Thursday, February 02, 2017

කාලෙකට පස්සේ.


නැගණහිරෙන් එන වැස්ස බලා ගෙන හිටපු අපට   වැදගත් මහත්තුරු ක්‍රොටන් කොළ කන්න කියනවා. අඩු ජල භාවිතයෙන් ගොවිතැන් කරන ක්‍රමවේදයන් ගැන උපදෙස් දෙන්න ඕණි මේ රාළලා ඒ වැඩේ නොකර  අපිට කොස් කොළ ක්‍රොටන් කොළ  කන්න    උපදෙස් දෙනවා.
“මුන් නම් රටත් පාලකයොත් කාලා අපිත්  කන්නම උපන් මිනිස්සු  !.
සෙනසුරුත් බටකොළ කෑවළු.
ඒ මේ ඇත්තන්ගේ උපදෙස් අරන් වෙන්න ඇති.
මේ සෙනසුරුගේ මොකක්ද තියෙන කාලේ කියනවානේ. ”
මහත්වරු  පිරිසක් බරපතල සාකච්ඡාවක.
ගැටෙන වීදුරුත් හැඩෙන හඩත්පැතිරෙන උස් හඩත්  මගේ අවධානය ඔවුන්ගේ කතා බහට නිකම්ම යොමු වුනා. උන්නැහේලාට පදම ඉක්මවා යා ගෙන යන්න ඇවිල්ලා වගෙයි මම හිතුවා.හෙමින් මුමුනමින් පටන් ගන්නා පිළිසදර මිලි ලීටර් 100...150....200....250...300 පහුවෙන කොට ටිකින් ටික වේගවත් වෙනවා. අවට ඉන්නේ කවුද කියන්නේ මොනවද මායිම් නැතිව වා තලය ගිණියම් වෙනවා.
අනුන්ගේ කතාවලට කන්දීම හොද පුරුද්දක් නොවුනත් ඇහෙන එක වලක්වා ගන්න මා ස්ථාන ගත වී සිටි  තැනට පුළුවන් කමක් නැහැ. වරින් වර මා ගැන සොයා බලන සේවක මහතා හැර මගේ මේසේ පාළුයි. මගේ තනියට කවුරුත් නැහැ.තනියට ඇහෙන කතා මම අහගෙන හිටියා.
සෙනසුරුට වැඩි ප්‍රතිචාරයක් නැතිව කතා අතීතයත් වර්තමානයත් අතර ගැටුමක්වු මාතෘකාවකට මාරුවුනා. 
“ මචන් උඹට මතකද ?  අපේ ඒ ලෙවල් ක්ලාස් එකේ හිටපු මුහන්දිරම් ?.
ඇයි බන් අමතක ?
ඌ  ලංකාවට ඇවිල්ලා ....
මම කතා කලා.... ඌ කියනවා මාව අදුරන්නේ නැහැ කියලා.
මචං වයස යනකොට කල්පනාව අඩුවෙනවා.
උබේ වයස කීයද ?
මට හැත්තෑ එකයිනේ බන්.
ඉතින් ඌටත් හැත්තෑ එකයි නේ බන් .
ඌ උබට හමුවුනේ අවුරුදු හතලිහකට විතර පස්සේනේ .ඉතින් ඌට උබව මතක නැතිවෙන්න ඇති.
වයසයි - මතකයයි අතර සම්බන්‍ධයක් තියෙනවානේ.
එනෙම් යකෝ මට මතක තියෙන්නේ ?”

මේසේ වටේ කතාව යනවා. එකට කා ගෙන බී ගෙන හිටපු යාළුව හදුනා නොගත් සිද්ධියට බරපතල විවේචනයක්.
හිතේ අමාරුවක් .

මේ කතා බහ අස්සේ මගේ මතකයට මින් වසර කිහිපයකට පෙර උන  ඔය වගේ නොවුනත් පුංචි අකරතැබ්බයක් මතක් වුනා. මගේ ඥාති සහෝදරයෙක් ඉන්නවා පොලොන්නරුවේ. මම මාතලේ මළ ගෙදරක ගියා. අවසන් කටයුතුත් අවසන් වෙලා එන්න සැලසුම් වෙලා තිබුන නිසා ඒ අතර දවසක විවේක කාලයක් තියෙනවා. ඒ දවස ප්‍රයෝජනයට අරගෙන කාලයකින් හමු නොවුන සහෝදරයා සොයා ගෙන මම පොලොන්නරුවට යනවා. සහෝදරයා එවකට සේවාගම විද්‍යාලයේ විදුහල්පතිවරයා.
මම දිවා කාලය නිසාවෙන්  එකවරම  නිවසට නොගිහින් විදුහලට යන විට විදුහල්පතිවරයා කලාප කාර්යාලයට ගිහින්.
නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් හමුවු මම මා හදුන්වා දී ආ ගිය කතා කීවිට
මාව කාර්යාලයේ අසුන් ගැන්වු නියෝජ්‍ය විදුහල්පතිවරයා
“ සර් නම් නැහැ  - සර්ගේ දුව උසස් පෙල පන්තියේ ඉන්නවා . ඉන්න මම එන්න කියන්නම්.
දුව එනවා ..
නියෝජ්‍ය විදුහල්පතිවරයාත් ඉන්නවා.
හ්ම්...  මම අදුනන්නේ නැහැ ..දැරිවි  කියනවා.
මම දරුවා හදුනා ගන්නවා. ඒත් මේ දැරිවි මාව  හදුනාගන්නේ නැහැ . මම මෙහොතකට අසරන වෙනවා.
මගේ ජාතික  හැදුනුම් පත දැරිවියගේ අතට දික් කරන මම
“ මෙයාව හදුනනවාද ?”
අප්පේ .... මේ .........බාප්පානේ.
යාන්තම් විදුහල්පතිවරයා එනකම් මාව බේරෙනවා.

මේ කතා දෙක අතර සහසම්බන්‍ධයක් නැතිව ඇති.

කාලෙකින් හමුනොවුනාම මතකය වියකෙනවා. අපේ අවධානය තිබෙන මතකයන් පමනක් රැදිලා තියෙනවා. අවධානයෙන් ගිලිහෙන මතක රැදී තියෙන්නේ නැහැ. ධන සම්පත් පංති ස්ථරයන් අතරත්  සම්බන්‍ධතා ගිලිහි යනවා. මගේ සේවා දායකයාට උසස් පෙල මිත්‍රයා දැක්වු ප්‍රතිචාරයත් අතර එවැනි සාධකයක් තියෙන්න ඇති.
මගේ ව්‍යාපාරක මිත්‍රයෙක් ඉන්නවා. ඔහුගේ දුරකතනයේ ඇති ග්‍රාහක අංක දහසකට ආසන්නයි. ඔහුට කතා කල සැනින් හඩින් හදුනා ගන්නවා. තිරයේ දිස්වෙන නමින් තහවුරු කරගන්නා හඩට අනෙක් කෙළවර ආමන්ත්‍රනය කරනවා. අවුරුදු හතලිහක පමණ අතීත පාසල්වියේ මිතුරන් රෑනක් ඔහු වටා තාමත් ඉන්නවා. මම හිතන්නේ ඔහු      ධනයත් සමගම පිරිසත් රැස්කරගන්නවා  කියලා. සමහර උදවියට මේ අවශ්‍යතාවය නැහැ . ධනය සම්පත් ගොඩනගා ගත්තම ඇති. පිරිසක් ඕනී නැහැ. පිරිස කරදරයක්.

මළ පසු දුක් ගී ගයන්න  ගෙදර හතර පස් දෙනා විතරක් ඉතිරි වන මළ ගෙවල් වලට අපිට  ගොඩ නගින අවස්ථා ඇතිවෙනවා. ඒ  මෙවැනි හුදකලා වෙන්න කැමති  අයගේ කියන සිතිවිල්ල සමග මා අතරමං  වෙනවා.


notes of imaginary

No comments: