පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Monday, January 19, 2015

මේ ලෝක ස්වභාවයයි !.

 
මේ ගෙවී යන්නේ මහින්දයන් ගැන ප්‍රගස්ති ගායනා කරන වකවාණුව නොවේ .
මෛත්‍රි එක පසකිනුත් රනිල් තව පසෙකිනුත් පායා දිලෙන්නට පටන් ගෙන ඇති වකවානුවක් ආරම්භ වී දින කිහිපයකි. මා කියවන බොහෝ වියමන්කරුවෝත් මූණු පොත ආක්‍රමණය කල විනීත අවිනීත නිර්මාණ කරුවෝත් මද සුලගක්ව කරලියට පත්ව සුළි සුලගක්ව මහින්දයන්ගේ පාලනය පෙරලා දමා සුන්නත්දූලි කර දමමින් ඉනුත්  නොනැවතී මහින්දයන්ටත් සගයින්ටත් යහ පාලනයෙන් පෙරල පෙරලා  බැටදීමට අර අදී.
මේ සමහරක්  දේ අපට තාවකාලික විහිළු සපයන මාධ්‍ය සංදර්ශණ බවට පත්වී තිබේ.
මේ විහිළු නොකරමින් දින 100 යථාර්ථයක් බවට පත් කරන තුරු අප බලා සිටින බව අමානන්දයට පත්ව සිටින ජෝක් කාරයින් නොසිතන්නේ මෛත්‍රි පාලනයත් ගොරකා කරන්නට යයි මීදුමට සිතේ.

මහින්දගේ දෙවන පාලන සමය තුල මහින්දයන් වටා දෑත් සවි බල ගැන්වීමට එක්වුන හැත්ත රොත්ත විසින් මහින්දයන් ගේ දෑතේ සවි බලය නැති කරන ලද බව නැවතත් සදහන් කල යුතුවේ. මහින්දයන් වාඩි වී සිටි පුටුව අසලින් බිමි වාඩිවීමත් සැපයයි කී ඇත්තන් පවා මහින්දයන්ට එරෙහිව අවි අමොරා ගෙන සිටී.

මට සිහිපත්වු වේ නන්දා මාලිනියන් ගයන මේ ගීයයි.
 පූජාසනයේ ඔබ හිදුවා - ඔබට පුදන මේ ලෝකයමයි ඔබට එරෙහිවී නැගිටින්නේ.
පූජාසනයේ ඔබ හිදුවා
ඉසුරින් කිත් යසසින් බබලනදා  - ඔබගේ බැනුමත් ගීයක් වේ
ඉසුරින් කිත් යසසින් පිරුහුනදා -සිනාසුනත් එය වරදක් වේ
පූජාසනයේ ඔබ හිදුවා - ඔබට පුදන මේ ලෝකයමයි ඔබට එරෙහිවී නැගිටින්නේ
පූජාසනයේ ඔබ හිදුවා
කිරියෙන් පැණියෙන් උතුරා යන කල- ලොව ඔබ පා  මුල හඩා වැටේ.
අතමිට හිගවී බෙල සුන් වන කල ලොව අප හිස මත කඩා වැටේ.
පූජාසනයේ ඔබ හිදුවා - ඔබට පුදන මේ ලෝකයමයි ඔබට එරෙහිවී නැගිටින්නේ
පූජාසනයේ ඔබ හිදුවා.

මේ ලෝක ස්වභාවයයි.

එය දැන ගෙන සිටියත් නොදැන සිටින පිරිසක සේ මේ අද බාලයන් හැසිරේ.
අප වටා සිටින  සියළු දේශපාලන - ඥයින් හැසිරෙන්නනේ බලය සදාකාලිකයයි සිත් තුල රදවා ගනිමිනි.
මේ දිනවල රග දැක්වෙන දුෂණ සෙවීමත් - පැමිණිලි ගොණු කිරීමත් එක්තරා විදියක නාඩගමකි.  අප  රටේ ආණ්ඩු බලය බිදී ගොස් නව ආණ්ඩු ඇතිවන හැම වාරයේම මේ නාඩගම දැක ඇත්තෙමු.අන්තිමට කරපු දෙයක් නම් දැක නැත්තෙමු. එහෙත් මාසයක් දෙකක් ඉක්ම වී මෙන් මේ හඩ වල් - නිහඩ ව ගොස් චුදිතයන් ව සිටින වුන් මහ පාරට බැස අන්න අරුන් කනවෝ  - දැන් අපට නැතෝ යයි බෙරිහන් දෙන්නට පටන් ගන්නා බව අප දැක ඇත්තෙමු.

මේවා පුස් වෙඩි  බව දශක ගණනාවක සිට අප අත්දැකීමෙන් දැන ගෙන සිටිමු.බටලන්දට සිදුවු මතක ඇත්නම්, සුරියකන්දට සිදුවුදේ මතක ඇත්නම් තවත් අතීතයෙන් මෙවැනි නාඩගම් ගොඩ දා ගත හැකිවෙයි.

අරක්කු ලොරි ගණනාවක් අත් අඩංගුවට පත්වේ. ඒවා අහවල් දේශපාලකයාට අයත්වේ.පසුදා ඒවා නීත්‍යාණුකූලව බෙදා හැරීමට ගබඩා කර ගත් අරක්කු වේ. කෝටි ගණණාවක පෞද්ගලික මුදල් බැංකුවක තැන්පත්ව තිබේ. ඊලග ප්‍රවෘත්ති ප්‍රචාරයේදී එම මුදල් පෞද්ගලික මුදල් නොවේ.පොදු මුදල්  බවට නිවෙදනයවේ.
අපේ වීරයෝ අරලිය ගහ මණ්දීරයට කඩා වදී. ඉදිකිරීම් කඩු කස්තානන පෙන්වයි.මහජනතාව බඩ ගින්නේ සිටියදී දුෂ්ඨ පාලකයින්  කර ඇති මහජන මුදල් නාස්තිය උළුප්පා පේන්වයි. මහින්දයන් යන විට මේ එකක් වත් ගෙන නොගිය බව රටට සිතේ.දෙස් විදෙස් රාජ්‍ය නායකයින් රාජතාන්ත්‍රිකයන් ගොඩ වදින තැන කෙසේ විය යුතුදැයි සිතේ.ජේ.ආර් දියවන්නා පාර්ලිමේන්තුව ඉදිකල දා කී දෑ සිහිවේ. චන්ද්‍රිකා ජනාධිපති මණ්දීරයක් ඉදිකිරීමට ගත් උත්සහාය සිහිවේ.


අපි මේ විහිළු දකිමින්  බාල පෙලේ චිත්‍රපටියක්  මේ  දින කිහිපයේ  නරඹමින් කවදා අප රට මේ දුකින් මිදේ දැයි සිතමින්  සිටීමු.





notes of imaginary

Saturday, January 10, 2015

මහින්දයන් වෙනුවෙනි.



හිතට සුසුමක් සහ නෙතට කදුලක් එක් කරමින් මහින්ද රාජපක්‍ෂයන් ජනාධිපති පදවියට සමු දී ගියා. එය සැබවින්ම මට අනුවේදනීය දැක්මක් .

මින් පෙර එවන් අවස්ථාවකින්  මා හිත  පෙළුවේ  ඩඩ්ලි සේනානායකයනන් පදවි අත්හැර තම වුඩ්ලන්ඩ්ස් නිවසට යන ලද පුවත් එකල මාධ්‍ය වෙතින් කියවීමෙන්. ඔහු ජනමතයේ  තීන්දුව දුටු විට හිරු දකින පිණිබිදුවක් බවට පත්වුනා. . එදා ඔහු වෙනුවෙන් හැගීම් බර වෙන්නට මගේ ලපටි සිත මෝරා තිබුනේ නැහැ. එහෙත් මෝරා වියපත් වු මගේ සිත මහින්දයන් වෙනුවෙන් වැලපුන බව සදහන් කල යුතුයි.
මෛත්‍රීපාලයන්ටත් එසේ අප හදවත් තුල පැලපදියම් වන්නට කාලය  ඉතිරිව තියෙනවා.
මගේ කදුල මහින්දයන් වෙනුවෙන් නැගුනත් , එතුමන්ගේ දෙවන පාලන සමයේ  අවසන් වසර වන විට මීදුමේ  පහලින්ම  මෙසේ සදහන් කරන්නට සිදුවන තරමට කළකිරීමක් එකතුවී තිබුන බවත් සදහන් කලයුතුයි.
දැන් දැන් දේශපාලනය නම් ලියන්න මම අකැමති මාතෘකාවක් බවට පත්වෙමින් යන්නේ මොකද කියලා හිතා ගන්න බැහැ.   කලක් මගේ ප්‍රියතම විෂයයක්.


මහින්දයන් ස්ථාවර පාර්ලිමේන්තුවක් ගොඩනගා ගන්න අනුගමනය කල ක්‍රමවේදය විසින් නාස්තිය ඉපදුනා.මෛත්‍රී පාලනයේ දී ස්ථාවර පාර්ලිමේන්තුවක් නිර්මාණය කර ගැණිමෙදී නැවතත් ඒ නාස්තිය තහවුරු උනොත් පලමු වටයේදීම යහපාලනයේ හැඩරුව විකෘති වෙලා යනවා. ශ්‍රී ලංකා මොඩලයේ දේශපාලන - ඥයන්ට  කිසිදා සාක්කුව පිරෙන්නේ නැත්නම් අත ඉස්සෙන්න නැති රෝගයක් තියෙනවා. මේ රෝගය නිසා ව්‍යවස්ථා සංශෝධණයක් වගේ දේකට 2/3 වැනි බහුතරයක් ලබා ගන්න බැරි වෙනවා.



 දින සීයයයේ ව්‍යාපෘතියේ සදහන්  එක්  අභියෝගයක්  විධායක ජනාධිපති ධූරය අහෝසිකර, සමානුපාතික සහ කේවල ඡන්ද ක්‍රමයෙන් සම්මිශ්‍රිත නව පරිපාලන රාමුවක් ඇති කිරීම.මේ සදහා 2/3 ඡණ්ද බලය ලැබෙන්න කියලා මීදුම ප්‍රාර්ථනා කරනවා'

අද මගේ සටහන මහින්දයන් වෙනුවෙන්වෙන්වුවක් .
මහින්දයන්ට ඡණ්දය නුදුන් - මහින්දයන් බරපතල ලෙස විවේචණය කල මගේ මිතුරන් බොහෝ දෙනා මහින්දයන් නික්ම ගිය පසු මා සමග නෙතේ උපන් කදුලින්මහින්දට  අප කලේ වැරද්දක් කියන තැනට පත්ව සිටියා. 
අපට මහින්දයන් නැති කලේ කවුද ? ඔවුන්ට  සාප වන බව මගේ  හිත කියනවා .මට ඇහෙනවා.

ප්‍රති විරුද්ධ දේශපාලනය  විසින් මහින්ද පරාජය කලා කියලා මගේ හිතට එන්නේම නැහැ. මහින්දයන් වටේ සිටි පිරිස මහින්දයන් විනාශ කලා කියලයි මගේ හිත කියන්නේ.
යහ පාලනය කියන වචනය අපේ දේශපාලන වදන් මාලාවට එකතු කර දුන්නේ මහින්දයන් වටේ සිටි අමනයන්.


 මහින්දයන්ගේ  දරුවන් ඥාතීන් දේශපාලනය තුල හැසුරන ආකාරය ගැන සමාජය කතා කලේ දැඩි දෝශ දර්ශනයෙන්. කන තුලට එන  එවැනි දෑ නිවරදි කර ගන්න තිබුනත් බලය විසින් ඒ සියල්ල වසා දමනු ලැබුවා. 
සමහර දේශපාලන-ඥයින් කල කී  නීතී විරෝධී දෑ පාලනය කරනු වෙනුවට ආරක්‍ෂාව සැලසුනා . ඒ නිසා කල කිරුන ජනතා විඥාණය දොරේ ගලා ගියේ මහින්දයන්ගේ ඡණ්ද පදනම විනාශ කරමින්. 



මෛත්‍රී පාලනයක් අවසන් වන දවසක මෙවැනි සටහනක් තියන්න ඉඩ නොලැබේවායි කියලා මීදුම ප්‍රාර්ථනා කරනවා. 
කන්න බොන්න නැති උනත් අපේ මුණුබුරු මුණුබිරියන්ට එකම රටක යහපත් ජීවිතයක් ගත කරන්නට වාසනාව ඉතිරි කරලා තිබුනොත් , එය මතු බුදු වන මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න මෛත්‍රීට හේතුවක් වෙනවා.මේ රට බුදුන් උපන් රට නොවුනත්  බුදුන්ගේ දහම තවමත් නොනැසී තියන රට !.




notes of imaginary

Thursday, January 08, 2015

වචන 234ක් ! .







මේ වියමන කරන්නේ මැතිවරණ පැවත්ෙවන කාල හෝරාවේ සිටදීය. ඡණ්ද උණක් නැති මට මා දුටු ඡණ්ද පත්‍රිකාවේ සිටි නාමල් රාජපක්‍ෂ ජනාධිපතිවුවත් ආතතියක් ඇතිවන්නේ නැත.

ඡණ්ද උණ වැලදුන ඇත්තන්ට ඇත්තේ පුදුමාකාර හැසිරීම් රටාය. ඔවුන් ප්‍රතිවිරුද්ධ මතධාරීන් හා  හැසිරෙන්නේ දකින්නේ මී හරක් ලෙසිනි. මීදුම නම් මේ ඇත්තන් දකින්නේ දේශපාලන දෘශ්‍යාබාධියන් ලෙසිනි. මේ අණ්ධ භාවය නිසා තමන් ගේ සමාජය තුලම මොවුන් බොහෝ ගැටුම් ඇත් කර ගන්නේය .තම අසල්වාසියා නෙපෙනෙන්නට පටන් ගෙන(මේ මැතිවරණයේදී නම් දකින්නේ කවදාවත් ලංවීමට වත් නොහැකිවන රාජ්‍යා නායකයාගේ)  බලපරාක්‍රමය තමන්ට ආරුඪ වී තමන් ගමේ හැසිරෙන උජාරු ස්වරූපය ගැනය.

 අන්ධයන් ගේ කර පිටින් තම ඉලක්කය සපුරා ගන්නා දේශපාලන - ඥයන් මැතිවරණයෙන් පසු ඔවුන් බැහැර කරන බව තේරුම් ගන්නා විට අතරමංවී හමාරය. ඡණ්ද වේදිකාව කෑ මොර දෙන තම නායකයේ එක ගොඩේ වැටී විස්කි පානය කරමින් පැදුරු සාජ්ජ දාන  විට අනුන් වෙනු වෙන් කඩේ යන මේ අන්ධයෝ සිටින්නේ රොහල් ගතවය. නැත්නම් බන්ධනාගාර ගතවය.

මේ චිත්‍රය කිසිදා වෙනස් වන්නේ නැත. එහෙත් වෙනස් විය යුතුය.
මා දන්නා ඡණ්ද ඉතිහාසය තුල ප්‍රචණ්‌ඩත්වය මුදා නොහරින ලද  මැතිවරණයක් තිබු බව මතක නැත. හැම මැතිවරණයක්ම අඩු වැඩි වශයෙන් ප්‍රචණ්ඩත්වය මුදා හැර තිබු බව මතක ඇත.  ඡන්දයක්‌ නිමා වූ විට දේශපාලන පළිගැනීම් පටන් ගන්නේය.
1970 බලයට පත්වු  ප්‍රගතිශීලී බණ්‌ඩාරනායක මැතිනිය,  ජනතාවාදී ඩඩ්ලි සේනානායක, ධාර්මිෂ්ඨ ඡේ. ආර්.  මෙය වෙනසක්‌ කලේ නැත.  ඔහු එය වෙනස්‌ කරනු වෙනුවට මේ රටේ දේශපාලන සංස්‌කෘතියේ නිත්‍ය අංගයක්‌ බවට ප්‍රඩන්ඩත්වය පත් කළේ ය. එතැන් සිට  චන්ද්‍රිකා කුමාරණතුංග   සහ මහින්ද රාජපක්‍ෂගේ පාලන කාලයේදී ප්‍රචන්ඩත්වය විවිධ ස්වරූපයෙන් පවත්වා ගෙන යන්නේය.






notes of imaginary

Tuesday, January 06, 2015

FINAL CUT.




ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු ඉවරයි.
කන් දෙකට ඇස් දෙකට කන් කරච්චලය එවර වුනාම මනසට දැනෙන්නේ අප්‍රමාන විවේකයක්.මීදුම රූපවාහිණී ජාල අත්හැරලා දාලා මාස දෙකක් විතර වුනා. ප්‍රවෘත්ති බලාපු කාලයක් මතක නැහැ. කොයි මාධ්‍ය ජාලත් එක වගෙයි . ජාතික - ජාතක කියලා වෙනසක් නැහැ. සල්ලි වියදම් කර ගෙන විකාර බහුබූත - ටොම් පච , කෙබ්බ  අහන්න වෙලා තිබුනේ අපේ කරුමෙට වගේ.
ඔය චන්දේ ඉල්ලන කොයි කවුරුත් එකයි. යහ පාලනේ ගැන කතා කරන්න පුළුවන් කිසිම කෙනෙක් ඔය අතර නැහැ.
ඉතින් යහ පාලනේ තේමා කරගෙනඡණ්දේ ඉල්ලන  එකෙකුට වත් ඡණ්දේ දෙන්න බැහැ.
ඊට පස්සේ ඉතිරි වෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනී කියන පරණ සටන් පාඨය !. ඒක වෙනස් කරන්න ආපු කවුරුවත් ඒක කලේ නෑ.
මේ කියන උන්දෑලත් බලතල අහිමි කරගන්න කැමැත්තක් තියෙන්න විදියක් නැහැ.පෘතග්ජනයෝ නෙව කවුරුත්.
මට මතක් වෙනවා සොවියට් රුසියාවේ ගොර්බචොව් කර ගත්ත වැඩේ. අපි ඒ කාලේ කිව්වේ මනුස්සයා වක්කඩේ යට ඉදලා වක්කඩේ කඩා ගන්නවා කියලා. එයා නැති වුනත් රුසියානු ජනතාව වක්කඩයෙන් නා ගන්නවා   බලා ගෙන අමරිකාව දැන් හිනා වෙනවා.
ව්‍යවස්ථාව වෙනස් කරගෙන අස්ථාවර පාර්ලිමේන්තුවක හකිම්ලටයි , තොන්ඩමන්ලටයි,සම්බන්ධන්ලටයි ඕන විදියට අපිට කේවල් වෙන්න ලැබුනොත් කොච්චර ජොලිද ?
දැන් වෙන කොට කියන්නේ ගොර්බචොව් සීඅයිඒ එකේ රැකියාවක් සෝවියට් සමුහාණ්ඩුවේ කලා කියලා.ශ්‍රී ලංකාවේත් ඔය නෝනලා මහත්තයලා තානාපති කාර්යාල වල රැකියාව කරන උන්දෑලාද කියලා කවුද දන්නේ ?. වැඩේ කෙලවිලා නා ගන්න කොට උනේ මොකක්ද කියලා දැන ගෙන වැඩක් නැහැනේ.
ඔය ව්‍යවස්ථාව වෙනස් කරන්න දින 100 කින් පුළුවන්ද ?.
අපේ ජේ ආර් මහත්තයා වැඩක් කලොත් තිතට කරන මනුස්සයා !. ඕක වෙනස් කරන්න බැරි වැට කඩොළු ව්‍යවස්ථාවෙම තියනවා.
කොයි උන්දැලත් අපිව ගොනාට අන්දන්නේ අන්දරේ කුඹුරේ තියෙන ගල ඉස්සුවා වගෙ! . හීනටි හාලේ බතුයී කුකුල් මසුයි කාලා  කොල පොතත් අරගෙන කුඹුරට ගිහින් උබලා ඔක්කොම එකතු වෙලා ඔය ගල උස්සලා මගේ කර උඩින් තියාපල්ලා කිව්වළු. ඔක්කොමටත් උස්සන්න බැරි ගල අන්දරේ උස්සන්නේ කොහොමද ?.
ඒ හින්දා නොකෙරෙන දීගයක යන්න බැහැ.
තවත් තේමාවක් තියෙනවා.
දූෂිත  රජ පවුල.
මට හොදට මතක තියෙන්නේ සිරිමාවෝ ( මම ගරු කටයුතු ලෙස සලකන කාන්තාවක් ) පාලන කාලේ ඉදන්. එතුමියගේ වටේ හිටියේ මුලින්ම නැදෑයෝ. චන්ද්‍රිකාට  වෙනකම් ඒක පැහැදිලිව පවත්වා ගෙන ගියා. ඒ කාලේ කාටුන් තිබුනා ලොකු  ගහක් ඇදලා මුල් වල ඉදන් අතු පතර  දක්වා විහිදිලා ගිය පවුලේ සාමාජික යන් ගේ නම් සදහන් කරලා.වර්තමාන ජනාධිපතිවරයාත් ඒක වෙනස් කරලා නැහැ. ජේ.ආර් වෙනස් කලෙත් නැහැ. රනිල් වෙනස් කලෙත් නැහැ. පක්‍ෂය තුලවත් වෙනස් කර ගන්න උත්සහායක් තිබුනම් මේ ව කොට සජිත් කියන චරිතෙට ඔයිට වඩා වටිනාකමක් ලැබිලා.
ඔය කියන පොදු අපේක්‍ෂකයා ඕක වෙනස් කරයිද ? . ඇමති කමේ ඉදගෙන සලකලා තියෙන්නේ නෑදෑයින්ට නෙමෙයි ?.
පෘථග්ජන කවුරුත් පවත්වා ගෙන යන ක්‍රමවේදයෙන් මිදෙන්න  , මාදුළුවාවෙත් අතුරලියත් කරන දේශනා වලින් ප්‍රයෝජනයක් වෙයි කියලා මම හිතන්නේ නෑ.
ඔන්න ඔය කරුණු කාරනා සලකා බලලා මට ඡණ්දේ දෙන්න කවුරුත් නෑ කියලා මම හිතුවා.ඒත් ගෙදර තියෙන ආණ්ඩුව බලවත්.ප්‍රජාතන්ත්‍රවාදය සුරක්‍ෂිත කරන්නනම් ඡණ්දේ පාවිච්චි කරන්නම ඕනී, රටකට නායකයෙක් ඕනී. රට ආයාලේ යන්න ඉඩ දෙන්න බැහැ.කාට හරි ඡණ්දේ දෙන්න ඕනී කියලා බලපෑම් කරන්න පටන් ගත්තා.
කාව බලයට පත් කලත් බලය ලැබුනට පස්සේ දූෂිත වෙනවා කියන එක පොදු මතයක්.ඔය කතාව 1970 ඉදන් (මට මතක කාලේ ) හැමදාම මැතිවරණයකදී සාකච්ඡා වෙනවා.ඒ කියලා අපි නිකම් හිටියේ නැහැ. දූෂිතයි කියාපු කෙනාට නැත්නම් අළුතෙන්  එක්කෙනෙක් දූෂිතයෙක්  කරන්න ඡණ්දේ දුන්නා. මේ පාර මම නිර්දුෂිතයෙක් කියා ගන්නා පුද්ගලයෙක්    - දුෂිතයෙක් කරන පාපෙට හවුල් වෙන්නත් කැමති නැහැ.

ඡණ්ද පොලට ගිහින් ආපහු ගෙදර ආවම මගේ ප්‍රශ්නේ විසද ගන්න පුළුවන් . එහෙම කරන්න තීරණය කරගෙන මේ වියමනට තිත තියනවා.
මම ඡ


notes of imaginary

Sunday, January 04, 2015

ඒකීය භාවයට තර්ජනයක්‌!


විධායක ජනාධිපති ධුරය ඉවත් කිරීම
රටේ ඒකීය භාවයට තර්ජනයක්‌!

- ආචාර්ය දයාන් ජයතිලක

මුස්‌ලිම් කොංග්‍රසයත් ටී.එන්.ඒ. සංවිධානයත් පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දීමට ගත් තීරණය පිළිබඳ ඔබේ අදහස කුමක්‌ද?

මේ පක්‍ෂ දෙක ගත් මේ තීරණය පිළිබඳ මීට මාස ගණනකට පමණ කලින් මංගල සමරවීර මහතා සන්ඩේ ටයිම්ස්‌ පුවත්පතට ලිපියක්‌ ලියා තිබුණා. ජනවාර්ගික හා ආගමික පදනම මත විපක්‍ෂයට සියයට 30 ක පමණ ඡන්ද ප්‍රමාණයක්‌ ලැබෙන බවත් එහි සඳහන් කර තිබුණා. සමරවීර මහතාගේ තක්‌සේරුව අනුව සුළුතරයේ අති බහුතරය ලබාගන්නේ නම් සිංහල බහුතරයේ සුළුතරය ලබාගැනීමෙන් මේ ජනපතිවරණය ජයග්‍රහණය කළ හැකි බව එයින් පැහැදිලි කර තිබුණා. එම ලිපියෙන් ඔහු කියා තිබෙන්නේ එක්‌සත් ජාතික පක්‍ෂයේ අත්තිවාරම් ඡන්දය සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් පැමිණෙන විසංවාදී ඡන්ද මේ ඡන්දය ජයග්‍රහණය කිරීමට හොඳටම සෑහෙන බවයි. ටී.එන්.ඒ. සංවිධානය සහ මුස්‌ලිම් කොංග්‍රසය ගෙන ඇති මේ තීරණය මීට මාස කිහිපයකට පෙර මංගල සමරවීර මහතා ලියා ඇති එම ලිපියේ අන්තර්ගතය සමඟ හොඳින් සැසඳෙයි. ඒ අනුව මේ සියල්ල සිදුවනුයේ කිසියම් කාල සටහනකට අනුව බව පෙනේ.

ඔබ එයින් අදහස්‌ කරන්නෙ ටී.එන්.ඒ. සංවිධානය සහ මුස්‌ලිම් කොංග්‍රසය පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ රහස්‌ ගිවිසුමකට එළඹ සිටින බවද?

ඔවුන් අතර රහස්‌ ගිවිසුමක්‌ ඇතැයි මා විශ්වාස කරන්නේ නෑ. ඔවුන් ගත් මේ තීරණය මම විග්‍රහ කරන්නේ ටී.එන්.ඒ. සහ මුස්‌ලිම් කොංග්‍රසය පිළිබඳ නිල වශයෙන් පිළිගෙන ඇති විවෘත කරුණු කාරණා ඇසුරෙනුයි. ටී.එන්.ඒ. සහ මුස්‌ලිම් කොංග්‍රසය විපක්‍ෂයට සහයෝගය දැක්‌වීමට ගත් තීරණය තුළින් අපට එළඹිය හැකි නිගමනයන් කරා අප ළඟා විය යුත්තේ විපක්‍ෂයේ පොදු වැඩපිළිවෙළ ගැන යළිත් මතක්‌ කිරීම හරහාය. විපක්‍ෂයේ පොදු වැඩපිළිවෙළේ ප්‍රධාන අංගෝපාංගය වන්නේ විධායක ජනාධිපති ක්‍රමය දින සීයක්‌ ඇතුළත දී අහෝසි කර ඒ වෙනුවට පාර්ලිමේන්තුවට බලය දෙන දේශපාලන ක්‍රමයක්‌ ආරම්භ කිරීමයි. ටී.එන්.ඒ. සහ මුස්‌ලිම් කොංග්‍රසයේ සාධකයන් සැලකිල්කට ගත යුත්තේ ඒ විශාල දේශපාලන පෙරළිය තුළයි.

විධායක ජනාධිපති ක්‍රමය යනු රටේ සමස්‌තය නියෝජනය කරන ක්‍රමයකි. ජනාධිපතිවරයා තේරී පත්වන්නේ මුළු රටේම ඡන්දයෙනි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ නම් රටේ සමස්‌තය නියෝජනය කරන ශක්‌තිමත් ආයතනයක්‌ දේශපාලන ව්‍යqහයේ හා ක්‍රියාවලියේ නැත. ඉතුරුවන්නේ පාර්ලිමේන්තුවයි. පාර්ලිමේන්තු ක්‍රමයකට යළිත් මාරුවන්නේ නම් එතනැදී ටී.එන්.ඒ. හා මුස්‌ලිම් කොංග්‍රසය වැනි සුළුතරවාදී සංවිධානවලට තීරක කටයුත්තක්‌ කිරීමට ඉඩකඩ ලැබේ. ටී.එන්.ඒ. සංවිධානය ඔවුන්ගේ දේශපාලන තීරණ ප්‍රකාශයට පත් කිරීමේදී සඳහන් කරන ප්‍රධාන කරුණු දෙකක්‌ තිබෙනවා. එකක්‌ වන්නේ රට ඒකාධිපතිත්වයක්‌ හා ආඥදායකත්වයක්‌ කරා යන බවයි. නමුත් ඒකාධිපතියකුට හෝ ආඥදායකයකුට තමුන්ගේ රැකියාව ජනවාරි 9 දා අහිමිවේයෑයි කියන්න බෑ. වත්මන් ජනාධිපතිවරයාට එවැන්නක්‌ වීමට හෝ නොවීමට පුළුවන්. යම් පාලකයකුට එසේ වීමට හෝ නොවීමට හැකිනම් ඔහු ඒකාධිපතියකු හෝ ආඥදායකයකු නොවේ. ලෝකෙ කිසිම රටක ඒකාධිපතියකු හෝ ආඥදායකයකු මහජන ඡන්දයෙන් ගෙදර යවල නෑ.

දෙවැන්න කොටි සංවිධානයේ වලිගය ලෙස කටයුතු කළ ටී.එන්.ඒ. සංවිධානය එහි ප්‍රභාකරන් ඒකාධිපතියකු ලෙස කටයුතුකරමින් තමුන්ගේ පක්‍ෂයේම නායකයන් ඝාතනය කරද්දී එක වචනයක්‌වත් ප්‍රකාශ කළේ නෑ. එම නිහැඬියාවට හේතුව භීතිකාව නම් පසුගිය වසරේ උතුරු පළාත් සභා ඡන්ද අවස්‌ථාවේදී වේළුපිල්ලේ ප්‍රභාකරන් මහා වීරයෙක්‌ යෑයි විග්නේෂ්වරන් මහ ඇමැතිතුමා ප්‍රකාශ කළේ ඇයි? ප්‍රභාකරන් නමැති පැසිස්‌ට්‌වාදී ඒකාධිපතියා මහා වීරයෙක්‌ වන්නටත් මහින්ද රාජපක්‍ෂ ඒකාධිපති ආඥදායකයකු වන්නේත් කෙසේද? මෙතැන තියෙන්නෙ කැත කුහකකමක්‌.

ඔවුන්ගේ මේ තීරණය පිළිබඳ තවදුරටත් ගැඹුරට යනවානම් මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දීමට ඔවුන් ඉදිරිපත් කරන ප්‍රධාන හේතුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ප්‍රතිඥවයි. එය ටී.එන්.ඒ. ප්‍රකාශනයේ ඉතාම පැහැදිලිව සඳහන් කර තිබෙනවා. එයින් පෙනෙන්නේ ටී.එන්.ඒ. සංවිධානයට ඉතාමත් වාසි සහගත දෙයක්‌ මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙන් සිදුවන බවයි.

ටී.එන්.ඒ. සංවිධානය විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධ වූයේ අද ඊයේ නොවේ. 1987 දී 13 වැනි සංශෝධනය ගෙන ආ අවස්‌ථාවේ දී පවා ඔවුන් එය විවේචනයට ලක්‌කළා. ඔවුන්ගේ මතය වූයේ 13 වැනි සංශෝධනයේ බලතල විධායක ජනාධිපති ක්‍රමය විසින් කූඩුකර ඇති බවයි. දැන් මේ කූඩුව දකුණේ විපක්‍ෂය විසින් විනාශ කිරීමට ඉතාමත් ආසන්නය. කුඩුව විනාශ කළහොත් එය තුළ සිරගතව සිටින පක්‍ෂියාට නිදහසේ පියාසර කළ හැකිය. එමනිසා විධායක ජනාධිපති ක්‍රමය නමැති කූඩුව විනාශ වී යනු දැකීමට ටී.එන්.ඒ. සංවිධානය ඉතාමත් සතුටුය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම යනු මධ්‍යම ආණ්‌ඩුව දුර්වල කිරීමයි. විධායක ජනාධිපති ක්‍රමය නමැති පියන උතුරු පළාත් සභාවෙන් ඉවත් කළ විට ඇතිවිය හැකි තත්ත්වය කුමක්‌ද? අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව හා පළාත් සභාව අතර ඇතිවන බලසම්බන්ධකම ශක්‌තිමත් විධායක ජනාධිපති ක්‍රමය හා උතුරු පළාත් සභාව අතර තිබෙන බලසම්බන්ධකමට මුළුමනින්ම වෙනස්‌. ශක්‌තිමත් විධායකයකට කළ හැකි පාලනය හා පරිපාලනය පාර්ලිමේන්තුවකට කළ නොහැකියි. එය විශේෂයෙන්ම කැපී පෙනෙන්නෙ සභාග ආණ්‌ඩුවක්‌ සහිත පාර්ලිමේන්තුවකදීයි. එවැනි සභාග ආණ්‌ඩු ඇතිවීමේ ප්‍රතිඵල 1965 - 1970 සමයේ ඩඩ්ලි සේනානායක මහතාගේ පාලන සමයේ අපි අත්දුටුවෙමු.

මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත් වුවහොත් දින 100 කින් ඔහු බල විරහිත ජනාධිපතිවරයෙක්‌ වන බවත් වඩාත් ශක්‌තිමත් පුද්ගලයන් දෙදෙනා වන්නේ අනාගත අගමැතිතුමා හා නියෝජ්‍ය අගමැතිතුමා බවත් ටී.එන්.ඒ. සංවිධානය හොඳින් දනී. ඒ චරිත දෙක අනිවාර්යයෙන්ම වන්නේ රනිල් හා චන්ද්‍රිකායි. එනම් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කළහොත් තමුන්ට සිත් දිනාගත හැකි චරිත දෙකක්‌ රටේ ප්‍රධාන බලකේන්ද්‍රවීමට ඉඩ ඇති බව ටී.එන්.ඒ. සංවිධානය කල්පනා කර ඇත. රනිල් වික්‍රමසිංහ යනු ප්‍රභාකරන්ට පවා සහන සලසාදුන් ඊනියා සාම ගිවිසුම අත්සන් කළ පුද්ගලයායි. චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග වනාහි කලාප සංගම් පැකේජය ගෙනා නායිකාවයි. එතුමියගේ පාලන කාලය ඇරඹුණේ කලාප සංගම් යෝජනාවෙන්. අවසන් වුණේ පශ්චාත් සුනාමි යාන්ත්‍රණයෙන්.

