Tuesday, August 26, 2014

ඉවසන්න බැරිම තැන




පෙරදා ලියු වියමනේ මත්පැන් වලට  ඇබ්බැහිවුවන් වියපැහැදම් කරනා අකාරය පිලිබද සටහනක් කලෙමි. දවසේ අදායමෙන් දෙකෙන්  කොටසකටත් වඩා වියදම් කරන සැමියන් බිරිදටත් දරුවන්ටත් යැපෙන්න නිවසට ගෙන යන්නේ තම ආදායමෙන් අඩකටත් වඩා අඩුවෙනි. බිරිදත් උපයන්නියක නම් යම් තරමකින් නිවසේ කටයුතු පිරිමසා ගන්නට හැකිවන අතර එසේ නොවුන විට නිවසේ නිර්මාණය වන්නේ අපායකි.

පසුගියදාක බිරිදක විසින් බීමත්ව නිදා ගත්  තම සැමියා සමග නිදා සිට් ඇඳටත් ගිනි තබන ලද ප්‍රවෘත්තියක් පලවිය. මත්පැන් නොබොන යහ සිහියෙන් සිටින බිරිදකට  දිනපතාම  බීමත්ව නිවසට එන සැමියෙකු ඉවසිය නොහැක. ඒ පීඩනය හැමදාමත් දරාගත නොහැකිවු විට  මේ බිරිද  සැමියාත් සිරි යහනත් ගිණි තැබීය.

ඈ මේ බිහිසුණු කටයුත්තට ක්‍ෂණිකව පෙලබුනා විය නොහැක. මෙැවැනි කටයුත්තකදී අවසානයේ අත්වන ප්‍රතිපලය  වන මිනීමැරුම් චෝදනාවට වරදකාරිය වී හිරේ තැපීමට සිදුවන බව දැන දැනත්  “ ඉවසන්න බැරිම තැන ඈ සැමියා ගිණි තැබීය.“ යන්න සාධාණියකරනය කරන්නට අපට හැකිය.
ඈ මේ අවධානමට ලක් වන්නේ විද දරා ගත නොහැකි ආතතියකින් පෙළුන නිසාවෙන් විය හැක.

පසුගියදාක බඩල්කුඹුර අලුපොත බලකොටුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු හයක්‌ වයසැති දැරියක ඇයගේ එකොළොස්‌ හැවිරිදි සහෝදරිය විසින් පිහියෙන් ඇනීම නිසා මියගියාය. මෙයත් පසුගිය සතියේ අසන්න ලැබුන “ඉවසන්න බැරිම තැන“ ප්‍රවෘත්තියක් විය.
මියගිය දැරියගේ පියාත්   මවත් දෙදෙනාම දෙවන වරට විවාහ කර ගත් අය වුහ.  පළමු විවාහයෙන් දෙදෙනාටම දරුවෝ සිටියේය.  දෙවැනි විවාහයෙන්ද ඔවුන්ට  දියණියන් දෙදෙනකු සිටින අතර දහතුන් හැවිරිදි හා සය හැවිරිදි එම දියණියෝ දෙදෙනා ගේ මව මැදපෙරදිග ගෘහ සේවිකාවක ලෙස සේවය කොට මීට මාස තුනකට පමණ ඉහතදී මෙරටට පැමිණ ඇත.

ලබන සතියේ නැවත වරක්‌ ඇය මැදපෙරදිග සේවයට යැමට සූදානම්ව සිට ඇත.වැඩිමහල් දැරියගේ පාසල් ගමන ද ඇනහිට ඇත්තේ මව විදේශගත වීම නිසාවෙනි. තම නැඟනිය කුඩා කාලයේ සිටම රැකබලාගෙන ඇත්තේ අක්‌කා විසිනි. එපමණක්‌ ද නොව ඉවුම් පිහුම් ඇතුළු නිවසේ සියලු කටයුතු කර ඇත්තේ ද ඇය විසිනි. ඇය අම්මා නැවත විදේශගතවීම පිළිබඳව කැමැත්තක්‌ දක්‌වා ද නැත.ඇය නංගීව නිවස පිටුපසට කැඳවාගෙන ගොස්‌ පිහියෙන් යටි බඩට ඇන්නේ  මේ දුක් කන්දරාව උහුලා ගෙන තවත් දවස ගෙවන්නට බැරි නිසා වෙන් විය යුතුය.

අවුරුදු එකොළහ යනු තුන් වේලට උයමින්, ළමයින් බලා ගනිමින් ගෙදරක වැඩිහිටි  භූමිකාවක් රගපාන වයසක්‌ නොව සෙල්ලම් වයසකි.  ඇය නංගිට පිහියෙන් අනින්නට ඇත්තේ අම්මා නැවත පිටරට යැමට එරෙහිව ඇය තුළ හටගත් විරෝධාකල්පය හෙළිදරව් කිරීම සඳහා විය යුතුය.

ඈ පීඩනයට පත් කල ආතතිය අසරණ නංගී හරහා මුදා හැරියේය. ඒ සිගිත්තිය අකාලයේ මියගියාය. මෙහි වැරද්ද කර ඇත්තේ දෙමාපියන් මිස නංගී ට පිහියෙන් ඇන්න අක්කා නොවන බව ඇත්ත වුවත් නීතිය හමුවේ දඩුකදේ වැටෙන්නේ අසරන අක්කාය.

සමාජයේ පැවත්ම  ඉතා සංකීර්ණය.  සියලුම දෙනාගේම හිත් පීඩනයට පත්ව  දූෂණයවී ඇත. පීඩාවට පත්ව ඇත. අප රටේ අතලොස්සකට හැරෙන්න බහුතරයකගේ ආර්ථිකය දිළිදුය. මේ දිළදු බව තිබෙන තුරු අපට මෙවැනි සිද්ධීන දිනෙන් දින වැඩියෙන් අසන්නට සිදුවනු ඇත. මෙයට පිළියම් සොයන්නට  නම් අපි  පලමුව අපේ ආර්ථික විමුක්තිය සොයා යායුතුය. ඒ ගමන් අපේ අතීතයේ අපේ පැවතුම් රටා සොයා යා යුතුය.

ආර්ථික විමුක්තිය සොයා වැලි කතරක සිට දැලි වලං සෝදන  “ රට විරුවන් “ නොවී මේ රටේ ජීවත් වෙමින් මේ රටේ නිෂ්පාදනය තර කරමින් නැගී සිටින විරුවන් බිහි විය යුතුය. 




notes of imaginary

2 comments:

Wicharaka Asami Dakimi Soyami said...

අදහස් දැක්වීම සඳහා ලින්ක් එක පෙන්වන කොලපාට අකුරු හොයාගත්තේ බොහොම අමාරුවෙන් මගේ වයස නිසාද මන්දා. පුලුවන්නම් එය වෙනත් තද පාටකට හරවන්න.

බීමත්කම අඩුවෙයි හිතන්නට හරිම අමාරුයි. මිනිසුන් බීමට පොළඹවන දේ තමයි තමන් අවට පරිසරයෙන්, සිද්ධි වලින්, ජනමාධ්‍ය සහ අනෙකුත් අනියම් ප්‍රචාරණ කටයුතුවලින් මිනිස්සු දකින්නේ.

තම දරුවන් ඉදිරිපිට බොන දෙමවුපියන් ඇද ඉන්න නිසා දරුවන් බීමට පෙළඹීමෙන් ගලවාගැනීම හරිම අමාරුයි.

තමුසේ ආමි එකේ බීලා බීලා ඇවිත් අපිට අවවාද කරනවද කියලා අහන්න කැමති අයට කියන්න තියෙන්නේ මේකයි. හමුදාවේ තරම් පාලනයක් සහිතව බීම කෙරෙන වෙනත් ආයතනයක් නැහැ. හමුදාවේදී බීමත්කම යනු නොවරදවාම සේවය අහිමිවන වරදක්. ඒ නිසා කවුරුත් දන්නවා සේවයේ යෙදීසිටිනතාක් කල් පාලනයක් ඇතුව බොන්න හෝ කිසිසේත් නොබී ඉන්න. අද වනවිට හමුදා චාරිත්‍රානුකූල විවාහ මංගල්‍ය උත්සව පවා දැඩි විනයක් ඇතුවයි පවත්වන්නේ.

බීමත්කම අඩුකරන්න නම් බීම මිල වැඩි කිරීමෙන් පලක් නැහැ. කසිප්පු රජවෙනවා. මිනිස්සු ඒවා බීලා ලෙඩවෙලා මැරෙනවා. අධ්‍යාපනය තමයි සුදුසුතම ඖෂධය. ඒ සඳහා දියයුතු ක්‍රමවේද මා මෙහි විස්තර කරන්න යන්නේ නැහැ.

මම අදටත් බීලා ගෙදර ආවොත් බිරිඳ ලඟින් නිදාගන්නේ නැහැ. මට බීමට නිදහස තියනවා වගේම ඇයට ගඳ නැතුව නිදාගැනීමේ නිදහස තිබිය යුතුයි.

Wmk Samarasekara said...

අපේ රටේ ඉන්න මිනිස්සු බොන්න දන්නේ නැහැ.මත් වතුර කටේ දිවේ නොගෑවී කෙලින්ම ආමාශයට වක් කර ගැනීමයි කරන්නෙ.ඒකට හේතුව අන් අයට වඩා වැඩියෙන් තමාගේ පංගුව බිමට ඇති පෙරේත කම සහ එක සැරේම විශාල උත්තේජනයක් ලැබීමට ඇති කැමැත්තයි.ඒ නිසා සිහි විකල්ලෙන් වැඩ කරන බේබද්දෝ බිහි වෙලා. ඒකෙන් මුළු මහත් සමාජයටම හානියක් ඇතිවෙලා තියෙනවා.
කෙනෙක් නොබි ඉන්න එක පැසසිය යුතු කාරණයක් නොවන්නක් මෙන්ම මත් වතුර බිම ගැන ආශ්වාද ජනක අන්දමින් කථා කිරීමද පැසසිය යුතු කාරණයක් නෙමෙයි.
අද අපිට අවශ්‍ය වෙලා තියෙන්නෙ බේ බද්දෝ බිහිවීම වැලැක්වීමට ගත යුතු මං පෙත් ගැන සාකාච්චා කරන සංවාද මණ්ඩපයක් එහෙත් එය කවදා ආරම්භ වේවිද යන්න ප්‍රශ්නයක්?
සමරසේකර