Tuesday, October 11, 2016

මරණය සැපයි - ජීවත් වනවාට වඩා.


සිරුර හමුවු  දෙගිනි වල. 

 1970 – 1977 සිරිමාවෝ මැතිණියගේ පාලන සමය   යහපාලන සමය මෙන් දුෂ්කර ආරථිකයකයකට රට මුහුණ පෑ යුගයක් විය. බහුතර බලය යොදා ගනිමින් පාර්ලිමේන්තු කාලයද දීර්ඝ කරගනිමින්  ජනතාව අතර අප්‍රසාදයට පත්වෙමින් සිටි ආණ්ඩුව ගෙදර යවමින් “ ධාර්මිෂ්ඨ පාලනය ” බිහි විය.
සිරිමාවො මැතිණියගේ යුගය මෙරටට හාල් පොලු මිරිස් පොලු  සතියේ දින දෙකක් බත් නොකෑ යුතුයයි නියමයක් පැනවු කාලයක් විය. මේ තත්වය රට පුරා පාලනය කිරීමට ගම් මට්ටමේ රජයට හිතවත් කණ්ඩායම් යොදවමින් ජනතා කමිටු පිහුටුවීය. වගා කටයුතු සංවර්ධනය කිරීමට පලදා වර්ධන කමිටු බිහි කලේය. මේ සියළු කමිටු මගින් අමතරව කල එක් කටයුත්තක් ලෙස විරුද්ධවාදීන්  ගෙන්  දේශපාලන පලි ගැණිම් කිරීමත් සිදුවිය.

මේ ජනතා කමිටු වෙත මිළ පාලන බලතල , ආහාර පාලන බලතල මෙන්ම සමාජයේ සිදුවන අනීතිමය කටයුතු පාලනය කරගැණිමට පොලිසීය ඇතුළු රාජ්‍ය ආයාතන දැනුම්වත් කිරීමේ සම්බන්‍ධතා ජාලයක්ද   තිබු බව මතකය. මේ නිසා ජනතාව මේ කමිටු වෙත “ කේළම් කමිටු “ යයි හැදීන්වීම කරන ලද්දේය.
මේ කේළම් කමිටු විසින් තම බල පරාක්‍රමයන් අසල්වාසී ගම්වාසීන් වෙත පලකරන විට ඔවුන් අතර ඇතිවු ප්‍රතිවිරොධතා හේතුවෙන් අසල්වාසීන් කේළම් කමිටු ගම්වාසීන් අතර අප්‍රසාදයටත් පිළිකුලටත් පත්විය.

“කඩවත කෝරළේ යටගියාව ” කියවන විට මට මේ කේළම් කමිටුවක සභාපතිවරයෙක්වු කුඩාමහත්මයා මහත්මයා මතකයට ආවේය. ඔහු මගේ වයසින් සමකාලිනයෙක් විය. පාසල් අධ්‍යාපනයේ එගොඩ වීමට නොහැකිවුවත් ඔහු කවියෙක් විය. සමිති සමාගම් වල කථා පැවත්වීමට රුසියෙක්විය. කථාවක් අවසානයේ කවියක් දෙකක් කීමෙන්  තව දුරටත් එකල ගැමි සමාජය තම වසගයට ගැණිමට සමත්වු අයෙකු විය.
කවියෙකු සංවේදී හදවතක් ඇත්තෙක් විය යුතු නමුත් මේ කේළම් කමිටුවක සභාපතිවරයෙක්වු පසු ඔහුගේ සංවේදී බව විකෘතියකට පත්ව අසල්වාසීන්ගේ සුළු සුළු අඩුපාඩු පවා මහත් සමාජ ව්‍යාසනයන් ලෙස දකින්නට මනස විවර විය. 

මෙයින් උපන් බලවේගය අසල්වැසි සමාජය පුංචි දේටත් රාජ්‍ය පීඩනයට යොමු කරන්නට මොහු කටයුතු කලේය. එකල ඊට උඩ ‍ගෙඩි දුන් පලාතේ මංත්‍රී තුමියකද අපට ලැබී තිබුනේය.

කාලය ගෙවී ගියේය. අසල්වැසි සමාජය පෙරලා  මේ කේළම් කමිටුවක සභාපතිවරයාව පිලිකෙව් කරන්නට පටන් ගත්තේය. සමාජය විසින් ඔහු බැහැර කර ගමේ තනිකරන ලද්දේය. අවසානයට මේ තනිකම දරා ගත නොහැකිවු කුඩාමහත්මයා නම් සභාපතිවරයා  එක් අදුරු රැයක “ බෙලිහුල්ඔය පහන්තුඩා ” වලට පැන  සිය දිවිනසා ගත්තේය.ඔහුගෙන් පුංචි තමට සිදුවු පීඩනය කාලයත් සමග අමතක   කරන්නට හැකිවුවත් ඔහුගේ කවිත්‍වය තවමත් අපට ඉතිරිව ඇත්තේ දියට පැන සිය දිවි නසා ගන්නට  පෙර ඔහු දියට පැන්න ගල් තලාව මත මේ කවි සටහන  කොටා තබන්නට තරම් කාලයක් මරණය ගැන මෙනෙහි කරමින්  හිත ගල් කර ගෙන බැස යන බෙලිහුල්ඔය දෙස බලා සිටින්නට ඔහුට හැකිවු නිසාය.

පහන්තුඩා වල.


“මිනිසුන් අතර  සිටියත් ලේ කදුළු කඩා
මරණය සැපයි ජීවත් වනවාට වඩා.”

පසු කාලයක තවත් කවියෙක් මේ පද දෙකට යටින් මේ පද දෙක යටින් ගලේ කොටමින්
“ජනතා කොමිටියේ ලේකම් -   පුංචි කුඩා
පැන්නා වලට බෙලිහුල්ඔයේ පහන්තුඩා.”


යයි සටහන් කරමින් පදපූරනය කර තිබුනේය.
notes of imaginary

2 comments:

විචාරක Wicharaka said...

අප්පේ ඔය ජනතා කොමිටි වලට ඒ කාලේ මිනිස්සු බැන්න තරම්. ගෑනියි මිනිහයි ඇත්තම ගෑනියි මිනිහයිද බලන්න, ජනතා කොමිටිය රෑට හොරෙන් නිදන කාමරේට රිංගනවා, වැනි උපහාසාත්මක කතා කියවුනා. මා හිතනවා, සමගි පෙරමුණු රජය ජනතා අප්‍රසාදයට පත්වීමට, ඔය ජනතා කොමිටි සෑහෙන්න බලපෑවා. මතකද ඒ කාලේ පත්තරවල සෑහෙන්න කාටූන් තිබුණා ජනතා කොමිටි ගැන.

නියම කවි පද දෙකක්.

ඔය වල, දැන් සංචාරක ආකර්ෂණයට ලක්වී, පරිසර දූෂණයට ලක්වෙලා නැද්ද?

MPP Gunasinghe said...

මාව ක්ෂණිකව අතීතයට ගෙන ගියා හිතවත