පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Monday, November 21, 2016

ඕපනායක පුංචි කෝච්චිය.



පුංචි කෝච්චිය මගේ මතකයට ආවේ පුංචි කෝච්චිය දැකලා  නෙමෙයි.දැන් කාලේ  පුංචි කෝච්චියක් දකින එක හීනයක කතාවක්. නැත්නම් සිගිති උයනක සිගිත්තන්ගේ සෙල්ලම් කෝච්චියක කතාවක්. තියෙන පාර කොන්ක්‍රිට් කරගන්නවත් බැරිව දුෂ්කර ආර්ථිකයක හීන දකින අපිට  කෝච්චි පාරක් අළුතින් හදනවා කියන එකත්   ලොකු ම  ලොකු  හීනයක්.

 
 ඕපනායක පොලිස් ස්ටේෂමේ තියෙනවා සංරක්‍ෂිත කරන ලද දුම්රිය මැදිරි වල බර කිරන තරාදියක් . මේ තරාදිය දැකපුවම ආයෙත් මට පුංචි කෝච්චිය මතක් වුනා කීවාම නිවරදියි. දැන් කාලේ ඕපනායක පොලිස් ස්ටේෂම පිහිටා තියෙන්නේ -  ඒ කාලේ පුංචි කෝච්චියේ අවසාන ගමනාන්තය වු ඕපනායක කෝච්චි ස්ටේෂමේ.  ඒ කාලේ  ඕපනායක ස්ටේෂමේ ප්‍රධානියා “ ස්ටේෂන් මහත්තයා” - අද කාලේ නම් “ ඉනිස්පැට්ටර් මහත්තයා ! .”

1830 ලිවර්පූල් හා මැන්චෙස්ටර් අතර දුම්රිය සේවය අයත් අයිතිකරුවෝ හොඳම දුම්රිය ඇන්ජිම සඳහා පවුම් 500 ක ත්‍යාගයක් පිරිනමන බව ප‍්‍රකාශ කරනවා. මෙම තරගයට ඉදිරිපත් වන  රොකට්නැමැති දුම්රිය ඇන්ජිම නිපදවූ “ජෝර්ජ් ස්ටීවන්සන්ට”  රොකට්නැමැති මේ දුම්රිය ඇන්ජිම මගින් කිලෝමීටර් 56 ක දුරක් පැය දෙකක් වැනි කාලයක් ඇතුළත ගමන් කර පෙන්වීමෙන් ජෝර්ජ් ස්ටීවන්සන් සහ ඔහුගේ පුත් රොබට් ස්ටීවන්සන් ප‍්‍රසිද්ධියට පත්වනවා .  ජෝර්ජ් ස්ටීවන්සන් ගෙන් ඇරඹුන කෝච්චියේ වංශ කතාව දහ නව වන ශතවර්ෂය වන විට ලොව පුරා ප්‍රචලිත ප්‍රවාහන මාර්ගයක් බවට පත්වනවා. 


 සුද්දන්ගේ  හිරු නොබසින  යටත් විජිතයේ රටින් රට ඔවුන්ගේ ලාභාංශ තරකර ගැණිම පිණිස   සංවර්ධණ කටයුතු සිදුවිය. මෙම සංවර්ධනයේ අතුරු පලයක් ලෙස දකුණු අප්‍රිකාවේ  දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට සුද්දො සැලසුම් කරනව.
මෙම සැලසුම අනුව ලන්ඩනයේ සමාගමකට කිලෝ මිටර් 100  ක පමණ දුම්රිය මගක්  ඇතුළු දුම්රිය පද්ධතියක් සැදීම සදහා ඇනවුමක් ලැබෙනවා . මෙම ඇනවුම සම්පුර්ණ කර   දකුණු අප්‍රිකාවේ ස්ථාන ගත කරන්නට ගිය විට අප්‍රිකාණුවෝ   සහ එවකට සිටි යටත් විජිත ආණ්ඩුකාරයා එම දුම්රිය මග ස්ථාපනය කිරීමට විරුද්ධ වෙනවා. අප්‍රිකාණුවන්  බලාපොරොත්තුවු යේ  පුළුල් අමාන දුම්රිය ව්‍යාපෘතියක්.  එහෙත් ඔවුන්ට ලැබුනේ   පටු අමාන දුම්රිය ව්‍යාපෘතියක්.   කර කියා ගත නොහැකිව අතරමංවු  ව්‍යාපෘතිය පසුව යටත් විජිත භාර ලේකම් වරයා සහ ලංකාවේ ආන්ඩුකාරයාගේ මැදිහත් වීමෙන් කැළණිවැලි දුම්රිය මාර්ගය ලෙස කොළඹ -රත්නපුර ඕපනායක දක්වා ඉදිවෙනවා.


1890 සැප්තැම්බර් මාසේ දෙවැනිදා තමයි කැලණිවැලි රේල්පාර හදන්න පටන්ගන්නේ. 1902 සැප්තැම්බර්  මාසේ 15 වෙනකොට පුංචි කෝච්චිය අවිස්සාවේල්ලට එනවා. ඊළඟට 1912 අපේ‍්‍රල් 18 වෙනකොට රත්නපුරේට එනවා. ඔන්න ඔහොම 1919 මැයි 2 වෙනකොට පුංචි කෝච්චිය  ගමනාන්තය වෙන ඕපනායකටම ආවා.  කැළණී වැලි  ( කැළණි මිටියාවත ) සුද්දන්ගේ වැවිලි ආර්ථිකය නිසා ඇතිවුන නමක්. ඔවුන්ගේ වැවිලි නිෂ්පාදන කොළඹ එන්න මේ දුම්රිය මාර්ගය බොහෝම ප්‍රයෝජනවත් වුනා. ඔවුන්ට ක්‍රියාශිලි මගී ගමනාගමන සේවාවක අවශ්‍යතාවයක් නොතිබෙන්න ඇති.
1919 මැයි මාසේ 02 දා ඉදන් ඕපනායකට ආපු පුංචි කෝච්චිය 1997  පමණ වන විට අවට ගියාට එන ගමනක් වී  වර්ෂ 1998 දිනක උදෑසන, සංචාරකයින් කණ්ඩායමක් සමග  ඕපනායක ඉදන් ආපසු කොළඹ ගියාට පස්සේ තාමත් ආපසු ආවේ නැහැ.
පැරණි කැළණිවැලි දුම්රිය මාර්ගයේ අවසාන දුම්රිය ස්ථානය ඕපනායක දුම්රිය ස්ථානයයි. වර්තමාණයේ ඕපනායක පොලිස් ස්ථානය මෙම ගොඩනැගිලි පරිශ්‍රයේ පිහිටා තිබේ. මෙම පින්තූර වලින් දැක්වෙන්නේ මෙම පරිශ්‍රය තුල පිහිටුවා සංරක්‍ෂණ කර ඇති 1901 වර්ෂයේ නිෂ්පාදිත බිම් තරාදියකි. එහි දර්ශක පුවරුව විනාශවී ඇති අතර අනෙක් රක්‍ෂිත කොටස් මෙම පොලිස් ස්ථාන බිමේදී ඔබට නැරඹීමට පහසුකම් සලස්වා ඇත.
ස්තුතිය - ඕපනායක පොලිසිය වෙත.
මම  පුංචි කෝච්චිය දකින්නේ පැල්මඩුල්ලේ ගන්කන්දේ ඉගනා ගන්නා කාලයේ.  ( එකල පැල්මඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය )  සති අන්තයට ගෙදර යන එන අතර වාරයේ. තනියෙන් ගමනක් බිමනක් යන්න හිතේ  වාරු නැති ඒ වයසේ පුංචි කෝච්චියේ සවාරියක් යන්න හේතුවාසනා තිබුනේ නෑ. බස් එකේ යන එන අතර වාරේ හුණුවල ඉදලා ඕපනායක දක්වා මහා මාර්ගයට සමාන්තරව පිහිටලා තියෙන කොටසේ මම ගිය බස් එකත් එක්ක ( ඒ කාලේ බසුත් දැන් වගේ කගවේනා පිම්මේ ගියේ නෑ ) ඉබි ගමනේ තරගයක ගියා මට මතකයි. 
“දවස පත්‍රයේ සති අන්ත පත්‍රය වුන රිවිදින පත්‍රයට චන්ද්‍රා අනගිරත්න කෝච්චි ගමන ගැන ලියපු කොළමක මේ වගේ කවියක් පළවෙනවා. පසු කාලෙක මේ කවිය ඕපනායක කෝච්චියේ ගමන ගැන හොද උදාහරනයක් වුනා.
“පුංචි කෝච්චිය යයි හරි වේගෙන් - පැය හතරට එක හැතැම්මේ වේගෙන්
කොල්ලයි කෙල්ලයි නැගුනම කොටුවෙන් - දරුවෙක් බිහිවෙයි ඕපනායකින්


කොළ හා රතු කොඩි ගාඩ් වනන්නේ - අනේ මුන්ට මොන දේශපාලනේ
ගනින් බෝතලේ යමන් මාතලේ - යකාට ගියදෙන් ටයිම් ටේබලේ....,...”

notes of imaginary

Tuesday, November 15, 2016

සවිය.



උදේ පාන්දර 5.57 යි . පොලිසියෙන් ඇමතුමක්.
ඔබට එරෙහිව පැමිණිල්ලක් තියෙනවා.එයට කට උත්තරයක් ගැණිම සදහා හවස 2.00ට .........පොලිසියට  ( පොලිස් ස්ථානයේ නම සදහන් කරමින් )  එන්න.
පොලිස් කොස්තාපල් මහත්තෙක් ගෙන්  මගේ ජංගම දුරකතනයට ඇමතුමක්.
මොකක්ද මේ පැමිණිල්ල ?.
 මම විමසනවා.

“පාරක් වසමින් කම්බි වැටක් ඉදිකරලා ඔබ” . උත්තරය ලැබෙනවා. මගේ මනසේ නැගෙන්නේ පැමිණිල්ලේ බරපතල තත්වය. පාන්දර 5.57ට මට දැනුම් දෙන්න තරම් ?.

පොලිස් සේවය කොයිතරම් කාර්යක්‍ෂමද ? . මම හිතනවා. “ඇත්තෙන්ම මම අද කාර්ය බහුලයි. යොදා ගත්ත වැඩ තියෙනවා . මට වෙන දවසක් දෙන්න බැරිද ?.” මගෙන් කාරුණික ඉල්ලීමක් ඉදිරිපත් වෙනවා. දුරකතනය අනිත් කෙළවර  කාරුණික නැහැ. පොලිස් සේවයේ බල පරාක්‍රමය විසිරෙන ගමන් දුරකතනය විසංධි වනවා.

මේ පොලිසිය මා පදිංචි පොලිස් කොට්ඨාශයට  අයත් නැහැ. පදිංචි ප්‍රදේශයේ සිට තවත් ප්‍රධාන පොලිස් ස්ථානයක්ද පසු කරමින්  කිලෝමීටර් 25 කට එහායින් පිහිටි පොලිස් ස්ථානයක්. එහෙත් පාරක් වසමින් කම්බි වැටක් ඉදිකලායයි පැවසෙන ඉඩම පිහිටා තිබුනේ මේ කියන පොලිස් වසමේ. මම හිතන විධියට නම් මෙවැනි අවස්ථාවකදී විය යුත්තේ මා පදිංචි පොලිස් වසම මගින් මෙම පණිවිඩය මට ලබා දීමයි. නමුත් සිදුවූයේ පැමිණිලිකරු ලබා දුන් මගේ ජංගම දුරකතනයට වහාම කැදවීමක් කිරීමයි.

මට මැවෙන්නේ  බරපතල තත්වයකට මා පත්වී  - බරපතල පැමිණිලි පාර්ශ්වයක් මට එරෙහිව ඇති බව .

ඇනවුම ලැබු සැණින් මට පොලිස් ස්ථානයට වාර්තා කරන්න බැරිවෙනවා. දිගටම මගේ ජංගම දුර කතනය අදාල නිළධාරිමහතා ගෙන් ඇමතුම් ලැබෙනවා. අදාල නිළධාරිමහතාගේ උනන්දුව මට නම් පුදුමයි.  අන්තිමට මම චකිතයකින් යුතුව පොලිස් ස්ථානයට යනවා.

පැමිණිල්ල මේ ඉඩමට  පසුකරගෙන යමින් ඊට යාව තිබුන ඉඩමට  මා සංවර්ධණය කරමින් ඉඩම මැදින් පාරක් ලබා ගැණිමේ අරමුණින් කරන ලද්දක්.මම මගේ ඉඩමේ එක් කෙළවරකින් ඒ සදහා ඉඩකඩ ලබා දී තිබෙනවා. එය ඔවුනට ප්‍රමානවත් නැහැ. මේ ඉඩම සංවර්ධණ කටයුතු සදහා  මම  මිනුම් සැලැස්මට අනුව මායිම් ඉදිකලත් පැමිණිල්ලේ සදහන් අයුරින් වසා දමන්නට පාරක් ඉඩම මැදින් තිබුනෙත් නැහැ.

පොලිසිය පැමිණිල්ල විභාග කරන්නේ පැමිණිලිකරුවන්ගේ අභිප්‍රාය ඉෂ්ඨ සිද්ද කරදෙන පුර්ව නිගමනයක් ඇතිව.  නිහඩ බව වැදගත් බව  නිසා  මම නිහඩව කතා කරන්නට ඉඩ හැර අසා සිටිනවා. මගේ වාරය එනතෙක්. මා පෙන්වන මිණුම් පිඹුරු ඔවුනට වැදගත් බවක් නැහැ. ඒවා පිළිගන්න සුදානම් නැහැ. මා කරන පැහැදිලි කිරීම් ඔවුන්ට තේරුම් ගන්න බැහැ. 
මම අන්තිමට තීරණය කලා  කිලෝමීටර් 25ක් ඈත පොලිසියේ නිළදාරි මහතාට මගේ පෞද්ගලික අනන්න්‍යතාවය දිගහරින්ට. මගේ සුදු කොණ්ඩය , උස , මහත . පෞරුෂත්‍වය   ඔවුන් දකින්නට පටන් ගත්තා . මගේ මිණුම් පිඹුර , ඉඩම මැදින් පාරක් නොතිබු බව . ඉදිකර ඇති වැට අයිනෙන් ඔවුන්ගේ ඉඩමට යා හැකි බව තේරුම් යන්න පටන් ගත්තා.

ඉඩම මැදින් තිබුන පාරේ  පැමිණිල්ල යාන්තම් සිවිල් නඩුවකට යොමු කරමින් පැමිණිලි පාර්ශවය සතුටට පත් කලා. යන්තම්  මාව නිදහස් වුනා කාර්යක්‍ෂම පොලිසියෙන්. තව පොඩ්ඩෙන්  මට සිද්ධවෙන්නේ ගහපු කම්බි වැට ගලවලා පැමිණිලි පාර්ශවයට පාර විවෘත කර දෙන්න. 

සිවිල් නඩුවක් කියන්නේ තව අවුරුදු පහලොවක් විතර නීතිඥයන්ට කැඹිරීමක්. ඒ යන වියදමින් මගේ ඉඩම මිළට අරන් කාෆට් පාරක් හදා ගන්න යා බද ඉඩමේ හිමිකරුවන්ට පුළුවන්. මම පැමිණිලි විභාගේ අතර යොජනා කලා ඔය ගොල්ල මගේ ඉඩම මිළට ගන්න එතකොට පාරේ ප්‍රශ්නෙත් ඉවරයි. ඉඩමේ ප්‍රශ්නෙත් මට  ඉවරයි. කියලා.

මම බොහෝම සුහදශිලීව  පැමිණිලි පාර්ශවයෙනුයි පොලිස් මහත්තුරුන්ගෙනුයි සමුගත්තා.මේ ශ්‍රී ලංකාවේ පොලිසි නන්නාදුන අයට කොයිතරම් කාරයක්‍ෂමද කියලා ආවර්ජණය කරමින්.






notes of imaginary

ණය උගුල.



notes of imaginary

Tuesday, November 08, 2016

විවාහ මංගල්‍යයක්.



"මැද්ද සූරිය - මුනිඳු වැඩසිටි  - වේළුවන ජය මංගලම්
සුද්ද සුන් නරනිඳුන් සහ - සෙස්‌ රජුන් නම් කළ මංගලම්
ඇද්ද මෙකුමරු-  පාපු විස්‌මය -  සියලු සත හට මංගලම්
බුද්ද රත්නේ බෙලෙන් -  ඔබහට වේය ජයසිරි මංගලම්"
පෝරුවෙන් ඇසෙන්නනේ අෂ්ඨක කියනා ගුරුන්නාසේගේ හඩයි.
පෙරදා හවස  පැමිනී මනාලියගේ පාර්ශවයේ උදවිය පෝරුවත් , සෙටිබෑක් එකත් ස්ථාන ගත කිරීමට සැරසිලි කරුවන් හා කටයුතු කල අයුරු මගේ සිහියට ඒ. මේස සැරසිලි කරන අතර පැමිණි එක් තලතුනා මහතෙකු “  ජාතික කොඩි ටික මග දෙපස දානවා නේද ? ” යයි විමසුවා මතකය. “ ඔව් .. ඔව් ඒත්  මම අදි මදි  කරන විට ඇයි මහත්තයා කොඩි නැද්ද ?. මම තියනවා කියමි. මගේ මතකය ආපසු යමින් ජාතික කොඩිය භාවිතා කළ යුතු අන්දම පිළිබද උපදෙස් මටම  සිහිපත් කරමි. විවාහ මංගල්‍ය උත්සවය ජාතික උත්සවයක්ද ?. යන්න නිරාකරනය කර ගැණිමට මගේ මනස තුල මහත් සාකච්ඡාවකි. අනුග්‍රාහක භවතාට ඒ සාකච්ඡාවෙන් පලක් නැත.
මම ජාතික ධජයන් ගෙන්  උත්සව ශාලාවේ මිදුලත් මග දෙපසත් සරසා දීමට එකග වෙමි.  
 ජාතික ධජ විවාහ මගුල් උත්සව සදහා සැරසිල්ලක් ලෙස භාවිතය සුදුසු නැත. මගුල් උත්සවයක් යනු ජාතික උත්සවයක් නොවේ. මේ බව උත්සවකරුවන්ට  පැවසුවත් එය පිලිගන්නා කෙනෙක්  නැත. බොහෝ දෙනා උත්සව සැරසිලි පිළිබදව අවධානය යොමු කරන එක් අංගයක් වන්නේ  ජාතික කොඩි පාර දිගේ දැමීමයි. සිංහයන් පේලියක්  ලනුවක එල්ලී මග හරහාට කඩු අමෝරා සිටී. ඉන්පසු සිංහයා උත්සව ශාලාවට යන මග දෙපස ගැල්වනයිස් කණුවල පේලි ගැසී බලාසිටී.සමහර විටක සිංහයා කකුල් හතර උඩ දමා ගෙන උඩුබැල්මෙන් එල්ලී සිටි.


“නිම්ම නැති සංසාර දුක  - සිදුහත් කුමරු දැක සිතු පෙමින්
දැම්ම යමු  - අපි මහණවීමට  - අසුන් පනවැයි කී තොසින්
මංම පනිමිය - පහුරු මත්තෙන් - තුරඟ සිතු ජය මංගලම්
ධම්ම රත්නේ බෙලෙන් -  ඔබ හට වේය -  ජයසිරි මංගලම් ”
අමුත්තන් සම්භාෂණ ශාලාවේ  අසුන්ගෙන සිටී. තවත් අමුත්තන් උත්සවශාලාවට එමින් අසුන් ගන්නට සුදුසු තැන් සොයයි. අමුත්තන් පිරිසක් වටකර ගෙන  මනාල යුවල පෝරුමස්‌තකව සිටී.සුදෝ සුදු ජාතික බැනියමෙන් සැරසී සුදු පැහැති වේට්ටියකින් සැරසුන  අෂ්ටක ගුරුන්නාන්සේ කෙනෙක් ජයමංගල ගාථා  ගායනය කරනවා මගේ සිතේඇදේ. 

“අංග පෙරදැරි තුමා -  සිදුහත් එදා රෑ වැඩි සුබ ගමන්
තුංග ගිරි පව්වට උඩින් පැන  - වසවතුගෙ ඔද බිඳ තොසින්
නැංග අසුපිට ගෙවා -  තිස්‌ යොදුනක්‌ ගොසින් - ගං තෙරට වන්
සංඝ රත්නේ බෙලෙන් - ඔබ හට වේය - ජයසිරි මංගලම්..."
අෂ්ඨක ගුරුන්නාන්සේගේ පිළිබද චිත්ත රූපය මට සිතිවිල්ලක් පමනක් විනි.
 දවසකට  රජ වී පෝරු මස්තකයේ සිට  සිර ගතවන මනාල මහතා සහ නුවර විලාසිතාවට සැරසුන මනාලියට යුරෝපීය ඇදුමෙන් සැරසුන අෂ්ඨක කියන ගුරුන්නාන්සේ  මැදිවිය අහල මායිමකවත් නැති තරුණයෙකි. ඔහු මෙම යුවලට ආශිවාද පතා ගායනා කරන්නේ  සිදුහත් කුමරු ගිහි ගෙය කළකිරී මාළිගාවෙන් නික්ම ගිය කතා පුවත බව ඔහු නොදනී.
 සිදුහත් කුමරු මෙන් මේ මනාළ මහතාද ගිහිගෙය කළකිරී මහණ දම් පුරන්නට ගියහොත්  දහසක් බලාපොරොත්තු ඇතිව සිටින මනාළියගේ දෙමව්පියන්ට කාගේ සරනදෑයි මගේ සිතිවිලි අතරට එක්විනි.

notes of imaginary

Sunday, November 06, 2016

අළුත් අදහසක්.



මට ලස්සනට අදින්න බැහැ. ඒත් මට හිතෙනවා දවසේ සමහර වැදගත් සිද්ධීන් වලට මගේ හිතට එන ප්‍රතිචාරය කෙටියෙන් පවසන්න. ඒ අදහසට මගක් ලෙස  “ සතියේ සටහනට ” පුංචි චරිත දෙක තුනක් එකතු කර ගන්නවා.
බුරුවාගේ පිටේ තියෙන බර අපිව සුරා ගෙන ගොඩ කර ගත් ධනය  - සම්පත්.
අපි ඉතින් හැමදාමත් සටන් කාමියි. එත් වැඩක් නැහැ.කරන්නේ මෝඩ වැඩ. හැමදාමත් වරද්දගෙන කම්පා වෙනවා.


බලමු වැඩේ සාර්ථක වෙයිද කියලා. දවසින් දවස චරිත එකතු කරගන්න හිතනවා ඒ චරිතත් එක්ක මගේ අදහස්  පළකරන්න  පුළුවන් වෙයිද කියලා උත්සහා කරනවා.

notes of imaginary

Friday, November 04, 2016

දැයෙන් සමුගන්නා ගාන්ධර්වයා.


දැයේ සංගීතයත් දැයේ සුගායනයත් සේම දැයේ සංස්‌කෘතික ආත්මයේ පරම පිළිබිඹුවද වූ අමරදේව අප්‍රමාණ කලාකරුවාණෝ ස්‌වකීය අමරණීය නාමය හැම ජන හදවතක්‌ තුළම ඉතිරි කරවමින් ඊයේ දැයෙන් සමුගත්හ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථින් පිරිසක්‌ විසින් මීට දශක කීපයකට පෙර සම්පාදනය කරන ලද "අමරදේව ප්‍රතිසංවේදය" නමැති ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලද කොටස්‌ ඇසුරෙන් සකස්‌ කෙරුණු පහත සඳහන් ලිපිය පණ්‌ඩිත් අමරදේවයන්ගේ ළමා කාලයත් එතුමන් " "අමරදේවයන්" බවට පත්වූ ආකාරයත් විචිත්‍ර ලෙස විස්‌තර කෙරෙන්නක්‌ වේ. - නොවැ 04 දා දිවයින.
ගාන්ධර්වයා අමරදේව වූ හැටි.
භාරතීය මහා සංගීත සම්ප්‍රදාය පිළිබඳ විශාරදත්ත්වයක්‌ ඇතිව අවශේෂ සංගීත සම්ප්‍රදායයන්ගේද ආභාෂයත් ප්‍රභාවත් ලබා ගැනීමට තරම් සුඛනම්‍ය මනසකින් සංගීත නිර්මාණ ව්‍යාපාරය අර්ථවත් කළ අමරදේව අප සංස්‌කෘතියේ අන්තර් අංග කවරේද? ජාතික අවශ්‍යතා කවරේද? අපේ අනන්‍යතාව කවරේදැයි සැක හැර දැන ගත්තේය. මෙරට සංගීතයත් අමරදේවත් අතර, අවියෝජනීය සම්බන්ධතාවක්‌ ඇති වූයේ මේ අවබෝධයත් අධ්‍යයනයත් හේතුවෙනි. සුසංගත ස්‌වර චලන මඟින් ජාතියේ හද වෙණ පහරා නිනාද දෙවන්නට හැකි වූයේද මේ හේතුවෙන්මය.

අමරදේව මේ අවබෝධයත් අධ්‍යයනයත් ලැබුවේ මෙරට පොදු ජනතාවගේ පුත්‍රයෙකු වශයෙනි. දිගු ගමනකට සෑහෙන ජන්ම බලයක්‌ ඔහුට නොවීය. වඩුබාස්‌ කෙනෙකුගේ පුතකුට ජන්මයෙන් උරුම විය හැකි බලය කුමක්‌ද? මේ වඩු පුත්‍රයා සිංහාසන යෝගයක්‌ ඇතිව උපන්නේ නම් ඔහු අතිශූර වඩුවකු විය යුතුය. මාලා කර්ම ලතාකර්මාදියෙන් දැව දඬු හැඩ ගැන්මෙහි ශුරත්වයක්‌ ඔහුට හිමි විය යුතුය.

එක්‌තරා රිද්මයකට මිටි පහර නියනට වදී. වට මට කළ කළු මැදිරිය ලීයට හෝ සියඹලා ලීයට වදින මේ මිටි පහරින් මතුවී මැවෙන්නේ අපූරු ලිය වැලෙකි. මිටි පහර වදින හඬ වියෑකෙත්ම කොරළවැල්ලේ වෙරළ බඩින් නැගෙන රළ බිඳෙන හඬ මේ වඩු පුත්‍රයාගේ සවනට වැටේ. ඈත සිතිජයෙන් ඇරඹී නැග බැස රළ පෙළ විසල් සුදු සේලයක්‌ මෙන් වැල්ලෙහි තුනීවී මැකී යයි.

පියාගේ මිටි පහරින් වැටෙන ලියවැලෙහි රිද්මයත් නිබඳ කන වැකෙන මුහුදේ රළ බිඳෙන රිද්මයත් ස්‌වකීය සවන් බඳුනින් ගන්නා " වඩු පුත්‍රයා" ගේ ගමන කිමෙක්‌දැයි නැකැත් ඇදුරන් පළ කළ බවක්‌ දැන ගන්නට නැත. මොරටුවේ කොරළවැල්ලේ වන්නකුවත්ත වඩුගේ දොන් ජිනෝරිස්‌ බාස්‌ට දරුවන් සයදෙනෙකි.

බලාපු වඩුගේ මැගී වෙස්‌ලියානු මැන්දිස්‌, ජිනෝරිස්‌ බාස්‌ උන්නැහැගේ බිරිඳ සිය සය වැනි දරුවා ප්‍රසුත කළේ 1927 දෙසැම්බර් 5 වැනිදාය. දූ පුතුන් පස්‌ දෙනකු සිටින පවුලක සවැන්නාගේ උපත එතරම් සුවිශේෂි දෙයක්‌ විය නොහැකිය. මෙතොදිස්‌ත ආගම ඇදහූ ඇය ඡේසු පිහිටෙන් සිය සයවැනි දරුවා බිහි කළාය. සෙසු දරුවන් උපදින කාලයේ මෙන්ම සයවැනි දරුවා උපන් පසුවද ඇය දෙවියන්ට ස්‌තෝත්‍ර ගීතිකා ගායනා කළාය.

