට අහුවුනා කියලා යකා දැනගත්තේ කුරක්කන් ඔක්කොම කපලා මුල්ටික විතරක් ඉතුරු කරලා ගියාට පස්සේ.
හැමදාම මම මේ ගමරාළට පැරදුනා.දෙන්නම් මේ පාර වැඩක් කියලා හිතපු යකා "ගමරාළ මීට පස්සේ මුලත් මට උඩත් මට උඹට ඕන නම් මැද්ද දෙන්නම්"කියලා කිව්වා
ගමරාළ “හාඃ හොඳයි...” කියල ඒ පාර පැණි කොමඩු හිටෙව්ව. පැණි කොමඩු වල ගෙඩි හැදෙන්නෙ වැලේ මැද හරියෙ නිසා ඒ කන්නෙදිත් ගමරාළට කිසි පාඩුවක් උනේ නෑ.
අන්තිමට පරාජය භාර ගත්ත යකා හේනේ තිබුන ගහ දාලා යන්නම ගියා.
සම්පූර්ණ කතාව උපුටාගැනීමකි.

 ස්තුතියි

DA Malanie

 මුල්හිමිකාරිත්වයට





A day in the life

Thursday, February 08, 2024

ඇන් ඇක්සිඩන්ටයක්


කමල් පී අලහකොන් - මුණුපොත.

ඊයේ "ඇන් ඇක්සිඩන්ටයක්" සිදුවිය.
අප ගිය වාහනයට අතුරු පාරකින් දැම්ම ත්රීරෝද කරුවෙක් ඇන්නේය.
"ඇන් ඇක්සිඩන්ටයක්"කීවේ ඒ නිසා නොවේ ය.
"ඇක්සිඩන්ට් යන්න පටන් ගන්නේ "වවල්ස්"එකකින් නිසා ය.
අපේ,වාහනයට ටිකක් ඩැමේජ් ය.
මම වාහන නොඑළවමි.
නමුත් හන්දියකින් වාහනයක් හරවන එක ගැන නියමෙට දනිමි.
ඒ පාඩම මට ඉගැන්වූයේ බස් ඩ්රයිවර් කෙනෙකි..
ඒ "ලැක්ට්රෝජන් බේබී"ය..
මහනුවර යාපනේ බස් එක ය.
තාර කළු පාට,තඩි මිනිහෙකු වූ ඔහුගේ මුහුණේ ඉරියවු මට තාම මතක ය..
පත මූණ ය.
ඇස් දෙක යකෙකුගේ වගේ ය.
බුලත් වලට කට රතුම රතු පාටය.
ඒ ගැටවර සමයයි.
තාත්තා මට බයිසිකලයක් ඇරන් දුන්නේ ය.
එතකොට මට දැනුනේ තටු ලැබුණා වගේ ය.
එදා ඉස්කෝලෙ ඇරී ඇවිත් හනි හනික බත් පිඟාන ගිල දමා
බයිසිකලයට නැග්ගේ නාගොල්ලේ
තිස්සයියලාගේ ගෙදර මිදුලේ ක්රිකට් ගසන්නට යන්නට ය.
මහ පාරේ පිඹගෙන ගොස් නාගොල්ල හන්දියෙන් හැරෙවුවේ
කණ බිම ගෑවෙන ගානට ය.
ඊ ලඟට මතක මහා සද්දයකි.
බයිසිකලේ,ඇළේ,ය..
මම මුණින් අතට පාර අයිනේ ය.
දූවිලි අතරින් මට සී.ටී.බී බස් එක පෙනේ.
ලැක්ට්රෝජන් බේබි මට මෙසේ කීවේ,ය.
"ඒයි වේසිගෙ කොල්ලා.
තොපෙ අම්මට කියපිය දරුවො වැඩිනං
පන්සලට දෙන්ට කියලා.
ප......යා!"
කියූ ඔහු බස්එක උගුලුවා ගෙන ගියේ,ය.
පයින් යතත් අදත් හන්දියකින් හැරෙන විට මට
ලැක්ට්රෝජන් බේබි මතක් වේ!

අන්න ගුරුවරු!


A day in the life

Friday, January 26, 2024

මගේ වැඩේ ඉවර කරලාද බන්















පොඩ්ඩේ සීයා නැති උනේ හරියටම අවුරුදු අසූ පහකින් මට අද වගේ මතකයි ඒ වෙලාවේ ලග හිටියේ මම නිසා මැරිලා මල් ශාලාවටත් දාලා තමයි මම ගෙදරට පණිවුඩය දුන්නේ මාත් දවස් කිහිපයක්ම රෝහලේ හිටපු නිසා මල් ශාලාවට පස්සේ යනවා කියලා ගෙදර ඇවිත් නා ගන්නකොටම චුට්ටේ සීයා ආවා පොඩ්ඩේ සීයායි චුට්ටේ සීයායි කියන්නේ නිවුන්නු මොනා උනත් චුට්ටේ සීයා හෙනම අවුලෙන් හිටියේ ඒක මට හොදටම තේරුණා
'සිරිලෝ මගේ වැඩේ ඉවර කරලාද බන්'
චුට්ටේ සීයා හැම වෙලාවෙම එහෙම තමයි කතා කරන්නේ එයා කාගේ වැඩක් උනත් ඕනම දේකදී මගේ කියන වචනේ දාලා කතා කරන්නේ අනික් උන්ටනම් බයිලා වගේ ඒත් ඉතින් පවුලේ අයටනම් තේරෙනවා සීයා අහන්නේ මොකක්ද කියලා .
දැන් උනත් සීයා "මගේ වැඩේ ඉවර කරලාද බන් " කියලා ඇහැව්වේ පොඩ්ඩේ සීයාගේ මිනිය ගේන්න පුලුවන්ද කියලා දැනගන්න
ඒ දවස් වල තමයි ඔය කලර් ප්රින්ට් බැනර් ආපු මුල් කාලේ මල්ශාලාව ළඟ එකක් තිබ්බ නිසාම මම ගෙදර ආවෙත් පොඩ්ඩේ සීයාගේ පොටෝ එකක් අරන් යන්න ප්රින්ට් එකක් ගන්න තනියම යන්නම් කියලා කිව්වට මොකො චුට්ටේ සීයා මල් ශාලාවට යන්නම ඕන කියලා කියපු නිසා වීල් එකක දාගෙන එක්ක ගියා මොනා උනත් එක බඩවැල කඩාගෙන ආපු තමන්ගේම නිවුන් සහෝදරයානේ පට්ටම දුකක් ඇති මල් ශාලාවෙත් එම්බාම් කරණ මහතුන් මාමාව මම කාලයක් තිස්සේ දන්න නිසාම වැඩිය අවුලක් උනේ නෑ ඒ වැඩ ටික කරගන්න ඒත් එක දිගට දවස් ගාණක් නිදි මරපු නිසාම පහල තේ කඩේට යන්නම් කියලා චුට්ටේ සීයා මිනිය පටවන වෑන් එක ගාව තියලා
" චුට්ටේ සීයා මම පොඩ්ඩේ සීයාගේ පොටෝ එක එහා පැත්තේ කඩේට දීලා එන්නම් බැනර් එක ගහන්න මම තේ එකකුත් බීලම එන්නම් ඔයත් එනවද නැත්තම් "
කමක් නෑ සිරිලෝ මගේ වැඩේ ඉවර කරගෙන එන්නම්
චුට්ටේ සීයා දන්නවා මම සිගරට් එකක් බොන්න යන බව ඒක නිසාම එන්න බෑ කියන්න ඇති මල් ශාලාවෙන් එලියට ඇවිල්ලා එහා පැත්තේ උඩ තට්ටුවේ බැනර් ගහන තැනට ගිහින් චුට්ටේ සීයාගේ පොටෝ එකකුත් දීලා පහලට ආවා තේ කඩේ තිබුණේ බැනර් ගහන තැනට කඩ තුනක විතර දුර තේ කඩේට ගිහින් දුමක් අරගෙන කඩේ පිටිපස්සට ගිහින් පාරවල් දෙකක් විතර අදිනකොට බැනර් ගහන තැන එකා බුදු අම්මෝ කියාගෙන උඩ තට්ටුවේ ජනේලයේ වීදුරුවත් කඩාගෙන බිමට පැනපු පාර දුමක් දාගෙන හිටපු දෙතුන්දෙනාම ඒ පැත්තට දිව්වා
බැනර් ගහන තැන කොල්ලා පැනපු පාර කකුල ඇමෙට් වෙලා වෙලාවට කැඩිලා නෑ අපි දෙතුන් දෙනාම ඌට කිට්ටු කරලා උස්සලා ගත්තා විතරයි මූ එතකොටත් දාඩියෙන් පෙගිලා වගේ හිටියේ
මොකද යකෝ හොල්මනක් දැක්කා වගේ බයවෙලා තෝ මම එහෙම අහනකොටත් මේකා තොල්පොටවල් වලින් මතුරනවා වගේ
ත.. තමුසේ බැනර් එක ගහන්න ගෙනල්ලා දිපු පොටෝ එකේ හිටපු වයසක මිනිහගේ හොල්මන එක පාරම මයේ ඉස්සරහින් මතු ..... කියනකොටම චුට්ටේ සීයාත් එතැනට ආවා බැනර් ගහපු එකා ආපහු චුට්ටේ සීයා දකිනකොටම සිහිනැතිව ගියා උනේ මොකක්ද කියලා මට තේරුණා හිටපු දෙන්නා තුන්දෙනා බැනර් ගහන එකාව උස්සන් ගිහින් තේ කඩේ බංකුවක හාන්සිකරලා මම චුට්ටේ සීයා එක්ක මල් ශාලාව පැත්තට එන ගමන් වැඩි හොදටත් එක්ක මොකද උනේ ඇහැව්වා
" චුට්ටේ සීයා මොකෝ උනේ ඔයාට මම වෑන් එක ගාවනේ ඉන්න කිව්වේ කියලා "
හිටියා බන් බැරිම තැන එම්බාම් කොරණ තැනට ගිහින් උගෙන් ඇහැව්වා "මයේ වැඩේ ඉවරද කියලා" ඒක මයේ දිහා කන්න වගේ බලන් ඉදලා බිම පත බෑවුනා කියපන්කෝ දෙපාරක් විතර කතා කොරා හා හූවක් නැති නිසා උබ බැනර් ගහන තැන ඇති කියලා එතැනට ගියා බැනර් එක සෝක් එකට තිබුණා මයේ එකා පණ පිටින් වගේ මම ඉතින් උගෙන් ඇහැව්වා පුතේ "මයේ වැඩේ ඉවර කරාද කියලා" ඒකා උත්තර දෙන්නේ නැතිව අම්මව මතක් කොරාන බැනර් එකත් බිම දලා අර වීදුරු ජනේලයත් කඩාගෙන බිමට පැන්නා කියපන්කෝ
හිනා වෙවී අහගෙන හිටියට පස්සෙනේ මතක් උනේ මහතුන් මාමා
තකහනියම එම්බාම් කාමරේට ගිහින් බැලින්නම් මහතුන් මාමට තාමත් සිහිය නෑ වතුර ටිකක් මූණට ඉහලා සිහිය අරගෙන සැබෑවටම පොඩ්ඩේ සීයා සහ චුට්ටේ සීයා ගැන විස්තරේ කියලා පොඩ්ඩේ සීයාගේ බොඩියේ වැඩ ටික පිළිවෙළක් කරාන ගෙදර ගෙනාවා හැම දේම හොදට උනත් පොඩ්ඩේ සියා භූමිදානේ කරලා හත් දවස යන්න කලියෙන් චුට්ටේ සීයත් නැති උනා බැනර් එකේ මරණ දිනේ විතරක් වෙනස් කරලා එහෙම්ම තිබ්බා සමහර විට නිවුන්නු ඉපදෙන්නෙම එකට යන්නම වෙන්න ඇති.
අයිති නැති අකුරු. අඩයාලම
A day in the life

Tuesday, January 23, 2024

කුණුහරුපෙට පෑනෙන් ඇන්නා

notes of imaginary "

 

















බණ්ඩා, උක්කුවා, සිවලිංගම්,
කාදර්...
මුන් ටික හතරෙ පන්තිය කෙරුවා
චාටර්...
තීරණයක් අරන් විදුහල්පති
පීටර්...
දැම්මා උන් හදන්නට 'මොළගොඩ' ටීචර්...

"අද සිට මටයි උඹලගෙ පන්තිය බාර...
කෙරුවොත් වැරදි, දෙනවා
වේවැල් පාර...
හතරේ ඉන්න ජඩ, නරි
පැටවුනි මාර...
හදනව නැතොත් මකනව
එකෙකුන් නෑර..."

"පළවෙනි පාඩමට 'පරිසරයයි
ගන්නේ...
ඕන ම ගැටලුවක් ඇතිනම්
විමසන්නේ...
අපි පරිසරය ගැන දැනගත
යුතු වන්නේ...
බැරි දේ කියාදෙන්නයි ගුරුවරු ඉන්නේ..."

හතරේ වුණත්, ඒ පැටවුන්
යක්කු වුණේ...
පළවෙනි පැනය විමසන්නේ
උක්කුවනේ...
"ගැහැනුන් හා පිරිමි මැවුවේ
මොක්කු අනේ...?
පිරිමින් හට මොකට, කිරි නැති කුක්කු තනේ...?"

ඇරඹෙනකොට ම පැන විමසුම
මුල හරිය...
සිවලිංගම්ගෙ පැනයත් පිළිතුරු
බැරි ය...
"බඩ මැද 'සින්න ඉල්ලෙයි' හිලකි ය, 'පෙරිය'...
මොකටද ටීච, මැවුවේ ෂාමියො
බුරිය...?"

ඊළඟ පැනය විමසයි කෙළවර
බණ්ඩා...
ඒකා තමයි කොල්ලන් අතරින්
දණ්ඩා...
හූනා වගේ හිටියට මහ
ඇනකොන්ඩා...
"ඇයි පිරිමින්ට විතරක් මැවුවේ ජු..............?"

'මොළගොඩ' ටීච පිළිතුරු බැරුවයි
උන්නේ...
බේරෙන මගක් නෑ උගුලෙන් ළමයින්නේ...
"යකුනේ, තොපි නරක වචනයි
දොඩවන්නේ...
දැනගනියවු !! තොපිට මම
දඬුවම් දෙන්නේ..."

"මම ගිය වෙලාවෙදි අද
ටොයිලට් එකට...
පස්සෙන් ඇවිත් උක්කුව අඩියට දෙකට...
සත්තයි ටීච, ගැහුවා
කකුළෙන්  පු............
හතරේ පන්තියට මුන් වගෙ උන් මොකට..?"

"තව කියනවද බොල, තොපි ඔය කැත වචන...?
ඕවා කුණුහරුප බව
ඉන්නේ නොදැන...
දණගහපියවු !! අවුවේ
ඩාදිය දමන...
හිටපිය ගිහින් එන්නම් වේවැල රැගෙන..."

කාදර් නැගිට පන්තියෙ පිටුපස ඉන්නා...
දන්නා බසින් ටීචට පිළිතුරු
දුන්නා...
"මං 'කුණුහපර' නොකියා පාඩුවෙ උන්නා...
මූ මගෙ 'කුණුහපරය'ට පෑනෙන් ඇන්නා..."

සැරවැර වෙන්න හැදුවට
මොළගොඩ ටීචර්...
ඒවා බොරු ය, හතරේ
පන්තිය චාටර්...
පන්තියෙ නොසණ්ඩාලයො
දැම්මෙම යෝකර්...
වෙන පන්තියක් දුන්නා
ටීචට පීටර්...🫢🫢
------------------------------------------------
-ප්‍රියංජිත් බාලසූරිය
 (2024.01.22)

Wednesday, January 17, 2024

ඔන්ලයින් ප්‍රේමයක්...

අත්දැකීමක් හෙම නෙවෙයි.. පරිකල්පනයක් පමණයි








සැරිසරන අතරතුර
ෆේස්බුක් පිටුවේ
ඇඩ් ෆ්රෙන්ඩ් තීරුවේ
නුඹේ රුව දුටුවේ
සත්තමයි මගෙ හිතේ
විදුලියක් කෙටුවේ
දෙපාරක් නොහිතාම
රික්වෙස්ට් කෙරුවේ
ඇක්සෙප්ට් කළේ නුඹ
වැඩි දිනක් නොයවා
ලයික් හා කමෙන්ට්ස් දී
පෝස්ට් ටික කියවා
දෙන්නාම මේ ලෙසින්
එකක් නොවරදවා
ලව් ඉමෝජිය යොදා
පෙමට මුල පිරුවා
කොළ එළිය දැල්වෙද්දි
ස්ක්රීන් මතුයේ
හායි කියලා දිනක්
මැසෙන්ජර් දැමුයේ
හාර්ට් වරුසාවකිනි
පිළිතුරක් ලැබුයේ
එයින් පසු ඇරඹුණේ
අපේ පෙම බුකියේ
නුඹේ ප්රොෆයිල් එකේ
ලස්සනට තිබුණූ
ෆොටෝ අතරින් එකක්
ඩවුන්ලෝඩ් කෙරුනූ
දිවාරෑ එකලෙසින්
හිතින් පෙම් පිරුණූ
ස්ක්රීන් එකට ගෙන
කළේ වැඩිදියුණූ
හේතුවක් නොමැතිවම
ප්රතිචාර අඩුවී
ඔන්ලයින් ආවාම
ගියේ නුඹ සැඟවී
ෆ්රෙන්ඩ් කෙනෙක් ලෙසින්වත්
නොතබාම දැඩිවී
බ්ලොක් කළේ ඇයිද මා
වරද නැත හෙළිවී
දුකක් දැනුනත් හිතට
නුඹ ඩිලීට් කරලා
රීසයිකල් බින් යැව්වෙ
දෙපාරක් හිතලා
සදහටම මකන්නට
එතැනිනුත් යවලා
බැරිව ලතවෙමි තවම
ඇඟිලිතුඩු ඔබලා
පී. ජී. ආරියපාල

