පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Friday, March 18, 2016

අපි හිත හදාගනිමු!




මේ අද දිවයින කතු වැකියයි. ඉරිසියාවට කියන කතා නොවේ. රටට බෙදන්න පෙර මඩියට බෙදා ගන්නා උදවිය ඉන්නා රටක..........

අපි හිත හදාගනිමු!

(මැතිඇමැතිවරුන්ට තීරුබදු රහිත වාහන ගෙන්වීම ගැන නැවත කියෑවීමකි.)

මැති ඇමැතිවරුන්ට සුපිරි දීමනා ලබා දෙන බව වාර්තා වූයේ පසුගිය සතියේ ය. දැනට වාර්තා වන ආකාරයට එවැනි සුපිරි දීමනා ලබාදීමක්‌ පිළිබඳව තවමත් එකඟතාවකට පැමිණ නැතැයි කියෑවේ. එහෙත් මේ සුපිරි දීමනාවලට අයත් නොවන තවත් සුපිරි වරප්‍රසාදයක්‌ එම මැති ඇමැතිවරුන්ට අනිවාර්යයෙන් ම හිමිවීමට නියමිතය. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාටම ඇමරිකන් ඩොලර් 62,500 ක්‌ බැගින් වූ තීරුබදු රහිත වාහන බලපත්‍ර (වාහන පර්මිට්‌)ය. දේශපාලනඥයන් මේ වන විට මහජන සේවයට කැප වී සිටින්නේ දුෂ්කරතා රැසක්‌ මැද ය. ඒවා රටේ ජනතාවට තබා වනේ වන හතුරෙකුටවත් විඳින්නට නොලැබේවා යන්න අපේ ප්‍රාර්ථනාවය. මේ හදිසියේ වාහන ගෙන්වන්නට තදියම මොකක්‌දැයි මේ ගැන හාංකවිසියක්‌වත් නො දන්නා මෝඩ තකතීරුවන්ට ප්‍රශ්නයක්‌ විය හැකිය. අපි ඒ ගැන පැහැදිලි කර දෙන්නෙමු. දිලිසෙන්නට ඔප දමා, µqල් කන්ඩිෂන් පිට අපට පෙනෙන්නට තිබෙන බොහෝ වාහන ඇත්තටම අබලන් ය. කෙනකුට ඒවා දකින විට සියුම් ඊර්ෂ්‍යාවක්‌ මතුවන්නේ එමවාහන දේශපාලනඥයන් සතුව තිබීම නිසාම මිස වෙන කාරණයක්‌ නිසා නොවේ. තුන් හතර දෙනකුට එක්‌ව එම වාහනවල ගමන් කිරීමේ හැකියාවක්‌ නැත. පොඩි වැස්‌සකට ද තෙමේ. තවමත් බොහෝ දේශපාලනඥයන් ගමන් ගන්නා රථ සමඟ 'බැකප්' වාහන ගමන් ගන්නේ 'ආරක්‍ෂාවට' යෑයි කවුරුන් හෝ සිතන්නේ නම් එය මුලාවකි. එම බැකප් වාහන ගමන් ගන්නේ අදාළ රථය (සමහර මෝඩයන් සුපිරි යෑයි සිතා සිටින) හදිසියේ බ්‍රේක්‌ ඩවුන් වූ විටෙක තල්ලු කිරීමට හෝ අලුත්වැඩියා කිරීමටය. එසේ නම් ආරක්‍ෂකයන් ගමන් ගන්නා රථය හොඳ තත්ත්වයේ තිබේදැයි කේන්ති යන අන්දමේ ප්‍රශ්න නොඅසන ලෙස අපි සියලුම මෝඩ මිනිසුන්ගෙන් ඉල්ලා සිටිමු.

ඇත්තෙන්ම අපේ කල්පනාව හැටියට මෙම වාහන පර්මිට්‌ එක සඳහා ලබා දී තිබෙන දීමනාව මදි බවය. මැති ඇමැතිවරුන්ට තීරුබදු රහිත වාහන ආනයන බලපත් ලබාදීමේ යෝජනාව ඉදිරිපත් වුයේ පසුගිය පෙබරවාරි මාසයේදී කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමේදීය. තීරුබදු රහිත වාහන ලබාදීමේ යෝජනාව අලුත්ම අලුත් ජනවාරි අට යෝජනාවක්‌ නොවේ. එහෙත් අලුත් ආණ්‌ඩුව එයට මැති ඇමැතිවරුන්ගේ යාන්තම් හිත හදන යෝජනාවක්‌ ඉදිරිපත් කර තිබේ. එම යෝජනාව අලුත් වී ඇත්තේ මෙතෙක්‌ පැවැති ආනයන බලපත්‍රයේ වටිනාකම වන ඩොලර් 50,000 ක මුදල වෙනුවට ඩොලර් 62,500 ක ප්‍රමාණයට එය වැඩිකර තිබීමය. ඒ අනුව රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් වාහනයක්‌ (තීරුබදු රහිතව) ගෙන්වා ගැනීමේ හැකියාව මැති ඇමැතිවරුන්ට ලැබේ. පසුගිය සතියේ මෙම වාහන පර්මිට්‌ ලබාදී ඇති අතර, මේ වන විට සියලු මැති ඇමැතිවරු එම වාසනාව සඳහා හිමිකම් කියා තිබේ.

මහජන සේවය සඳහා මේ වන විට අත්‍යවශ්‍ය කරුණක්‌ව තිබෙන 'වාහන පර්මිට්‌' විකුණන මැති ඇමැතිවරු ද සිටින බව ඉතාම සතුටින් සිහිපත් කරමු. ජනතාව දුක්‌ විඳින අතර වාරයේ තමන්ට මෙවැනි සුඛෝපභෝගී වාහන අනවශ්‍ය යෑයි කියමින් එම වාහන පර්මිට්‌ රුපියල් ලක්‍ෂ එකසිය අසූවේ සිට 200 දක්‌වා වූ ඉහළ මිල ගණන්වලට විකුණා දමන්නට මේ සත්පුරුෂයන් ඉදිරිපත් වන්නේ සද්භාවයෙනි.

රටේ ජනතාවට අඩුම මිලට වාහනයක්‌ ගන්නට හැකියාවක්‌ නැත්නම්, අඩුම තරමින් යතුරු පැදියක්‌ තීරුබදු රහිත මිලට නොව අවම මිලකට මිලට ගැනීමට හැකියාවක්‌ නැත්නම් අපට මේ සුඛෝපභෝගී වාහනවලින් ඇති ඵලය කුමක්‌දැයි සිතන මේ මැති ඇමැතිවරුන්ට ජාතියේ ප්‍රශංසාව හිමිවිය යුතුය. ඇත්ත වශයෙන්ම මේ මොහොතේ රටේ ජනතාවට ද කළ හැකි යමක්‌ තිබේ. ඒ අප වෙනුවෙන් දුක්‌ විඳින මැති ඇමැතිවරුන් වෙනුවෙන් ගතහැකි හොඳම පියවර ගෙන තිබේ යෑයි හිත හදා ගැනීමය.


notes of imaginary