සාමාන්‍ය වඩු පවුලක දරුවන්ට කිරෙන් කා තෙලෙන් අත සේදීමේ වරමක්‌ නැත. මේ වඩුරාල ගමේ සෙසු වඩුවන්ගෙන් මඳක්‌ වෙනස්‌ විය. ඔහු සියුම් වැඩට දක්‌ෂයෙකි. ගමේ වටපිට ඇති වයලීන අලුත්වැඩියා කිරීමට ගෙන ආවේ ජිනෝරිස්‌ බාස්‌ උන්නැහේ වෙතය. වැඩ අවසන් කර තබන වයලීනය අතින් ගෙන තත් පහරා එහි කම්පනයෙන් ප්‍රකම්පනය වීමට පවුලේ බාල දරුවා වන්නකුවඩුගේ දොන් ඇල්බට්‌ පෙරේරා පුරුදු විය. මව ගීතිකා පොත දිගහැර දෙවියන් වෙනුවෙන් ගායනා කරද්දී හේ වයලීනය වයන්නට තැත් කළේය.

පියා අලුත්වැඩියා කරන වයලීනය වයන්නටත් මවගේ ගීතිකා ගායනය අනුව ගයන්නටත් පුරුදු වූ මේ බඩපිස්‌සා ගායනයෙහි ලා දැක්‌වූ සමත්කම දැනගත් ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ, ඔහු ලවා දොරකඩ අස්‌නක්‌ කියවිය යුතු යෑයි යෝජනා කළහ. ගමේ පන්සල අතුරු සිදුරු නැති පිරුණු දා කුඩා ඇල්බට්‌ මධුර ස්‌වරයෙන් දොරකඩ අස්‌න කීය. ඇල්බට්‌ගේ ගායනා මාධූර්යය දැනගත් ගමේ පල්ලියේ ස්‌වාමි, ඔහුගේ මවට කතා කොට ඇල්බට්‌ ප්‍රධාන ළමුන් පිරිසක්‌ යොදවා නත්තල් කැරොල් කණ්‌ඩායමක්‌ තැනීමට යෝජනා කළේය. ඇල්බට්‌ ප්‍රමුඛ කැරොල් කණ්‌ඩායම සිය මධුර ගායනයෙන් ගම පතළ විය.

සිය මෑණියන්ගේ වැඩිමහල් සහෝදරයා වූ ඉඳිබැද්දේ ආරොන් බාස්‌ කලාකාමියෙකි. ගමේ නාඩගම්වල රඟපෑ ඔහු කවි ගීත ගායනයටත් සමර්ථයෙක්‌ විය. සිය නැඟණියගේ පුතු ගායනයටත්, වාදනයටත් සමත්කම් දක්‌වනු දුටු මාමා අතිශයින් පැහැදුණේය.

කුඩා ඇල්බට්‌ කොරළවැල්ලේ ශ්‍රී සද්ධර්මෝදය බෞද්ධ පාසලට ඇතුළත් කරනු ලැබීය. මුල් ගුරුතුමා හෙළ හවුලේ කු. ජෝ. ප්‍රනාන්දුය. මුනිදාස කුමාරතුංග පඬිවරයාට හේ දෙවියකුට මෙන් සැලකුවේය. ඔහු බොහෝ විට සැන්දැව ගත කළේ කුමාරතුංගයන්ගේ හෙවණේය. ඔහු ගඟේ තොටුපළින් ඔරුවෙන් එගොඩ වන්නේ කුඩා ඇල්බට්‌ ද සමඟිනි. කුමාරතුංගයන්ගේ හෙවණ කුඩා ඇල්බට්‌ට රසෝඝයක්‌ විය. කුමාරතුංග, කු. ජෝ. ප්‍රනාන්දු ප්‍රමුඛ වියතුන් කරන වාද විවාද අසා සිටීම ඔහුට ආස්‌වාදජනක විය. ඇතැම් විට කුමාරතුංගයන් හමුවේ කවි ගායනා කිරීමට ඔහුට සිදු විය. මෙම හෙවණේ ඇසුර නිසා කුඩා ඇල්බට්‌ රස හඳුනන්නෙක්‌ විය. ලොකු අයියා ඩබ්ලිව්. ඩී. චාල්ස්‌ පෙරේරා ද වඩුකම් කරන්නෙකි. ඔහු ලද අවසරයෙන් මරදානේ ඇම්. ජී. පෙරේරා වෙතින් සංගීතය හදාළේය. එහිදී හදාරන කමාඡ්, බිලාවල්, යමන් ආදී රාග රෑ මැදියම වනතුරු ගායනා කරද්දී කුඩා ඇල්බට්‌ නෙත නිදි නොලබා අසා සිටී. ඔහුගේ ආසාව දුටු අයියා සංගීතයට මෙතරම් ලැදි මලයණ්‌ඩියටද තමා උගත් පාඩම් ගෙදරදී කියා දුන්නේය.

ඇල්බට්‌ පුතා කෙමෙන් සංගීත ලෝකයට ඇදෙනු දුටු ජිනෝරිස්‌ බාස්‌ උන්නැහේ පුතුගේ හත්වැනි උපන් දිනේදී සියතින්ම තැනූ වයලීනයක්‌ තෑගි කළේය. කුඩා ඇල්බට්‌ සිය පියාගේ වයලීනය අරගත්තේ කෙබඳු අධිෂ්ඨාන ශක්‌තියකින් දැයි මතකයක්‌ හෝ සඳහනක්‌ නැත. මෙකල තවත් හිතෛෂී ගුරුවරයෙක්‌ පාසලේ විය. ඩැනිස්‌ටර් තෝමස්‌ ප්‍රනාන්දු පාසලේ කලා කටයුතුවල නියෑළෙමින් කුඩා ඇල්බට්‌ටද වගකීම් පැවරුවේය. ජීවන ප්‍රභා, ශුද්ධ නුවරට බලා යන නාට්‍ය රඟ දැක්‌විය. පාසල් ගීත, වෙසක්‌ ගීත ගැයිණි. පාසලට සම්බන්ධව ඇරඹුණු කල්‍යාණ මිත්‍ර සංගමයේ කොළඹ කලා සංගමය මෙහෙයවූ ගායනා තරගයෙන් ඇල්බට්‌ ප්‍රධාන ගායක පිරිසට රන් පදක්‌කම් හිමි විය. සෙසු තෑගි ගණනාවක්‌ද පාසලට අත්විණි. අයියාගේ ගුරුහරුකම් ලබමින් කුඩා ඇල්බට්‌ වයලීනය සිය සුරතලා බවට පත් කර ගත්තේය.

ඔහු නින්දට වැටෙන්නේ අයියා වයලීනය වයන හඬ අසමිනි. අවදි වන්නේද වයලීනයේ නාදයෙනි. ඇල්බට්‌ගේ පරම මිත්‍රයා වයලීනය විය. හෙතෙම පස්‌වැන්නේ උගනිද්දී කළුතර ඩබ්ලිව්. ජී. ප්‍රනාන්දු සංගීත ගුරුවරයා වශයෙන් පාසලට ආවේය. දේවිකාරානි, අශෝක්‌ කුමාර් රඟපෑ චිත්‍රපට බැලීමට ඔහු සමඟ ගියේ ජපන් මැන්ඩලීනයද රැගෙනය. එහි කන්කළු ගීත ගයද්දී සිනමා ශාලාවේදී මැන්ඩලීනය වයන්ට ඇල්බට්‌ පුරුදු විය. ඔහු කොතරම් දක්‌ෂ වීද යත් ගුරුතුමා නැති අවස්‌ථාවලදී කුඩා ඇල්බට්‌ සංගීත පන්තිය කරගෙන ගියේය.

