Sunday, March 02, 2014

ශිව රාත්‍රිය



 
මහා ශිව රාත්‍රිය ගෙවිලා ගිහින්  දවස් කිහිපයක් වෙනවා. නවම පෝයට පසු එන අමාවක පෝයදා යෙදෙන්නේ මහා ශිව රාත්‍රිය. මේ අවුරුද්දේ මහා ශිව රාත්‍රිය යෙදිලා තිබුනේ බ්‍රහස්පතින්දා දවසක. එදා  අපිට ප්‍රසිද්ධ සහ බැංකු නිවාඩු දිනයක්. පාසල්වලටත් නිවාඩුයි. පාසල් යන දරුවන්ට මේ නිසා නිවාඩු දිනය ඇගට දැනෙනවා. ටියුෂන් මාස්ටර්ලා ගේ දවසක් නොවෙන නිසා. ඒත් කැලන්ඩරය බලලා අවුරුද්දම  program  කරන ටියුෂන් මාස්ටර්ලා මේ දවසත් ව්‍යාපාරික දිනයක් ලෙස සලකලා තිබුනා.
සමහර කම්මැලි ගුරුවරු තමුන් දැනුවත් වෙන්නෙත් දරුවන්ගෙන් . එන අවුරුද්දේ සාමාන්‍ය පෙල ලියන  පන්තියට පුරවැසි අධ්‍යාපනය උගන්වන ගුරුතුමිය මගේ ඥාති දියණියට හෙට එනකොට මහා ශිව රාත්‍රිය ගැන කරුනු හොයා ගෙන එන්න කියලා. නරක නැහැනේ ඒ ක්‍රමයත්. ‍ටියුෂන්වලදිවත් පාසලේදීවත් මහා ශිව රාත්‍රිය මේ දරුවට ග්‍රහණය වෙලා තිබුනේ නෑ. මේ නිසා ඇයට  මහා ශිව රාත්‍රිය කියන්නේ මොනවගේ දිනයක්ද කියන එක ප්‍රශ්නයක්.
මොකක්ද ලොකු තාත්තේ ශව රාත්‍රිය කියන්නේ ?. දරුවා මට ප්‍රශ්ණයක් දැම්මා  මට මතක්වුනේ වතුකරයේ ජනතාව ශිව දෙවියන් උදෙසා පවත්වන  කාමන් - කූත්තු කියන ආගමික උත්සවය.  එදින කෝවිල්වල සිව රාත්‍රිය සැමරීමට බැතිමත්හු නොයෙක් නැටුම් ගැයුම් වැයුම් සහ සිව පුරාණයේ එන කතා පුවත් රඟ දක්වනවා.
වතුකරයේ ජනතාව දීර්ඝකාලයක් ආශ්‍රය කරපු මට ඒ කාලේ ඔවුන්ගේ සංස්කෘතික සහ ආගමික බැදියාව හදාරන්න ඔනකමක් තිබුනේ නෑ. මම දෙමළ භාෂාව කතාකරන්න ඉගන ගත්තේ ඔවුන් හා ඇසුරෙන්. ඒ කාලේ එයාලත් මාත් අතර තිබුනේ එක්තරා විදියක මුදල් ගණුදෙනුවක් .
මම දරුවාගේ අවශ්‍යතාවය පිරිමහන්නත් එක්ක කතා කලා මගේ පරණ හිතවතෙකුට. එයා කෝවිලක පූසාරි කෙනෙක්.
මේ එයාගේ වාර්තාව. දෙමලෙන් මා විසින් සිංහලට පත්කරලා දියණියට කියවපු ආකාරයෙන්ම.
අපිට වෙසක් දිනය වැදගත් . ඒ වගේ හින්දූන්ට මහා සිවරාත්‍රි දිනය වැදගත් ආගමික දිනයක්.  ශිව දෙවියෝ නවම් පොහොයට පසු එන මේ අමාවක දිනය ප්‍රිය කරනවා. ඒ අනුව ශිව දෙවියන් ප්‍රිය කරන මෙ රාත්‍රිය  ශිව රාත්‍රිය ලෙස පත්වෙලා හින්දූන් ආගමික වතාවත් කරනවා.  මෙම ආගමික වතාවත් බොහෝ සෙයින් උපවාස කිරීමේ ස්වරූපයක් ගන්නවා. මෙ දිනයේදී සිව බැතිමත්හු තම ආත්ම භාවය සකස් කර ගැනීමට රැය පුරාම නිදිවර්ජිතව නොයෙක් පුණ්‍ය කර්මවල යෙදෙනවා  මෙසේ පුණ්‍ය කර්මවල යෙදෙන්නේ උපවාසයේ හිඳිමින්. බොහෝ බැතිමත්හු එදින මධ්‍යම රාත්‍රියේදී සිව දෙවි පූජාව කර අවසානයේදී ආහාර අනුභව කිරීමෙන් උපවාසය අසන් කිරීම සිරිතක් කර ගෙන තියෙනවා.
සිව රාත්‍රිය බිහිවූ ආකාරය හින්දු පුරාණයේ මෙන්ම ඍග් වේදයේද සඳහන්වනවා. ඍග් වේදය වර්ෂ තුන්දාස් පන්සියකට පමණ පෙර ලියවුන ඉතාමත්  පැරණි කෘතියක්.  ඍග් වේදය සදහන් වෙන විදියට  හින්දුන්ගේ විශ්වාසය වන්නේ සිව දෙවියා සියලුම ජීවරාශීවල උත්පත්තියේ පියා බවයි. සිව දෙවියන්ට හැඩයක් නොමැති අතර වරෙක හිරුගේ කිරණයක් හෝ ලපයක් ලෙස ද සලකනු ලබති.
සිව දෙවි පවුලේ ප්‍රධාන වශයෙන් සිව දෙවියන් ද උමයංගනාව නොහොත් පාර්වතී දේවියද, වැඩිමහල් පුතු හැටියට ඝනපති නොහොත් පුල්ලයාර දෙවියන් සහ  බාල පුත්කුමරා හැටියට මුරුගන් දෙවියා නොහොත් කතරගම දෙවියන්ද සලකති.
ශිව පුරාණය පවසන අයුරින් මහාබ්‍රහ්ම ගේ අවසාන කාලයේදී සියලුම ජීවීන් ශිව දෙවියන් ළඟට ගොස් ඇත . එයට හේතුව වශයෙන් ඍග් වේදය කියන්නේ  සියලුම ජීවීන් මවන මහාබ්‍රහ්මට අවසාන කාලයේදී මැවීමේ ශක්තිය නැතිවී ගියේය .ඉන්පසු  මහා බ්‍රහ්මට මෙම බලය ලබා දුන් ශිව දෙවියන් ළඟට සියලුම ජීවීන් ගිය බවයි සිව පුරාණයේ තියන්නේ. එම බලය නැවත ඇති වූයේද නැත. මේ නිසා ලෝකයේ කිසිදු ජීවියෙකු උපත ලැබුවේ නැත. එමනිසා සිව දෙවියන්ගේ බිරිය හිවදෙවියන්ට පූජා පැවැත්වූවාය.  
ශිව දෙවියන්ට පුදු පුජා  පැවත්වීමේ බලයෙන් නැවතත් මහා බ්‍රහ්මට මැවීමේ බලය ලැබිණි. එම අවස්ථාවේදී දේවිය මෙසේ කීවාය. මාගේ දෙවියිනි මා හදවතින් ම ඔබට වන්දනා මාන කළ බැවින් මෙම රාත්‍රිය සිවරාත්‍රිය යනුවෙන් නම් කරම්  යැයි යන්නය. මෙම රාත්‍රියේදී උපවාසයේ හිද ශිව දෙවියන්ට පුද පූජා පවත්වන අයට මෙලොවදීත් පරලොවදීත් නොයෙක් සැප සම්පත් ලබා දෙන්නට සිව දෙවියන්ට ඉල්ලීමක් කළාය.
තවත් හින්දු දේවකතාවක ශිව රාත්‍රියේ උපත සදහන් වෙන්නේ මේ විදියට.  මේ නිර්මාණ කටින් කට පැවතෙන විත් වෙනස් කම් වලට පත්වෙලා ඇති.
වරෙක ලෝකයේ මහා බලවතා කවුරුද යන්න පිළිබඳව  මහා විශ්ණු හා මහා බ්‍රහ්ම අතර තරගයක් ඇතිවුනා. මම මේ ලෝකයේ සියලුම ජීවරාශින් මවනවා. මමයි බලවතා යැයි බ්‍රහ්ම කියන විට  විශ්ණු කීවේ මේ ලෝකයට එළිය දෙන්නේ මමයි. එළිය නැතිනම් කිසිවක් කරන්න බැහැ. එමනිසා මමයි බලවතා  කියලා. 
 

දෙදෙනාගේ තරගය පිළිබඳ දැනගත් සිව දෙවියෝ  ඔවුන්ගේ අඥාණය දුරු කර සමථයකට පත්කිරීම  සඳහා තමාව මුණ ගැසෙන ලෙස ඔවුනට සූර්ය කඳම්බයක් මඟින් දන්වා නියම කළා
ඒ අනුව ඔවුන් දෙදෙනාම සිව දෙවියන් ඉදිරියෙහි පෙනී සිටියා.
ශිව දෙවියෝ  මේ සූර්ය කදම්බයේ අගමුල සොයන එන කෙනා සියල්ලටම වඩා බලවතා බව ඔවුනට කීවා.
 එම මොහොතේම මහා බ්‍රහ්ම හංස වේෂයක් ගෙන සහ  විශ්ණු ඌරෙකුගේ වේශයක් ගෙන සුර්ය කදම්බයේ අගමුල සෙවීම සඳහා පිටත්වුනා මෙහෙම . වර්ෂ දාහක් ගතවුනා.එහෙත් ඔවුනට සුර්ය කදම්බයේ අගමුල සොයා ගැනීමට හැකි වුනේ නැහැ ඊට පසු ඔවුන් දෙදෙනාම සිව දෙවියන්  හමුවීමට ආවා. 





 
ඇවිත් අපේ දේවයිනි! අපි ඔබතුමාගේ කිරණයෙහි අග මුල නොදුටුවෙමු. සියලුම ජීවීන්ට මෑණියන් වන්නේ ඔබ වහන්සේය. පියාණෝද ඔබ වහන්සේය. මවන්නේද ඔබමය. සියලු දෙය දකින්නේද ඔබමය. සියලුම දෙයට සවන් දෙන්නේ ඔබමය. සියලුම කාරණා කරවන්නේද ඔබමය. සියලුම දෙනාට වැඩිමහළු වූයේද නුඹමය. සියලුම දෙයට උසස් වන්නේ නුඹය. මෙය කවුරු දැනගන්නේද ඔහු සිවසායුච්චිය (මෝක්ෂය) නමැති පදවිය ලබා ගන්නේ යැ යි විෂ්නු හා බ්‍රහ්ම කීහ.
එසේ යාච්ඤා කළ ඔවුන් ඉදිරියේ සිව දෙවියෝ ලිංග ස්වරූපයෙන් පෙනී සිටියහ. මෙම ආලෝක කදම්බය ලිංගයක් බවට පත්වීම නිසා එය ලිංග කෝවය බවට පත්විය.. 
මෙයට ප්‍රතිචාර දැක්වු විෂ්ණු සහ බ්‍රහ්ම
ඔබ වහන්සේ අපට දෘෂ්‍යමාන වූ මෙම රාත්‍රිය සිව රාත්‍රිය යැ යි නම් කරම්හ. යයි ප්‍රතිඥා දුන්නේය.
මෙම දිනයේදී උපවාසයේ සිට හිව දෙවියන්ට පූජා පැවැත්වීම තුළින් වරම් ලබාදිය යුතු බව විෂ්ණු හා බ්‍රහ්ම සිව දෙවියන් ගිවිස් ගත්හ.

ශිව රාත්‍රිය ගතකල යුතු ආකාරය ගැනත්  මගේ මිත්‍රයා මට පැහැදිලි කලා. මම එතුමාට සවන් දී සංස්කරණය කල මේ කොටස දරුවාට කියලා දුන්නා.


notes of imaginary

4 comments:

Nirmala Madushani said...

මේවත් අපේ බෞද්ධ කතාවල කියවෙන ජාතකා කතා ස්වරූපයේම තවත් එක කතාන්දර මාලාවක් පමනක් නේද?

Lionel Liyanagamage said...

නැතිව............ නැතිව.

YASITH (dot) NET said...

@Nirmala Madushani

ජාතක කතා හිතලුවක් කියන්නද උත්සාහ කරන්නේ ?
සත්‍ය අසත්‍ය තාවය ඔප්පු කරන්න අපිට ඔය කිසිම එකක.. මොකද අපි එතරම් දියුණු නැහැ..

Lionel Liyanagamage said...

ජාතක කතා - බෞද්ධ සාහිත්‍යය කියලයි මට හිතෙන්නේ. ගැඹුරුවු ධර්මය සාකචඡා වෙනවා කියලා මට හිතෙන්නේ නෑ.
ධම්ම පදය අපිට එදිනෙදා ජීවිතයට ගුරු කරගතහැකි සාර සංග්‍රහයක්.
වෙනත් බෞද්ධාගමික පොත පත අපට තනියෙන් කියවා තේරුම් ගත නොහැකි ගැඹුරු කරුනු කාරනා අඩංගුයි.
දර්ශණාත්මකයි.
මේවා ගැන ලියන්න මම අදහස් කරගෙන ඉන්නවා.