Monday, February 24, 2014

සීයයි - මුනුපුරයි.

 




පුංචි එවුන්ගේ ලෝකය විසිතුරුය. ඔවුන් අහිංසකය , අව්‍යාජය. මමත් පුංචි එකෙක්  සමග දවසේ වැඩි කොටසක් කාලය ගත කරමින් සිටිමි.
මගේ පුංචි එකාට වයස අවුරුදු දෙකකි.
මේ ලගකදී ස්වාමීන් වහන්සේ නමක් විද්‍යුත් මාධ්‍යයක බණ දේශනාවකදී ගෙන ආ උදාහරනයක් කියමින් මේ කතාව පටන් ගන්නම්. පුතා දගකාරය. උදේ පාන්දරින් අවදි වන්නට නම් කම්මැලිය.
දවස පුරා දුව පැන ඇවිදින ඔහුගේ විවේකය නින්දේදී ගන්නේය.  සිත්සේ නිදහසේ නිදන්නේය.
පාන්දරින් අවදි නොවන පුතාව  තාත්තා අවදිවන පාන්දරින්ම අවදි කරවා ගන්නට තාත්තාට උවමනාය. දවසක් තාත්තා පුතාට පාන්දර ස්වභාව ධර්මයේ අසිරිමත් බව විස්තර කලේය. පාන්දරට ලස්සන කුරුල්ලෝ එනවා මිදුලට. පිණි වැටිලා මිදුලේ තණ කොල අග තරු කැට වගේ දිලිසෙනවා .  කුරුල්ලෝ ඒ පිණි උරා බොනවා හරි ලස්සනයි. පුතත් උදේන්ම ඇහැරලා බලන්නකෝ.
තාත්තා පුංචි පුතාට කීවේය.  
තාත්තේ . කුරුල්ලන්ට උදෙන්ම අහරින්න නැතිව ඉන්න කියලා කියන්නකෝ .................යයි තාත්තට පුතා උත්තර බැන්දේය.
පසුගිය දවසක හත් දවසේ බණ ගෙදරකදී බණ අසා සිටින විට අපේ පුංචි එකාට ප්‍රශ්ණයක් ඇති විය. මලගෙවල් පේලියක මමත් පුංචි එකාටත් යාමට සිදුවු නිසා මියයාමේ ස්වභාවය  ඔහු අදුරාගෙන සිටියේය.
එදා  බණ දේශනාවේ  හාමුදුරුවන්ගේ බණ කතාවේ  බුදුහාමුදුරුවෝ මිය ගියේ නැත. පිරිණිවන් පෑව බව දේශනා විය . මෙය අසා සිටි පුංචි එකාට පිරිණිවන් පෑම පිලිබදව ප්‍රශ්ණයක් ඇති විය.  හාමුදුරුවෝ ලගට කිට්ටුවු පොඩි එකා  තම ප්‍රශ්නය නිරාකරනය කර ගැණිමට ප්‍රශ්නය   ඉදිරිපත් කලේය.
පිරිණිවන් පානවා කියන්නේ මොකක්ද ?. වැඩි හිටියන්ට බණ දේශනා කරමින් සිටි හැමුදුරුවන්ට පුංචි එකාගේ ප්‍රශ්ණ්‍ය නිරවුල් කරදීමට දේශනාව සුළු වෙලාවකට අතර මග නතර කරන්නට සිදුවිය. පුංචි එකාගේ ප්‍රශ්ණය නිරවුල් කරදීමට  හාමුදුරුවෝ අවධානය යොමු කල බැවින් නිදිකිරමින් සිටි වැඩිහිටියන්ට  යලිත් බණ අසන්නට හරි බරි ගැසී වාඩි වෙන්නට සිදු විය.
අපි ජීවත්වන්නේ කදු වලලක් මැද ගම්මානයකය. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ සංදේශය චිත්‍රපටිය බලා ඇත්නම් මේ කදු වලල්ල එම චිත්‍රපටිය පුරාම දක්නට ඇත. අර කන්දත් අපේ තමයි - මේ කන්දත් අපේ තමයි. කදු යායම අපේ තමයි  - අපේ රාජ්ජේ කියා ධර්මදාස වල්පොල ගයන ගීතයේ පසුබිම ඇත්තේ මේ කදුවලල්ලය. දැන් කාලයේ සබරගමුව විශ්ව විද්‍යාලයේ මානව මානවිකාවන් ආදරයට අත්පොත් තියන බව කියන  ආදර කන්දත් මේ කදුවලල්ලේ  නැගණහිර පසින් පිහිටා ඇති කොටසක්ය. මේ කතාවන්  මායිම් නැති වුනත් පරිසරය ගැන ලියවෙන විට සිහිපත් වු නිසා ඉබේම සටහන් විය
නිතර නිතර මීදුමෙන් වැසී නැවත නිරාවරණය වන මේ කදු වලල්ලේ බස්නාහිර පැත්තෙන් පිහිටි හාගල කන්ද පිහිටන්නේ අපේ නිවස ඉදිරිපසින්ය. කාලගුණික විපර්යාසයන් නිසා කන්දේ සිදුවන වෙනස් වීම් පිලිබදව යම් යම් පුංචි පුංචි නිර්මානත්මක අදහස් පුංචි එකාට ඇත.
කන්ද මීදුමෙන් සම්පුර්නයෙන්ම වැසී ගිය විටක ආත්තම්මා කැදවන ඔහු ආත්තම්මේ අන්න කන්ද පෙරලිලා කියා ආතම්මා රවටන්නේය. යලිත් මීදුම ගසා ගෙන ගොස් පැහැදිලිවන විට  ඔහු පොඩ්ඩක් ඉන්න  ඔන්න මම කන්ද ආයේ නැගිට්ටනවා කියමින් පුංචි ඉන්ද්‍රජාලියෙක් වන්නේය.
ඉර සහ සද බැසයන දර්ශණ නිරීක්‍ෂණය කරන ඔහුට හද නිවාඩු ගන්නා දවසක්ද ඇත.