කුමාරතුංග පඬිවරයා සංගීතය පිළිබඳව උනන්දුවක්‌ දක්‌වන සමයේ ඇල්බට්‌ 15 හැවිරිදි කොලු ගැටයෙකි. පානදුරේ සරික්‌කාමුල්ලේ වින්සන්ට්‌ සෝමපාල මීයෑසියට ස්‌වර සම්පාදනය කළේය. මෙකල බස්‌ සටනට උරදුන් මනුවෙල් පෙරේරා කවි පෙළක්‌ ලීවේය.

වැලපෙව වැලපෙව මදුරු තතේ
තනිවම වැලපෙව අඳුරු පෙතේ
අලුවද නොරැඳෙයි සැලෙන අතේ
එකද කතෙක්‌ නොරැඳෙයි මසිතේ

කුඩා ඇල්බට්‌ භාෂා රසයෙන්ද මත් විය. ආශා සංවේදිතා තියුණු විය.
කුඩා ඇල්බට්‌ගේ ගායන, වාදන හපන්කම් මේ වන විට ගමින් ඔබ්බට පැතිර ගියේය. මේ හපනාට ශිෂ්‍යත්ව දීමට පානදුරේ ශ්‍රී සුමංගල විද්‍යාලය, කළුතර විද්‍යාලය, බලපිටියේ සිද්ධාර්ථ විද්‍යාලය සහ මොරටුවේ විද්‍යාලයද ඉදිරිපත් විය. පානදුරේ ශ්‍රී සුමංගලයේ සිටියදී ශිෂ්‍ය වැඩ වර්ජනයක්‌ සිදු විය. මේ නිසා විභාගයට වාඩිවන සිසුන්ට සිදු වන පාඩුව මඟ හැරවීමට ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා පැමිණ රෙජි පෙරේරාගේ නිවසට ගෙන්වූ සිසුන්ට ආර්ථික විද්‍යාව ඉගැන්වූ අයුරු කුඩා ඇල්බට්‌ගේ මතකයේ රැඳිණි. ඉන්පසු ඔහු මොරටුව විද්‍යාලයට අවේය. එහිදී ඉතා සුවිශේෂ සිද්ධියක්‌ විය. ඇල්බට්‌ ප්‍රථම වරට "වයර්ලස්‌" කන්තෝරුවට ගියේ මොරටු විද්‍යාලය මැදිනි. මොරටු විද්‍යාලයේ කවි තරගයෙන් මුල් තැන් ගත් ඔහුට වයර්ලස්‌ එකෙන් ඒ කවි ගායනය ඉදිරිපත් කිරීමට ගුරු මණ්‌ඩලය ඉඩ ලබා දුන්නේය. ඔහු වයර්ලස්‌ එකෙන් ප්‍රථම වරට රටටම ඇසෙන්නට කවි කීවේය. ඔහු මුල්වරට නාට්‍යයකට සංගීතය සම්පාදනය කළේය. ඒ විද්‍යාලය ඉදිරිපත් කළ කිරිහාමි නාට්‍යයටය.

වයලීනයට ආදරය කළ කුඩා ඇල්බට්‌ ජීවිතයේ ප්‍රථම වරට අංග සම්පූර්ණ වාදක මණ්‌ඩලයක්‌ දුටුවේ එදාය. මොරටුවේ ජෙරාඩ් ඡේ. පීරිස්‌, ගවුස්‌ මාස්‌ටර්ට ඇල්බට්‌ හඳුන්වා දුන්නේය. ගවුස්‌ මාස්‌ටර් නොබෝ වේලාවකින් ඔහුගේ කුසලතා හැඳින ගත්තේය. වාදක මණ්‌ඩලයේ ප්‍රධාන වයලීන ශිල්පියා වශයෙන් කුඩා ඇල්බට්‌ පත් කර ගත්තේය. එදින වයලීනය අතට ගනිත්ම පාසල අතහැර දැමීමට ගේ තීරණය කළේය. මයිකල් සන්නස්‌ ලියනගේ, එමලින් දිඹුලාන, දොන් එඩ්වඩ්, මොහිදීන් බෙග් ආදීහුද එවකට ගවුස්‌ මාස්‌ටර් වෙතින් ශිල්ප හදාළහ.

1953
දී ඇල්බට්‌ පෙරේරාගේ ජීවිතයේ පෙරැළියකට මඟ පාදන තවත් පඬිවරයකු වෙත ඔහු කැඳවාගෙන යනු ලැබුවේ ගුවන් විදුලියේ කුලසිරි අමරතුංග විසිනි. එවකට ගුවන් විදුලියේ යෞවන සමාජය මෙහෙයවූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ඇල්බට්‌ පෙරේරාට තමන්ගේ "පබාවතී" නාට්‍යයේ සංගීත සම්පාදනය භාර කළේය. ඇල්බට්‌ පෙරේරා යන ගමන ඉසිවරයකු මෙන් ඔහු දුටුවේය. භාරතීය මහා සංගීත සම්ප්‍රදායේ ආශිර්වාදය මොහුට ලබා දීමට අවශ්‍ය පියවර ඔහුට පෙනිණි. සිය කල්‍යාණ මිත්‍ර පත්‍ර කලා ගුරු ඩී. බී. ධනපාල මහතාගේ "ලංකාදීප" පත්‍රයේ ඇල්බට්‌ පෙරේරා අරමුදලක්‌ ආරම්භ කරවීමෙහිලා ප්‍රොaත්සාහී විය. මහජන ආධාර ගලා ආවේය. නාට්‍ය ශිල්පීහු ඔහු වෙනුවෙන් රැඟුහ. ගායක ගායිකාවෝ ගැයූහ. වාද්‍ය ශිල්පීහු වැයූහ. ජනතා ආධාරද, ආශිර්වාද ද මධ්‍යයේ මහාචාර්ය සරච්චන්ද්‍රයෝ ඇල්බට්‌ පෙරේරා අමරදේව නම් අමරණීය නාමයෙන් අභිෂේක කළහ.

-  දිවයින  නොවැම්බර් මස 04 දින පලකරන ලද්දකි. 



notes of imaginary

Wednesday, October 19, 2016

මල්වර වෙලා.



