පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Tuesday, April 15, 2014

විමල්ගේ ලෝකය.


  

මගේ අතින් පසුගිය මාසයක් හමාරක්  කාලේ වැදගත් යමක්  ලියවුනේ නැහැ. මම  සටහන් තබාගෙන ලියන්නේ නැහැ. හිතේ එකතු වෙලා delete වෙන්නේ නැතිව පල් වෙන ඒවා word  පිටුවක් තෝරා ගෙන දිය කරන එකයි සාමාන්‍ය පිලිවෙත. තොරතුරු හොයාගෙන ලියාපු ලිපි තියෙනවා නම් ඒ තොරතුරු මාස ගානක්  තිස්සේ desktop එකේ දුක් විදමින් සිට  පරිපුර්න වුවාට පසු පල කරපු ලිපි. එවැන්නක් කාලෙකින් කරන්න බැරිවුනා.

හේතුව මේ පිටුවේ පහලින්ම පලකරලා තියනවා. මම “සීයෝ” වුන හැටි කියලා.

පසු ගිය මාස එකහමාරක් මානස විල කැලබිලා. සියළු සිතිවිලි භයංකාර ලෙස කැරකෙන්න පටන් අරන් තිබුනා දිය සුළියක් වගේ.  පුංචි වේදනාවකට එහෙම කරන්න පුළුවන් නම් ලොකු දෙයකදී මොන වගේ අත්දැකීමක් ලැබෙයිද කියලා මට හිතුනා. මට පෙනුනා සුදු කොඩිවැල් ඇදපු සුදු වැලි අතුරපු පාළු පාරක් දිගේ හෙමි හෙමීට ඇදී යන පෙරහැරක මා පෙරටුව ගෙන යනවා. ඒත් එහෙම වුනේ නෑ.

 මට මේ අතරේ මතක්වුනේ මගේ මිත්‍රයා විමල්. තාත්තා සුරියබණ්ඩාර වුන නිසා නම අගට විමල් සුරියබණ්ඩාර කියලා සම්පුර්න නමින් තමයි විමල් තමුන්ව හදුන්වා දුන්නේ. විමල් තාත්තට කතා කලේ “ ලොකු ස්කෝලේ මහත්තයා”  කියලා. අම්මා “ ස්කෝලේ හාමිනේ ” වුනා. මේ දෙන්නා කළුතර දිස්ත්‍රික්කයෙන් බදුල්ල දිස්ත්‍රික්කයට  ගුරු පත්වීම් ලැබ 1950 ගනන් වල ඇවිත් බදුල්ල දිස්ත්‍රික්කයේ පැලපදියම් වුන ඇත්තෝ.ලොකු ස්කෝලේ මහත්තයාට  “ ස්කෝලේ හාමිනේ ” හමුවුනේ පලමු පත්වීම ලැබ ලොකු ස්කෝලේ මහත්තයාගේ පාසලට ආවට පස්සේ. දෙන්නම එකම දිස්ත්‍රික්කයේ වුනාට  ගම් පලාත් දෙකක.ඒ කාලේ ගමේ ප්‍රභුන් වුන මේ දෙන්නා දරුමල්ලන් තුන්දෙනෙක් හදා ගෙන ලොකු මහත්කරන ගමන්ම ප්‍රදේශයේ නමක් කියන ධනවතුන් බවටද පත්වෙලා තිබුනා .

විමල් මට හමුවුනේ  අසුවේ දශකයේ මුල් භාගයේ. ඒ  වන විට මේ උරුමයේ පාලක කොටස් කරු විමල්. මට අවුරුදු තිස්දෙකක් විතරවු  ඒ සන්දියේ විමල්ට අවුරුදු විසි හයක් විතර ඇති.  විමල් පවුලේ බඩපිස්සා. උසස් පෙල ලියලා HOLT තියලා ලොකු ස්කෝලේ මහත්තයාගේ ප්‍රවාහන ව්‍යාපාරයටයි, ගල් කොරියටයි යටවුන විමල් වැඩිමහල් සහෝදරි විවාහ වෙලා වැඩිමහල් සහෝදරයා පවුලෙන් වෙන් වෙන කොට කාරකාරෙට ගන්න මාමගේ දුවට පුංචි කා‍ලේ ඉදන්ම පෙම් බැන්දා. මාමට හිටියේ එකම දරුවයි. ඒ තමයි මාමගේ දුව.

මාමා “ කුණු ලෝභයා”.අපේ “ ස්කෝලේ හාමිනේ ”ගේ දේපලත් කොල්ල කාගෙන “ ඌ ලොකු මිනිහෙක් වුන වාඩුව පිරිමහන්න  මාමාගේ දුව බැදගෙන ඌට හොද පාඩමක් උගන්නනවා” කියලයි විමල් අපට කියන්නේ. අපි යාළුවෝ දෙන්න තුන්දෙනා මේ අදහස අනුමත කලේ හොද අදහසක් හැටියට.මේ කියන්නේ  බොරුවට. විමල් නෑනට පණට වගේ ආදරෙයි. 

ඒත්  ලොකු ස්කෝලේ මහත්තයායි  ස්කෝලේ හාමිනේ යි වගේම මාමයි නැන්දයි ජෝඩු දෙකම මේ මගුලට ඒ තරම් කැමති නැහැ. වැඩිමහල්ලෝ අතීරනේ නිසා  - දුව කැමතිත් නැහැ අකමැතිත් නැහැ. වැට උඩ. මේ හින්දා විමල් කියන්නේ “ඒකිට ගම්පලාතෙන් අළුතින් කොල්ලෙක් සෙට් වෙලා ”ඇති කියලා. 

මම විමල්ගේ ගෙදර ඉස්සෙල්ලම දවසේ ගියේ මේ අලකලංචි වලින් පුංචි පුංචි සුලි කුණාටු ගෙදරත් විමල්ගේ ඔළුවෙත් කැරකෙන කාලෙක. විමලුයි මායි  ගෙට ගොඩවුනා. විමල් මම සාලේ වාඩිකලා. “ ලොකු ස්කෝලේ මහත්තයා................”  විමල් කෑ ගහන්න පටන් ගත්තා. මට දෙයියෝ සිහිවුනා. මේ යකා තාත්තටනේ කතා කරන්නේ කියලා. “නැද්ද ?. ලොකු ස්කෝලේ මහත්තයාගේ සාක්කුවේ ගෙනාපු මොනවත් - මගේ යාළුවෙක් එක්කරගෙන ආවා ?. මට දෙවි දේවතාවුන් වහන්සේලා අසූ හාරදාහක පිහිට ඕන වුනා.

 ලොකු ස්කෝලේ මහත්තයා හිනාවේවී එලියට ආවා “ මේ ගල් මූසලයාගේ හැටි ඔහොම තමයි දරුවා!. ”  මගේ හිත යන්තම් නිවුනා.  ස්කෝලේ හාමිනේ..............  “ කුස්සිය පැත්තට එබිකම් කරලා “මේ දරුවට තේ එකක් හදන්කෝ ”කියලා ඇදලා පැදලා කිවුවා. මම හරි බරි ගැහිලා හොදට පුටුවේ වාඩිවුනා.

කාලය ඔහොම ගෙවිලා ගියා. පවුල් දෙක මේ අත්හරින්නේ නැති ප්‍රේමයට ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න තීරණය කලා. මේ අතරේ ආයෙත් විමල් ඔළුව අවුල් කරගෙන එහේ මෙහේ දුවන්න පටන් ගත්තා. නැන්දම්මයි මාමයි වගේම  ලොකු ස්කෝලේ මහත්තයායි  ස්කෝලේ හාමිනේ යි වචනයක් දෙන්නේ නැතිව නිසංසල ප්‍රතිතිපත්තියකට පත් වෙලා නෑනා වෙනද පරිදිම හීතල ප්‍රතිපදාව අනුගමනය කරනවා.  

එක දවසක විමල් නෑනගේ කේන්ද්‍රයයි විමල්ගේ කේන්ද්‍රයයි උස්සගෙන අපේ ගෙදර ආවා. විමල් කේන්ද්‍ර දෙක අරගෙන යන යන තැන කියනවළු ස්ත්‍රී කේන්ද්‍රයට විවාහ දෙකක් පෙන්නුම් කරනවා කියලා. එහෙම නම් විමල්  දික්කසාද වෙන්න ඕනී නැත්නම් විමල් අකාලේ මැරෙන්න ඕණි.අපි හිතුවා.

අපි කොයිකටත් කියලා ප්‍රදේශයේ ජ්‍යොතිෂ්‍ය කටයුතු පිළිබද ප්‍රසිද්ධ හිමි නමක් සොයා ගෙන ගියා. එතුමා කොළයක් අරගෙන එහාට මෙහාට ඉරි ඇදලා මොන මොනවදෝ ලියාගෙන ගිහින් කෙස් බාපු ඔළුව අතගගා පැය ගානක් ගැටළු විසදලා පුස්කොල කේන්‍ද්‍ර පිටපත් දෙක හකුලලා ආපහු දෙන ගමන් කිව්වා “ මහත්තයෝ අපි පැවිද්දෝ නේ ? . මේවා ගැන මොනවත් අනාවැකි කියන්න හොද නැහැනේ කියලා. ” 
අපි දෙන්නත් අකුලා ගෙන ගෙදර ආවා.ඒ යකා දන්න මගුලක් නෑ ...ලොකු බෝර්ඩ් එකක් එල්ලා ගෙන හිටියට . හාමුදුරුවන්ගේ කතාවට අපි තිරනයක් දුන්නා.

අපි යාළුවො තුන් හතර දෙනා විමල්ට කිව්වා “හැමෝම කියන නිසා ඕක හිතෙන් අස්කරගනින් රටේ වෙන කෙල්ලෝ ඉන්නවානේ” කියලා.  එක යාළුවෙක් කිවුවා. “විමල් , ඔය මගුලට කරනවා නම් උඹලා දෙන්නට හනිමූන් එකට මගේ බංග්ලෝ එක නම් දෙන්නනේ නෑ” කියලා ඌ නොබැදපු එවුවෝ බදින කොට උගේ බංගලාව හයර් කරපු Planter කෙනෙක්.  කන්ඩායමේ තව එකෙක්  “ අපි වෙන උපක්‍රමයක් යොදමු “කියලා යෝජනාවක්  කලා.  මේ යාළුවා අපි කණ්ඩායම ඇතුලේ විමල්ම හැදුන්වුනේ “ තෝ මිත්‍යදෘෂ්ඨිකයා. දෙමළා - තෝ අදහන්නේ කාටවත් එපාවුන දෙයියෙක්” කියලා. අවුරුද්දක් දෙකක් කාලය හෙමින් ගෙවී ගියා කාගෙත් විරෝධතාවය නිශ්සබ්දයකට පෙරළුනා.

කවුරුත් අනුමත නොකලත් විමල් දෙමළ මිත්‍රයාගේ “වෙන උපක්‍රමය යොදලා විවාහ වුනා.” Planterගේ බංගලාවේ හනිමුන් එක ගත කලා. අපේ පවුල් අතරට තවත් හොද ගුණ යහපත් යෙහෙලියක් එකතු වුනා. කාලයක් ගිහින් ලොකු පුතාත් ලැබුනට පස්සේ දික්කසාදේ ඉල්ලලා දෙන්නා වෙන්වුනා. ආයෙත් විමලුත් සුනේත්‍රත්  විවාහ වුනා.  තව දුවෙකුත් පුතෙකුත් පවුලට එකතු වුනා. පුංචි පුංචි අලකලංචි තිබුනත් දෙන්නා දෙමහල්ලෝ සතුටින් සාමදානයෙන් සහ  සුපුරුදු ලෙස විමල්ටම උරුමවු චර්යා රටාවෙන්  විනෝදයෙන් කාලය ගත කලා.

මට අවුරුදු හැටක්වු 2008 දී විමල්ට වයස අවුරුදු 54යි. විමල් ඒ වන  දූ දරුවනගේ අධ්‍යාපන කටයුතු පහසුවන්න සුනේත්‍රලාගේ මහ ගෙදරට පදිංචිය මාරු කරලා හිටියේ. දැන් ලොකු දරුවෝ දෙන්නා පිටරට රැකියාවලට නිවසින් බැහැර වෙලා . ගෙදර ඉදන් පුංචි කෙල්ල උසස් පෙල හදාරනවා.

