Sunday, May 15, 2016

මල්ලී ගැන සටහනක්.



ජීවිතයේ නොයෙක් රටාවෙන් සටහන් ඇතිවෙනවා. ඒත් සටහනක් නොතැබූ,   සටහන් තැබිය යුතු සටහනක් 2015 නොවැම්බර්  මාසේ 29 දා මගේ ජීවිත සටහන් පොතේ  සටහන් වු දවසක්ලෙසයි මම හිතන්නේ. මේ සටහන  මීදුමට අද සටහන් තබන්නේ  බොහොමයත් පමාවෙලා. මේ පමාව මම හිතාමතාම ගොඩ නගා ගත්තක්. නොඑසේනම් මේ රටාවට සටහන් නොවී වෙනත් ආරක සටහනක් වෙන්න තිබුනා.
නොවැම්බර් 29 දා සිට අද වන විට මාස පහක් ගතවීත් ඊයේ සිදුවුවක් ලෙසයි මල්ලීගේ වියයෝව මට දැනෙන්නේ . ඒ අපි අතර තිබු  සුවිශේෂ සම්බන්ධය නිසාද?.  මා මතකය නැවත නැවත අළුත් කරමින් සිටින නිසාද?.  කියලා මට හිතා ගන්න බැහැ.

මල්ලී අපේ පවුලේ බාල සහෝදරයා. වයස අවුරුදු 48ක වනතුරුත් ඔහු හිටියේ අම්මාගේ ආදරය රැකවරණය ලබමින් .අම්මා මල්ලිට සැලකුවේ පුංචි එකෙකුට සලකන්නා වාගෙයි.  කෑවද නෑවද මුණ සේදුවද ආදී පෞද්ගලික කටයුතුත් මල්ලීට කරන්න සිදුවුනේ අපේ අම්මාගේ පූර්ණ අධික්‍ෂණය යටතේ කියලා කිව්වොත් නිවරදියි.

ඉතාමත් අසීමිත ලෙස වාහන ඉඩකඩම් වැනි වත්කම් පිළිබද ආශාවක් දැක්වුවද මල්ලී ඒ කිසිවක් තමන්ගේ ජීවිත කාලය තුලදී අත්පත් කරගැණීමට තරම් සුදුසු මානසික වාතාවරණයක් ඇතිව සිටියේ නැහැ. ඔහු කොන්ඩය පමනක් නොව රුවුල කැපුවෙත් කරනෑවැමියෙක්ගේ සේවය ලබා ගෙන. කකුලේ අතේ නියපොතු කපා පිරිසිදු කර ගැණිමට  ලොකු අයියා හෝ ලොකු අයියාගේ දියණියගේ සේවය ලබා ගත්තේ කිසිදු පැකලීමකින් තොරව.අම්මා දෙන රසකැවිල්ලක් විශේෂ ආහාර වේලක් ඉතාමත් කැමැත්තෙන් දියණියගේ පුතාට ගෙන එන මල්ලී , පොඩි එකාට දැක්වුයේ විශේෂ ආදරයක්.

මල්ලී  උසස් පෙළ විභාගයට පෙනීසිට වසරක් දෙකක් පමණ පසුවනතුරු සාමාන්‍ය තත්වයෙන් සිටියත් හිටි අඩියේ මානසික වැඩීම අසමාන්‍ය තත්වයක්  පෙන්නුම් කලා. ඔහු පාසල් සමයේ ලියු අත් අකුරු පවා පසු කාලයක ලිවුවේ ඉතාමත් අපහැදිලි කුරුමීණි අඩු වගේ.  කිසිම අකුරක නිවරදි බවක් හො සම්පූර්ණ බවක් තිබුනේ නැහැ. නොයෙක් ප්‍රතිකාර කලත් අවසාන ඔහුට සිද්ධවුනේ වෛ ද්‍ය  ප්‍රතිකාර යටතේ සදාකාලිකවම දවස ගෙවන්න. මේ කෙටි ජවිත ගමනේ  අවසානයේ අවුරුදු 48 ක් ඇවෑමෙන්   ක්‍ෂණික හෘදාබාධයකින් අප සියල්ලෝම අතහැර මල්ලී ජීවිතයෙන් සමුගත්තා.