අද ඔක්තෝම්බර් මාසේ 19 වෙනිදාය.පාන්දරින්ම  මා හමුවන්නට පාරිභෝගිකයෙකු පැමිණ ඇත. ඔහුගේ උවමනාව මගේ සේවය ලබා ගැණීමයි. මම සුව පහසු අසුනක් පෙන්වා වාඩි ගන්වා පිලිසදරට එක්වෙමි. සේවකයෙකු තේ එකක් පිලි ගන්වා ඇත් වෙයි. මම සිරිත් පරිද්දෙන් පාරිභෝගිකයාට සවන් දෙන්නට සුදානමින් ඔහු ආ කාර්යයට පිවිසෙන්නට ඉඩ ඇරියෙමි. වටින් ගොඩින් කියනා පරිද්දෙන් මංගල්‍යයක් විය යුතුයයි මම සිතුවෙමි. මගේ මනසේ ඇදෙන්නේ විවාහ මංගල්‍යයක් පැවත්වීමට අප ශාලාවත් පහසුකමුත් පාරිභොගිකයාට අවශ්‍ය බවයි . මම ආහාර ලැයිස්තුත් බීම වර්ග වල මිළ ගනන් කට ගැස්ම පිලිබදවත් ශාලා සැරසිලි පෝරුව සෙටි බැග් ආදිය ගැන දැනුම්වත් කරන්නට පටන් ගතිමි. “ නෑ නෑ මහත්තයා මට ඕන  මේ පුංචි මගුල් ගෙයක් පවත්වන්න ” පාරිභෝගික මහතා මා ඔහුගේ ධාවන පථයට ගෙන එයි.

දවස කවද්ද ? . මම අසමි. නොවැම්බර් 02 දා. මගේ කාර්ය සටහන අනුව ශාලාව වෙන් කරදිය හැකි බව පවසමි. ඒ ගමන්ම මගේ සිතට නැගී ආයේ තවත් කරුනකි. දවස් දොලහක් දහතුනක් සිරකර තබන දියණියක ගැන මම සිතමි. ඔක්තෝම්බර් මාසේ උත්සව නැකත් හෙටින් පසු ඇති බව මගේ කාර්ය සටහන අනුවම කිව හැකිය. එබැවින් “ ඇයි  ? මේ මාසේ නැකත් තියෙනවා නේ මම කියමි.”
ඔව් .  ඒ වුනත් නොවැම්බර් 02 තමයි නැකත් ගත්තේ

මල්වර උත්සවය නිවසින් බැහැරව උත්සව ශාලාවක පැවත්වීම  දක්වා අද කාලය විකෘතිව ඇත. මගේ පාරිභොගිකයාගේ ආරාධිතයන් ප්‍රමානය තුන්සියයකි. ඔහු මෙතරම් වියදමක් දරන්න සුදානම් වන්නේ ඇයිදැයි මට ප්‍රශ්න කල නොහැක.මම උපදේශකයෙකු නොවෙමි. මම මගේ ආයතනික පැත්ත ගැන සිතන්නෙක්  වෙමි.  පසුගිය දිනක සහභාගීවු මල්වර උත්සවයකට එම දෙමව්පියන් වියදම් කර තිබු මුදල ගැන සිතූවිට පුංචි ගෙයක් හදා ගන්නට තිබුනා නේදෑයි එදා මට සිතිනි.
මතෘත්වය කාන්තාවකට හිමිවීමේ පලමු වරම ලෙස මල්වර වීම හැදින්විය හැක.කායික විද්‍යාණුකුලව මල්වරවීම කාන්තා සිරුරක සිදුවන සාමාන්‍ය ක්‍රියාවලියක ආරම්භක අවස්ථාවයි.මෙය අඩ බෙර ගසා රටට කිවයුතු කාරනාවක් නොවේ.එහෙත් අපේ සංස්කෘතිය විසින් යම් යම් සිරිත් විරිත් මල්වර වීමෙදී පෙර පටන් අනුගමනය කරන්නට පරිසරය සකස් කර තිබේ. ඒවා අඩු හො වැඩි වශයෙන් අනුගමනය කරන අතර දැනුම්වත් දෙමව්පියන් පවුලේ ඥාතීන් අතර පමනක් පවත්වන සරල උත්සවයක් බවට මල්වර උත්සවය පත්කර ගෙන සිටී.

අතීතයේ සිට පැවත එන සිරිත් අනුව දියණියක විසින් තම මවට මේ බව දැන්වු විට , මව ඇය අතට ලෝහමය ආයුධයක් අතට දී කිරි ගහක් ලගට ගොස් ගසට කිරි එනසේ කැපුමක් කරනු ලැබේ ලෝහමය ආයුධයෙන් ආරක්‍ෂාවත් කිරි ගහෙන් සෞභාග්‍යත් සංකේතවත් කරනු ලැබේ. 

ශබ්ද නඟා කතා නොකිරීම, දින තුනක්‌ ගතවන තුරු කිසිවෙකුට මුහුණ නොපෙන්වීම, තාරකාවන් දෙස නොබැලීම, සුවඳ විලවුන් පාවිච්චි නොකිරීම, ස්‌නානයෙන් වැළකීම, ආභරණ නොපැළඳීම, නියපොතු, හිසකේ නොකැපීම, හිසකේ පීරීමෙන් වැලකීම යන අංග මල්වරය හා සම්බන්ධ සිරිත් විරිත් අතර ඇතුළත් වේ. නැවුම්   බදුනමැටික ආහාර ගැනීම, දෝතින් ගෙන ජලය පානය කිරීමත් ,මල්වරවු දියණියකට තාවකාලික සිර දිවියක් ගතකිරීමට සිදුවේ.

 සමහර ප්‍රදේශවල පස්‌ මොරු කුල්ල දීම නමින් චාරිත්‍රයක්‌  තිබේ. මෙම චාරිත්‍රයේදී  හාල්, පොල්, තුනපහ, පළතුරු, කැවිලි, බුලත්, පුවක්‌ ආදිය ද, දියලබු, වට්‌ටක්‌කා වැනි එළවළු වර්ග කීපයක්‌ද කුල්ලක අතුරා   පහනක්‌ තබනු ලැබේ

මල්වරවු දියණියක ස්නානයෙන් පසු නිවසට  පිවිසෙන අවස්ථාවේ දොරකඩ හරහා පැදුරක් එලා වී,තල උදු මුං මෑ ඇට  දමා ඒ මත තොලබෝ අත්තක් සහ මොල්ගහක් හරහට දමා ඒ උඩින් ඇවිද ගෙන යාමට සලස්වනු ලැබේ .මේ අවස්ථාවේ රෙදි නැන්දා විසින් පොල් ගෙඩියක් බිම තබා දෙපළු වනසේ බිදිනු ලැබේ. මින් පසු ඈ කැදවා ගෙන යන්නේ නිවසේ මැද සකස් කර ඇති     රන්, රිදී, මුතු, මැණික්‌ ආදියෙන්ද කැවිලි, එළවළු, හාල්, පොල් හා ඇඳුම් ආදි ද්‍රව්‍ය වලින්  බිම පැදුරක අතුරා සකස් කර ඇති  ස්‌ථානයටයි. මෙම ස්ථානය පැදකුණු කර  පහන් දල්වා සිරිත් කරනු ලැබේ. වැඩිවියට පත්වන අවස්ථාවේ  ඇඳ පැළඳගෙන සිටි කණකර ආභරණ, ඇඳුම්, කොට්‌ට, පැදුරු සියල්ලම රෙදි නැන්දාට භාරදීම වැනි සිරිත්ද  ඇතුලත්වේ.    