notes of imaginary

3 comments:

Maathalan - Priyantha Hewage said...

පොඩි උන්ගේ ළෝකය බොහෝම සුන්දරයි.. අපි උන්ට උන්ගේ ළෝකේ ජීවත් වෙන්න නොදෙන එකයි කරුමය.. ඔය පොඩි එකාවත්, අවුරුදු තුන වෙනකොට මොන්ටිසෝරිය නැමැති හිරගෙදරට යවයි.. ඊට පස්සේ තරුණයෙක් වෙනකන්, වහලෙක් හිරකාරයෙක්.. මගේ දරුවා නම් මම එහෙම හැදුවේ නෑ..

Lionel Liyanagamage said...
This comment has been removed by the author.
Lionel Liyanagamage said...

පොඩි එකාගේ අම්මා මොන්ටිසෝරි ගියේ නැහැ.ඉදලා හිටලා අම්මත් එක්ක ඉස්කෝලේ ගියා.අම්මට සමාජය හුරුවුනේ එහෙමයි. ටියුෂන් කලේ ඉංග්‍රිසි භාෂාවයි ගණිතයයි විතරයි.

සමාජය හුරු වෙන්න නම් මොන්ටිසෝරි යවන්න ඔන නෑ. දැන් හුග දෙනෙක් කරන්නේ ගෙදර තියාගෙන දවසේ වැඩ ටික කරගන්න මොන්ටිසෙ‍ා්රි නැත්නම් ඩේ කෙයාර් යවන එක.

ආත්තම්මටයි - සීයටයි ඉන්නේ එකම දුවයි. වයසට යන කොට පාළුවට මුනුපුරා ඉන්නේ. මොන්ටිසෝරි යවන්න අදහසක් නම් නැහැ. ඒ ක්‍රියාකාරකම් ගෙදරද කරන නිසා මෝස්තරේට මොන්ටිසෝරි යවුවොත් මිසක් යවන්න ඔනි නැහැ.