Tuesday, April 14, 2015

සුබ නවවසරක් වේවා !.




මීදුම,  මීදුම  අමතක කර ගිහින්.වෙනදා සතියකට වරක් වත් මොනවා  හෝ  අදහසක්   පල කරන මීදුම දැන් දැන් උදාසීන වෙලා. අපි කාලෙකින් හමුවුනාම අහනවා ,  කොහොමද ? වාසේ දේසේ කියලා. “ඔන්න ඔහේ ඉන්නවා “ කාගෙනුත් ලැබෙන උත්තරය.
මීදුමටත් දෙන්න තියෙන උත්තරය “ඔන්න ඔහේ ඉන්නවා “ කියලා.
හෙට අළුත් අවුරුද්ද ලබනවා. සූර්යා මේෂ රාශියේ ඉදන් රාශියෙන් රාශියට ගමන් කරලා මීන රාශයට ඇවිත් යලිත් මේෂ රාශියට සම්ප්‍රාප්ත වීම   මුල් කර ගෙන  ඇති කරගත් නැකැත් අනුව අළුත් අවුරුද්දකට මුල පුරනවා.රටේ සිංහල බෞද්ධ කියන කොටස එකම වෙලාවකට වැඩ නතර කරලා එකම වෙලාවකට ලිප ගිණි මොළවලා ආහාර අනුභව කරලා නැවත එකම වෙලාවකට වැඩ පටන් අරන් ගණු දෙනු කරලා අවුරුද්ද සැමරීමත් අපුරු සංකල්පයක්.
මේ සිරිත් විරිත් දැන් ටිකින් ටික අභාවයට යනවා. නොයෙක් අදහස් උදහස් ඔළුවලට කාන්දු වෙන කොට අපේ පැරැන්නේ සිට පැවත ගෙන එන සම්ප්‍රධායන් අභියෝගයට ලක්වෙනවා. විහිළුවට පත්වෙනවා.
කාලෙන් කාලෙට හැදින්වීමත් වෙනස් වෙනවා. සිංහල අවුරුද්ද - සිංහල දෙමළ අවුරුද්ද - සිංහල හිණ්දු අවුරුද්ද  ඔය වගේ වෙලා අද වෙන කොට මේ හැදින්වීමත්  වර්ගවාදී හැදින්වීමක් කියලා වියතුන් සහ එවැනිම දේශපාලකයෝ ප්‍රකාශ කරනවා. අපිත් ඒවට අවධානය යොමු කරන්න එපාය.එයාලා දන්න කියන මිනිස්සු නේ.  අවධානය යොමු කරලා මේ නාස්තිකාර අවුරුදු සැමරීම අත්හිටවන්න එපාය. මොකද?.  කෘෂිකාර්මික ආර්ථික ජීවිතයෙන් අපි දැන් මාරුවෙලා ඉන්නේ. දැන් පවතින  ආර්ථික රටාව තුල සිංහල අළුත් අවුරුද්දක් තියෙන්න බැහැනේ.  මාසේ පඩි දවසට විතරක්නේ අවුරුදු දවස වගේ වෙන්නේ .
පහුවෙනිදා ඉදන් ආයෙත් කොඩේ ගහන ආර්ථිකයක උත්සව කියන දේවල් කරදර හිරිහැර වෙනවා. බක පණ්ඩිත මතවාදීන් මේවට ගැලපෙන මතවාදත් දියකරපුවම අතීතයේ සිට පැවත එන සිරිත් විරිත් සංස්කෘතික ගුණාංග නටබුන් බවට පත්වෙනවා.
සිංහල අවුරුද්ද සමරන අපි සිංහල සංස්‌කෘතියේ හරය තම අධ්‍යාත්මය තුළ ඇති බව රටට පෙන්න සලස්වනවා. අපේ රට අද වන විට  සංස්‌කෘතිය යන සංකල්ප නිසා දෙපැත්තට වෙලා. මෝඩ දේශපාලන - ඥයෝත් ඊට ගැලපෙන එන්.ජී.ඕ නඩත් මේ බෙදීම තර කරනවා . ඒ උන්ගේ වාසියට.   කවර ජාතියකට වුවද අනන්‍ය වූ සංස්‌කෘතියක්‌ තිබෙනව. ඒ අනන්‍යවු සංස්කෘතිය රැකගෙන අපි එකම ජාතියක් හැටියට සහජීවනයෙන් ඉන්න ඕනි කියන මතවාදය තහවුරුකරන්න  බඩ පමනක් හිතන පිරිස උනන්දු වෙන්නේ නැහැ.


අපේ කාලයේ අළුත් අවුරුද්ද    දානය, ප්‍රියවචනය, අර්ථචර්යාව, සමානාත්මතාව වැනි බෞද්ධ සංකල්ප වටා ගෙතිලා තිබුනා.පරණ අවුරුද්දත් අළුත් අවුරුද්ද ලබන කාලයත් අතර ඇති සංක්‍රන්ති සමය පුණ්‍ය කාලය ලෙස වෙන් කරල තිබුනා. පුන්‍ය කාලය තුල අපි පන්සලට එක් රොක්වුනා. අලුත් අවුරුදු ඇරඹෙන්නේ ලිප ගිණි මොලවා අහාර පිසීමෙන් අනතුරුව ආහාර අනුබවය සහ ගණුදෙනු සදහා කාලය වෙන් වුනා.  තම දෙමව්පිය නෑයින්ට, අසල්වාසී හිතවතුන් අතර   ආහාර, වස්‌ත්‍ර, මුදල් හෝ වෙනත් ප්‍රදාන කිරීම සිදුවුනා . මේ සිරිත් විරිත් දානයක් කියලා මීදුම හිතනවා. අවුරුද්දක් පුරා ඇතිවුන විරසකකම් දුරලා පරණ  අසල්වාසීන් නෑ හිතමිතුරන් අතර යලිත් සුපුරුදු  ජීවිතය ගොඩනගා ගන්න සියල්ල එක්ව  සතුටු සිනා  ආදර ඇමතුම් හුවමාරු කර ගන්නවා.  මෙයින්  ප්‍රිය වචනය අර්ථ ගැන්වෙනවා. ගමේ වැඩිහිටියන් සංවිධානය කරනු ලබන හිසතෙල් ගල්වීමේ චාරිත්‍රයට ගමම එක් තැනකට එක්වෙනවා.කිසිු බේදයකින් තොරව එකම පියසකදී හිසතෙල් ගෑවෙනවා. කාටත් සමව සැලකීම සමානත්මතාව  මෙහිදී දකින්නට පුළුවන්.  මේ සියල්ල ගොනුවීමෙන් යහපත් ලෙස හැසිරීම අර්ථ චර්යාව නිර්මාණය වෙනවා.
අද මේ සිරිත් විරිත් දකින්නට නැහැ. ඒ සිරිත් විරිත් විකෘති වෙලා ගම -ගෙදරට තනිවෙලා.නිලය, බලය, වංශය, කුලය, ජාතිය යන මානයන්ගෙන් උදම්වු  සමාජයක් ඇතිවෙලා.ඒ සමාජය තුල උද්දච්චකම රජ වෙලා !.
සමාජයක අන්තර් සබඳතා වර්ධනයට ඉවහල් වුන සිංහල අවුරුද්ද සමරන්න වර්තමාන සංස්කෘතික නිරයෙන් ගොඩ වෙන්නට හැකිවේවායි පතන ගමන් ඔබ සැමට ප්‍රීතිමත් නව වසරක් වේවායි මීදුම ප්‍රාර්ථනා කරනවා !.






notes of imaginary

1 comment:

MPP Gunasinghe said...

ඔබතුමාටත් අර චූටි කුමාරයාටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා