Tuesday, November 15, 2016

සවිය.



උදේ පාන්දර 5.57 යි . පොලිසියෙන් ඇමතුමක්.
ඔබට එරෙහිව පැමිණිල්ලක් තියෙනවා.එයට කට උත්තරයක් ගැණිම සදහා හවස 2.00ට .........පොලිසියට  ( පොලිස් ස්ථානයේ නම සදහන් කරමින් )  එන්න.
පොලිස් කොස්තාපල් මහත්තෙක් ගෙන්  මගේ ජංගම දුරකතනයට ඇමතුමක්.
මොකක්ද මේ පැමිණිල්ල ?.
 මම විමසනවා.

“පාරක් වසමින් කම්බි වැටක් ඉදිකරලා ඔබ” . උත්තරය ලැබෙනවා. මගේ මනසේ නැගෙන්නේ පැමිණිල්ලේ බරපතල තත්වය. පාන්දර 5.57ට මට දැනුම් දෙන්න තරම් ?.

පොලිස් සේවය කොයිතරම් කාර්යක්‍ෂමද ? . මම හිතනවා. “ඇත්තෙන්ම මම අද කාර්ය බහුලයි. යොදා ගත්ත වැඩ තියෙනවා . මට වෙන දවසක් දෙන්න බැරිද ?.” මගෙන් කාරුණික ඉල්ලීමක් ඉදිරිපත් වෙනවා. දුරකතනය අනිත් කෙළවර  කාරුණික නැහැ. පොලිස් සේවයේ බල පරාක්‍රමය විසිරෙන ගමන් දුරකතනය විසංධි වනවා.

මේ පොලිසිය මා පදිංචි පොලිස් කොට්ඨාශයට  අයත් නැහැ. පදිංචි ප්‍රදේශයේ සිට තවත් ප්‍රධාන පොලිස් ස්ථානයක්ද පසු කරමින්  කිලෝමීටර් 25 කට එහායින් පිහිටි පොලිස් ස්ථානයක්. එහෙත් පාරක් වසමින් කම්බි වැටක් ඉදිකලායයි පැවසෙන ඉඩම පිහිටා තිබුනේ මේ කියන පොලිස් වසමේ. මම හිතන විධියට නම් මෙවැනි අවස්ථාවකදී විය යුත්තේ මා පදිංචි පොලිස් වසම මගින් මෙම පණිවිඩය මට ලබා දීමයි. නමුත් සිදුවූයේ පැමිණිලිකරු ලබා දුන් මගේ ජංගම දුරකතනයට වහාම කැදවීමක් කිරීමයි.

මට මැවෙන්නේ  බරපතල තත්වයකට මා පත්වී  - බරපතල පැමිණිලි පාර්ශ්වයක් මට එරෙහිව ඇති බව .

ඇනවුම ලැබු සැණින් මට පොලිස් ස්ථානයට වාර්තා කරන්න බැරිවෙනවා. දිගටම මගේ ජංගම දුර කතනය අදාල නිළධාරිමහතා ගෙන් ඇමතුම් ලැබෙනවා. අදාල නිළධාරිමහතාගේ උනන්දුව මට නම් පුදුමයි.  අන්තිමට මම චකිතයකින් යුතුව පොලිස් ස්ථානයට යනවා.

පැමිණිල්ල මේ ඉඩමට  පසුකරගෙන යමින් ඊට යාව තිබුන ඉඩමට  මා සංවර්ධණය කරමින් ඉඩම මැදින් පාරක් ලබා ගැණිමේ අරමුණින් කරන ලද්දක්.මම මගේ ඉඩමේ එක් කෙළවරකින් ඒ සදහා ඉඩකඩ ලබා දී තිබෙනවා. එය ඔවුනට ප්‍රමානවත් නැහැ. මේ ඉඩම සංවර්ධණ කටයුතු සදහා  මම  මිනුම් සැලැස්මට අනුව මායිම් ඉදිකලත් පැමිණිල්ලේ සදහන් අයුරින් වසා දමන්නට පාරක් ඉඩම මැදින් තිබුනෙත් නැහැ.

පොලිසිය පැමිණිල්ල විභාග කරන්නේ පැමිණිලිකරුවන්ගේ අභිප්‍රාය ඉෂ්ඨ සිද්ද කරදෙන පුර්ව නිගමනයක් ඇතිව.  නිහඩ බව වැදගත් බව  නිසා  මම නිහඩව කතා කරන්නට ඉඩ හැර අසා සිටිනවා. මගේ වාරය එනතෙක්. මා පෙන්වන මිණුම් පිඹුරු ඔවුනට වැදගත් බවක් නැහැ. ඒවා පිළිගන්න සුදානම් නැහැ. මා කරන පැහැදිලි කිරීම් ඔවුන්ට තේරුම් ගන්න බැහැ. 
මම අන්තිමට තීරණය කලා  කිලෝමීටර් 25ක් ඈත පොලිසියේ නිළදාරි මහතාට මගේ පෞද්ගලික අනන්න්‍යතාවය දිගහරින්ට. මගේ සුදු කොණ්ඩය , උස , මහත . පෞරුෂත්‍වය   ඔවුන් දකින්නට පටන් ගත්තා . මගේ මිණුම් පිඹුර , ඉඩම මැදින් පාරක් නොතිබු බව . ඉදිකර ඇති වැට අයිනෙන් ඔවුන්ගේ ඉඩමට යා හැකි බව තේරුම් යන්න පටන් ගත්තා.

ඉඩම මැදින් තිබුන පාරේ  පැමිණිල්ල යාන්තම් සිවිල් නඩුවකට යොමු කරමින් පැමිණිලි පාර්ශවය සතුටට පත් කලා. යන්තම්  මාව නිදහස් වුනා කාර්යක්‍ෂම පොලිසියෙන්. තව පොඩ්ඩෙන්  මට සිද්ධවෙන්නේ ගහපු කම්බි වැට ගලවලා පැමිණිලි පාර්ශවයට පාර විවෘත කර දෙන්න. 

සිවිල් නඩුවක් කියන්නේ තව අවුරුදු පහලොවක් විතර නීතිඥයන්ට කැඹිරීමක්. ඒ යන වියදමින් මගේ ඉඩම මිළට අරන් කාෆට් පාරක් හදා ගන්න යා බද ඉඩමේ හිමිකරුවන්ට පුළුවන්. මම පැමිණිලි විභාගේ අතර යොජනා කලා ඔය ගොල්ල මගේ ඉඩම මිළට ගන්න එතකොට පාරේ ප්‍රශ්නෙත් ඉවරයි. ඉඩමේ ප්‍රශ්නෙත් මට  ඉවරයි. කියලා.

මම බොහෝම සුහදශිලීව  පැමිණිලි පාර්ශවයෙනුයි පොලිස් මහත්තුරුන්ගෙනුයි සමුගත්තා.මේ ශ්‍රී ලංකාවේ පොලිසි නන්නාදුන අයට කොයිතරම් කාරයක්‍ෂමද කියලා ආවර්ජණය කරමින්.






notes of imaginary

No comments: