පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Friday, February 14, 2014

Love from your Valentine




වැලන්ටයින් දිනය ලංකාවේ වෙළදපලට ගෙනාවේ එක්තරා මාධයක්. මාස ගානක් කෑගහලා කරපු ප්‍රචාරය නිසා එක් අවුරුද්දක් අපේ කොල්ලෝ කෙල්ලන්ට වැලන්ටයින් උන්මාදයක් වැළදිලා තිබුනත් අවුරුදු හතරපහක් වෙන කොට ඒ පිස්සුව යන්තරමකින් සුවපත් වෙලා තියෙනවා.

ඇත්තෙන්ම වැලෙන්ටයින් දිනය වෙලෙන්දන් විසින් නිර්මාණය කර ගත් වෙළදාමක්. ලෝකය පුරා වැලන්ටයින් දිනය වෙනුවෙන් හුවමාරු වෙන මුදල ඩොලර් බිලියන ගණනක්. වැලන්ටයින් උණ ලෝක පරිමාණ බිස්නස් එකක්. 
1800 ගණන්වල මැසචූසෙටිස් ප්‍රදේශයේ හිටිය ඊස්තර් හොලන්ඩ්  කියන යුවතිය ගෙදරදි හැදුව වැලන්ටයින් කාඩ් වෙළෙඳපොළට එක් කලා. එදා සිට ව්‍යාප්ත වුන  වැලන්ටයින් කාඩ් ලෝකය පුරා බිලියන ගනනක් හුවමාරු වන්න පටන් ගත්තා. 

අද වන විට සන්නිවේදන ක්‍රමවේදයන් වෙනස් වෙලා නිසා අන්තර්ජාලය. ජංගම දුරකතනය ඔස්සේ හුවමාරු වෙන වැලන්ටයින් පණිවිඩ අසීමිතයි.
වැලන්ටයින් දිනය කියලා ගිරවු වගේ කියන සමහර උදවිය මොකක්ද මේ වැලන්ටයින් කියලා අහපුවම දෙන උත්තර හරියට ආදරවන්තයන්ගේ ප්‍රශ්න උත්තර වගෙයි. මේ වැලන්ටයින්, කෙනෙකුට රෝමියෝ. තවත් කෙනෙකුට ටයිටැනික් නැවේ ගිය කෙනෙක්.  
වැලන්ටයින් දිනය ජාත්‍යන්තරව පෙබරවාරි 14 වෙනිදා ලෙස ප්‍රචලිත වුවත් වැලන්ටයින් දිනය බ්‍රසීලය  සලකන්නේ ජුණි 12 වෙනිදා ලෙසටයි.
ආදරයේ හා විවාහයේ දෙවඟන ලෙස පුරාණ රෝම දේව කථාවල සදහන් වන්නේ ජූනා දෙවගන. මීට අමතරව දෙව්ලොව රැජින හැටියට සැලැකුණෙත් ජූනා දෙවඟනයි. පුරාණ රෝමානුවන් සෑම වර්ෂයකම පෙබරවාරි 14 දා ජූනා දෙවඟන වෙනුවෙන් ප්‍රීති උත්සව පැවැත්වූවා.
මේ උත්සව සමයේදී තිබුණා තවත් අපූරු චාරිත්‍රයක්. රෝම යුවතියන් තම නම ලියපු තුණ්ඩුවක් භාජනයකට දානවා. ඒ භාජනයට අත දාලා රෝම තරුණයන් එක් එක් තුණ්ඩු කෑලි තෝරා ගන්නවා. හරියට ලොතරැයියක් අදිනවා වගේ. තමන්ගේ අතට ලැබුණු තුණ්ඩුවේ නම සඳහන් යුවතිය සමඟ තරුණයන් උත්සව සමය ගත කරන්නත් අවස්ථාව ලැබෙනවා. මෙහෙම අහම්බෙන් එකතු වුණු බොහෝ දෙනා නතර වුණේ ස්ථිර විවාහයෙන්. ජූනා දෙවඟන හා පෙබරවාරි 14 දිනය පෙම්වතුන්ට විශේෂ දිනයක් වුණේ ඒ විදිහට කියලයි සඳහන් වෙන්නේ. 
දෙවැනි ක්ලෝඩියස් කියන රෝම අධිරාජයාගේ රාජ්‍ය පාලන කාලයේ එක්තරා ඝාතනයක් නිසා මේ සිරිත  වෙනස් වුනා. 
දෙවැනි ක්ලෝඩියස් මහජනතාව අප්‍රිය කළ අධිරාජයෙක්.  ක්ලෝඩියස්ට බලවත් රෝම හමුදාවක් හදලා අනිත් රටවල් යටත් කරගන්න.අවශ්‍යතාවයක් තිබුනා. ක්ලෝඩියස්ට තිබුන තදියමට  තරුණයන් හමුදාවට බැඳෙන්න ආවේ නෑ. මේකට හේතුව ලෙස ක්ලෝඩියස් හදුනා ගත්තේ  තරුණයන් තමන්ගේ බිරිඳට හා පවුලට තදින් ආදරය කරන පවුලට බැඳෙන තත්ත්වයකට පත්වෙලා සිටින  නිසා ඔවුන් හමුදාවට බැඳෙන්න කැමති නැහැ කියලයි.  ඔහු පැනෙව්වා නියෝගයක්. කසාද බැඳීම තහනම් කියලා ! .
එහෙත් වැලන්ටයින් පූජකතුමා නැඟී සිටියා ක්ලෝඩියස්ට එරෙහිව. එතුමා මේ මානව හිමිකම උල්ංඝණයට එරෙහිව 
පෙම්වතුන්ට අනුශාසනා කරමින් ඔවුන් විවාහ දිවියට  ඇතුලත් කිරීමට එතුමා කටයුතු කලා. ඒත් එතුමාගේ  මේ මෙහෙවර කරගෙන යන්න පුළුවන් වුණේ ක්ලෝඩියස්ට ඒ ගැන ආරංචි වන තුරු පමණයි. දැන් වගේ රාජ්‍ය විරෝධ කටයුතු වල නිරත වෙනවා කියලා වැලන්ටයින් පූජකතුමාට  හිරේ වැටෙන්න සිද්ධ වුනා. 
එතුමාගේ   ආගමික විශ්වාස අතහැර දාන්න බල කළා. ඒත් එතුමා අචලව හිටියා. එහෙම හිරේ විලංගුවේ වැටුනහමත් වීරයෙක් වෙන්න කෙටි මගක් පෑදෙන නිසා වැලන්ටයින් පූජකතුමා පෙම්වතුන් ගේ ශුද්ධ වූ වීරයෙක් බවට පත්වුණේ් නිතැතින්මයි.
මේ අතර බන්ධනාගාර පාලකයාට හිටියා රූමත් දියණියක්. ඒත් ඇගේ දෑස් අන්ධයි. මේ තරුණියට නිදහස ලැබුණා වැලන්ටයින් පූජකතුමා එක්ක පැය ගණන් කතාකරන්න. ප්‍රතිඵලය වුණේ දෙදෙනා අතර භක්තිමත් බැඳීමක් හට ගැනීමයි.
ක්ලෝඩියස්; වැලන්ටයින් තුමා එක්ක පෞද්ගලිකව සාකච්ඡා කරලා එතුමා තම මතයට නම්මා ගන්න  උත්සහාකලා. නමුත් වැලන්ටයින් පූජකතුමා ක්ලෝඩියස්ව තමන්ගේ මතයට නම්මා ගන්න බැරිවුනා. ඉන්පසුව ක්ලෝඩියස් ශාරීරිකව හිංසනයට පත්කරලා වැලන්ටයින් පූජකතුමා දුර්වල කරලා නම්මා ගන්න බැලුවා. එයත් අසාර්ථකවුනා. 
අන්තිමේදී වැලන්ටයින් පූජකතුමාගේ හිස ගසා මරා දමන්න ක්ලෝඩියස් අණ කළා. ඒ නියෝගය අනුව වැලන්ටයින් පූජකතුමා ක්‍රිස්තු වර්ෂ 270 පෙබරවාරි 14 දා. ඝාතනය කෙරුණා
පෙබරවාරි 14 වැලන්ටයින් පූජකතුමාගේ දෛවෝපගත දිනයක්. මොකද පුරාණ රෝම සිරිත අනුව ආදරයේ දෙවඟන ජූනා සමරන දිනය යෙදී තිබුණෙත් මෙදාටමයි. 

මෙයින් පසුව ආදරයේ නාමයෙන් ජූනා දෙවඟන ඉතිහාසයෙන් මැකී ගොස් ඒ තැන වැලන්ටයින් මුනිවරයාට ලැබුණා. මරණයෙන් පසු එතුමා ශාන්ත වැලන්ටයින් මුනිතුමා බවට පත්වුණා.
එතුමා බන්ධනාගතකර සිටි අවදියේ මුණ ගැසුන බන්ධනාගාර පාලකයාගේ දියණියට  තමා ඝාතනය කිරීමට පෙර ලියු ලිපිය අවසන් කලේ  ”Love from your Valentine”  කියායි. තවමත් ලෝකවාසී තරුන තරුණියන් එතුමාට ආදරේ කරනවා.
මටත් අද විශේෂ දවසක්. පෙබරවාරි 14 දා මගේ පියබද 62 වෙන උපන් දිනය සමරනවා !. මාත් විවාහයට වසර දෙකකට පමණ පෙර සිට ආදරවන්තයින්ගේ දිනය සමරන්නෙක් බවට පත්වුනා.





notes of imaginary

4 comments:

මහේෂ් said...

වටින තොරතුරු රැසක් දැනගත්තා , මාත් ඔය තරම්ම නැතත් පොඩියට මේ ගැන ලීව ... මොක මේ දවස ගැනත් කතා කරන්න එපයැ .

Shehan Senadheera said...

දවසට ගැලපෙන වටිනා ලිපියක්...

Unknown said...

ඔව්, වැලන්ටයින් අපේ රටේ ස්ථාපිත කිරීමට නිමල් ලක්ෂපති කියලා කෙනෙක් එහෙම අසීමිත වෙහෙසක් ගනු ලැබුවා. ඒ වාගේම සිරසත්.
දැන් සංස්කෘතියට නව විකෘත්තියක් වී අවසන්. විකෘති එක් වීම සමාජයේ දියුණුවට දායක වේනම් එහි වරදක් නැහැ. නමුත්, දිනෙන් දින සමාජය පිරිහේනම්....

Dinesh said...

වැලන්ටයින් අද සමරපු අය මේ ගැන දන්නවදවත් මන්දා..