න්තර්ජාලය අසල්වාසීන්ගෙන් අප දුරස්කර ඈත ඈත නොහදුනන මිතුරු සමූහයක් අප දෑත මතට ගෙනවිත් ඇත. පර්චස් දහයේ ඉඩමේ කොටු පවුරු බැද එ් තුල සිරවු ජනී ජනයා  හට අසල්වාසී සබදකම් වියකී අන්තර්ජාල සම්බන්ධතා සංවර්ධනය වන යුගයක  නොයෙකුත්  ඇබැද්දී වලටද මුහුන දෙන අවස්ථාද නැතිවාද  නොවේ.

මුදල්  පොලියට දෙන්නෝද    භාණ්ඩ අලවි කරන්නොද  ජනී ජනයා රවටන අවස්ථා සුලභය.

 මානව සම්බන්ධතා නන්නත්තාර කර විනෝද වන සමහර උදවිය දේශපාලන ප්රචාරනයේදී තමන් දරන අදහස් නොදරන න් සියල්ලෝම නිර්ධය ලෙස පාච්චල් කරන අන්දම ඉතාමත් කනගාටුදායකය.

 මේ පූර්විකාවට අදාල නොවුවත්  මේ  නිර්මාණය කියන්නේද  අන්තර්ජාලය විසින් කරනු ලබන එක් විනෝද ක්රියාවයක්  පිලිබදවය


notes of imaginary

Tuesday, January 16, 2024

වැද්දාට රැවටුණු සුද්දා



දහ අට වංගුව.


ලංකාවේ තියෙන පාරවල් අතුරින් ඉතා විශේෂත්වයක් ගන්නා එක් මාර්ගයක් ගැන තමයි මේ කියන්න යන්නේ. සංචාරකයන් පවා ලංකාවට ආවොත් මේ දහඅට වංගුව අමතක කරන්නේ නැහැ. මොකද එහි ඒ තරම් සුවිශේෂීත්වයක් එහි ගැබ් වෙලා තියෙන නිසා. ලංකාවේ තියෙන A ශ්රේණියේ මාර්ග අතුරින් හැමෝම යන්න කැමති පාරවල් දෙකක් තියෙනවා. එයින් එකක් තමයි මහනුවර ඉඳලා යාපනයට යන A 9 මාර්ගය. අනිත් මාර්ගය තමයි මහනුවර ඉඳලා මහියංගනයට යන A 26 මාර්ගය. මේ මර්ගයේ තමයි අද අපි කතා කරන වංගු 18 තියෙන්නේ.
මෙහි ප්රපාතාකාර වැලමිට වංගු 18 ක් ඇති නිසා මේ මාර්ගයේ එක් වතාවක් පමණක් ගමන් කර ඇති අයෙක්ට වුණත් ඒ ගමන නම් කිසිදාක අමතක වෙන්නේ නැහැ.උඩුදුම්බර පොලිස් බල ප්රදේශයෙන් ඇරඹෙන දහ අට වංගුව අවසන් වෙන්නේ හසලක පොලිස් බල ප්රදේශයෙන්.ඉතින් කඳුකර ප්රදේශවල පහසුවෙන්ම මහියංගණයට ළඟා වෙන්න පුළුවන් පහසු මාර්ග සකසන්නට හැකියාව තිබුණත් මේ වගේ අසීරු මාර්ගයක් හදපු එක ගැන සොයන්නම වෙනවා. ඉතින් ඒ සඳහා මේ වංගුවේ අතීත කතාව සොයා බලන්නට වෙනවා.
අද වෙද්දි වංගු 17 ක් පමණක් දකින්නට ඇති දහ අට වංගුවේ අතීත කතාව ගැන විමසන්නටයි මේ සූදානම. මීට වසර ගණනාවකට කලින් යුරෝපීය ජාතීන් ලංකාව පැමිණිලා ලංකාවේ පාලනය ඔවුන් යටතට ගන්නට කටයුතු කළා. ඒ අතුරින් පෘතුගිසීන්ට ලන්දේසීන්ට නොහැකි වුණු කාර්යය ඉංග්රීසීන් විසින් සිදු කළා. ඉතින් ඉංග්රීසීන් ලංකාව යටත් විජිතයක් බවට පත් කර ගත් පසුව වතු වගාව ආරම්භ කරන්නට මුල් පිරුවා. තේ. රබර්, කෝපි ,සිංකෝනා ආදී මෙකී නොකී වගාවන් ව්යාප්ත කරන්නට කටයුතු කළා. ඒ වතු වගාව කඳුකරයේ ශීඝ්රයෙන් පැතිරිලා ගියා. ඒ අතරෙ යුරෝපීයන්ට තමන්ගේ නිෂ්පාදන ද්රව්ය කොළඹට අරගෙන යන්නට අවශ්ය වුණා. ඒ නිසා මාර්ග පද්ධතියක අවශ්යතාවය ඔවුන්ට දැණුනා. කොළඹ සිට මහනුවරට මාර්ගයක් සකස් කරන්නේ ඒ නිසාවෙන්.
නමුත් මේ අතරෙ දි ටොරින්ටන් සාමිවරයාගේ 1848 දී නව බදු ප්රතිපත්ති පැනවීම නිසා උඩරට කැරැල්ලක් නිර්මාණය වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔය අතරෙ 1850 දී පමණ හුන්නස්ගිරි පළාතෙත් තේ වගේම එනසාල් වගාවත් ආරම්භ වෙනවා. මේ හේතු නිසාම බ්රිතාන්යයන් මහනුවරින් මාර්ග නිර්මාණය කිරීම නතර කරන්න නොහැකි බව තේරුම් අරගෙන උඩුදුම්බර දක්වාම පාරවල් හැදුණා. ඒත් ඉතින් පාරවල් හදන එක ගැන වැඩි අවබෝධයක් ඉංග්රීසි ජාතිකයන්ට තිබුණේ නැති නිසා ඔවුන් මේ සඳහා පළාතේ ජනතාවගේ අදහස් දැන ගන්නට කටයුතු කළා.
එකල උඩුදුම්බර ගමේ ප්රධානීන් 4 දෙනෙක් වුණු ගම්පහ බස්නාහිර කෝරළේ, ගම්පහ නැගෙනහිර කෝරළේ,ගම් දෙකේ කෝරළේ,කන්ද පහළ කෝරළේ යන අය කැඳවාගෙන ඔවුන් සමඟ මේ ගැන සාකච්ඡා කර තිබුණා.මේ වෙද්දි මේ කෝරලේ හතරදෙනා තුළම ඉංග්රීසි ජාතිකයන් ගැන එතරම් පැහැදීමක් තිබිලා නැහැ.ඒකට ප්රධානම හේතුව තමයි උඩරට කැරැල්ල වෙලාවේ ඉංග්රීසීන්ගේ අත් අඩංගුවට පත් කඩහපොළ හිමියන්ට එරෙහිව නඩු අසා එක් දවසකින්ම වෙඩි තබා මරණයට පත් කිරීම. මේ නිසා කෝරළේ හතරදෙනා වැදි ගම්මානයෙන් ආපු කෙනෙක් සම්බන්ධ කරගෙන වැදි ගම්මානයට යන්න තියෙන අසීරුම මාර්ගය පෙන්වාදී තියෙනවා.කොහොමහරි හුන්නස්ගිරිය ඉහළටම නැගලා මහා බෑවුමක් එක්ක මහියංගණය දැක්කම ඉංග්රීසින් තීරණය කර තියෙනව වංගු සහිතව මාර්ගය ඉදි කරන්නට.
තවත් ජනප්රවාදයකට අනුව ඒ කාලේ ඉංග්රීසි ජාතිකයන්ගෙන් ගම්වල ගැහැණු දැරිවියො ආරක්ෂා කර ගන්නට ගම්මාන නැති කැලෑ ප්රදේශවලින් පාර පෙන්නන්න කතිකා කරගෙන තිබුණලු. ඉතින් කොහොමහරි ඒ මාර්ගය හදන්නත් ශ්රමය සූරාකෑවේ අපේම මිනිසුන්ගෙන්. ඒ කාලේ සෑම වැඩිහිටි පිරිමියෙක්ම සතියට දින 6 ක්ම නොමිලයේ පාරවල් තැනීමේ කටයුතුවලට සම්බන්ධ විය යුතු වුණා. එහෙම නැති වුණොත් සිලිං තුනක ඇඟ බද්දක් ගෙවන්නට සිද්ධ වෙලා තියෙනවා. පාර බද්ද කිව්වේ ඒකට.
කොහොමහරි උඩුදුම්බර ඉඳල නාසරුව,කෝවිල්මඩ, තවලන් තැන්න,තැම්මිටියාන,තිස්පන දක්වා මාර්ගය සැකසීමෙන් මේ දහ අට වංගුව නිර්මාණය වුණා. ඉතින් වරක් ඉංජිනේරු මහතෙක් පවසා තිබුණේ පළමුවැනි වංගුවේ ඉඳලා අන්තිම වංගුව දක්වා හරි කෙළින් නූලක් පහතට දැම්මොත් එහි දුර මීටර් 500 කටත් අඩුවන බවයි.ඉතින් වංගු 18 ම තියෙන්නේ උසින් කිලෝමීටර් භාගයකටත් වඩා අඩු දුරකින්. ඉතින් කිලෝමීටර් භාගයක් දුර නගින්න හෝ බසින්නට කිලෝමීටර් 7 ක දුරක් කන්ද වටේ සැරිසැරිය යුතු වෙනවා.
කොහොමහරි ඒ දහ අට වංගුවේ දෙවනි වංගුව ඉතාමත් අනතුරුදායක එකක් වුණු බවයි සඳහන් වෙන්නේ. එතන නතර කර වාහනය රිවස් නොකර කොහොමටවත් වංගුව පන්න ගන්න බැහැලු. එදා ගල් තාර යොදා තිබූ දහ අට වංගුව අද කාපට් ඇතුරූ සුවපහසු ආරක්ෂිත සුන්දර මාර්ගයක්.එදා මීටර් 3 ක් පමණ පළලින් යුක්ත මේ මාර්ගය අද මීටර් 8.5ක් පමණ පළලින් නිර්මාණය වී ඇත්තේ මංතීරු දෙකක් ද සමඟින්. ඒ වගේම පාලම් 9 ක් බෝක්කු 30ක් ඉදිකර තියෙනවා.
ඉතින් මේ මාර්ගය ඉදිකරන්නට එදා ගස් 5000 ක් පමණ කපා දමන්නට සිදුව තිබුණා. එයත් සමඟ අසරණ ජනතාවගේ දහඩියෙන් නිර්මාණය වුණු මේ මාර්ගය ලංකාවේ ඇති එක්තරා දුෂ්කරම මාවතක්. නමුත් හරිම සුන්දර ගමනක්.මේ මාර්ගය සකස් කිරිමේදී අපේ මිනිසුන් කී දෙනෙක් මරණයට පත් වෙන්නට ඇති ද. ඒ වගේම මේ කළු ගල් කඩන්නට සිදුව තිබුණේ පරිසරයට වගේම අවට පදිංචිකරුවන්ට හානිදායක වෙන විදියට.ඒ සඳහා සාම්ප්රදායික බෝර දැමීම් වගේම රසායනික ක්රමයටත් ගල් පුපුරවා තිබුණා.ඉතින් විශාල අභියෝගයන් රැසක් මැද එදා මේ මාර්ගය ඉදිකෙරුණා වගේම නැවත මාර්ගය පුළුල් කිරීමත් සිදු කෙරුණා.
අපේ රටේ ජාතික උරුමයක් වෙන මේ දහ අට වංගුවට වසර 30 කටත් අධික කාලයක් ගෙවී ගිහින්. ඉතින් හරි අපූරු ඉතිහාස කතාවත් සිහියේ තබාගෙන දහ අට වංගුවේ රවුමක් යන එක කොහොමටත් හොඳයි නේ.
උපුටා ගැනිමකි..
මුල් හිමිකරුට ස්තුතිය

Thursday, January 11, 2024

තොපි දෙන්නා නාඬා හිටු..!





"එතකොට හාමුදුරුවනේ
මට කසාද කොලේ ලියන්න පුළුවන්
මල් හාමිගෙ නම විතරයි..??"
පසුපස බිරාන්තව
සිද්දිය නරඹමින් සිටි ගැහැණු දෙදෙනා
ගැස්සී එකිනෙකා ගේ අත් අල්ලා ගත් හ..!
"ඔව් ලොකු උන්නැහේ
ඒක තමයි නීතිය...
දෙන්නෙක් කසාද බඳින්න බෑ..."
"ඉතින් හාමුදුරුවනේ
අපි තුන්දෙනාම එක පැලේ
ආරෝවක් නැතුව ඉන්නවා නේ..."
"ලොකු උන්නැහේ
ඒක නීතියට අනුව වරදක්...
ලොකු උන්නැහේ බහු විවාහ
ඒ කියන්නෙ කසාද දෙකක් කරගන්න බෑ..."
මේ වන විට කදුළු හලමින් සිටි
ගැහැණු දෙදෙනාගේ හැඬීම
ඉකි ගැසීමක් දක්වා වර්ධනය වී තිබිණි...
"මං තැන්නෙ කුඹුර ගාව පැලක් අටෝලා
මල්හාමි ඇන්න එද්දි
ඒකිගෙ නැන්දගෙ දෝනි ඇන්දා
ඉහදිය නාවලාවත් තිබ්බේ නෑ...
දහ පහලොස් පෝයකින්
ඒ පොඩි එකී ගෙට අරං නාවලා
සුදු බංඩියා එක්ක ඒකිත්
දෙනියේ පැල් කොටයක් අටෝගෙන ගාල් වුණා..."
"සුදු බංඩියට පොලඟා ගහද්දි
කෙලීගෙ බඩට පස් හය පෝයක් ඇති...
ඒ වෙද්දිත් කුසේ හිස් නිසා
අඬ අඬා හිටපු මල් හාමිම තමයි
නගා අපේ පැලට ගෙනාවේ..."
"හීන් හාමි වැඳුවා
මල් හාමි හැදුවා...
මං උන් දෙන්නටම කුඹුරු කෙටුවා...
දරුවො හයක් වඳලත්
හීන් හාමි එක දරුවෙක් නාවලා නැතුව ඇති මහිතේ..."
"කුස පුහු වුණාට මල් හාමිට කිරි එරුණා හාමුදුරුවනේ...
මට උන් දෙන්නා වෙන් කොරන්ඩ බෑ...
මට කසාද ඕන් නෑ..."
"මෙච්චර කල් කොලේ අස්සං කොරේ නැති වුණාට
අපි තුඃ නොදකින් කියා ගත්තෙ නෑ...
වරෙව් බොල ගෙදර යන්ඩ...
අපිට ඔය සුද්දගෙ නීති ප්රකාර ඕනෙන් නෑ..."
"තොපි දෙන්නා නාඬා හිටු..!
මං කසාද බඳින් නෑ..!!

MADU RANGA FACE BOOK

notes of imaginary

Wednesday, January 10, 2024

අහිමි හිමිකම්

notes of imaginary







සින්නක්කර ලියාගන්න
බැරිඋණු පලියට
උයන් තෙරේ ගී ගයන්න
තහන්චි නෑ මට
තනිකම උහුලනු නොහැකිව
ඉකි බිඳිනා කළ
පන්හිඳ ළඟ කවියක් වී
සුසුම් හෙලනවද?
ගඟ දියරැළි සලා මදෙස
හොරෙන් බැලූ කළ
ලැජ්ජාවෙන් තොල පෙරළා
අහක බැලූ සඳ ...
“එදා නුඹේ බඳ වටකර
රැකවල් දුන් අත
අතහැරුණේ කීම” ..විමසයි
අහසේ පුරහඳ .
ඔප්පු තිරප්පුත් ඔක්කොම
අරගෙන ගිය විට
හිමිකම් සහතික කොහෙන්ද
හිස් වෙදැඟිල්ලට
පරසතු මල් නඳුනුයනේ
පිපුණත් කදිමට
වල්මත් වූ අසරණියට
පතොක් මලක් වෙද ..?
කැකුළු සිතක් අවදිකරපු
ප්රථම ප්රේමයට
ගිලිහුණු රන් මුදු හෙවුවෙමි
සසර පුරාවට
පිය මං කොට ඉස්සරවූ
අතීත රුවකට
දුක ලිව්වට දැනෙයිද එය
අහිමි පපුවකට.!!!
රෝ.සි.

Tuesday, January 09, 2024

දුර ඈත ළඟපාත


වෙරළ කොනෙක හිඳ බැලුවෙමි සයුර හරිත පැහැය ගෙනා
කඳු මුදුනත නැග බැලු කල තුරුලිය කොළ පැහැති මනා
දුර හිඳ නෙත් යොමන විටදි හරි පුදුමෙකි සිතට එනා
මෙහැම කොහොම පෙනෙන අරුම නිලට නිලේ සිරිය දෙනා
අහස උසට නැගෙන කන්ද බලන කලට ඉරට ළඟයි
පොළොව වැතිර සිටින තැන්න එයට වඩා බොහොම දුරයි
නමුදු ඉහළ හිරු ළඟ තැන ගතට සිසිල සුවය සදයි
දුරක තිබෙන තැනි බිම රැඳි උණුසුම හදවතද දවයි
පෙනෙන ළඟක සිටින කලට සිතුවෙමි පෙම වැඩෙන නියා
නොදැක ගෙවෙන විටෙක සිතෙන් එය වියැකී යාවි කියා
නුඹව අතැර දුරු රට ගිය මගෙ සිත විත් නැවත සොයා
වැඩෙන පෙමක අරුත කියයි මට ඈතින් සිටින ඔයා
පී.ජී. ආරියපාල

notes of imaginary