Saturday, April 08, 2017

අබේ , මේ නික්ම යා යුතු කාලයද ?.


මගේ මතකය ගොළු විය.එය සිරවු අදුරෙන් අවදි කර ගත නොහැකිව අදුරේ සුසුමක්ව වැළපෙන බව  තවමත් තවමත් මට හැගෙන්නේය.
අපි කෙළි සෙල්ලම් කළ කෙළි බිම වර්තමානයේ දියුණුයයි කියා ගන්නා ක්‍රීඩා භුමියක් මෙන් නොවීය. වෙල්යායක් මැදින්  පොඩි අඩිපාරක  වංගු ගසමින් දිය කඩිති හරහා ඉදිවු පාලම් තරණය කරමින්  ( ලෑලි කෑලි ,කොට කෑලි) හැතැම්ම බාගයක් පමණ එක දිගට ධාවනය වන අපේ වාහන සකස් වී තිබුනේ බත් කන බෙලෙක් පිගන් වලින් හෝ හරහට අල්ලා ගන්නා පුංචි ලී කැබලි වලින්ය.
 එදා අපේ කෙළිබිමවු මේ පාර කුඹල්ගම සිට , නැදුන්ගම .කිංචිගුනේ , කලවැල්පේ ,බිබිල, නෙල්ලිගස්තැන්න පසුකරමින්  වෙල්යාය තරණය කර   ප්‍රධාන පාරට එක්වුයේ වෙල්යායට ඉදිකර තිබු කඩුල්ල හරහාය.
 කඩුල්ල අපේ රැස්වීම් ශාලාව විය. හවස් වන විට කඩුල්ල උඩ වාඩිවන අපි තරුන වියට ලංවන තුරුත් එක් එක් වයසට ගැලපෙන නොයෙක් මාදිලියේ වාද විවාද සාකච්ඡා කඩුල්ල මත සිට පැවත්විය. තීන්දු තීරණ ගත්තේය. හෙට කළ යුතු දේ මෙන්ම දැන් කල යුතුදේද තීරණය වුයේ මේ කඩුල්ල මතදීය.
අපෙන් හිස්වු කඩුල්ල කවදාවත් තනිවුයේ නැත. අපිට පසුව ආ මල්ලිලා ගෙන් අපේ අඩුව පිරවීය.(පසු කාලයක සමනල වැව ව්‍යාපෘතිය නිසා නැදුන්ගම .කිංචිගුනේ , කලවැල්පේ යන ගම් අහිමිවී මත් මංමාවත් ඉදිවීමත් නිසා  ගමන් මග කෙටිවිය. වෙල්යාය තැනින් තැන නිවාස ඇතිවීම නිසා අපේ රැස්වීම් ශාලාව සදහටම අපට අහිමිවී එය වෙනත් ස්ථානයක ස්ථාන ගතවිය. )
අවට ගම් වලින් පැමිණි සහෝදර සහොදරියන් පාසල අළුත් අළුත් මිත්‍ර සමාගම් ගොඩනගා ගැණීමට  ඉඩ කඩ ඇතිකර දුන්නේය. කුමක් හෝ හේතුවක් නිසා   කඩුල්ලේ කණ්ඩායම  මේ සමාගම් වල නායකත්වයට පත්විය. ළමා කාලය මෙසේ ගෙවීයනවිට වඩාත් සුදුසුයයි හිතනා නගරයේ පාසල්වලට විසිර ගිය මේ කණ්ඩායමේ සාමාජිකයෝ  සෑම විවේකයක් ලැබෙනා විටම කඩුල්ල මත රැස්විය.
වසරකට වරක් පැවත්වු අවුරුදු උත්සව, වෙසක් පොසොන් උත්සව ගමේ පන්සලේ ආගමික උත්සව, නොයෙක් ක්‍රීඩා උත්සව , නොකඩවා පවත්වමින් ඊලග පරම්පරාවට සාමුහිකත්වයේ ආදර්ශය දෙමින් වැඩිහිටියන් බවට පත්විය. කඩුල්ලේ කණ්ඩායම මැකීගියේ වඩාත් දියුණුවු සමාජ ක්‍රමයක් ස්ථාපනවන මින් දශක තුනක හතරකට පමණ පෙරදීය.  එතෙක්  අපේ කඩුල්ලේ කණ්ඩායමේ ක්‍රියා කරම් අයියලාගෙන්  මල්ලීලා අතට පත්ව දිගටම පැවතුනේය.
අයියලාගේ කඩුල්ලේ කණ්ඩායම වැඩිහිටියන් බවට පත්විය . නොයෙක් මාදිලියේ රැකියාවන් සදහා විසිර ගියේය. විවාහ විය.  දරුමල්ලන් ලැබීය.විවිධාකාර හැලහැප්පීම් මැද ඔවුන්ගේ ජීවිතය ගලා ගෙන ගියේය. දු දරුවන්ද ලොකු මහත්වී දරු මුණුමුණුපුරන්ද ලැබීය. මේ සියල්ල මැද්දේත් එදා මෙන්ම අප හමුවිය සාකච්ඡා කලේය .නොයෙක් ක්‍රියා කාරකම් කලේය.
අබේ , මේ නික්ම යා යුතු කාලයද ?.
මම ගොළු වු සිතින් අදුරේ අතපත ගාමින් සිටිමි. මම හැමදාමත් ඔබෙන් අහිමිවු අවකාශය මත සිට බටහිර අහසේ රතු සිත්තම් හාගල කදු යාය මතින් මැකීයනු දකිමි. ඒ සමග අපි  දුව පැන ඇවිද්ද වෙල්යාය අදුරේ ගිලෙන අයුරුත්  දකිමි. දිනක තවත් අය  , මා වෙනුවෙන් ද එසේම දකිණු ඇත. 

එයයි ජීවිතයේ ස්වභාවය.
notes of imaginary

No comments: