Monday, October 28, 2013

වැස්ස ලගයි .


ඔන්න ඹක්කෝම්බර් මාසේ ඉවරයි. මේ ලබන්නේ නොවැම්බර් මාසේ .

කාලගුණ දෙපාර්තමේන්තුව කොයි බයිලාවක් ගැහුවත් අපේ කිරිමොහොට්ටාල මාමනම් අහස දිහා බලාගෙන කියන්නේ දැන්නම් නැගණහිරෙන් වැස්ස ඔන්න මෙන්න කියලා .
මොහොට්ටාල මාමගේ අනාවැකිය හරියට හරි යනවා .මොහොට්ටාල මාමාගේ පරම්පරික දැණුම දැන් කාලේ නවීන උපකරන යොදා ගන නිර්වචනය වෙන්නේ වෙනත් විධියකට. මාමා පොහොන . තල වැස්ස , පෙරහැර වැස්ස කියලා හදුන්වන වැහි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අතුරු මෝසම් , බෙංගාල බොක්‌කේ හටගන්නා වාසුලි සහ අවපාත ,කැළඹීම්  වෙනවා.

ප්‍රධාන මෝසම් දෙක තුළත් ඒ මෝසම් එළැඹීමට පෙර කඩා පහත්වන අතුරු මෝසම් කාල දෙක තුළත්, බෙංගාල බොක්‌කේ නිතර දෙවේලේ හටගන්නා වාසුලි සහ අවපාත නිසාත්, හඳුනා ගත නොහැකි සහ හඳුනා ගැනීමෙන් කිසිදු වැඩක්‌ නැති කාරණා බොහොමයක්‌ නිසාත් සමහර විට අවුරුද්දේ දවස්‌ තුන්සිය හැටපහ පුරාම අපේ  රටේ කොහේට කොහේට හරි වහිනවා. අනෙක් රටවල් වලට වඩා අපේ රටේ වෙනස ඒකයි. රටේ කොතනක හරි තුන්සිය හැටපස් දවසේම උපවාසයක් ,සත්‍යග්‍රහනයක් තියෙනවා වගෙයි අපේ රටේ වැස්සත්.

අයනීකරණය වූ වළාකුළු එකිනෙක ගැටීමේදී හටගන්නා වෝල්ට්‌ ලක්‍ෂ ගණනක්‌ බලසම්පන්න විදුලි දහරා භූමිගත වීමේ ක්‍රියාවලිය අකුණක්‌ කියලා  ඉතාම සරල ලෙස නිර්වචනය කරනවා. අපේ රටේ දශක ගණණාවක් තුල සිදුවෙමින් පවතින පාරිසරික වෙනස් වීම් නිසා  අකුණු අවදානම  තව තවත් වැඩිවෙලා.


කාලගුණ විද්‍යාඥයන්ගේ  අත්දැකීම්වලට අනුව ලංකාවේ අකුණු සහිත වැසි  වැඩිම කාලය වන්නේ අප්‍රේල් මාසය යි. මොට්ටාල මාමා කියන්නේ “බක් මහටයි හෙන අකුණු ගහන්නේ බොලව්”  කියලා. මේ තත්වය මැයි දක්වාම පවතිනවා. ඊළඟට ඔක්‌තෝබර් සහ නොවැම්බර් මාසය . මේ අකුණු බලපෑම් නැගණහිරට මධ්‍යම කදුකරයට අඩුයි කියලා හිතෙනවා.  දෙසැම්බර්  මාසේ මහ වැහි කාලයේ හෙන අකුණු පාත්වෙනවා වැඩියි.  
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය මගින් හෙළිවන පරිදි මෙයට අමතරව හැම මාසයකම අකුණු හටගන්නවා දිවයිනේ යම් යම් පුදේශවල ( මෙහෙම කියන්නේ කාලගුනේ ) .

මොහොට්ටාල මාමා ප්‍රගතිශිලියෙක්. මාමා ඔනෑ එකටයි එපා එකටයි බනින්නේ  ජේ.ආර්. මහත්තයාට . අකුණු අනතුරු වැඩි වෙන්න හේතුවත් ජේ.ආර් මහත්තයා . 1977 න් පස්සේ  මේ  රටේ අකුණු අනතුරු  වැඩි වු බව මොහොට්ටාල මාමාගේ තර්කයක්.ඡේ. ආර්. ජයවර්ධන මහත්තයා දැන් කාලේ වගේ  බටහිරට ගැති බලවේග සමඟ එකතු වෙලා  අකුණු හටගැනීමේ ව්‍යාපාරයක්‌ සංවිධානය  කලා කියලනම් මාමා කියන්නේ නැහැ. විවෘත ආර්ථිකයත් එක්ක රටට ගොඩ බැස්ස  ගෘහ විදුලි උපකරණ  නිසා  විදුලි අකුණු අනතුරු වැඩිවුනා කියලා මාමා කියනවා.

ඉස්සර නම් අකුණු සහිත වැසි පවතින අවස්ථා වල උස ස්ථාන වල ,  වැස්සට ගස් යට ,කුඹුරුවල ඉන්න එපා කියලා උපදෙස් දෙනවා. දැන් ඒවටත් තව සංශෝධන එකතු කරගන්න කාලේ ඇවිත්. අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් කාලගුනේට ඕන විදියට වෙනස් වෙනවා වගේ.

1980 න් පසු   අපේ රටට රූපවාහිනිය ආවනේ. මේකටත් ඉතින් ජේ.ආර් මහත්තයා වැරදි කාරයෙක් වෙනවා. රූපවාහිනිය රටට ගෙනාපු නිසා. හෙණ එකක්‌ නොව හෙණ හතක්‌ ගැහුවත් ටෙලිනාට්‍ය ,  ස්ටාර්ලාගේ වැඩකිඩ බැලීම නම් කොහොමවත්  අපේ ඇත්තන්ට අත්හරින්න බැහැ. ඉතින් අපි ජීවිතේ අණතුරේ කියලා ගුගුරමින් වහින මහ වැස්සේ පවා ටෙලිනාට්‍ය ස්ටාර්ලාගේ වැඩ බලනවා. ගෙදර වහලයේ තිබෙන රූපවාහිනි ඇන්ටෙනාව දිගේ බහින අකුණු රූපවාහිනිය ද පුපුරුවා එය නරඹන දෙතුන් දෙනකු මරා තවත් හත්අට දෙනකු අබ්බගාතයන් බවට පත් කරයි කියලා නිකමටවත් හිතන්නේ නෑ .

මොහොට්ටාල මාමාට නිතර දෙවේලේ ගෙදර නැන්දම්මා  පුපුරවන අකුණු වලට හුරුවෙලා “මම නම් කම්මලේ බල්ලා වගෙයි බොලව්” කියලා  කියන ගමන්ම  මෙහෙමත් කියනවා .
වහින වෙලාවට  නම් අපේ පොඩී එකී බනිද්දී  වයර් කෑලී ඔක්කොම රූප පෙට්ටියෙන් ගලවා දානවා ඕන් මං .

අකුණුවලින් සිදුවන අනතුරු සහ ජීවිත  ඉරණම ගෙදර තිබෙන විදුලි උපකරණ සමඟ බද්ධව තියෙනවා .වහින වෙලාවට අපි සැලකිලිමත් වුවහොත් මේ අනතුරු වලක්වා ගන්න පුළුවන්. ඔය ඔක්කොම  ගෘහ විදුලි  උපකරන වල විදුලිය විසංධි කරලා දානවා නම් !.


notes of imaginary

No comments: