Wednesday, March 12, 2014

“විනයො නාම ශාසනස්ස ආයු ! “





 
“විනයො නාම ශාසනස්ස ආයු ! “ශාසනය පවත්වා ගැනීමේ ප්‍රධාන සාධකය විනයයි.  සාසනයේ ආයුකාලය පවතින්නේ විනය මතයයි .බුදුරජානන් වහන්සේ අනු දැන වදාලේ එහෙයිනි. විනය නැති තැන ශාසනය බිඳ වැටෙයි. ශාසනය බිඳ වැටුණු කල රටත් - ජාතියත් දෙක ම බිඳ වැටෙයි.
වර්තමානයේ සිදුව ඇත්තේ එවැන්නක්ද යන්න මට සිතේ. 
බහු ආගමික රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවේ  උරුමය රැඳී ඇත්තේ ‍බුද්ධ ශාසනය මත යි. අතීතයේ සිට  මෙතෙක් රාජ්‍යත්වය රැදී සිටියේ බුද්ධශාසනය මත යි.  ශාසනය යනු භික්ෂු සංඝයාය.   ශාසනයයි  අප  හදුන්වන ආයාතනයේ  ජීවමාන සාධකය වන්නේත් භික්ෂු සංඝයායි. භික්ෂුව දේශපාලනයට මැදිහත් නො වී; අර්ථයෙන් ධර්මයෙන් උපදේශන සැපයු බව  අප ඉතිහාසයේ සදහන්වී ඇත. 

එහෙත් වර්තමානයේ සිදුව ඇත්තේ භික්ෂුව දේශපාලනයට මැදිහත්වී අවමානයට ලක්වීමයි. අපේ හාමුදුරුවන් ගෞරාන්විතව වැඩ වාසය කරමින් අර්ථයෙන් ධර්මයෙන් උපදේශනය කරනවා වෙනුවට දේශපාලනයට මැදිහත්ව  කරන විකාරය දැන් දැන් අපට අප්‍රසන්න බව සදහන් කල යුතුයි.  

ශ්‍රී ලංකාවේ අපේ හාමුදුරුවරුන් විනය ගරුක ද? ශික්ෂාකාමී ද? උන්වහන්සේලා පොලිස් නිලධාරීන් හා  ගුටි - බැට හුවමාරුවලට යති.  ඇතැම් හාමුදුරුවරුන් විවිධ ඉල්ලීම් ඉදිරිපත් කොට ඒ මත්තේ දිවි නසාගැනීමට යති. සිරුරට ගිනි තබා ගැනීමට යති. මහ පාරවල් මැද උද්ඝෝෂණ කරති. දේශපාලකයනට තර්ජනය කරති. තවත් සමහර හාමුදුරුවරුන් ඉල්ලීම් ඉදිරිපත් කොට ප්‍රසිද්ධ ස්ථානවල උපවාස කරති. ඇතැම් හාමුදුරුවරුන් හැසිරීම සමාජයට හිසරදයකි. 

සබ්බ දුක්ඛ නිස්සරණ, නිබ්බාණ සච්චි කරණත්වා මම  සියලු දුක් කරදර නිමාකොට නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහා මහණකමට පිවිසියෙමි.  යන්න පිලිගෙන මහනකමට පත්වන හාමුදුරුවරුන් ලෞකික ජීවිතයේ දිනාගත යුතු දේ කුමක් ද? යාන වාහන ද? ප්‍රසිද්ධිය ද? ජනප්‍රිය වීම ද? වීරයකු වීම ද? මේවා නිවන් මඟ සමඟ ගැළපෙන්නේ කෙසේ ද?
බාල දේශපාලනය සමග හාමුදුරුවරුන් සම්බන්ධ වුවහොත් එතැන ඇතිවන්නේ බලවත් පටලැවිල්ලකි. එබඳු දේශපාලනයකට සම්බන්ධ වුවහොත් හාමුදුරුවරුන්ගේ  විනය මුළුමනින් ම පිරිහී යයි. ශ්‍රාවක ප්‍රජාවගන් ලැබෙන  ගෞරවය ද කෙළෙසී යයි. 

ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනයා රාජකීය නායකත්වයට වඩා ආගමික නායකත්වය පිළිගනිති. එහි අදහස වන්නේ ආගමික නායකයනට කන්දීමට බෞද්ධ ජනයා වැඩි උනන්දුවක් දක්වන බවයි. අදටත් තමන්ගේ පාඩුවේ ගමේ බෞද්ධයාට අර්ථයෙන් - ධර්මයෙන් උපදේශන සපයමින් විමුක්තියක් අපේක්ෂා කරන භික්ෂුහු අනන්තවත් සිටිති. උන්වහන්සේලා සියළු දුක්දොම්නස් දරා ගනිමින් සමාජ සුබසිද්ධිය සඳහා ද, අධ්‍යාත්මික විමුක්තිය සඳහා ද සිය ජීවිතය කැප කර සිටිති. ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු නොවෙති.

පළමුවන ධර්ම සංගායනාව ඇතිවූයේ විනය විරෝධී වචනයක් නිසා ය. එය සුභද්‍රගේ අභද්‍ර වචන ලෙස ඉතිහාසයට එක් වී තිබේ.
දෙවන ධර්ම සංගායනාව ඇති වූයේ ද විනය විරෝධී කටයුතු දහයක් මුල් කරගෙන ය. එයින් හතරක් ම ශාරීරික අවශ්‍යතාවලට සම්බන්ධය. එකල ඇතැම් භික්ෂූන් මී - රා පානය කොට රන් කහවනු අල්ලස් ලෙස ලබාගත් බව ද ඉතිහාසයේ සඳහන් ය.
කුමක් වුව අපේ ශාසනය රැකීමට කරුණු දෙකක් සම්පූර්ණ විය යුතු ය. පළමුවන්න භික්ෂූන්ගේ සංවරය ය. දෙවැන්න භික්ෂූන් කෙරෙහි ගිහි බෞද්ධයන් දක්වන ගෞරවය ය.
භික්‍ෂුව සංවර නොවු කල ගිහියන්ගේ ගෞරවය නොලැබීයයි. එවිට  ශාසනයේ පැවත්ම විනාශවේ.  සංඝරත්නය දේශපාලනය පසෙක තබා ශාසනය ආරක්ෂා කරනු ඇතැයි බලාපොරොත්තුවුවත් එය සිතිවිල්ලකව  බොදවන්නේ කනගාටුවට පත්කරවමිනි. 

අමරපුර සිරි සද්ධම්මවංශික මහා නිකායේ  කාරක සංඝ සභාව ස්වකීය නිකායට අයත් කිසිදු හිමි නමකට උද්ඝෝෂණ, පෙළපාලි තහනම් බවට සහ  සෘජු ලෙස දේශපාලනයට සම්බන්ධ වීම තහනම් බවට තීන්දුවක් ගෙන තිබේ.  භික්ෂු සංඝයාගේ විනය කටයුතු පිළිබඳ සලකා බලා මේ තීන්දුව ගත් බව ද කාරක සංඝ සභාව තවදුරටත් පැහැදිලි කරයි.

මේ තීරණය රටේ අනෙකුත් බෞද්ධ නිකායවලට ආදර්ශයෙකි.  ක්‍රියාත්මක වන්නේ නම් රටට ජාතියට හා අපේ රටේ අනාගතයට වැදගත් වන තීන්දුවකි.



notes of imaginary

3 comments:

Anonymous said...

මාදුළුවාවේ හාමුදුරුවන්ට බයේ ආණ්ඩුවම තමයි ඔව්වා කරවන්නේ.

Anonymous said...

මාදුළුවාවේ හාමුදුරුවෝ පොදු අපේක්‍ෂකයා වීම සුදුසුද ?.මට නම් අනිත් දේශපාලක හාමුදුරුවරුනුත්පාර්ලිමේන්තුවට පලාත් සභාවට ප්‍රාදේශීය සභාවට පැමිණිම සුදුසුයි කියලා හිතෙන්නේ නෑ.

නාට්‍යකාරයා said...

කාලීන වටිනාකමක් ඇති මාතෘකාවක් ඇත්තටම හාමුදුරුවන්ට ඕවා වටින්නෑ තමා ඒත් ඔය හාමුදුරුවො කරන වඩ කරන්න බෞද්ධයොත් නෑ එකයි ඔතන ප්‍රස්නෙ