Saturday, November 08, 2014

මගේ කොළු ගැටයාට හොද පාසලක් .........



සුද්දාට පළු යන්න බැනීම අපේ සිරිතයි. ඒ සුද්දා කල හොද දේට වඩා නරක දේ අපට ඉතිරි කර ගොස් ඇති බැවිනි. සුද්දා අපිට ඉංග්‍රීසි භාෂාව ඉතිරි කර ගිය හොද දෙයකි. සිංහලය රජ බසවුදා සිට ඉංග්‍රිසියට ගැරහු අපට දැන් දැන් විශ්ව ගම්මානයට පිවිසීමට ඉංග්‍රීසිය  යතුරක්ව අවශ්‍ය වී තිබේ. මේ ලිපියෙන් ඉංග්‍රීසියට අමතරව පාසල ගැනද මතයක් කීමට උත්සහා දරමි.


අපේ පාසල් වල පහළ පන්තියේ සිට පාසලින් සමුගන්නා තෙක්‌ අවුරුදු පහලොවක් වැනි කාලයක් ඉංග්‍රීසි  භාෂාව පන්ති විෂයයක්ව උගන්වයි.  දරුවන්ට ඉංග්‍රීසි භාෂාව වහකදුරු මෙන් තිත්තවේ.  ඉංග්‍රීසි භාෂාව උගන්වන්න ගුරුවරයා දකින්නේ ලෝදිය බදුනක් පුරවා ගෙන පන්ති කාමරයේ  දොරෙන් පිවිසෙන යමපල්ලෙකු විලසිනි.මේ අපුල නිසාම  පාසලින් සමාජගත වන පිරිසෙන් වැඩි පිරිසකට ඉංග්‍රීසියෙන් කතා කිරීමට හෝ ලිවීමට නොහැකිවේ. එයින් පෙනී යන්නේ ඉංග්‍රීසි ඉගැන්වීමේ ක්‍රමය මුළුමණින්ම අසාර්ථක බවය.

මට හොදින් දෙමළ බස කතා කිරීමටත්  ලිවීමටත් හැකිවී තිබේ. මට දෙමළ බස ඉගැන්වීමට කිසිදු ගුරුවරයෙක් සිටියේ නැත. මා දෙමළ කතා කරන පරිසරයක කුඩා කල සිට ජීවත් වුයෙමි. මේ නිසා චතුර ලෙස දෙමළ කතා කිරීමට හැකිවිය. පසුකාලයක පාරේ පිහිටුවා තිබු නගර හැදින්වීමෙ  පුවරුවේ සටහන්වු දෙමළ අකුරු කියවීම , නිවසේ අවශ්‍යතා සටහන් කර ගෙන මිළදී ගැණිමට ගෙන යන භාණ්ඩ ලැයිස්තුව කියවීම හරහා දෙමළ ප්‍රවෘත්ති පත්‍ර කියවීමට ගත් උත්සහාය දෙමළ බස ලිවීමේ අභියෝගය ජය ගත්තේය.
අපේ ගෙදර චුට්ටා ගේ වයස අවරුදු දෙකයි මාස දහයකි. ඔහු වැඩිපුරම නිවරදි සිංහල කතා කරයි.සිංහල භාෂාවේ උක්ත අඛ්‍යාත උගන්වා නැතත් , ගුරුවරියකව සිටි ආත්තම්මාගේ බස් වහර අපූරුවට අනුගමනය කරන්නට චුට්ටා සමත්ව සිටී. බසක් ඉගැන්වීමට කණ මාධ්‍යවු බව මේ උදාහරන  අපට තේරුම්  කර දෙති.

මේ පුර්ව කතාව පෙරටු කරගෙන මම පිවිසෙන්නේ අවුරුදු පහලොවක් පාසලේ ඉංග්‍රීස භාෂාව ඉගන ගෙනත් ඉංග්‍රීසි බස වහරන්ට අපිට බැරි “ නොදන්නා දෙමලෙට ගොස් වරිගේ නහන ආචාරීන් මෙන් පාසල්වලට ඉංග්‍රීසි උගන්වන ගුරුවරුන් බදවා ගෙන කරන විනාශය පෙන්වා දීමේ අටියෙනි.
පසු ගිය වසරේ එක් පලාත් සභාවක් විසින් විශ්ව විද්‍යාලයකින්   පිටවු දෑවුරුදු ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරීන් පිරිසක් ඉංග්‍රීසි ගුරුවරුන් ලෙස බදවා ගෙන කෙළින්ම පාසලට යවනු ලැබිනි. මෙම ඩිප්ලෝමාව සති අන්තයේ එක් දිනක් බැගින් අවුරුදු දෙකක කාලයක් පවත්වන පාඨ මාලාවකි. මේ ඩිප්ලෝමාධාරීන් යමක් ඉගන ගත්තද උගැන්වීමට හපනුන්ද යන්න  ගැටළුවකි. ගුරු කමත් රැකියාවක වුවද  මෝටර් කාර්මිකයෙකු කරන්නාක් වැනි රැකියාවක් නොවේ. තියරිය වන පොත් කර ගෙන වාහනයක් ගලවා සවි කලත් දරුවෙකු මනසට පිවිසෙන්නට තියරියම ප්‍රමානවත් නොවේ.