ඒ හිස් වීම මල්ලීගෙන් ඇතිවු පාළුව මම තවමත් දරා ගන්නේ අසීරුවෙන් කීවොත් නිවරදියි.


පෙරදාක අළුයම මට මල්ලී “ ලොකු අයියේ “ කියා කතා කලා එතකොට වෙලාව පාන්දර හතරට වෙන්න ඇති මම ඇදේ ඉදන් “ එනවා මල්ලී...... “ කීවා කාමරේ ආලොකවත් කරමින් ප්‍රධාන දොරටුව ලගට ගොස් දොර විවෘත කලා ගේට්ටුව දෙස බලා සිටියත් මල්ලී නැ. මම” ඇයි මල්ලී.................... “ කියලා අඩ ගෑවත් , මල්ලී අප අතර නැති බව මට තේරුම් යන්න තවත් විනාඩි පහක් විතර ගෙවී යන්න ඇති.



notes of imaginary

5 comments:

විචාරක Wicharaka said...

මට හිටිය මල්ලිලා දෙන්නම අවරුදු දෙකක් තුල (2002, 2004) හදිසි නතුරු වලින් මියගියා. එක්කෙනෙක් සුනාමියෙන්, අනික් එක්කෙනා වාහන අනතුරකින්. අපි හිටියේ අයියලා මල්ලිලා වගේ නෙවෙයි. යාළුවො වගේ. මේවා ගැන හිතන්න ගියාම පපුව හිරවෙනවා. ජීවිතේ හැටි මෙහෙමයි කියා හිතලා දුක තුනී කරගන්නවා.

MPP Gunasinghe said...

ඒ දිනවල මා ලංකාවේ සිටියත් දැන ගන්න නොලැබුණේ ඇයිද යන්න ප්‍රහේලිකාවක් මේ පෝසටුව දැකීමෙන් මට ඇතිවූ පසුතැවිල්ල හා වේදනාව වදන් බවට පත් කරන්න යන එකේ තෙරුමක් නැහැ. කලකට පෙර හදිසියේ සමුගත් මගේ පොඩි මල්ලී නිසා තවමත් විඳවන මා ඔබ ලබන වේදනාව යම්තරමකින් හෝ ස්පර්ශ කරන්නට සමත් වෙනවා විය හැකියි. කළ හැකි එකම දේ ඔබේ මල්ලීට නිවන්සුව පතමින් නැවතීම පමණයි හිතවත.

ඉවාන් පවුලූශා said...

සංවේදී සටහනක් , මල්ලිට නිවන් සුව පතමි

sAm (සෑම්) said...

අන්තිම වාක්‍ය කීපයෙන් මල්ලී සමඟ තිබු ඔබේ ලෙංගතුකම පැහැදිලියි..

ඔහුට නිවන් සුව !!

Aruna Perera said...

මටත් මානසික දුර්වලතාවයක ඉන්න නංගි කෙනෙක් ඉන්නවා .ඇයත් වයස හතලිහ ඉක්මවු කෙනෙක්. අම්මාගෙයි, එයාගෙයි බැඳීම හරිම පුදුමාකාරයි. අපේ පවුලේ සියල්ලන්ගෙම සුරතලිය ලෙස ඇය ජීවත්වෙනවා. මට මේ පෝස්ට් එක අමතක වෙන එකක් නැහැ. අපේ දුවගේ උපන්දිනය එන්නෙත් නොවැම්බර් 29. ආපු කවුරුත් යන්න ඕන කියන සත්‍යය මෙනෙහි කරලා හිත හදාගන්න.