Friday, January 24, 2014

මා මළ පසු...................



වියමනක් පල  නොවු පසුගිය සති දෙක ගෙවුනේ මරණය පිලිබද අත්දැකීම් සමග එකතුව කාලය ගෙවා දැමීමටය. සීතල දේශගුණය වැඩිහිටි මරණ වැඩියක් අසන්නට ලැබුනේදැයි  මට සිතුනේ  දවසක් හැර එක් දවසකට දෙකක් අසල්වාසී මළගෙවල රැදී සිටිමට සිදුවීම නිසාය. වර්ෂයේ දෙසැම්බර් සහ ජනවාරිත් අප්රේල් මාසයත් වඩාත් මළ ගෙවල් ඇතිවෙන මාස බවට  පෞද්ගලික නිරීක්‍ෂණයක් මට ඇතිවී තිබිණි. මේ සති දෙකේ සහභාගිවු මළ ගෙවල් අතරින් සමීපතම ඥාතිවරයෙකු වියෝවීම වෙනුවෙන් සතියක්ම   කාලය වෙන්කිරීමට මට  සිදුවිය.
මැරෙන එකත් ජීවත්ව සිටින මරණකරුගේ කිට්ටුම ඥාතීන්ට පණයන වැඩක් ලෙස  මා එන යන අය අතර තනිවී සිටින විට මගේ සිතට දැනෙන්නට විය.  මරණයත් දැන් විවෘත වෙළද පලට විත් ඇතිවා සෙයකි. යාන්තම් හුස්ම පොද වා තලයට එක්ව සිරුරේ උනුසුම පහව යන්නත් මත්තෙන් හැඩවෙන්නෙ මල් ශාලාකරුගේ මොබයිල් දුරකතනයි. වහා පැමිනෙන මල්ශාලා කරු මළසිරුර සැරසිලි කටයුතු කිරීම කරා ඔහුගේ රූපලාවන්‍යාගාරයට ගෙන යයි.
එතැන් සිට ප්‍රභූත්‍වය  ඉහල නන්වන්නට පෙට්ටියේ මිල ගනන් තරග කරන්නට පටන් ගනී. මල්ශාලාකරු එකම බාල ලීයෙන් ( පන්තියක් මේ ලී වලට  නැත.) තැනු පෙට්ටියට ලන්සු තබයි.  පහලොස් දහයි විසිදාහයි මෙලෙස ගොස් මේක නම් හැට දාහයි................... ආදී වශයෙන් ඉහලට යන්නේ මරණකරුගේ ඥාතීන්ගේ තරා තිරම අදුනාගන්නට මල්ශාලාකරුවන්ගේ ඉව  පුරුදු පුහුණ වී ඇති නිසාය. ‍ඒත් පෙට්ටිය වෙනස් වන්නේ ස්ප්‍රෙ කර ඇති තීන්ත කෝර්ඩ් ගාන අනුව බව මිළදී ගන්නෝ නොදති. මල්ශාලාකරුගේ මල්වඩමත් උපකරණ කට්ටලයත් සමග නිවසේ විසිත්ත කාමරයේ ගරු සරුවට  තැන්පත්වන සිරුර දැන්  ප්‍රදර්ශණයට සුදානම්ය.
මට අදිකාරම් මහතා ලියු පොතක සටහනක්   අපැහැදිලි ලෙස සිහිපත්වේ.  එතුමාගේ අදහස නම්  අපි ට ඇති බලාපොරොත්තු කොටස් දෙකකි. එකක් මානසික සුවයවේ. අනෙක ගත පිනවන සැප පහසුකම් වලින් පිරුණ ජීවිතයක් ගත කිරීමයි. මිනිසුන් තුල මේ කාරනා දෙක සාර්ථක කරගැණිම සදහා තෘප්තිමත් සීමාවක් මේ ඇතියයි හැගීමක් නැති බැවින් සැමදා අතෘප්තිකරව ජීවත්වේ. මියගියවුන්ට හැගීමක් දැණිමක් ඇති නොවු වත් ජීවත්ව සිටින්නන්ට තමන්ගේ තත්වය විදහා පාන්නට මරණය මගුලක් වන්නේ මේ නිසායයි මම සිතිවිලි ගලපා ගත්තෙමි.
අපි මරණයට සූදානම්ව සිටී නම් අපේ මරණය විසිතුරු අව - මංගල්‍ය උත්සවයකට බදුන් නොවී නිවසේ විසිත්ත කාමරයේ  ප්‍රදර්ශණ භාණ්ඩයක්  නොවී නෑ හිතවතුන්ගේ සතුටු සාමීචී මැද අළුවි යන්නට හෝ  මිහිදන් නොවන්නට කටයුතු සම්පාදන කර ගත හැකිවේයයි මට සිතුනි.  සරල පෙට්ටියක අවම කාලයකින් අවම වියදමකින් මගේ ඥාතියාගේ  අවසන් කටයුතු අවසන් කරගන්නට සැලසුම් කිරීම මට නොහැකිවුවත් මා මලපසු මේ ප්‍රතිපත්තිය අනුගමනය කිරීමට ජීවත්ව සිටින මගේ අනුප්‍රාප්තික භාරකරුවන්ට  විධාණයක් දී තිබිය හැකිවේ. මම එසේ කරමි යයි තරයේ සිතා ගත්තේ මේ විකාරය කඩා බිද දැමීමට  මට හෝ  ආදර්ශයක්  විය හැකි බැවිනි.
මීලග වියමනෙන් මළ ගෙදරක සිරිත් විරිත් විකෘතිවී ඇති   අයුරු ගැන මට හිතෙන දේ පලකරමි.


notes of imaginary

4 comments:

Wicharaka Asami Dakimi Soyami said...

මෘත සංඥාව නමැති සංකල්පය බුදු බණේත් තියනවනේ. මොනවා කලත් මොනවා කිව්වත්, අන්තිමට අපට අත්වන ලෝක ධර්මය මෙයයි යන්න සිතෙහි රඳවා ගැනීම වැදගත්. මමත් ප්‍රාර්ථනා කරන්නේ ලෙඩදුක් වලින් පීඩාවට පත්ව, අනුන්ට කරදරයක් වෙමින් දිගුකලක් ඇඳේ ගත නොකරන ශාන්ත මරණයකට පත්වේවා කියලයි.

දේශක යා said...

//බ්ලොගයක් වියමන් නොවූ//

මේක නිකං මට කොයිල් වගේ..

Lionel Liyanagamage said...

/බ්ලොගයක් වියමන් නොවූ//
පුංචි පටලැවිල්ලක් . වයමන් නොවු කියලා තිබුනහම ඇති.
දේශකයාට ස්තුතියි.

Lionel Liyanagamage said...

වියමන්