අතීතයේ මට ඉගැන්වු වීරසිංහ නම් මගේ ගුරුවරයෙකු  සිහිපත්වේ. එතුමා පන්ති කාමරයේ දී අපට ඉගැන්වුයේ රසායන විද්‍යාවයි. එහෙත් බස නම් හැසුරුවේ කොටසක් සිංහල සහ කොටසක් ඉංග්‍රීසියෙනි. අපි රසායන විද්‍යාවට අමතරව ඉංග්‍රීසිත් ඉගන ගත්තෙමි. එතුමා එනවිට  අපි “ මිස්ටර් වීරසිංහ” එනවා කියා  පංතියට දුවගියේ නැත. ඔන්න “ මට විශ්වාස කරන්න බැහැ - අයි කාන්ට්‌ බිලීවුඩ් එනවා අපි පංතියට දුවමු. කියා පංතියට දුව ගියෙමු.  මෙයද හොඳ ඉගැන්වීම් ක්‍රමයකි. එහෙත්  අද පාසල් පන්ති කාමරය තුළ මෙවැන්ක් කල හැකි වෙනත් විෂයයන් උගන්වන ගුරුවරුන් නොව  ඉංග්‍රීසි උගන්වන ගුරුවරුන්ද ඇත්තේ නැත. ඔවුන් කරන්නේ පොත දිග හැරගෙන පාඩම කියවමින් ඉංග්‍රිසි පෙවීමට උත්සහා දැරීමයි.  භාෂාවක් එසේ ඉගැන්විය හැකියයි මම විශ්වාශ නොකරමි.

උසස්‌ පෙළ සමත් දරුවන් පනස්‌ දාහකට ගුරු පත්වීම් දෙනවා යයි කතාවක් පසුගියදාක ඇසිනි. රැකියා ලබා දීම කොයිතරම් හොද වුවත් . ගුරුවරුන් ලෙස බදවා ගැණිමෙදී උසස් ප්‍රමිතියක් නම් ඇතිකිරීම කළ යුතුම දෙයකි. ජන සවිය සුදුසුකමක් වී අපොසප සාමාන්‍ය පෙලද නොසමත් පිරිසක් ගුරුසේවයට එක්ව අධ්‍යාපන ලොක්කෝද වු බව  අපට අත්දැකීම් ඇති බව රහසක් නොවේ. මේ ගුරුවරුන්ගෙන් බිහිවු සිසුපරපුරට දෙවියන් පිහිටවන්නට ඇත. නැත්නම් ඔවුනටද ජනසවිය නොමැතිව සවියක් ඇති නොවේ.
 ගුරුවරයකුට ළමා මනස තේරුම් ගත හැකි මානසිකත්වයක්‌ තිබිය යුතුවේ. විෂයාන්තර දැනුමෙන් සපිරී සිටිය යුතුවේ. ඉගැන්වීම පිළිබඳ මූලධර්ම, ඉගැන්වීම් ක්‍රම දැන සිටිය යුතුවේ. උගැන්වීම පිළිබදව  නිසි පුහුණුවක්‌ ලැබ සිටිය යුතුවේ . අද නැත්තේද එයයි. පැරැණි ගුරු අභ්‍යාස විද්‍යාලත් නූතනයේ ගුරු විද්‍යාපීඨත් මේ කොටස කරනු ලබයි. උපාධිධාරී ගුරුවරයෙකුට වඩා විද්‍යාපීඨවලින් පිටව  ගුරුකමට එකතුවන ගුරුවරු ගුරුකම හොදින් කරති. සෑම ගුරුවරයෙකුම විද්‍ය පීඨ වන් ගුරු අභ්‍යාස විද්‍යාල හරහා පාසලට එන්නේ නම් ළමා මනසට මනුෂ්‍යත්වය, යුතුකම, අගය කිරීම, රසවිඳීම ඇතුළු කර විෂය  උගන්වන ගුරුවරුද පාසලට ඒ යයි මට සිතේ. විශ්ව විද්‍යාල වලින් පිටව නැත්නම් උසස් ලෙගින් පසුව ගුරුකමට යමෙක් එක්වන්නේ නම් මේ සියල්ල නොදත් පරිඝණක යන්ත්‍ර මෙන් මිනිසුන්වේ.





notes of imaginary

No comments: