පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Monday, December 02, 2013

ඔබේ ඇස් පරීක්ෂා කරගන්න






ඇස් දෙක වගේ රැකගන්නා කියලයි වඩාත්ම ආදරේ ඇති වස්තූන් ආරක්‍ෂා කරගන්නවට කියන්නේ . ඒත් ඔබේ ඇස් දෙක පණ වගේ රැක ගන්නවාද කියන එක ප්‍රශ්නයක්.
අපිට ඇස් පෙනීම ඉබේම අඩුවුනොත් හිතන්නේ කණ්නාඩියක් ( උපැස් යුවලක් ) ගන්න. ඒ වගේ වෙලාව නගරයේ ඇති ඇස් කණ්නාඩි වෙළද සැලකට ගිහින් ඇස් පරීක්‍ෂා කරගෙන කන්නාඩියක් ගන්නවා. ඒත් ඔබ දන්නේ නැහැ එම කන්නාඩි ඔබට වික්කේ සුදුසු කම් සපුරා නිසි පුහුණුවක් ලත් ඇසි පරීක්‍ෂකයෙක්ද කියලා. සමහරවිට ඔහු දන්නවා ඇත්තේ අකුරු පුවරුව කියවලා පෙනීම පරීක්‍ෂා කිරීම විතරක් වෙන්න ඇති. ඔබ කරගන්නේ අනතුරුදායක වැඩක් !.
ඔබ ඇස් කණ්නාඩියක් ගන්නේ නම් අඩුම තරමින් රජයේ පිලිගත් අක්‍ෂිතාක්‍ෂණවේදියෙක් තෝරගතයුතුමයි. මෙම අක්‍ෂිතාක්‍ෂණවේදින්  ඇස් පිළිබදව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් දෑවුරුදු විධිමත් පුහුණුවකට පසු  රෝහල්වල සේවයට අනුයුක්ත කරසිටිනවා. 
අනෙක් වෛද්‍යවෟත්තිකයන් මෙන් මේ අයත් පෞද්ගලික වෛද්‍ය ව්ත්තියේ යෙදෙමින් අක්‍ෂි වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වා ගෙන යනවා.

ඇස්වල ආබාධයක් ඇති වුණොත් ඇහැට අනතුරක් සිදු වුණොත් නැතිනම් ඉබේම පෙනීම අඩු වුණොත් නම් මුලින්ම කල යුත්තේ අක්‍ෂි විශේෂඥ වෛද්‍යවරයෙකු මුණගැසීමයි.   ඔහුගේ /ඇගේ උපදෙස් පැතීම වැදගත්.
වයස අවුරුදු හතළිහ පැන්නාම පෙනීමේ ඇසේ ඇතිවන වෙනස්කම් නිසා බොහෝ දෙනෙක් හතළිස් ඇඳිරිය ඇවිත් කියලා ඇස් පරීක්ෂා කරවා ගන්නවා. ඒත් වයස අවුරුදු හතළිහට කලින් වුණත් ඇස්වල නිරෝගී බව ගැන ඔබ උනන්දු වෙන්නට ඕනෑ.

ලෝක ජනගහනයෙන් මිලියන තිස් නවයක්ම අන්ධ භාවයට පත්ව ඇති බව වාර්තා වෙනවා.  මොවුන් අතරින් වැඩි දෙනෙක්  තුන්වෙනි ලෝකයේ රටවල ජනතාව , එලෙස අන්ධ භාවයට පත්වන්නට හේතු වී ඇත්තේ ඇසේ සුද, දියවැඩියාව හේතුවෙන් ඇතිවන අක්ෂි ආබාධ, ග්ලූකෝමාව, දෘෂ්ටි ආබාධ සහ ළමා වියේ අන්ධ භාවයයි.අන්ධ භාවයට බලපාන ප්‍රධාන හේතු කිහිපයක්ම තිබෙනවා. මෙම හේතු කල් තියා හඳුනා ගතහොත් අන්ධ භාවයෙන් වැළකෙන්නට හැකි වීම සුබවාදී ලක්ෂණයක්.

Ø ඇසේ සුද,
Ø හතළිස් ඇඳිරිය,
Ø ග්ලූකෝමාව,
Ø දියවැඩියාව
Ø මවුපියන් ඇස් රෝගවලින් පෙළෙන විට ඇතිවිය හැකි ජානමය බලපෑම
Ø ඇසට අනතුරු සිදුවීම
Ø වෙනස් ඇස් රෝග,
Ø ඇසට රසායනික ද්‍රව්‍යයක් ඇතුළුවීම,
Ø වපරය,
Ø ලේ නෑයින් අතර විවාහය
Ø මන්ද දෘෂ්ටිකතාව හෙවත් අර්ධ අන්ධ භාවයත්

හතළිස් ඇඳිරිය සහ හැට ඇඳිරිය
ඇසේ සුද ඇතිවෙන්නේ සාමාන්‍යයෙන් වයස අවුරුදු හැට පමණ වූ විට. හැට ඇඳිරිය කියලත් ඇතැමුන් එය හඳුන්වනවා. ඇසේ සුද මේරීමෙන් ඇසේ පෙනීම ක්‍රමයෙන් අඩු වෙමින් සදාකාලිකව අන්ධ භාවයට පත් වීම මෙම රෝගයේ ස්වභාවයයි. සරල සැත්කමක් මඟින් ඇසේ සුද ඉවත් කොට කාචයක් ඇසට බද්ධ කිරීමෙන් සාමාන්‍ය පෙනීම ලබා ගන්නට පුළුවන්.
අවුරුදු හතළිහ පැන්නාම හැදෙන්නේ හතළිස් ඇඳිරිය. පොත් පත් කියවීමේ අපහසුතාව, ඉඳිකටුවට නූල දැමීම වැනි සියුම් කාර්යයන් කිරීමේ  අපහසුතාව ඇති වෙන විට ඇස් පරීක්ෂා කරගන්න.
හතළිස් ඇඳිරියට ඇස් පරීක්ෂා කරන විට ඔබේ දෑසේ සුද මතුවී ඇත්නම් එයට ද කල් වේලා ඇතිව පිළියම් කරගන්නට ඔබට හැකි වේවි. හතළිස් ඇඳිරියට කන්නාඩි ගන්නට වෛද්‍යවරයා ඔබට උපදෙස් දුන් විට ඉක්මනින්ම අදාළ නිර්දේශ මත කන්නාඩි ලබා ගැනීම වැදගත්. ඒ වගේම මේ කන්නාඩිය ඔබ ලියන කියවන වේලාවට වෛද්‍ය උපදෙස් අනුව පැලඳීමත් වැදගත්.
අවුරුද්දකට වරක් නැත්නම් අවුරුදු දෙකකට වරක්වත් ඇස් පරීක්ෂා කරවා ගෙන කන්නාඩිය වෙනස් කිරීමට අවශ්‍ය නම් එසේ කිරීමත් වැදගත්.

ග්ලූකෝමාව ඇස් අන්ධ වීමට බලපාන ප්‍රබල හේතුවක්.
ඇසේ පීඩනය වැඩි වී අක්ෂි ස්නායුවේ ඇති ස්නායු තන්තු විනාශයට පත් වීමෙන් ග්ලුකෝමාව ඇති වෙනවා. ක්‍රමයෙන් ඇසේ දෘෂ්ටි පරාසය අඩු වී යමින් ඔබ නොදැනුවත්වම දෑස් නොපෙනී යාම මෙහි ඇති භයානක තත්ත්වයයි. කිසියම් වස්තුවක් දෙස ඔබ නෙත් යොමු කරන විට ඇසේ දෙපස පෙනීම අඩු වී යාම මෙහි රෝග ලක්ෂණයයි. ඇසේ දෙපස පෙනීම අඩු වීම එකවර ඔබට නොදැනීම මෙහි ඇති බරපතළ තත්ත්වයයි.

දියවැඩියාව
දියවැඩියාව ඔබේ සිරුරේ සෑම ඉන්ද්‍රියකම ක්‍රියාකාරිත්වයට අහිතකර ලෙස බලපාන බව ඔබ දන්නවා. දියවැඩියාව පාලනය නොකළහොත් ඉබේම ඇස් අන්ධ භාවයට පත් වෙන්නට පුළුවන්. ඩයබිටික් රෙටොනොපති යනුවෙන් හඳුන්වන්නේ මෙම රෝග තත්ත්වයයි.
දියවැඩියාව ග්ලූකෝමාව සමඟත් සෘජු සම්බන්ධයක් තිබෙනවා.
ලෝකයේ වැඩිහිටි ජනතාවගේ අන්ධ භාවයට හේතු වන ප්‍රධාන හේතුව ග්ලෝකෝමාව. ඩයබිටික් රෙමොනපති රෝගය පාලනය නොකිරීම නිසා ඇසේ දෘෂ්ටි විතානයේ සියුම් නහර පිපිරීමෙන් ඇස තුළ රුධිර පැල්ලම් ඇතිවීමෙන් හා ඇස ඉදිමීමෙන් ඇස් අන්ධ භාවයට පත් වීමයි.
එ‍යින් වැළකීමට ඇති හොඳම ක්‍රමය දියවැඩියා රෝගීන් අනිවාර්යයෙන්ම වසරකට වරක් ඇස් පරීක්ෂා කරගැනීමයි.

මවුපියන් ඇස් රෝගවලින් පෙළෙනවා නම්
මවුපියන් ග්ලුකෝමා, ඩයබිටික් රෙමිනොපති වැනි රෝගවලින් පෙළෙනවා නම් සහ මවුපියන් , ලේ ඥාතීන් නම් ජානමය බලපෑමෙන් දරුවන්ටත් අක්ෂි ආබාධ ඇති වෙන්නට පුළුවන්.
එවැනි අවදානමක් ඇති මවුපියන් කුඩා කාලයේ පටන්ම දරුවන් ගේ ඇස් පිළිබඳ විමසිලිමත් වෙන්නට ඕනෑ. ඇස් ආබාධයක් ඇත්දැයි නිතර පරීක්ෂා කර බැලීම වැදගත්. ආබාධ ඇති දරුවන් උපැස් පලඳිනවා නම් ඒවා නිසි කලට නැවත පරීක්ෂා කර කන්නාඩි මාරු කළ යුතුයි.

ඇහේ වපරය
ඇහේ වපරයට පිං වපරය කිව්වේ ඒ කාලේ. දැන් කාලෙ ජනතාව වපරය අන්ධ භාවයට හෝ දෘෂ්‍යාබාධවලට හේතු වන බව දන්නවා. උපන් අලුතම බිලිදාගේ දෑසේ වපරයක් හෝ වෙනසක් දුටුවොත් වහාම අක්ෂි වෛද්‍යවරයකු හමු වන්න.

අල්ප දෘෂ්ටිකතාව
අල්ප දෘෂ්ටිකතාව හෙවත් පෙනීම අඩු බව තවත් අක්‍ෂි ආබාධයක්. ඇහේ සුද හෝ හතළිස් ඇඳිරිය නැතත් ඇස්වල පෙනීමේ වෙනස්කම් වේ නම් ඒවා අර්ධ අන්ධ භාවයේ ලකුණු වෙන්නට පුළුවන්.
සුව කළ නොහැකි අක්ෂි රෝගයක් නිසා ඔබ ඉතාම අඩු ඇස් පෙනීමකින් යුක්ත නම් විශේෂ උපකරණ මඟින් ඔබගේ ඇස් පෙනීම වැඩි දියුණු කරගන්නට පුළුවන්.

ඔබගේ ඇස් පෙනීම ගැන සරල පරීක්ෂණයක් ඔබටම කරගන්නට පුළුවන්.
Ø ඔබ උපැස් පැලඳ සිටියත්, යහළුවන් හා හිතවතුන්ගේ මුහුණු හඳුනා ගැනීමට නොහැකි නම්,
Ø කියවීම, ආහාර පිසීම, මැසීම වැනි ළඟ පෙනුම අවශ්‍ය වෙන ක්‍රියාකාරකම් කළ නොහැකිනම්,
Ø ඔබගේ ඇඳුම්වල වර්ණ ගැළපීම හා වර්ණ තෝරා ගැනීම කළ නොහැකි නම්,
Ø ආලෝකය මදක් අඩු අවස්ථාවලදී සාමාන්‍ය ක්‍රියාකාරකම් කළ නොහැකි නම්,
Ø මාර්ග සංඥා, බස් පුවරු හෝ ව්‍යාපාරික ආයතනවල නම් සඳහන් පුවරු කියවීමට නොහැකිනම්
ඔබ අර්ධ අන්ධ භාවයෙන් පෙළෙනවා වෙන්නට පුළුවන්.
ඇස් කණ්නාඩි සහ කාච වෙළද පල නම් මිත්‍යා විශ්වාශයන් මත ගොඩ නැගී මුදලාලිලාගේ සාක්කු පුරවන ව්‍යාපාරයක්. ඔබ දැවන්ත වායුසමීකරණය කරන ලද ගෙඩනැගිල්ලකට ගෙඩවැදී රුපියල් දසදහසක් ගෙවා මිලදී ගන්නා ඇස් කණ්නාඩිය පුංචි ඇස්කන්නාඩි වෙළද සැලකින් රුපියල් තුන්දහසකට  පමන ගන්න පුළුවන් වේවී.

මෙහිදී වැදගත් වෙන්නේ ඇස් නිසි ලෙස පරීක්‍ෂා කර නියමිත වට්ටෝරුව ලබාගෙන ඒ අනුව කාච සකස් කරගැණිමට  උනන්දු වීමයි. 

notes of imaginary

2 comments:

Shehan Senadheera said...

බොහොම හොඳ , ප්‍රයෝජනවත් ලිපියක්. බොහොම ස්තුතියි.

Shehan Senadheera said...

බොහොම වැදගත් ලිපියක්. බොහොම ස්තූතියි,