රෙදි නැන්දා අද වොසින් මැසින් එකවී ඇති බැවින් මව හෝ ඥාති නැන්දා කෙනෙක් මේ සිරිත් විරිත් සදහා මැදිහත්වේ. සිරිත් විරිත්ද වර්තමානය වන විට ලඝු වි ඇතත්, උත්සවශ්‍රීය නම් සංකීර්ණවී ඇත. මගේ පාරිභෝගිකයාට සිදුව ඇත්තේ උත්සවශ්‍රීය සංකීර්ණවීමයි.


notes of imaginary

Friday, October 14, 2016

අල මහත්තයා.

ගොවි ජන සේවා මධ්‍යස්ථාන වලට අනියුක්තව කෘෂිකර්ම සංවර්ධන පර්යේෂණ නිලධාරි නමින් තනතුරු ලාභි රාජ්‍ය නිලධාරීන් පිරිසක් අද රාජකාරියේ නිරතය. එමෙන්ම 1970 – 1977 පාලන යුගයේ වගා නිලධාරින් යයි කොටසක් බිහිවු අතර මේ දෙපිරිසම කරන  ලද්දේ එකම සේවාවක්ය.මොවුන් දෙපාර්ශයේම කරන ලද රාජ්‍ය සේවය විවාදිතය. එමෙන්ම කරන සේවාව කුමක්දැයි අවිනිශ්චිතය.
මොවුන්  ජනතාවගේ සූරා ගන්නා බදු මුදලින්  වැටුප් ලබා යැපෙන්නෝය.අදාල විෂයය වන කෘෂිකර්මය ගැන නිසි අවබෝධයක් නැති ඒ පිලිබද පත් කිරීමෙන් පසුව වුවද නිසි පුහුණුවක් නොලැබු  පිරිසක් ලෙස මා දකින මොවුන් ගෙන් පලදායි සේවාවක් ලබා නො.ැණීම අවධානයට ලක් විය යුතුය.

මොවුන්ගේ පත්වීම් දේශපාලන පත්වීම්ය.  මහින්ද රාජපක්‍ෂ මුල් යුගයේ  එක්සත් නිදහස් සන්ධාණයේ මැතිවරණ ප්‍රචාරක නිලධාරින් ලෙස කටයුතු කර  ඒ වෙනුවෙන් ප්‍රතිලාභ වශයෙන් මේ පිරිසෙන් කෘෂිකර්ම සංවර්ධන පර්යේෂණ නිලධාරින්  ලෙස පත්වීම් ලද්දේය. 1970 ජයග්‍රහණය සදහා උර දුන් මැතිවරණ ප්‍රචාරක නිලධාරින්  හට එවකට  ධාර්මිෂ්ඨ පාලනය විසින්   වගා නිලධාරින් ලෙස පත් කර ගත්තාය. පසු කාලයක වගා නිලධාරි තනතුර අහෝසි කර  එම තනතුරුලාභින් ග්‍රාම සේවා නිලධාරින් ලෙස පත් කලේය.මේ දෙගොල්ලම කෘෂිකර්මය නගා සිටුවීම පසෙකලා   ගම් මට්ටමින් තමන් නියෝජනය කල දේශපාලන ධාරාව වගා කිරීමට කටයුතු කලේය. 

1970 ට පෙර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රජකාරි කල කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරීන් කොටසක් ගම්වලට අනියුක්තව සිටියේය. එවකට පැවති ගම්මුලාදෑණි / ග්‍රාම සේවක කොට්ඨාශ කිහිපයකට එක් නිලධාරියෙකු බැගින් පත්ව සිටි මෙම රාජ්‍ය සේවකයෝ ගම්වාසීන් විසින් හැදුන්වුයේ “ ගොවි මහත්තයා ” නමිනි. ගොවි මහත්තයා  - වහරේදී  “ගොයි මහත්තයා ” විය. මේ ගොයි මහත්තයා  ස්කොලේ මහත්තයා මෙන් ගමට ප්‍රභු වරයෙක් විය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පේරාදෙණිය ,ගන්නොරුව වැනි කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථාන වල පුහුණුව ලබාදී ගමට එවු මේ ගොවි මහත්වරු ගමේ ගොවිපල වල ගොවින්ට උපදෙස් සැපයු නියම උපදේශක වරු විය

1965 – 1970 ඩඩ්ලි සේනානායක යුගයේ දියත්වු වගා සංග්‍රාමය  “ 71 මෙන්ම 89 දරුවන්ට මතක නැතිවා වෙන්න පුළුවන. මේ යුගයේ ප්‍රථම වරට ලක් පොලොවේ වානිජ පදනමින් අර්තාපල්  වගා කිරීම ඇරඹු යුගය විය. අර්තාපල් වගා කිරීම සදහා ගොවීන්ට බීජ , පොහොර . වගා උපදෙස් සැපයීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් සිදු කල අතර ක්‍ෂෙත්‍රයේදී  දෙපාර්තමේන්තුවේ කටයුතු මෙහෙය වන ලද්දේ ගමේ කෘෂිකර්ම නිලධාරියා වු ගොයි මහත්තයා විසින්ය.

 මගේ කතානායකයා    තම පලමු පත්වීම රැගෙන අර්තාපල් වගාව පිලිබද පුහුණුවකුත් සමග වැලිමඩ ප්‍රදේශයට යනු ලබන්නේ මේ වකවාණුවේය. එළවළු වගා බිම් වල අර්තාපල් වගාව ප්‍රචලිත කිරීමට වගා බිමෙන්  - වගා බිමට උපදෙස් දීමට ගිය නිසා වෙන් සහ ආර්ථික බෝගයක්  ලෙස අර්තාපල් වගාව තහවුරු   වීම නිසා ඔහු වැසියනට ගොවි මහත්තයා නොවී  ඔහු  “අල මහත්තයා ”විය.

වැලිමඩ ප්‍රදේශයේ ගොවීන් අතර ජනප්‍රිය චරිතයක් බවට පත්වු  ඔවුන්ගේ  ආදරණීය අල මහත්තයා  අවුරුදු හැත්තෑ නවයක් ආයු විද කම්වු පරිද් දෙන් පසුගිය 10 වෙනිදා සවස් භාගයේ අප අතරින් වියෝවිය. වැලිමඩින් කිලෝමීටර් හැත්තෑවක් පමන දුර බලංගොඩ / ඉඹුල්පේ අ.මු.ස.මු ජයසේකර බණ්ඩාර නමින් උපතේදී නම් ලබා වැඩිදුර අධ්‍යාපනයෙන් පසු වැලිමඩ රැකියාවට ගිය ඔහු එහිදී විවාහව දූ දරුවන් සමග පදිංචිව සිටි දශක පහක් පමණ කාලයේ උපයා ගත් අභිමානය අපට නම් කිසිදා ලබා ගත නොහැක. ඒ සියල්ල ඔහුට හිමිකර දී තිබුනේ තමන් පලදායී රාජ්‍ය සේවයක නිරත වෙමින්  ජනතාවත් සමග ඉදිරිපෙල සිටි නියමුවෙකු නිසා වෙන්යයි  මට සිතුනි.




වැලිමඩ ප්‍රදේශවාසී ජනතාවගේ ආදරණීය අල මහත්තයාට අජරාමර  නිවන් සුවය අත්වේවායි  එසේ පැතූ  ජනතාව සමග එක්ව මමද  ප්‍රාර්ථනය කරමි !.

notes of imaginary