Sunday, October 27, 2013

මීදුම හැට පහයි.


මීදුමටත් අද විශේෂ  දවසක්.

1948 පෙබරවාරි මාසේ 04 වෙනිදා මේ අපේ රටට නිදහස ලැබෙනවා.
ටොප් හැට් දාපු වවුල් පස්සක උලක් වගේ කබා කුරුත්තු ඇදපු මහත්තුරුන්ගේ දේශපාලනය  මේ බිමේ පැලවෙනවා.
මේ අසිරිය බල බලා ඔක්තෝම්බර් මාසේ 27 දා මධ්‍යම කදුකරයේ බස්නාහිර බෑවුමේ පසල් දනව්වක  මීදුම මෙලෝ එලිය දකිනවා. මේ පින්වත් කුමරාට උපදින කොටම  වර්ග අඩි දෙසීයයක විතර ගොම මැටි ගාපු ගෙබිමකුයි හිසට  පිදුරු වහලකුයි  හිමිවෙනවා.

මේ  අසිරිය සිදුවී අවුරුදු හැටපහක්වු  බව සිහි කරන්න අද කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය විවෘත කලා ! . කියලා මීදුම  කියන කොට අහගෙන ඉන්නා අය කියනවා උඹට පුළුවන්ද එච්චර වැඩක් කියලා !.

මට බෑ තමයි.

ඒත් අපි ජීවත් වෙන්නේ ඒ වගේ සිහින ලෝකෙක කියලා කවුරුවත් හිතනවයැ.

1948 පහුවෙලා අවුරුදු අටකට පස්සේ 1956 දී මහ පෙරලියක් වෙනවා. මේ පෙරලිය සමරන්නේ හැන්දෙන් ගෑරුප්පුවෙන් කිරිබත් කාලා. එකාල වන විට  මටත් අවුරුදු අටයි. ඊටත් අවුරුදු දෙකකට පස්සේ මම අපේ තාත්තගේ අතේ එල්ලිලා මහ පෙරලිය කලා කියන වීරයාගේ දේහය බලන්න රෝස්මීඩ් ප්ලේස් එකට වැල නොකැඩී ඇදිලා තිබුන මිනිස් ගගට එකතු වෙනවා.
කාලය ගෙවීලා යනවා. 1973  අප්රේල් 13 වෙනිදාවක අපෙන් වෙන්වී ගිය ඩඩ්ලි සේනානායක අගමැතිතුමා වෙනුවෙන් කදුළු වගුරපු ජනතාව මට සිහිපත් වෙනවා. එතකොට අවුරුදු විසි පහක් වුන ඡන්ද දායකයෙක්.   1993 මැයි පළවෙනිදාවක මහ මග පිපුරන බෝම්බයකින් මිය ගිය ආර් . ප්‍රේමදාස ජනාධිපති තුමා වෙනුවෙන් රතිඥ්ඥා පත්තු කරනවා. අවුරුදු හතලිස් පහක පරාසයක් තුල කාලය  වෙනස් වෙලා සමාජ විඥාණය මේ විදියට ගිණි ගන්නවා.

මීදුම මේවා අහමින් දකිමින් පාසල් යනවා. අම්මට තාත්තට සහෝදර සහෝදරයින්ට අසල්වාසීන්ට විශේසිත අයට  ආදරය කරනවා.  අන්තිමට ශේෂ පත්‍රයක් නොදැක  ගිණුම් වසා දමනවා.
රස්සාවල් හොයනවා. රස්සා  වෙන්නත් රස්සාවල් කරනවා- අතහරිනවා   අයෙත් හොයාගන්නවා .විවාහ වෙනවා . දරුමල්ලන් මුණුපුරන් දකිනවා.
අත්හැරීම දුකක් ශෝකයක් ඇති කරගන්නේ නැතිව උපේක්‍ෂාවෙන්ම අත්හරිනවා.
ඒ නිසාම ජීවිතය සැනසිලි දායක තැනක් ලෙස  දකිනවා.

 පහුගිය වසර කිහිපයක් තිස්සේ  පනහේ දශකය පහුකරගෙන ඉදිරියට යන්න තතතන සගයින්  එකායි ! දෙකායි !!  කිය කියා ඇද වැටෙනවා දකිනවා. අහනවා.  ඒ සහෘදයින් වෙනුවෙන් ඇතිවුන ශෝක සුසුම්  විදගෙන  තවමත්  මීදුම නොදැවී ඉදිරියට ඇදෙනවා .
මේ මැදියම   දොලොස් පැයේ  ඉදන් මෙහෙම ගෙවුන ජීවිතයට අවුරුදු හැටපහක් පහු වෙනවා  .

මේ දකින්නේ හීනයක්ද ? .

මීදුම තවමත් අද දවස විශේෂිත දවසක් ලෙස හිතමින් ඉන්නවා.




notes of imaginary

2 comments:

විචාරක Wicharaka said...

මටත් වඩා ටිකක් වයසින් වැඩි ඔබට සුබ උපන්දිනයක් පතන්නට ලැබීම භාග්‍යයක් කොට සලකනවා. මම අවුරුදු 60 සපුරන්නේ ලබන වසරේ. මා හිතා හිටියා සිංහල බ්ලොග් ලියන වයස්ගතම පුද්ගලයා මමද කියා. හරිම සතුටුයි ඔබ වැන්නෙක් හඳුනාගන්න ලැබීම ගැන. යලිත් වරක් මගේ උණුසුම් සුබපැතුම් පිළිගන්වනවා.

Dinesh said...

සුභ උපන්දිනයක් පතනවා.. හිතුවේ නෑනේ මීදුමට මෙච්චර වයසයි කියලා..