2008 අවුරුද්දේ එක් අදුරු දවසක.,  බියකරු ලෙස අකුණු ගහ ගහා මහ හයියෙන් වැස්සා . විමල් වම් අත ටිකක් රිදෙනවා කියලා කෑ ගහන්න පටන් ගත්තා. විමල්ගේ විහිළුවක් කියලා  සුනේත්‍රා ගනන් ගත්තේ නෑ. විමල්ගේ වේදනාව හදුනා ගත්තේ ඩිංගක් පමා වෙලා. සුනේත්‍රා   විමල්ගේ වේදනාව තාවකාලිකව වලක්වන්න හිතාගෙන අතේ ඇගිලි ගාවා ඉදන් උර හිස ගාවට Declopanac jell එකක්  ඇතුල්ලුළුවා. සුවයක් නැති තැන රෝහලට එක්කරගෙන යන්න සූදානම්වුනා.වේදනාව අතර සුනේත්‍රාට කෑගහන විමල් “කෙල්ලේ ....අර මගේ මගුල් සූට් ගනින් .ඒක මට හෙට අදින්න ඕනී. නැත්නම්  මගේ ලෝභ කුණු මාමන්ඩියා උඹේ අළුත් මිනිහට මගුල්දාට ඒක අන්දයි. වගේ විහිළු කතා කියන්න පටන් ගත්තා . විමල්ගේ හැටි දන්න සුනේත්‍රා ඒවා විහිළු හැටියටම හිතට  ගත්තා.

රෝහලට යන අතර මගදී විමල් සුනේත්‍රාගේ උර හිස මත  සිට අපිත් , සුනේත්‍රාත් දු දරුවෝත් අතහැර .,............අපි අතරින් වෙන්ව යන්න ගියා. විමල්ගේ සදාකාලිකවු සැහැල්ලුව හිනාව එදා පරිද්දෙන්ම අදත් අපි අතර ඉතිරිවුනා.

එදා විමල්ගේ  මිත්‍යදෘෂ්ඨික මිතුරාගේ උපක්‍රමික උපදේශය පල දැරුවේත් නෑ .2014 අප්රේල් වන විටත්  කේන්ද්‍රයේ තිබු දෙවන විවාහය සුනේත්‍රා සොයාගෙන ආවෙත් නැහැ. සුනේත්‍රා මුණුපුරු මිණිපිරියන් අතර ආත්තම්මා වුනා.


Dr බෙහෙත් වට්ටෝරු ලියන හැම දවසෙත් , ඊලග දවසේ ගේන්න කියන රිපෝට් ගානත් දකින හැම දවසෙමත් මට හිතෙනවා විමල් කෙනෙක් වෙන්න. ඒත් හැම කෙනාටම විමල් කෙනෙක් වෙන්න පුළුවන්ද ?. මට විමල් කෙනෙක් වෙන්න වාසනාව තිබුනොත් මාත් පින් කල කෙනෙක් කියලා මට හිතනවා. 


notes of imaginary

2 comments:

vicharaka said...

මම නම් හිතන්නේ අපි අතරේ එදත් අදත් ඔය විමල්ලා, ලියනගමගේලා, ආදී වශයෙන් ඉන්න ඔක්කොමලා ඉන්නවා. කාලෙන් කාලෙට වෙනත් නම් වලින් ආයෙත් මේ ලෝකෙදි මුණගැහෙනවා. ආයෙත් වෙන්වෙනවා. මේ චක්‍රයෙන් කැඩී ගොස් නිරාමිස සතුට හෙවත් නිර්වාණය වෙත යන්නේ බොහොම ටිකදෙනයි.

miduma said...

...........නිරාමිස සතුට හෙවත් නිර්වාණය වෙත යන්නේ බොහොම ටිකදෙනයි.......
මම බොහෝම දවස්වල මේ මග සොයන හැටි ගැන කල්පනා කරනවා. ආගමික උපදේශකයන්ගේ බැරෑරුම් දේශනා අහගෙන ඉන්නවා. ඒවා මගේ මනසට දිරවන්නේ නෑ. මගේ අනවබෝධයද ? නැත්නම් දේශකයන්ගේ වරදද? යන්න ගැටළුවක්.
ජීවනඅරගලය තුල ගැටෙනා විට විමුක්තිය දුරයි.මම හිතනවා.