Monday, May 30, 2016

සර් ! පුංචි මගුලක්.



ඉස්සර වගේ දැන් ලියන්නේ නැත්තේ ඇයි ?.
මගෙන් ප්‍රශ්නයක් .අකමැතිවුනත් උත්තර බදින්න එපාය.
කතා උල්පතක දවස ගෙවෙන මට දවස කෙළවර කර ගන්නේ මනසට වඩා  ගතට විවේකයක් බලාපොරොත්තුවෙන්.  මගේ වයසත් එක්ක අබලන් වන සිරුර යලි ප්‍රකෘතිමත් වෙන්න  විවේකය ඕනා වන නිසා  මම අත පය දිගහැර වැතිරෙනවා. දකින සිහිනත් සමග යලි හිරු එළිය දකින කොට  දවස පටන් අරන් කියලා වාර්තා වෙනවා . කාලයක් මට ලියන්න විවේක තිබුනා. මම පුංචි එකත් එක්ක තුන් අවුරුද්දක් සතුටින් අන් සියළු කටයුතු අත්හැර සෙල්ලම් කර කර හිටියා. නියම විශ්‍රාමිකයෙක් වගේ. දන්නෙම නැතිව ඒ විශ්‍රාම ජීවිතය ගිහින් හිර වුනා යලිත් පුරුදු තැනක.
ගත වුන සති කිහිපය මම දුටුවේ විවාහ මංගල්‍ය රැසක්. සමහර දින වල පස්වරු පහට අවසන් වන උත්සව ශාලාව නැවත හැඩ වෙන්නේ පස්වරු හතට පටන් ගන්න හෝම් කමින් උත්සවයක් සදහා සුදානම් වෙමින් .
කා බී නටන ඥාති මිත්‍රාදීන් දෙස විසිතුරු සෙටි බෑක් එක විරාජමාන වෙමින් බලා සිටින මනාල යුවලකගේ දුක් ගින්දර මේ නැටුම් නටන ඥාති මිත්‍රා හිතවත් අයගේ මනසේ සටහන් වෙනවද කියලා මට හිතා ගන්නවත් බැහැ. 
පසු ගිය වසරේ ජුලි මාසේ ඉදන් 2016 වසරේ වෙඩින් ප්‍රොගෑම් එක සටහන් වන  උත්සව ශාලා පොත්පත්වල  සැප්තැම්බර් මාසේ දක්වා සටහන් තියෙනවා. මාස කීයක ඉදන්ද විවාහ මංගල්‍යකට ලක ලෑස්ති වෙන්නේ කියලා හිතා ගන්න පුළුවන් ඒ කෙන්.
මා පසුගිය වසරේ දකින ලද උත්සව වලින් දෙමව්පියන් මැදිහත්ව උත්සව සංවිධාන කරන ලද ඒවා දැක්කේ ඉතා සුළු ප්‍රමානයයි.  වැඩි ප්‍රමානයක් මනාල මනාලියන් විසින් ආයෝජනය කරන ලද උත්සව . උත්සව ඇණවුම් කරන අය  ගැටළු කාර අත්දැකීම් වලට මුහුන දෙන්නේ උත්සව ශාලාවේ බිල ගෙවන්න ගියාම. නටා ප්‍රීතියෙන් සුබ පතා විසිර යන ඥාති මිත්‍රාදීන් බිල ගෙවන කවුන්ටරය ලග  නැහැ. බොහෝ දවසක බිල ගෙවන්න ගෙන එන මුදල් ගොනු කර  ඇති    අක්‍රමවත්බව දුටුවාම හිතාගන්න පුළුවන් ඒ මුදල් ගෙදරින්  හෝ  බැංකුවකින් නොගෙනා  මුදල් නොවන බව.
මෙවැනි අවිනිශ්චිත දවසක් ගෙවන සංවිධායක යුවලක් යාන්තම් සැනසුමක් ලබන්නේ උත්සව ශාලාවෙන් එළියට බැස්සාම විතරක් කියලා මට හිතුන දවස් බොහොමයි.
මේ අතර පසුගිය නැකත් දිනයක සාමාන්‍ය ඇදුමින් සැරසුන යුවලක් සමග භෝජනාගාරයට පැමිණි විස්සක් පමණ පිරිසකගේ  දිවා ආහාර ඇණවුමක් රැගෙන ආ සේවක මහත්තෙක්  “සර් පුංචි මගුලක්!  ”කියන උත්තරය ලැබුනම මට හිතුනේ ඥාණවන්තොයෝත් අප අතර සිටිනවා කියන සිතිවිල්ලක්.


notes of imaginary

2 comments:

MPP Gunasinghe said...

කදිම අත්දැකීම් ලැබෙනවා ඇති නේද විවේක ලැබෙන විදිහට දිගටම ලියන්න

Lalith perera said...

දැන් මගුල් ගන්නේ රටේ ලෝකෙ මිනිස්සුන්ට පෙන්ඩනේ....