Saturday, October 08, 2016

කඩවත කොරලේ කතා.



අද කෝරලේ භාවිතාවේ නැත. රත්නපුර දිසාවට අයත්ව  කුරුවිට,  නවදුන්, කුකුළු, අටකලං, කඩවත මැද  දෙකෝරලය සහ කොලොන්නකෝරලය යනු වෙන් මහනුවර යුගයේ  පරිපාලනය සමන්විත විය.  ආරච්චි වසම් කිහිපයක් එකතුවී පත්තුවත් පත්තු කිහිපයක් එකතුවී කෝරලේත් කෝරල කිහිපයක් එකතුව දිසාව හැදුන බවයි ප්‍රජා පාලන ඉතිහාසය සදහන් කරන්නේ. මා උපන් සහ ජීවත් වෙන කඩවත කෝරලේ ඉතිහාසකතාව ලියු මා සහෘදයෙකු ඒ ග්‍රන්ථයට “ කඩවත කෝරලේ යටගියාව” යයි නම් තැබුවේය. මේ පොත  දොරට වැඩු සාහිත්‍ය මාසයේ  දිනක සොදුරු  සහෘද එකමුතුවට මා හටද එක්වීමට පින් පිරී තිබිනි.

මේ හමුවේ කතා බහ අතර මගේ මතකයද අවදි විය.

වර්තමානය වන විට පැරණි ග්‍රාම නාමයන් වෙනස් වී ආරච්චි වසම දහයක් දොළහකට බෙදී අද ග්‍රාමසේවා වසම දක්වා ලඝු වී ඇත. අප නිවෙස් කර සිටින ග්‍රාම සේවා වසම” යක්දෙහිවෙල ”නම් වී ඇත්තේ යක් දෙස්සන්ට වෙන්වු වෙල් යායක් වු හෙයිනි. අදත් පැරණි පත්තිනි දේවාලයක් මේ ගමෙහි පිහිටා ඇත.අප තලාපිට ගම්පත්තුවේ වැසියන්වු අතර කඩවත කොරලේට උඩුවග්ගම් පත්තුව නමින් තවත් ගම්පත්තුවක් ඈදී තිබුනේය.

ආරච්චි මහත්තයා  ගම් තුලානට මහත් බලවන්තයෙකි. පනහේ දශකයේ අවසන් භාගයේ මේ ආරච්චි තනතුර අහෝසිවී ග්‍රාම සේවක බිහිවන විට තනතුරු දෙකේ බලවන්තකම අන්ත දෙකක පිහිටියේය. සැමියා ගෙට ගොඩ වදින විට ඇද යටට රිංගු ආරච්චි මහත්තයා ගෙන් “ මොකද රාළහාමි ඇද යට ?. ” යයි විමසු ගෙහිමියාට “ බොල මගේ වසමේ මට කොහෙත් එකයි ” යයි උත්තර බැන්ද ආරච්චි මහත්තයාගේ පෞරස්ථවය හා ග්‍රාම සේවක මහතාගේ චරිතයත් භුමිකාවත් හාත් පසින්ම වෙනස් විය.නොයෙක් නොයෙක් වෙනස් වීමි වලට භාජනය වු ග්‍රාම සේවක නිල නාමයද ග්‍රාම නිලධාරී දක්වා අදට වෙනස් ඇත.

ප්‍රාදේශිය සභා උපදින්නට පෙර ගම් සභා තිබුන අතර, කඩවත කෝරලේට තලාපිට ගම්පත්තුවේ ගම් සභාව සහ උඩුවග්ගම් පත්තුව නමින් ගම් සභා දෙකක් තිබුනේය ප්‍රාදේශිය සභාවේ උපතත් සමග මේ ගම් සභා දෙක එකතු වී ඉඹුල්පෙ  ප්‍රාදේශීය සභාව බිහිවිය.

අපේ අසල්වාසී ආරච්චි වසමවු  මුත්තෙට්ටුවේගම වසමේ ආරචිචිල මහා බලවන්තයෙක් විය. ඇස් දිෂ්ඨියක් මානේ ඉඩ කඩම් වලට හිමිකරුවෙක් විය.  ආරච්චි පයිංඩය අහිමුවු පනහ දශකයේ අවසන් භාගයේ “ස්කෝඩා”  වර්ගයේ බ්‍රැන්ඩ් නිව් කාරයක හිමිකරුවෙක්විය. එක් දවසක මේ ආරච්චිල  විලියම් අප්පුහාමි නම් ගැමියෙකුට “උබ හැමොටම කවි කියනවා කියාපන්කො බන් මටත් කවියක් ” යයි කල ආරධනයට  ලුණු ඇඹුල් සහිතව“ උස්තට්ටුවේ සිටියත් ජන සමාජයේ - මුත්තෙට්ටුවේ උබ මැරුනම අවීචියේ ” යයි  කිවු බව අදත්  ප්‍රචලිතය. එදා ආරච්චි උෂ්නය සහිතව සිටි ආරච්චිලගෙන් විලියම් අප්පුහාමිට ලැබු ප්‍රතිචාරය කුමක් වන්න ඇත්දැයි අප උපකල්පනය කර ගත යුතුය.

තනිකඩයෙක්වු විලියම් අප්පුහාමි ගේ ඥාති පරපුරේ අය අදත් අපේ අසල්වාසීන්ය. ඔහුගේ අතීත මතකයන් අහුලා ගතහොත් එය රසගුලාවක් වනු ඇත. එකල ජීවත්වූ එක් කාන්තාවක හා ඇසුරකට පත්ව සිටි මේ රසවතා හට ඇගේ එක් නරක පුරුද්දක්වු තැන තැන දකින දෑ සොරකම් කරන  පුරුද්ද මකා දමන්නට ඕනෑ විය. ඒ සදහා අපුරු උපක්‍රමයක් යෙදු ඔහු  ගෙම්බෙකු දවටනයක අසුරා ඇහැ ගැහෙන තැනක තබා සැගවී බලා සිටියේය. කාන්තාවද පැමිණ තම කාර්යයන් නිමවා යන අතර  ගෙම්බා සහිත දවටනය කම්බා පොට අස්සේ සගවා ගත්තේය. මෙය නිරීක්‍ෂණය කරමින් සිටි අප රසවතා රැල් බුරුල් හැර මෙසේ කීවා යයි ප්‍රවාදයට එක්ව ඇත.

“එම්බා සොදුර කල දෙයනම් බලු නොවටී - හම්බා කරන හැටි ඔහොමයි කාලේ හැටි
 කම්බා පොටට යට කරගෙන ගහපු හැටි -  ගෙම්බා ගෙදර ගෙන යන්නට හදපු හැටි”

මේවන් කටක් ඇතිව සිටි ඔහු  අයුක්තියට එරෙහිව නැගී සිටි චරිතයක්විය. ඔහුට  සතුරුවු පාර්ශවයක් විසින් පැහැර ගෙන ගොස් ඝාතනය කරනු ලදුව මහ වනන්තරේ මල සිරුර දමා ගොස් තිබු ඇට සැකිල්ල පමනක් හමුවු බව එදා මගේ පුංචි මතකයට  එක්ව තිබුනේය.

මේදොරට වැඩීමේ උත්සවයට සහභාගී වෙමින් සිටින මට තවත් අතීත සිද්ධීන් මතකයට නැගුනත් මේ වියමනේ සම්බන්‍ධයට හානිවන හෙයින් ඊලග වියමන තවත් කතාවකට මුල පුරමින්  නතරවෙමි

notes of imaginary

2 comments:

MPP Gunasinghe said...

මේ පොත කියවන්න ලොකු ආශාවක් ඇතිවුනා. මා පැමිනි විටක ගන්නට මාවෙනුවෙන් පිටපතක් වෙන්කර තබන්ඩෝ

විචාරක Wicharaka said...

රසවත් මතකයක්. ඔය ආරච්චිලා, කෝරළේලා, දිසා හාමුදුරුවරු ගැන බොහොම රසවත් තොරතුරු තියනවා. ඊලඟ කොටස් ටිකත් ඉක්මනින් ලියන්න.