Tuesday, April 15, 2014

මගේ අවුරුද්ද .

සිංහල හින්දු අළුත් අවුරුදු උත්සව සමය තාමත් ගෙවී ගොස් නැත. එරමුදු ගස් නැති මහ පොලොවේ ගෙඋයන් වල අපහසුවෙන් වවා ගන්නා පයින් විලෝ වැනි ගස් මත කොහා හඩලමින් බක් මහ අපේ රටට උත්සව සමයක් බව කියනා බැව්  මට සිතිවිල්ලක සටහන් විය. මේ අවුරුද්දේ උත්සව සමය ගෙවී යලිත් 21 වෙනිදා වන විට ජන ජීවිතයේ  ජීවන සටනට මිනිසුන් අවතීර්න වනවා ඇත. මේ ගෙවී යන්නේ ජීවිත සටන නැතිනම් අරගලය තාවකාලිකව අමතක කර බොල් සිහින දකින  සතියේ  අවසාන දින දෙක තුනය.
වැස්ස නැතිව දිය පොදකට සුසුම් ලෑ උදවියට වැස්ස ලැබී ඇත. එහෙත් එය පසුගිය අවුරුද්දේ මේ බිම තෙමු බක් මහ වැස්සට සමීප කරවන්න ඒ වැස්සට බැරිවු බවක් මගේ හිතට  දැනෙන වෙනසක්වීය. මහ නියගයක පෙර නිමිත්තක්ද ?.

හතර දිග් බාගේ   අවුරුද්දට සුබ පතන මට අද නම් යාන්තම් වැස්සා අපේ ලිං හොදටම හිදිලා තිබුනේ යන කතාව සුලබව අසන්නට ලැබුන අදහසක් බවට පත්විය. අවුරුද්ද පුරාවට තුන් පැත්තකින් වතුරෙන් ඉතිරෙන බිම්කඩක නිවෙස් කර සිටින මට වතුර අඩුපාඩුවක් නැත. මේ බිම් කඩ ද්වීපයක්ද අර්ධ ද්වීපයක්ද නොවන බව අපේ නිවසට එක්වෙන පුංචි එවුන් විවිධ අන්දමින්  තර්ක ගොඩ නගනු අසන මම ඉන් ආශ්වාදයක් ලබන බව නොරහසක් වී ඇත.

අපේ තාත්තා අපෙන් වෙන්වී සුවදායක නින්දකට පිවිසියේ 1998 අප්රේල් මාසේ 13 වෙනිදා දිනයෙදීය. ඉතින් මේ ගෙවී යන්නේ අපට අවුරුදු උත්සවය අහිමිවු දහ හත්වෙනි අවුරුද්දය. තාත්තා සිටින විට අවුරුදු දා දූ දරුවන්ගෙන් සහ මුණුපුරු මිණිපිරියන්ගෙන් අපේ මහ ගෙදර පිරී ගියත් මේ වන විට මහ ගෙදර පිරී යන්නේ අපේ අම්මා විසින් ලක ලෑස්ති කර පිරිනමන දානමය පුණ්‍යකර්මය සරසන්නටය.  හරියටම අප්රේල් මස 13 වෙනිදාට දනට වඩින ස්වාමීන් වහන්සේලා ගිවිස ගැණිමට නොහැකි හෙයින් මේ අවුරුද්දේ 05 වෙනිදා එතෙර මෙතෙර සිටින අපේ තාත්තාගේ දූ දරුවෝ මහ ගෙදරට කේන්ද්‍ර කොට ගත්තේය.

අපේ අම්මාද මේ මාර්තු මසේ විසි හත්වෙනිදා වන විට අවුරුදු අනූවක් ජීවිතයේ මං සලකනු තැබු වේය. ඈ අපේ දූරුවන්ගේ ආදරණිය ආතම්මාය. මුණුපුරු මිණිපිරියනට ආදරණිය ලොකු අම්මාය. අපිට “කලා වැවේ දියවර අපේ අම්මා” ය. කලාවැවේ දියවර රජරටම රැක බලාගන්නාසේ අපේ අම්මා තාමත් අප රැක බලා ගන්නීය. අප ගැන සොයා විමසන්නීය.   අප වෛද්‍ය වරුන් ලග “ෆුල් ඔප්සන්” වී වැටෙන විට ඈ  තවමත් නිරෝගීය .  සෞඛ්‍යමත්ය ,කඩිසරය. https://www.youtube.com/watch?v=TZmjfIj1Plo ඈ හට   අපේ ආයුෂත් රැගෙන අපි නැතිවත් අපේ දු දරුවන්ට සෙනෙහස පාන්නට පින් ඇත.
අපේ තාත්තාටත් අම්මාටත් මේ මිහිමතට බරක් නොවනා පරිද්දෙන් දරවන් නවදෙනෙකු බිහිකර හදා වඩා ගන්නට පින්මහිමය තිබුනේය. ඒත් ආත්තම්මා හිමිකම් කියන්නේ මුණුපුරු මිණිපිරියන් පහලොස් දෙනෙකුට පමනය. ලොකු අත්තාම්මා වී මී මුණුපුරු මිණිපිරියන් පස්දෙනෙකු ඈ සුරතල් කරන්නේය.

කාලයත් ජීවිතයත්  වෙනස්ව ඇත මේ මිහි මඩලට ඔසවා ගන්නට නොතරම් බරක් මිහිමඩල ඔසවා සිටින බව අප අද දකින්නේය. කාලයක සිට අමුත්තක් නැතිව මගේ අවුරුද්ද පටන් ගන්නේ  මෙවැනි සිතිවිලි සිහිපත් කරගෙන වුවද මා නැතිකලක මම තාත්තා වී - සීයාවී සැමරුම් ලබන්නට තරම් කාලය නිසංසල විය නොහැක.

අප පුංචිකාලයේ දවසට වාහන දහයක් දොලහක් එහාට මෙහාට ගිය ඒ 4 මාවත අද කනට නිවනක් නොදෙන තරම් වාහන එහා මෙහා වෙන හඩින් පිරී ඇත. ඇස් දිෂ්ඨියක් මානයේ නිල්ල පිරුන වනය කොන්ක්‍රීටි පිරුණ කාන්තාරයක් බවට පත්ව ඇත. අවුරුද්ද පුරාම අඩුවක් නැතිව මිණිකැටයක් වන් පිරිසිදු ජලය වළවේ ගගට එක්කල බෙලිහුල්ඔය අද වැස්ස නතර වන විටම සිදී යන්නේය. නිහඩව නිසලව ගලා ගිය අපේ ජීවිත‍ය අද වන විට මහත් සංකීර්න අවුල් ජාලාවක් බවට පත්ව ඇත.දෑස පියා ගෙන මේ විදින  මහා ජීවන ව්‍යාසනය ජය ගන්නට වෙර දරන අපේ පසු පරම්පරාවට අපව සිහිපත් කිරීමට කාලය ඉතිරි කර ගත  හැකිද?.

අපේ තාත්තා සහ අම්මා තරම්  අපි පින් කර නැතියයි යලි යලි සිතන්නට මම ඔවුන් මෙන්    දීර්ඝායු විදිමින්  ජීවත්විය යුතු නැත. අවුරුද්දක් ගෙවී තවත් අවුරුද්දක් ලබන හැම අවුරුදු දාකම  මම මෙසේ සිතුවත් ඊලග අවුරුදු දා ත් එසේ සිතන්නට සිදුවන නිසා මා තවමත් මගේ පව් ගෙවා නැති බව සිතමින් සුසුමකින් සැහැල්ලු කර ගන්නේය.


notes of imaginary

No comments: