පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Saturday, March 22, 2014

බෙලි .


බෙලි ගැන කතා කිරීමත් බෙල්ල ගහලා යන වැඩක්. බෙලි කැපීම අපේ රටේ සුලභව අහන්න ලැබෙන කතාන්දරයක් .බෙල්ල කපලා ගියත් කමක් නැහැ කියන උදවියත් අපි අතර ඉන්නවා. ඒ කවුරු උනත් බෙලි බේර ගෙන තමයි කවුරුත් වැඩට බහින්නේ. මේ දවස් වල බස්නාහිරත් දකුනෙත් පලාත් සභා මැතිවරණ ඉතින් බෙලි පරිස්සම් කරගෙන තමයි ලියන්නත් කියවන්නත් වෙන්නේ.
කාලෙකට පස්සේ කරන මේ වියමන් වෙන් වෙන්නේ බෙලි ගැන. අද වියමන එසේ මෙසේ බෙලි ගැන නෙමෙයි. Aeqie marmelos විද්‍යාත්මක නාමයෙන් හදුන්වන බෙලි ගැනයි. මේ “බෙලි”  - තමුන්ගේ බෙල්ල  විතරක් නෙමෙයි මුළු ශරීරයම ආරක්‍ෂා කරන නිසා කලබලයක් නැතිව කියවන එක ඇගට නම් ‍හුගක් ගුණයි.
කොයි දේටත් ඉතිහාසයක් තියෙනවානේ. ඒ වගේම හදාපු කයි කතන්දරත් ( ජනප්‍රවාද ) තියෙනවා නේ . අපි ඒවත් ටිකක් අහලා බලමුකෝ.
බෙලි කැපිල්ල නම් 'වහ්නි පුරාණය' යේ සදහන් වන්නේ ප්‍රදේශයටම තුන්බිය ගෙන්වන විනාශයක් විදියටයි. මොකද බෙලි ගස් වලට අරක් ගත්ත දෙවි දේවතාවුන් රැසක් ඉන්නා බවයි 'වහ්නි පුරාණය' සදහන් කරන්නේ . ඔවුන්  කෝපවී ප්‍රදේශයම විනාශ කරනවා කියන මතය 'වහ්නි පුරාණය' පල කරන්නේ බෙලි ගස් ආරක්‍ෂා කරගන්න වෙන්න ඕනී. බෙලි වල තියෙන ඖෂධීය ගුණ තැන හිතන කොට ඇත්තෙන්ම බෙලි ගස් විනාශ කිරීම තුන් බිය ඇතිවීමට එක් හේතුවක්.
දැන් කාලේ ඉන්න local දෙවිවරුන්ට නම් ගහක් ගලක් පෙන්නන්න බැහැ. ඒත් එයාලට ඇති තුන්බියකුක් නැහැ.
අපේ සංස්කෘතියේ අපට  උරුම කරලා දුන්න ජනප්‍රවාද තියෙනවා නේ. එක් ජනප්‍රවාදයක් තමයි බෙලිගල රජමහා විහාරයේ පැවැති දැවැන්ත බෙලි ගසක ඵලයක්  මහා හඬක් නඟමින් දෙකඩ වී පුපුරා “හෙණකඳ බිසෝ බණ්ඩාර දේවි”  උපත සිදුවූ බව.
බෙලි ශාකය ආයුර්වේදයේ  සෞභාග්‍යයේ සංකේතයක් කියන අදහසින් “ශ්‍රී ඵල “ කියලත් සශ්‍රීකවත් ශාකයක් යන අදහසින් “ සදා ඵල “ කියලත් ලක්ෂ්මි දේවිය අරක්ගත් ශාකයක් යන අදහසින් “ශ්‍රීයා ඵල”  කියලත් හඳුන්වනවා. එපමණක් නොවෙයි බ්‍රහ්ම, විෂ්ණු, මහේශ්වර යන දෙවියන් තුන්දෙනා සංකේතවත් වන ආකාරයට පත්‍ර තුනක් වන පරිදි බෙලි ශාකයේ පත්‍ර පිහිටා තිබෙනවා කියන අදහසකුත් තියෙනවා.

බෙලි හොද පලතුරක් .
ඉදුනාම  ස්වභාවික තත්වයෙනුත් , හොදට පැහුණ බෙලි තම්බලා පානයක් වගේත් කන්නත් පිලිවෙල කරගන්න පුළුවන්. බෙලි මල් රසවත් පානයක්. මදය කෑමට ගත් පසු බෙලි කට්ට වියලා තම්බා පානයක් ලෙස පිලිවෙල කර ගන්නත් පුළුවන්.
බෙලි දේශීය ආයුර්වේදයේ රෝග රාශියකට ගුණය ලබාදීම සඳහා යොදා ගන්නා අගනා විස්මිත ඖෂධයක්. අර්ශස් රෝගය , අන්තරය ආශ්‍රිත රෝග , ශරිර සෞඛ්‍ය වර්ධණය කරගැණිමට සුදුසු ගුණාත්මක බවක් බෙලි වල තියෙනවා. බෙලි පොදුවේ ගත්තොත් අන්ත්‍රයේ රෝගවලට ඉතාමත්ම ගුණයි. ඒ වගේම බෙලි කියන්නේ වා, පිත්, සෙම් තුනටම හොඳ අගනා ඖෂධයක්.  වගේම හෘදය ආශ්‍රිත දුබලතාවලට, ඉදිමුම් වේදනාවලට, විවිධ අතීසාර රෝගවලට, කෑම අරුචියට ආදී රෝග රැසකට හොඳ ඖෂධයක්.
බෙලි මදවල කාබෝහයිඩ්‍රෙට්, ප්‍රෝටීන්, සීනි, කැල්සියම්, පොස්පරස්, යකඩ,  ගුණයන් සහ  බෙලි මදය මත තියෙන වාෂ්පශීලී තෙල් ගතිය සහ ගම් වැනි අලේපය සිරුරේ මාංස පේශි වර්ධනයට උපකාරී වෙනවා. ආයුර්වේදියේදී බෙලි කොල ,මල් පොතු, ගෙඩි මුල් ප්‍රතිකාර සදහා යොදා ගන්නවා.
බෙලි  ඉන්දියාව, ලංකාව, බංග්ලාදේශය, පාකිස්තානය, බුරුමය, තායිලන්තය යනාදී රටවල වැවෙනවා.

 බෙලි ගැන තව කතාවක් ආයෙත් වියමන් කරන්නම්. 


notes of imaginary

4 comments:

ayaal sith said...

කුල්ලේ යට පැත්තේ රෙදි අලවද්දීත් බෙලි මදය පාවිච්චි කරනවා නේද?

(කමෙන්ට් දාන්න තියෙන ක්‍රමය වෙනස් කරනවානම් පහසුයි...)

miduma said...

වෙනසක් කලා දැන් බලන්න.

Shehan Senadheera said...

ඔන්න හොඳ සාරවත් ලිපියක්. හැබැයි කෙටි වැඩියි වගේ.

miduma said...

"බෙලි ගැන තව කතාවක් ආයෙත් වියමන් කරන්නම්. " .........කියලා යටින් සදහන් වෙන්නෙ ?.