Wednesday, October 08, 2014

අසල්වාසියාගේ සටහන.



සබරගමුව විශ්ව විද්‍යාලය ආයෙත් දින නියමයක් නැතිව වහලා.
ඌව පලාත් සබා මැතිවරණයට නාමයෝජනා දෙන්න ඔන්න මෙන්න කියලා කොළඹ - මඩකලපුව ( ඒ 4 )   මාර්ගයේ පඹහින්න මංසන්දියේ වේදිකාවක් හදාගත්ත සිසු පිරිසක් පටන් ගත්ත විරෝධතාවයක් කරමින් වාඩිවෙලා ඉන්නවා. මේ පිරිස තාමත් ඒ වේදිකාවේ. උපවාසයක් කරනවා  කීවට මේක වීරවංශ වර්ගයේ උපවාසයක්. සේවා මුරයට මාරුවෙන්න වගේ කකා බිබි මාරුවෙන් මාරුවට කරන උපවාසයක්. මේ වැඩේ අවුරුදු ගානක් මේ විදියට පවත්වා ගෙන යන්න පුළුවන්. නිතර දෙවේලේ දකින අපිට මේ වැඩේ පිලිබදව හැගීමක් නැහැ. පිස්සු වැඩක් කියලයි හිතෙන්නේ. ඉතින් උසස් අධ්‍යාපන ඇමතිතුමාටත් එහෙම හිතෙනවා ඇති.

මේ විශ්ව විද්‍යාලය පටන් ගත්තේ ජයවර්ධණ පුර සරසවියේ අනුබද්ධ ආයාතනයක් වශයෙන්. 1991  තරම ඒ කාලේ සමනල වැව ඉදිකිරීම් කටයුතු සදහා පැමිණි ජපන් කාර්ය මණ්ඩලයට ඉදිකර තිබු නේවාසික සහ කාර්යාල පරිශ්‍රයේ ගොඩනැගිලි වල තමයි විශ්ව විද්‍යාල අනුබද්ධ ආයාතනය පිහිටවුයේ. එකම ස්ථානයක අධ්‍යාපන පීඨ පිහිටුවා ගන්න ගොඩනැලි පහසුකම් නොතිබුන නිසා කෟෂි පීඨය පවත්වාගෙන ගියේ බොරලන්දේ - රහංගල. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත්ව තිබු භුමියක. විද්‍යා පීඨය පවත්වාගෙන ගියේ බුත්තල. මහපොල සදහා ඉදිකරන ලද ගොඩනැගිලි පරිශ්‍රයක. මෙහෙම තැනින් තැන තිබුන විශ්ව විද්‍යාල පීඨ කලින් කලට කරන ලද ගොඩනැගලි සංවර්ධණ කටයුතු නිසා අද වන විට එක තැනකට එකතු වෙලා.

සිසුන් කියන්නේ ඒ ගොල්ලා කරන ලද සටන්වල ප්‍රතිපලයක් ලෙස එහෙම වුනා කියලා. රජයකට එකපාරම මවන්න බැරිවුන ඉදිකිරීම් පසුගිය අවුරුදු විස්ස තුල වාර්ෂිකව එකින් එක නිම වෙමින් පැවතුනා.තවත් ඉදිවෙමින් පවතිනවා. අපේ රටේ යුද්ධයක් කියලා එකක් තිබුන කාලේ මේ ඉදිකිරීම් මන්දගාමීව සිදුවුනත් යුද්ධයෙන් පසු අවුරුදු දෙක තුන තුල සංවර්ධණ කටයුතුවලට යම් ප්‍රවේගයක් ලැබිලා තියෙනවා. අද විශ්ව විද්‍යාල භුමියට ඇවිත් බලන්න ඕනී එදත් - අදත් වෙනස.

“දියව්”  කිවුවත් අම්මලා තාත්තලාට උනත් දෙන්න පුළුවන් ප්‍රමානයක් තියෙනවා. අම්මලා තාත්තලාට උනත් තව දරුවෝ ඉන්නවා නම්  ඒ ගොල්ලන්ටත් කන්න බොන්න දෙන්න ඕනී කියලා සාධාරන මනසක් මේ දරුවන්ට නැහැ.රජය අයවැයෙන් මුදල් වෙන් කරන කොට සබරගමුව විශ්ව විද්‍යාලයට විතරක් මුදල් වෙන්කලා නම් එක් රැයෙන් සර්ව සම්පූර්න ‍විශ්ව විද්‍යාලයක් හැදේවි. ඒත් එහෙම වෙන්නේ නැහැ. 

උණු ආප්ප බාන්නා වගේ වැඩ අපේ දරුවන්නට තියෙන්න ඕනී. එයාලා හිතන්නේ “අපි දියව් “ කියන තරමට තමයි අපිට ලැබෙන්නේ කියලා. දියව් කියලා අවුරුදු දෙකකින් තුනකින් කරගන්න පුළුවන් උපාධිය කරගන්න අවුරුදු හතර පහ දක්වා මේ දරුවෝ කාලය ගන්නවා . විශ්ව විද්‍යාලය නිවාඩු ගන්නවලා. ඒවට කැමති නැති දරුවොත් අකමැත්තෙන් මේ පරිප්පුව කනවා. “ උපාධියට නියමිත කාලය අරගෙන විශ්ව විද්‍යාලයෙන් පිටවෙලා වරෙව්” කියලා උද්ඝෝෂණය කරන්න දෙමව්පියන්ට සිද්ධ වෙන කාලයත් ලගදීම එයි කියලා මට හිතෙනවා.

සල්ලි තියෙන දෙමව්පියෝ එතෙර විශ්ව විද්‍යාලවලට දරුවෝ යවන එක සාධාරනයි . මේ ප්‍රවනතාවය දවසින් දවස වැඩිවෙනවා. පෞද්ගලික අංශයේ රැකිය වෙළදපොල මේ ලමයින් රැකියා සදහා බදවා ගැණිමට වැඩි  කැමත්තක් දක්වනවා. ඒ අනාගතය දකින දෙමව්පියෝ තම මුදල් වියදම් කරන්නට පසුබට වෙන්නේ නෑ . තව තවත් පෙළබෙනවා.
අන්තිමට වෙන්නේ “ නිදහස් අධ්‍යාපනයෙන් සෙතක් නෑ !. නව පෙලන්තියක් වරප්‍රසාද ගන්නවා !  අපට රැකියා දියව්” කියලාත් උද්ඝෝෂණය කරන්න.

එස්‌. බී. දිසානායක ඇමතිතුමායි  විශ්වවිද්‍යාල සිසුනුයි හරියට නයයි මුගටියයි වගෙයි.  විශ්වවිද්‍යාල සිසුන්ට  එස්‌. බී. දිසානායක ඇමතිතුමා පේන්න බැහැ. අපි දන්න කාලේ ඉදන්   විශ්වවිද්‍යාල සිසුන්ට  කොයි අධ්‍යාපන ඇමැති හිටියත් ඒ ඇමති එක්ක  හොදින් කටයුතු කරනවා දැකලා නැහැ. රනිල් වික්‍රමසිංහ උසස්‌ අධ්‍යාපන ඇමැතිව සිටි කාලයේදීත් ඔහු අධ්‍යාපන ධවල පත්‍රිකාව ඉදිරිපත් කළ විට විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ කරපු දේවල් මතකයි. ඒත් අධ්‍යාපන ධවල පත්‍රිකාව නතරවුනේ නෑ. මේ වන විට කාලයත් සමග ටිකින් ටික ක්‍රියාත්මක වෙලා.

සරසවි සිසුන්ටත් දේශපාලනයක් තියෙනවා නේ . මේ හැම ගැටුම පිටිපස්සෙත් දේශපාලනයක් තියෙනවා. මැතිවරණ සිතියම දිගහැරලා තියෙන මේ කාලේ ගෙවෙන කම් සිසුනගේ අරගල පවත්වාගෙන යන්න උවමනාවක් තියෙන කොටසකුත් ඉන්නවා . ඒ ගොල්ල බිලි ගන්නේ සිසුන්ගේ අධ්‍යාපනයට තියෙන කාලය. දෙමව්පියන්ගේ බලාපොරොත්තු.

තවත් කෝටි 40 වියදමින් ඉදිකරන්න යෝජිත නේවාසිකාගාරයකට මුල්ගල තිබ්බම ඒක  හමුදා කඳවුරක්‌ ආසන්නයේ තිබෙන බවක් කියනවා.  අනාගතයේ නේවාසිකාගාරය තුළ බෝම්බ හදන්න බලාපොරොත්තුව ඉන්නවද මන්දා ?.මෙතන තියෙන්නේ හමුදා කදවුරක් නෙමෙයි හමුදාව විසින් නඩත්තු කරන සංචාරක නිකේතනයක්.

නේවාසිකාගාර ගොඩනැඟිල්ලක් විවෘත කරපුවමත් තවත් ගොඩනැගිල්ලක් හදන්නත් එපා කියලා  විරෝධතාවයක් කරන්නේ මොන උගතද කියලා අහන්න තරම් අපි නූගත් වෙලා.  






notes of imaginary

2 comments:

Anonymous said...

වැඩි දෙයක් කියන්නේ නැහැ. ඔබ ඇත්තට ම ඔවුන්ගේ අසල්වැසියෙක් නම් ටිකක් යන වාහනයකින් බැහැලා ඔවුන් එක්ක වචනයක් කතා කරලා ඒ දුක අහන්න කියලා මං කරුණාවෙන් ඉල්ලා සිටිනවා.. අපි ඊට පස්සේ කතා කරමු....

මේ කියන මම ඒ දේ කරපු නිසයි කියන්නේ.......

sAm (සෑම්) said...

අම්මල තාත්තලට ලමයි ඉල්ලද්දි දෙන්න පුලුවන් ප්‍රමාණයක් තියෙනවා තමයි. හැබැයි දෙන්න බැරි හරියෙදි ගහල බැනලා මර්ධනය කරන එක නෙවේ කරන්න ඕනෙ. ඒක බැලන්ස් කරන විදිහය දැනගෙන ඉන්නෝනි. නැත්තං ලමයි ඉල්ලන හැටියට, අම්මල දරුවන්ට කෙලින්න ගියොත් මරණයක් තමා වෙන්නෙ.

මෙතැනදිත් ඇස්.බී ශිෂ්‍යන්ව බැලන්ස් කරන්න බැරුව දගලන්නෙ. වචනයෙන්, ක්‍රියාවෙන් බැලන්ස් කරගෙන කරන්න පුලුවන් වැඩේ පුස් පාට් දාලා ගොඩ දාන්න බැහැ. නම්‍ය ශීලි වෙන්නෝනි.

මැතිවරණයක් නැත්තං මම දනී කරණ හැටි..

කියන්න තරම් බාලාංශ දේසපාලු පක්ෂයක් දැක්කමයි..