පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Showing posts with label ජීවිතය. Show all posts
Showing posts with label ජීවිතය. Show all posts

Tuesday, February 13, 2024

තාවකාලික නවාතැන්කරුවෝ

 

මේ වයස 65 ක් 70 ක් පමණ වූ, මාගේ යහලුවෙකු අද උදේ එව්ව ලිපියක්, මෙහි සැමටම ගත හැකි යම් ඝාම්භීර කතාවක් ගැබ්ව ඇතැයි සිතමි.
"දැන් ඉතින් මං වයසයි. ලෝකෙ තිබ්බ ඔක්කොම වැඩ ඉවර කළාට පස්සෙ මගේ වැඩක් කියලා දෙයක් කරගන්න තරම් ශක්තියක් මට ඉතිරි වෙලා නෑනෙ. කොටින්ම, හිටපු ගේ ලොකු වැඩි නිසා ඒක විකුනලා පොඩි එහෙකට ඇවිල්ලත් දැන් කලක් වෙනවා. දැන් දැන් මේකත් සුද්ධ පවිත්ර කර ගන්න එක මහමෙරක් වගේ, අමාරුයි. කවුද දැන් මගෙ වැඩ කරලා දෙන්න ඉන්නෙ ?
"ඇයි, මගෙ ළමයි?"
"එයාලට කොයි තරම් වැඩද? එයාලගෙ ළමයි, එයාලගෙ රස්සාවල්, එයාලගෙ ගෙවල් දොරවල් නඩත්තු, අපොයි අම්මේ, මං එදා කරපු යුද්දෙ අද කරන්නෙ එයාලා"

 

හොඳටම හිතන කොට මට ඉතිරි වෙන්නෙ කොහේ හරි තියෙන නර්සින් හෝම් එකක් තමයි. බලපු ඒවායින් හිතට අල්ලපු තැන නම් හරිම පිළිවෙළයි, නිස්කලංකයි. තනි කාමරේ පුංචි පුංචි උපකරණ ටිකක් එක්ක මටම අයිති වෙච්චි තනි ඇඳක්. එයාලගෙ කෑම බීම රටාවත් මගෙ වයසටම ගැළපෙන්න රස ගුණ පිරිලා.

ඒත්....
හොඳ වැඩි වෙන්න වැඩි වෙන්න ගාණත් වැඩි වෙන එක අහන්නත් දෙයක්ද? අවුරුද්දෙන් අවුරුද්ද ගාස්තු වැඩි නොවී තියේවි, කියලා කාට නම් කිව හැකිද ?
මුළු පැන්ෂන් එකම වියදම් කළොත් යාන්තමින් පිරිමහ ගත්තැකි. දැනට ඉන්න ගේ-දොර විකුණුවොත් නම් ඒකත් ඒ හැටි ලොකු ප්රශ්නයක් නෙවෙයි.
දරුවො මගෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නෙම නෑනෙ, ඒ අය පූර්ණව ස්වාධීන වෙලා ඒ ඒ අයගේ සහකාර - සහකාරියන් එක්ක. අද කාලෙ අහන්න ලැබෙන දේවල් එක්ක බලද්දී නම් මගෙ දරුවො වාසනාවන්.
ඒත්....
දැන් ඉතින් මේ හැම දේම අතෑරලා යන්න ඕන.
උදෙන්ම ගේ අස්පස් කරන්න ගත්තා. බලපු බලපු හැම තැනම මගෙ අතීතෙ නටඹුන්.
බෑග්, පෙට්ටි, පින්තූර, මතක සටහන්, ඇඳුම්, ඇඳ ඇතිරිලි, තෑගි බෝග..... කොයි තරම් නම් කියලද? කුස්සිය පුරාම රිදී යකඩ නන්ස්ටික් භාජන, චීන පිඟන්, හට්ටි මුට්ටි, වළං, හාල් පෙට්ටි, කුළුබඩු. ඇඳුම් කබඩ් පුරාම වෛවාරණ්න සාරි, මාල, කෝට්, කළිසම්, ටයි, යට ඇඳුම්,
පුස්තකාලෙ පිරෙන්න පොත් පත්, ඒවායින් කීයක් කියෙව්වද කියලාවත් මතකයක්වත් නැති ගානයි, මේ වෙද්දී.... බිත්ති පුරා ෆොටෝ සිය ගාණක්.
මේ කිසිම දෙයක් පිළිගන්න නර්සින් හෝම් එකේ පුංචි කාමරේ කොහෙත්ම ලෑස්ති වෙන එකක් නෑ.
අපි හදාපු තට්ටු ගෙවල්, මං හිටවපු මල් පඳුරු මට නොතේරෙන කතාවක් කියනවා, හරියට සරදමක් කරන්නා වගේ.....
මේ ජීවිත කාලෙ පුරාවට මං දහදිය හෙළපු කිසිම දෙයක් අද මට ගෙනියන්න බෑ.
පණ තියෙනකම් මට අර පුංචි ඇඳයි, එක ඇඳුමකුයි, පිඟානයි, කෝප්පෙයි අයිති වේවි.
ඉතින් ඊට පස්සෙ?
නෑ නෑ කවදත් මට හැබෑවට අයිති වෙලා තිබ්බෙ ඔය පුංචි බඩු මුට්ටු ටික විතරමයි. මම පාවිච්චි කලේත් ඔය පුංචි බඩු මුට්ටු ටික විතරමයි. මට වුවමනා වුනෙත් ඔය පුංචි බඩු මුට්ටු ටික විතරමයි. ගෙදර ඇඳන් දාහක් තිබ්බත් මං නිදා ගත්තෙ එක ඇඳක විතරයි. ඇඳුම් දාහක් තිබ්බත් මං එක වෙලාවක ඇන්දෙ එකම එක සරළ ඇඳුමයි. තේ කෝප්ප සිය දහස් ගණනක් තිබ්බත් මට එක වෙලාවක බොන්න පුළුවන් වුනේ එකම එක කෝප්පෙක විතරයි. කොයිතරම් රස මසවුළු තිබ්බත් මං කෑවෙ බඩ පිරෙන පොඩි කොටසක් විතරයි.
ඉතුරු හැම අතිරික්තයම වෙනුවෙන් මං මහන්සි වුණා විතරමයි.. හෙම්බත් වුණා විතරමයි.. කාලේ කෑවා විතරමයි.. සිද්ධ වෙලා තියෙන්නේ, එදා මට ඒක නොතේරුණ එක විතරයි..
අද මං අවදි වෙලා...!!!
මේ තාවකාලික නවාතැන අපිට පාවිච්චි කරන්න ගොඩක් දේ දුන්නට අපිටම කියල අයිති කරගන්න කිසි දෙයක් දෙන්නෙ නෑ. අපි ඒ ඒ දේවල් තාවකාලිකව බාවිතා කරන්නෝ, පාවිච්චි කරන්නෝ විතරයි.....
ඉතින් ඇයි අපි මේ තරම් වද වෙන්නෙ ? මේ දේ තේරුම් ගන්න මෙච්චර වයසට යනකන් ඉන්න වුනේ ඇයි... ? මේ දේ තේරුම් ගන්න ඇඟේ හයිය හත්තිය ඉවර වෙනකං ඉන්න වුනේ ඇයි... ?
ඔයාලට මේ කියන්නේ .....
ජීවිතේ විඳින්න පරක්කු වෙන්න එපා. අයිතියක් නොකියා මේ සියල්ලට නොකඩා නොබිඳ මේ සියල්ල පාවිච්චි කොට ස්තුතියි කියා නික්ම යන්න ලැහැස්ති පිට ඉන්න.
හද පුරා ආදරෙන් ඔබ වටා ඇති ජීවී - අජීවී සියල්ලට සළකන්න. ගෞරවය දක්වන්න:
ඔබත් මමත් ඇත්තටම මේ නවාතැන් පොළේ තාවකාලික නවාතැන්කරුවෝ විතරමයි.
උපුටා ගැනීමකි


A day in the life

Wednesday, January 31, 2024

වසර විසි අටකට පෙර අඳුරු මතකයෙන්.......











 

ජනවාරි 31  දිනට ශ්‍රී ලංකා මහ බැංකුව කොටි බෝම්බ ප්‍රහාරයට ලක්ව අවුරුදු ( 1996 ) විසි අටකි. එදින බැංකුවේ සේවයේ නියුක්ව සිටි සහෝදර ධර්මදාස වෙල්හේනගේ සහෝදරයා ගේ  සටහනක්වු අත්දැකීම  පහතින් පලවේ..

එදා 1996 ජනවාරි 31 දිනයයි. මම මහ බැංකුවේ බිම්මහළත් පළමුමහළත් අතර අතුරු මහළෙහි සේවයේ යෙදීසිටියෙමි. වේලාව උදේ 10.30 පසුවන්නට ඇත. බිම් මහළේ රාජකාරියේ යෙදීසිටි නාවික හමුදා නිළධාරියාගේ මැෂින් තුවක්කුවෙන් එක දිගට වෙඩිහඬ ඇසෙන්නට විය. අසාමාන්ය ශබ්දයෙන් කලබලවූ අපි බිම්මහළ දෙස බලන්නට වීමු. පහළ සිටි කවුදෝ මහ හඬින් බෝම්බ ලොරියක් බැංකුව ඇතුලට එන්න හදනවා යැයි කෑගසමින් මැදි මහළට වේගයෙන් නගිනු දුටුවෙමු. ඒ සමග අපි සියලු දෙනාම මැදි මහළේ පිටුපසට දුවන්නට පටන් ගතිමු. සියල්ලෝම පහළට බසින පඩිපෙළ ලඟ සිරවුනි.ගතවූයේ නිමේෂයකි.මහා බිහිසුණු හෙණහඬකි.

 

අපි සියල්ලෝම මොහොතකට සිහි නැතිවූවාසේය.මුලු ගොඩනැගිල්ලම සෙලවෙනවා දැණුනි.ඇස් ඇරී බලනවිට අපි මුලින් සිටි පෙදෙසම කඩාවැටී විශාල ආලෝකයක් පැතිරී තිබුණි. ඒ මොහොතේ අපේ ගොඩනැගිල්ලේ වීදුරු සහ බිත්ති කැඩී කුඩුවී විශාල ශබ්ද නඟමින් පහළට වැටෙමින් තිබුණි.මා සිටි ස්ථානයේ සියලු දෙනාම අණතුරක් නොමැතිව සිටි බව පෙනුනද සියල්ලෝම හඬමින් කෑගසමින් ඉක්මනින් පහළට බසින්නට උත්සාහකරමින් සිටියේය. මමද අමාරුවෙන් පහලට තල්ලුවී බිමට බැසගතිමි. තුවාලවූ අපගේ සහෝදර සහෝරියන් ගේ වේදනා හඬ දසතින් ඇසෙන්නට විය.ගොඩනැගිල්ලේ වීදුරු බිමට වැටෙනහඬ තවමත් ඇසේ,ඉදිරිපස කොටසේ සිට විශාල දුමක් ඉහළට නගිනු පෙනුනි. මා ඇඳසිටි සුදුකමිසයේ තැනින් තැන විශාල ලේ පැල්ලම් වූ බව දුටුවේ මුහුද අසල පාරට පැනගත්විටය.පෙරපිණකින්දෝ මට තුවාල නොතිබුණි,තදවී බිමට බසිද්දී අනෙකුත් සොහෝයුරන්ගේ ලේ තැවරී තිබුණි. මොහොතක් දුම් නැගිමින් තිබුනු බැංකුව දෙස බලාසිටියා මතකය.

අප සමග සේවයේ නියුතු සහෝදර සහෝදරියන් 41 ක් ජීවිත අහිමි වූ බව දැනගත්තේ පසුවය.තවත් දෑස් අන්ධව අංග විකලව තවමත් දුක්විඳින සියගණනකි.මහබැංකුව අවට සිට මෙලොවින් සමුගත් සහ තුවාල වු අය බොහෝය.
වසර ගණනක් දහවල් කෑම මේසයේ සතුටු සාමීචියේ යෙදීසිටි, නොදන්නා සමහර විෂය කරුණු අපට කියාදුන්, ඇවිදින පුස්තකාලයක් වැනිවූ අපේ හොඳම මිතුරෙකු වූ නිමල් පීරිස් මහතා අකාලයේ ජීවිතයෙන් සමුගෙනය. තවත් එවැනි හැකියාවන් තිබූ කිහිප දෙනෙකුම අප අතරින් සමුගෙනය. ඒ අභාග්ය සම්පන්න ශෝචනීය සිදුවීම වී අදට අවුරුදු 28 කි. මා මියයන තෙක් මේසිදුවීම මතකයේ රැඳී පවතී.

 


ජීවිතයෙන් සමුගත් අපේම සහෝදර සහෝදරියන්ට සංසාරේ කිසි දිනක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවායි පතමි. සියලු දෙනාටම නිවන් සැප ලැබේවා...!
මේ සිදුවීමෙන් අබල දුබළ ව තවමත් ජීවත්වන සහෝදර සහෝදරියන්ට තෙරුවන් බෙලෙන් නිදුක් නිරෝගී සුවය ප්රාර්ථනා කරමු.

A day in the life

Thursday, January 04, 2024

මැණිකෙ දැන් ඔය මදෑ



 

මැණිකෙ දැන් ඔය මදෑ හොඳටම යන්ට දැන් හරි වෙලාව

තවත් ඉන්ටද මෙතනටම වී ඔයාගේ කල්පනාව

රිදී රේඛා ඇඳේ කීවට මැකුණු පසු කලු වළාව

ඒ තමයි අපි අදත් අදහන ජීවිතේ ලොකු මුලාව.....

 

අහල අහලම ඇති වෙලා ඇති නුඹේ ඔය කන්නලවුව

දන්නවා ඔය හිතේ ඇවිලෙන ගින්න දරුවන් මෙළෙව්ව

අපේ නැති බැරි කම් වසා ගෙන දුක දරා සිටි සොරොව්ව

ඕං දැන්වත් කරමු අමතක මැණික ඔය හත් ඉලව්ව.....

 

දෝවණය කළ පැන් කලත් ඇති ඉහේ කෙස් ගාණට වඩා

බෝධි මලුවට දැනෙන්න්ට ඇති නුඹේ පා තරමට විඩා

තුමුල මහ කඳු ශිඛර මැද්දේ අපි වුණෙන් ගල් කැට කුඩා

සේරමත් බර අරන් ආවට නුඹත් දැන් හොඳටම ලෙඩා.....

 

ඔප්පු කරනට බැරි තරම් වෙයි එදා හිට ගැට ගහපු පඬුරූ

කලු ගලක් හරි නුඹේ දුක දැක උණු නොවේවිද ලෙසින් වෙඬරූ

කමක් නෑ මේ ඉන්න ඩිංගට උන්ට අපි නම් තිත්ත කදුරූ

යං ඉතිං අපි හිටපු තැනටම පිහ ගනින් ඔය ඇහේ කඳුලූ.....

 

- රුවන් ජයරත්න -

Harsha Sulovhana

Wednesday, January 03, 2024

ඇය,මගේ බිරිඳ යි......














ලලිත කොමළ බස හසුරා ශිල්ප දෙවන්නී
වතළ කුලුණු ගුණ සිප් හල තුළ වපුරන්නී
උදුල විපුල ළහිරු කිරණ සේ බැබැළෙන්නී
සිසිල පවන ලෙසින් මහද සනසාලන්නී.
පාන් කලුව එක්ක ඇවිත් ගෙට ගොඩවෙන්නී
යාන්තමට කන්ද උඩින් සඳ හිනැහෙන්නී
හීන් සිනාවට ගෙපැලේ කලුව මකන්නී
මාන්සියට ඔසරි පොටෙන් පවන් සලන්නී.
වෑ කන්දට ගොඩවී වැව් දියට බසින්නී
රෑට බතට දෙල් මාලුව රසට උයන්නී
කුල සිරිතට මා කනතුරු ළඟ දැවටෙන්නී
හමාරකොට වැඩ ඔක්කොම පිරිත් කියන්නී.
රනේ රුවට නිදි යහනට සඳ ගෙන එන්නී
මලේ සුවඳ සේපාලික හුස්ම පොවන්නී
සිතේ පිරුණු ලෙන්ගතු කම මවෙත පුදන්නී
මෙතේ බුදුන් හමුවෙන තුරු අත්වැල දෙන්නී.
රෝ.සි.
2024.01.02.

notes of imaginary

Wednesday, December 06, 2023

ලිංගිකත්වයට වඩා වැඩි දෙයක්









මගේ දෙමාපියන් විවාහ වෙලා අවුරුදු 55ක් වෙනවා.
 
 දවසක් උදේ, මගේ අම්මා තාත්තාට උදේ කෑම හදන්න පහළට යමින් සිටියදී, ඇය හෘදයාබාධයක් වැළඳී වැටුණා. මගේ පියා ඇයට හැකි උපරිමයෙන් ඇයව ඔසවා ලොරියට ඇදගෙන ගියේය. උපරිම වේගයෙන්, මාර්ග සංඥාවලට ගරු නොකර, ඔහු ඇයව රෝහලට ගෙන ගියේය.
 
ඔහු පැමිණෙන විට, අවාසනාවන්ත ලෙස ඇය අප අතර සිටියේ නැත.
 
අවමංගල්‍යයේදී තාත්තා කතා කළේ නැහැ. ඔහුගේ බැල්ම නැති විය. ඔහු ඇඬුවේ නැති තරම්ය.
 
එදින රාත්‍රියේ ඔහුගේ දරුවන් ඔහු හා එක් විය. වේදනාවෙන් හා නොස්ටැල්ජියාවෙන් පිරුණු වාතාවරණයක් තුළ, අපි ලස්සන කථා සිහිපත් කළ අතර, ඔහු දේවධර්මාචාර්යවරයෙකු වූ මගේ සහෝදරයාගෙන් ඉල්ලා සිටියේ අම්මා ඒ මොහොතේ සිටින්නේ කොහේදැයි ඔහුට පවසන ලෙසයි. මගේ සහෝදරයා මරණයෙන් පසු ජීවිතය ගැන කතා කිරීමට පටන් ගත් අතර ඇය සිටින්නේ කෙසේද සහ කොහේදැයි අනුමාන කළේය.
 
තාත්තා හොඳට අහගෙන හිටියා. හදිසියේම ඔහු අපෙන් ඉල්ලා සිටියේ ඔහුව කනත්තට ගෙන යන ලෙසයි.
"තාත්තා!" අපි පිළිතුරු දුන්නා, "දැන් රෑ 11 යි, අපිට දැන් කනත්තට යන්න බැහැ!"
ඔහු සිය හඬ අවදි කළ අතර, දිලිසෙන බැල්මකින් ඔහු මෙසේ පැවසීය: "මා සමඟ වාද නොකරන්න, කරුණාකර අවුරුදු 55 ක බිරිඳක් අහිමි වූ පුද්ගලයා සමඟ වාද නොකරන්න."
 
ගෞරවනීය නිශ්ශබ්දතාවයක් ඇති විය, අපි තවදුරටත් තර්ක නොකළෙමු. අපි කනත්තට ගියා. විදුලි පන්දමකින් අපි ඇගේ සොහොන වෙත ළඟා විය.
මගේ පියා වාඩි වී, යාච්ඤා කර, ඔහුගේ දරුවන්ට පැවසුවේ: "එය අවුරුදු 55 ක් ... ඔබ දන්නවාද? පුද්ගලයෙකු සමඟ ජීවිතය නොකළේ නම් කිසිවෙකුට සැබෑ ආදරය ගැන කතා කළ නොහැක."
 
ඔහු නැවතී මුහුණ පිස දැමීය.
 
"එයා සහ මම, අපි හොඳ සහ නරක තුළ එකට සිටියෙමු." ඔහු තවදුරටත් කියා සිටියේය.මම රස්සාව මාරු කළාම ගේ විකුණලා පදිංචියට යනකොට අපි බඩු පොදි බැඳගත්තා. අපේ දරුවෝ දෙමව්පියෝ වෙනවා දැකලා සතුට බෙදාගත්තා, හිතවත් අය සමුගන්නවා කියලා අපි එකට වැළපුණා, සමහර ඉස්පිරිතාලවල පොරොත්තු කාමරේ එකට යාච්ඤා කළා, සහයෝගය දුන්නා. එකිනෙකා වේදනාවෙන්, අපි සෑම දිනකම එකිනෙකා වැළඳ ගත්තෙමු,
අපි වැරදිවලට ​​සමාව දුන්නෙමු."
ඉන්පසු ඔහු මදක් නැවතී, "ළමයෝ, අද රෑට ඒ හැමදේම නැතිවෙලා මම සතුටින් ඉන්නවා. ඔයා දන්නවද මම සතුටින් ඉන්නේ ඇයි කියලා? මොකද ඇය මට කලින් ගියා. ඇය මාව වළලා දැමීමේ වේදනාව සහ ඒ වේදනාව විඳදරාගැනීමට අවශ්ය නැහැ. , මගේ නික්ම යාමෙන් පසු තනිව සිටීම, මම ඒ හරහා යන්නෙමි, ඒ සඳහා මම දෙවියන් වහන්සේට ස්තූතිවන්ත වෙමි, මම ඇයට බොහෝ සේ ආදරය කරමි, ඇය දුක් විඳිනවාට මා කැමති නොවනු ඇත ... "
 
තාත්තා කතා කරලා ඉවර වුණාම මටයි අයියලාටයි කඳුළු ආවා. අපි ඔහුව බදාගත් අතර ඔහු අපව සනසමින්, "කමක් නෑ. අපිට ගෙදර යන්න පුළුවන්. හොඳ දවසක්" කියලා.
 
එදා රෑ මට තේරුණා සැබෑ ආදරය මොකක්ද කියලා. එය හුදෙක් රොමෑන්ටිකවාදය සහ ලිංගිකත්වයට වඩා වැඩි දෙයක්, එය එකිනෙකා අසල සිටගෙන සිටින, එකිනෙකාට කැපවී සිටින දෙදෙනෙක් ... ජීවිතය ඔබ වෙත විසි කරන සියලු හොඳ නරක හරහා ය.
 
ඔබේ හදවත් තුළ සාමය.

 

කර්තෘ නොදන්නා

 

 

notes of imaginary

Wednesday, November 08, 2023

නොමැති කෙළවර ඉමක් සසර සරනා බවේ


















සිතුවිලි සසළ යි.......
*********************
හැඩැති සුවඳැති මලුත් පිපෙයි පරවෙයි ලොවේ
උසැ'ති කඳු නාය ගොස් විවර සෙලුවත මැවේ
නොමැති කෙළවර ඉමක් සසර සරනා බවේ
පිනැති උපතක් ලදුත් මංමුළා වී තැවේ.
දෙතෙර යාකරන් ඉඳු දුන්න ක්ෂිතිජයෙ මැවේ
එතෙර යාගත නොහී මෙතෙර මා හද තැවේ
සුනෙර .සැලෙනා තරම් සසළ හදවත දැවේ
කතර වාලුකාවකි මිරිඟුව කි මට ලොවේ.
සලපතළ මලුවක් අතුළ සුදු වැලි දමා
සඳ වතළ කල දිසෙයි දෙව් ලොවට මං යොමා
වත කමළ සිහිවත්ම සෙනේ දිය නොව නිමා
හද මඬල උතුරාවි මව්පියෙනි බැති පෙමා.
රුදුරු රළ රැළි වැදී සැලෙන නෞකා බඳේ
නපුරු දැති මෝරු දත් විළිස්සා එන සඳේ
නුදුරු ගොඩ බිම ක් නැත ගිජු ලිහිණි නෙත් ඇදේ
සොඳුරු ලොව සිහිනයකි රුවල ඉරුණොත් හදේ .
රෝ.සි.
notes of imaginary

Friday, October 13, 2023

සිතන්නට යොමු කරමු.


එක දවසක් ගුරුවරියක් තමන්ගෙ පන්තියේ ශිෂ්යන්ට කිව්වා කොළයක් අරන් පන්තියේ ඉන්න අනිත් යාළුවන්ගෙ නම් ඒ කොළේ ලියන්න කියලා. ලියන හැම නමක් අතරෙම එක රූලක් ඉඩ තියන්න කියලා ඇය දිගටම එයාලට මතක් කරා. ඊටපස්සෙ ඇය කිව්වා ඒ එක එක නමට යටින්, ඒ කෙනාගෙ දැකලා තියෙන ලස්සනම ගතිගුණය ලියන්න කියලා. පීරියඩ් එකේ ඉතුරු වෙලාව ගත වුණා හැමෝටම ගතිගුණ ටික ලියන්න. පීරියඩ් එක අවසානයේ ඇය ඒ කොළ ටිකත් එකතු කරන් පන්තියෙන් පිටත්වෙලා ගියා.
ඒ සතියේ අග එළැඹුණු සෙනසුරාදාවේ මේ ගුරුතුමිය හැම ශිෂ්යයෙක්ගෙම නමින් එක කොළයක් බැගින් වෙන් කරලා, ඒ හැම කොළයකම, මුළු පන්තියෙම දරුවො ඒ කෙනා ගැන ලියලා තිබ්බ ලස්සන ගතිගුණ ලැයිස්තුව ලිව්වා. පන්තියේ හැම ළමයෙක්ගෙම නමින් කොළයක් නිර්මාණය වෙලා අවසන් වුණා සති අන්තය අවසන් වෙද්දි. සඳුදා පන්තියට ගිහින් ඇය එක එක දරුවට, එයාට අදාළ වුණු කොළේ අතට දුන්නා. වැඩි වෙලා යන්න කළින් මුළු පන්තියමෙ, හැම ළමයෙක්ගෙම මූණුවල හිනාවක් ඇඳෙන්න පටන් ගත්තා. ගුරුතුමීට ඇහුණා එක්කෙනෙක් මුමුණනවා,
"ඇහ්..ඇත්තටම? මම දැනන් හිටියෙ නැහැ මගෙන් කාටවත් වැඩක් තියෙනවා කියලා"
ආයෙත් ඇයට ඇහුණා තව කෙනෙක් කියනවා " මම හිතුවෙ මටනම් කවුරුත් කැමති නැහැ කියලයි"
පන්තිය පුරාම තිබ්බේ ඒ වගේ පොඩි පොඩි අදහස්. කෙඳිරීම්...
ඉන්පස්සෙ කිසිම දවසක්, කිසි කෙනෙක් ඒ කොළේ ගැන කවදාවත් කතා කරේ නැහැ. අඩුමගාණේ පන්තියෙන් පස්සෙ හෝ දෙමාපියො එක්ක හෝ කිසිම විශේෂ දෙයක් සිද්ධ වුණේ නැහැ. ඒත් ඒ කොළය විසින් කලයුතුව තිබූ කාර්යය සිද්ධ වෙලා තිබ්බා. හැම ශිෂ්යයෙක්ම තමන් එක්කත්, අන් අය ගැනත් සතුටට පත්වෙලයි හිටියෙ. ඒ ශිෂ්යයො කණ්ඩායම ඒ පන්තියෙන් ඉවත් වෙලා ඊළඟ පන්තියට ගියා. කිසිම අමුතු යමක් වුණේ නැහැ.
අවුරුදු කිහිපයකට පස්සෙ වියට්නාමයේදී ඒ ශිෂ්යන් අතරින් කෙනෙක්ව හිටපු, පසුකාලීනව සොල්දාදුවෙක් වුණු මාර්ක් මිය ගියා. මේ ගුරුතුමියත් ඒ අවමංගල්ය උත්සවයට සහභාගී වුණා. ඇය ඇගේ මේ විශාල ජීවිතයේ කිසිදාක එතරම් ලස්සන මෘත දේහයක් දැකලා තිබ්බෙ නැහැ. මාර්ක් ඉතාම කඩවසම්ව, පරිණත පෙනුමක් සහිතව ශාන්තව වැතිරිලා හිටියා. පල්ලිය පිරෙන්න මාර්ක්ගෙ මිතුරො පිරිලා හිටියා. හැම කෙනෙක්ම නිසල සිරුරු ළඟට ඇවිත් තමන්ගේ අවසන් ගෞරවයත්, ආශිර්වාදයත් ලබා දෙමින් හිටියා. අවසාන කෙනා වුණේ මේ ගුරුතුමිය. ඇය මාර්ක්ගෙ ළඟ හිටගෙන ඔහු දිහා බලාගෙන ඉද්දි, මාර්ක්ගේ අවමංගල්ය උත්සවයට සහභාගී වුණු හමුදා නිළධාරීන් අතර ප්රධානියා ඇයගෙ සමීපයට ඇවිත් "ඔයාද මාර්ක්ගෙ ගණිත ගුරුතුමිය?" කියලා ඇහුවා.
"ඔව්" ඇය උත්තර දුන්නා.
"ඕහ්! මාර්ක් ඔයා ගැන නිතරම කතා කරා" ඔහු ප්රශ්නයක් හෝ උත්තරයක් නොවන විදිහට කියලා යන්න ගියා.
පල්ලියේ චාරිත්රවලින් පස්සෙ හැමෝම කුඩා ආපනශාලාවකට එකතු වුණා මාර්ක්ගෙ දෙමාපියන් එක්කම. මාර්ක්ගෙ දෙමාපියන් බලාගෙන හිටියා ගුරුතුමිය එක්ක කතා කරන්න.
"අපිට ඔයාට යමක් පෙන්නන්න ඕනේ" තමන්ගෙ සාක්කුවෙන් පසුම්බියක් එළියට ගන්න ගමන් මාර්ක්ගෙ තාත්තා කිව්වා.
"මාර්ක් මියගියාට පස්සෙ එයාලා මාර්ක්ගෙ ළඟ තිබිලා මේක හොයාගත්තා. අපි හිතුවා ඔයා මේක අඳුරගනී කියලා"
ඔහු කිව්වෙ අතටම දියවුණු පෙණුමක් තියෙන කොළ දෙකක් පෙන්නමින්. ඒ කොළ දෙක ඉතා විශාල වාර ගණනක් නවපු සහ දිග ඇරපු බව පේන්න තිබුණා. ඒ කොළ දැකපු ගමන් ගුරුතුමිය දැනගත්තා ඒ තිබ්බේ මාර්ක් ගැන එයාගෙ පන්තියේ අනිත් අය කිව්ව සේරම හොඳ ඇතුළත් කරලා එයා ලිව්ව කොළ දෙක තමයි ඒ කියලා.
"ඔයා ඒක කරාට ගොඩාක් ස්තූතියි. මාර්ක් හුඟාක් අගය කරා ඒක. එයා හුඟාක් පරිස්සම් කරා මේ කොළ දෙක" මාර්ක්ගෙ අම්මා හෙමින් කිව්වා.
මාර්ක්ගෙ පන්තියේ හිටපු පරණ යාළුවෝ හැමෝම මේ වෙද්දි ගුරුතුමිය සහ මාර්ක්ගෙ දෙමාපියන් වටේ වටවෙන්න පටන් අරන් තිබුණා. ඒ අතරෙ චාර්ලි ලැජ්ජාවෙන් හිනාවෙවී කිව්වා
"මගේ ළඟත් මේ කොළේ තාම තියෙනවා. ඒක මගේ කබඩ් එකේ උඩ ලාච්චුවේ තියෙනවා" කියලා.
චක්ගෙ බිරිඳ කිව්වා " චක් මට කිව්වා එයාගෙ කොළේ අපේ වෙඩින් ඇල්බම් එකට දාමු කියලා. ඉතින් එයාගෙ කොළේ අපේ වෙඩින් ඇල්බම් එකේ තියෙන්නෙ" කියලා.
මැර්ලීන් අනිත් අය දිහා බලමින් කිව්වා "මගේ කොළෙත් තියෙනවා. ඒක මම මගේ ඩයරි එක ඇතුළෙ තියලා තියෙන්නෙ" කියලා.
ඒ පන්තියේම කෙනෙක් වෙච්ච විකී එයාගෙ සාක්කුවේ තිබ්බ පොඩි නෝට්බුක් එක අතට අරන් ඒකෙන් කුණු ගෑවුණු, ඉරුණු කොළයක් එළියට ගන්න ගමන් කිව්වා "මම යන ඕනෑම තැනක මම මේක අරන් යනවා" කියලා. ඒ කියලා ඇහිපිල්ලමක් ගහන්නවත් ප්රමාද නොවී ඇය කිව්වා "මං හිතන්නෙ අපි හැමෝම අපේ ලිස්ට් එක පරිස්සම් කරගත්තා" කියලා.
හරියටම අන්න ඒ මොහොතේ තමයි එයාලගෙ ගුරුතුමිය ඒ ළඟ තිබුණු පුටුවක ඉඳගෙන අඬන්න පටන් ගත්තෙ. ඇය මාර්ක් වෙනුවෙන් වගේම ආයේ කිසිම දවසක මාර්ක්ව දකින්න නොලැබෙන ඔහුගෙ යාළුවො වෙනුවෙන් ඇඬුවා.
-----
සමාජයක් විදිහට අපි කොච්චර ඝන කටු සහිත මිනිස්සු බවට පත්වෙලාද කියනවනම්, අපිට සමහර වෙලාවට අමතක වෙනවා අපේ ජීවිත යම් මොහොතක නැති වෙන්න පුළුවන් කියලා. අපි අඩුගාණේ ඒ දවස මොකක්ද කියලවත් දන්නෙ නැහැ.
ඒ නිසා මතක ඇතුව, ඔයා ආදරේ කරන අයට ඒ බව කියන්න. ඔයාට විශේෂ අයට ඒ ගැන කියන්න. ඔයාට වැදගත් අයට ඒ බව කියන්න. ඔයාට වැළඳගන්න පුළුවන් අයව වැළඳගන්න. සිපගන්න පුළුවන් අයව සිපගන්න. පරක්කු වැඩි වෙන්න කළින් ඒක කරන්න. කිසිම දාක, තව කෙනෙක්ගෙන් ආදරේ වචනයක් නොඅහපු, ප්රශංසාවක් නොලබපු, තමන් වැදගත්බව හෝ වටිනබව අහන්න නොලැබුණු ජීවිත දහස් ගාණක් අපි වටේ ඉන්නවා. ඇස් ඇරලා බලලා කියන්න.
එහෙම කිව්වට පස්සෙ ප්රාතිහාර්යක් වෙලා, එකපාරටම සියල්ල යහපත් වෙන එකක් නැහැ. ඒත්,
පසු වදන...
ඔව් ඒත්, අවුරුදු ගාණකට පස්සෙත් නෝට්බුක් එකක් ඇතුළෙන් මතුවෙන දියවුණු පොඩි කොළයක් වගේ බලාපොරොත්තුවක් විදිහට ඒක මතුවේවී!! මතුවිය හැකි යමක් නිර්මාණය කරන්න
අද දිනට යෙදෙන සියදිවි හානිකර ගැනිමේ දිනයට සමගාමි
දරුවන්ට සතුටින් සිටින්නට හිතන්නට
අපි වෙනස් වෙමු...වැඩ සටහනේ තේමාව
උපුටාගැනීම: බෙටී බයිරම්
අනුවාදය: ෂෙනූ පෙරේරා


notes of imaginary

Wednesday, September 20, 2023

වැහි දළු හා ගිනිදළු !!




මහ විසාලෙට දුරට ඇදි ඇදි
ගියත් අහසක් දුක දරාගෙන
වළාකුළු ගැබ්බර උණේ නම්
අපේ කඳුළුත් එයා අරගෙන

සිලි කවරෙකට අඩුවැඩිය ටික
පුරෝගන්නට විඳපු දුක ගැන
නාට්ටාමියෙකුමයි දන්නේ
අල්ල කරගැට වලින් හැඩවුණ.

සේදවත්තේ සේද රෙදි කොයි
දිරපු ටකරන් වහළ හිල්වුණ
මඩකඩිති බොර පාට විසිවෙයි
දෝරෙ ගලනා කොළඹ වැස්සට

“සයිඩ්” ඉල්ලං බර කරෙන් ගෙන
මැනිං මාර්කට් එකේ දිවුවට
“කෑල්ලක්” බා ගත්තෙ නැත්තං
ජේසු පිහිටයි පැටවු දෙන්නට .

කඩා වැටෙනා අහස් කළුවට
තෙමුනොතින් බඩු කාගෙ පිහිටද
ආය කටුවෙන් බාට ජෝඩුව
රඳවගන්නට ඇහැක් වේවිද

අර්ථ සාධක ,බටා ඉල්ලා
නාට්ටාමිල ඇඬුවෙ කවදද
අපේ හිත්වල කැකෑරෙන දුක
පැටවු ගැහුවත් උන් දකීවිද .


ඉරුණු කඩමළු ගවුම අස්සෙන්
ඇහැල මල් පාටින් දිස්නෙ දෙන
කාන්ති ගෙ කුස ආයෙ පාරක්
නෙරා එනවා බලා ඉද්දිම

දවස තිස්සෙම ගෙදර නැති මං
රාත්තිරියේ ගොර අදිනකොට
බමරු කැරකෙනවාද මන්දා
රෝද තුන මඩපාරෙ තදටම.

රෝ.සි.

Siripala Kahawatte
"අතීත යොබ්බනෝ පෝසෝ ආනෙති තිම්බරුත්තනිං....."ඒ කර්කශක ජීවිත තුළත්
ආදරය තියෙනවා.හැමදාම සැකයත් ඒ ආදරය ළඟම ඉන්නවා.ඔයා ඒ ජීවිත දිහා අධ්යාත්මිකව සංවේදීව බලලා තියෙනවා.අරුත ඉස්මතුවෙන හොඳ පදගැලපුමක්.
අගෙයි රෝසි.

notes of imaginary

Sunday, September 03, 2023

මං ලොකු වුනේ ගස් ගල් වගෙ දුක් විඳලා



සිරිපාල කහවත්තයන් මුහුණු පොතට එක් කල මේ නිර්මානය මා ලග නතරවිනි.මේ අපේ ජීවිතයයි. පිරුවටයන් පොරවා ගෙන බාහිර ලෝකයට පෙන්වන සර්වපිත්තල ලෝකයි. ආපසු බලන්නට අකමැති ජීවිතයයි.
ආපසු බලන්නෙකුට නම් සුන්දරවු ජීවිතයයි.

👋👋👋👋👋👋👋👋👋



ගොම ගෑ පොළොවෙ,පන් පැදුරේ නිදපු මට
තුන්වේලටම අල දෙල් කොස් කාපු මට
සරමක් කමිසයක් විතරක් තිබුනු මට
දුක ගැන කියන්නට අටුවා ටීක මොට
ඉස්කෝලෙන් දීපු ටී බනිසය කාලා
ඉස්කෝලෙන් දීපු ඇදිහැස කිරිබීලා
ලන්දේ කැළේ තිබු හැම කොල ගෙඩි කාලා
මං ලොකු වුනේ ගස් ගල් වගෙ දුක් විඳලා
දුක බඩගින්න නැති බැරිකම තුරුළු කරන්
සෙනෙහස ආදරය වින්දෙත් කඳුළු පෙරන්
අග හිගකම් නොසැලකිළි කම් ඕනැතරන්
දුක ගැන දනිමි මම "මහභාරතය" තරන්
පොත පත පෑන පැන්සල නැති හින්දාම
ගුරුවරු තැලුව දොස්කීවා හැමදාම
පොත් නෑ කියල ඇඬුවත් මම හැම රෑම
රුපියල් පහක් නෑ මුළු ගේ සන්තකෙම
අයියල අක්කලා පාසල් ගමන නොයා
වත්තේ දළු නෙළන්නට,පතලෙකට ගියා
අත දුන් නිසා ඒ අය අඩුවක් නොතියා
සරසවි වරම් ලැබ මම ඉහළටම ගියා
අතු ඉති රළු වෙලා,නටු අග කටු සදලා
නුඹෙ කඳුළිනුයි මම පිපුනේ මලක් වෙලා
කළ යුතු යුතුකමක් ඇත මට පැවරීලා
මම මියැදෙන්නෙ ඒ යුතුකම ඉටුකරලා
මේ රට දමා පිට රටකට නොයන්නෙමී
දුටු හැම තැනම වරදට එරෙහි වන්නෙමී
හෙට උපදින උන්ට ලස්සන රටක් හිමී
කරදී මිසක මම නම් මිය නොයන්නෙමී
All reac

notes of imaginary