කලාප සංගම් යෝජනාවට අනුව ශ්‍රී ලංකාව තවදුරටත් ඒකීය රාජ්‍යයක්‌ නොව පළාත්වල හුදු එකතුවක්‌ පමණයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළොත් සිදුවන්නේත් එයමයි. 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් පළාත් සභාවලට හිමිවන බලතල ඒකීය රාමුව පසාරු කරගෙන නොයන්නේ විධායක ජනාධිපති ක්‍රමය තිබෙන නිසා බව 1987 දී සුප්‍රීම් උසාවිය ප්‍රකාශ කළා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළොත් එතැන ඇතිවන හිස්‌ තැන නිසා විග්නේෂ්වරන් වැන්නන්ට නීතිය තුළින්ම රටේ ඒකීය භාවයට අහිතකර යම් යම් තීන්දු ගැනීමටද හැකිවනු ඇත.

ඔබ මීට පෙර දිවයින සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී මේ වර්තමාන අර්බුදයට හේතුව හැඳින්වූයේ රජ පවුල් වාදය ලෙසයි. එනම් එකම පවුලේ පුද්ගලයන් අතර රාජ්‍ය බලය බෙදීයැම නිසා රටතුළ ඇතිවන නොසන්සුන් තාවයයි.

අද රජ පවුල් වාදයක්‌ තිබෙනව. නමුත් එය මේ ජනාධිපති ක්‍රමය නිසා ඇතිවූවක්‌ නෙමෙයි. රජ පවුල්වාදය හා ජනාධිපති ක්‍රමය අතර සම්බන්ධයක්‌ නෑ. රජ පවුල් වාදය මුලින්ම අපි දැක්‌කේ සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ කාලයේ. පවුල් වාදය මුලින්ම මතුවුණේ සේනානායක පාලන සමයේ. එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා සහ ඩී. ඒ. රාජපක්‍ෂ මහතා කැරලි ගැසුවේ ඒ පවුල්වාදයට එරෙහිවයි.

නමුත් පවුල්වාදය විශාල චෝදනාවක්‌ හැටියට මතුවී ආවේ හැත්තෑව දශකයේ සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ කාලයේ. ඒ සමයේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ආණ්‌ඩුවෙන් අදටත් වඩා විශාල පිරිසක්‌ ගැලවී ගියා. එදා ඒ කණ්‌ඩායමට නායකත්වය දුන්නේ ටී. බී. සුබසිංහ ජ්‍යෙෂ්ඨ ඇමැතිතුමා. මේ සියල්ල සිදුවුණේ පාර්ලිමේන්තු ක්‍රමය යටතේයි.

ජනාධිපති ක්‍රමය යටතේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය රට පාලනය කරනවිටත් විශාල පවුල් වාදයක්‌ තිබුණා. ඇය ජනාධිපතිනි, අම්මා අගමැතිනි, මල්ලි කථානායක, මාමා නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැති. එයම රාජපක්‍ෂලා කරන විට වැරදි වෙන්නත් බණ්‌ඩාරනායකලා කරන විට හරි වෙන්නත් විදිහක්‌ නෑ.

ඕනෑම රටක පවුල්වාදය පරාජය කළ යුතුයි. නමුත් ඒ සඳහා විධායක ජනාධිපති ක්‍රමය නමැති ශක්‌තිමත් බල මුළුව විනාශ කළ යුතු නෑ. පවුල් වාදය හෝ රජපවුල් වාදය පරාජය කිරීමට ඇති එකම මග පාර්ලිමේන්තු මහ මැතිවරණයකදී ජනතාව කල්පනාකාරීව ඡන්දය ප්‍රකාශ කිරීමයි. මහින්ද රාජපක්‍ෂ යනු පවුල්වාදය නොවේ. පවුල් වාදය නම් රාජපක්‍ෂලා විය යුතුය. රාජපක්‍ෂලා නමැති පවුල් වාදය ඉවත් කිරීමට නම් පාර්ලිමේන්තු ඡන්දයේ දී එය කළ හැකිය.


මේ මීදුම විසින් කරන ලද වියමනක් නොවේ.
එහෙත් දයාන් ජයතිලකයන්ගේ මතවාදය හා  මීදුම එකග වේ.
ජනාධිපති  ජේ.ආර් ජයවර්ධණ යන් විසින්  මෙම ව්‍යවස්ථාව ඇති කල පසු දුර්වල ආණ්ඩු ඇතිවන සම්බාවිතාවය අුවු බව අප පිලිගත යුතුය. එසේ වුවත් පාලකයා අන්තනෝමතිකව කටයුතු කිරීමේ සම්බාවිතාවය ඉහල ගියේය.

notes of imaginary