Tuesday, September 03, 2013

ඇවිලුනු ගිනිදැල් නිවි නිවි යද්දී - ඈ මට හමුවූවා.....


 197 6 වගේ කාලේ ඉදන් ගුවන් විදුලියෙන් අහපු විශාරද  සනත් නන්දසිරි  ගයන මේ ගීතය  මාස  දෙකක්  විතර කාලයක් ඩෙස්ක් ටොප් එකේ තියාගෙන බලා හිටියා.
ගිතය ඩෙස්ක් ටොප් එකට එන්නත් හේතුවක් ඇතිවෙන්නත් එපාය.  මේ කියන දවස් වල මට නුවරඑළියේ දවස් දෙකක කාලය මරන්න අවස්ථාවක් ලැබුනා.  වියපත් බව ආදරයෙන් පිලිගත්ත මට මේ ගමන අලස බවින් ගත කරන්න ඇත්නම් හොදයි නේද කියලයි හිතුනේ. ඒ බව මගේ පිරිසට පැහැදිලි කර දෙන්න පුළුවන් වුනා. විවාදයකින් තොරවම  මාව තනිකර  දමලා අනෙක් පිරිවර රිසි රිසි පරිදි විනෝද වෙන්න  මගෙන් වෙන්වුනා

නවාතැනින් පිටත් වුන මම වැව පේනමානයේ  තණ නිල්ලේ බංකුවකට වාරු වුනා. පරිසරය මගෙන් බොද වෙලා ගිහින් මම අතීතයත් වර්මානයක් අතර දෝලනය වෙමින් කාලය ගෙවා දමමින් සිටියා. දු දරුවන් සමග පැමිනි එක් නුවරඑළි සංචාරයකදී  බිරියන්ට හොරෙන් ඇග රත්වෙන්න යමක්  බොන්න අදහස් කර  මගේ මිත්‍රයෙකුටත් මටත් වු අලකලංචියක්  මතකයට ආවා.

 ඒ දවස් වල  “ සිලෝන් බෘවරි සමාගමේ 5% හේ නිෂ්පාදන උනු උණුවේම ගන්න පුළුවන් අවුට්ලට් එකක් නගරයේ තිබුනා අපි දෙන්න කෑන් එකක් අරගෙන ලීටර් තුනක් පුරවගෙන සැරවෙන්න කියලා 33% ඇල්කොහොල් මිලි ලීටර් 750ක් ඒකට එකතු කලා . අපි දෙන්නට අවසර පත් නිකුත් කරලා තිබුනේ උපරීම මධ්‍යසාර සංයුතිය  5%ට වඩා  අඩු පානයක් ගන්න විතරයි.  අපි හොරට මේ මිශ්‍රණය ගෙනත් 5% ඒවා කියලා දැන් ටික ටික බොනවා. පැය දෙක තුනක් මේ වැඩේ කර කර ඉන්න කොට දෙන්නටම යකා ගැහුවා වගේ ෆීල්ඩ් එකෙන් අවුට් වෙන්න වුනා. මතක තියෙන කාලයක් යනකමම් අපි දෙන්නට   අපේ  ගෙවල් වල ඉන්න වුනේ කනේ මූඩි ගහගෙන වහලේ වවුලෝ වගේ එල්ලිලා.

මතකය මේ වගේ දේවල් අතර එහාට මෙහාට යමින් කාලය ගෙවිලා ගියා. මට ඔච්චමක් කරමින් මාව පසු කර ගෙන ගිය කෙල්ලෝ කොල්ලෝ රොත්තක් සමග සිටි නඩයක නඩේ ගුරා කියලා හිතන්න පුළුවන් මහල්ලෙක්  නතර වෙලා මා දිහා බලා ගෙන  විමසිල්ලෙන් ඉන්නවා. 
බලනා බැල්මට මම හිතුවා අදුරන මුණක් කියලා. මම අතීතයේ පත්ලට ගිහින්   ජීවිතය පෙරා ගෙන තන නිල්ලට ආවා. මම  හදුනා ගන්නත් ඉස්සරම  ඔහු  මගේ කොන්ඩයට ඩයි පාරක් දාලා මූනත් මේකප්  කරලා  ලගට ඇවිත් “මචාං උඹ.....................?. මම විශ්වා . විශ්වපාල ”   ප්‍රශ්නයක් එක්ක උත්තරයක්  දුන්නා .

අවුරුදු හතලිහකට විතර අවසාන වරට දැක්ක  විශ්වා පරණ මිත්‍රත්වය තහවුරු කරලා  උගේ නඩේට ඕන තැනක ඇවිදලා මෙතෙන්ට ආපහු එන්න නැත්නම් ඉන්න තැන කියලා කෝල් එකක් දෙන්න කියලා අණ කලා.   මගේ අලස විවේකයට පරමාණු බෝම්බයක් වැටුනා.

 අපි අවුරුදු හතලිහක් ජීවිතය කාල් ගාමින් උඩු යටිකුරු කර  යලි යලි විමසන්න පටන් ගත්තා. කාලය අපිටත් හොරා ගෙවිලා ගියා සෝඩා ලිටර් දෙකක්  43% ක සැර බාලකරමින් කතාබහ ඇදී ගියා.  අවුල්පත් වලින් බඩ පිරුනා. අද ඔහුත් සමග පැමිණ සිටියේ අපි ඒ දවස්වල විශ්වාගේ ගමන් සගයා කියලා හිතාපු කෙනා නෙමෙයි. “කෝ මචං උ‍ඹේ පරණ කෑල්ල ?. ” මට ප්‍රශ්ණයක් වුනා.ගැටවර වියේ  අවුරුදු දහයක් විතර  ඉදන් විශ්ව විද්‍යාල ජීවිතේ පහු කර ගෙන සමාජයත් එක්ක ගැටෙන කම් උඹත් එක්ක හිටපු කෑල්ල මම තව විස්තර කලා. 

“ඒකී ගියා බන්.” “පුංචි කාලේ අපිට ජීවිතේ තේරෙන්නේ නෑ. ජීවත් වෙන්න හදන කොටයි ජීවිතේ තේරෙන්නේ. ඒකිට ඒක මට කලින් තේරුම් ගියා .මට ‍තේරුම් ගියේ  ඒකිට තේරිලා ටික දවසක් ගියාට පස්සේ !. විශ්වා නෙනැවතී  දාර්ශණික අදහසක් වමාරනවා. ප්‍රථම ප්‍රේමය මේතරම් හෑල්ලු වෙන්න පියබද කොයිතරම් විශ්වාට සමීපද කියලා ජීවිතය කිරන්න උවමනාවක් මට ඇතිවුනා. 

මම ජීවිතේ තේරුම් ගත්තේ අර රොත්තත් එක්ක මුණුපුරු මිණිපිරියන් පිරවරා ගෙන ගිය ඈ හමුවුනාට පස්සේ !.

ඇවිලුනු ගිනිදැල් නිවි නිවි යද්දී,
ඈ මට හමුවූවා.....

සුපිපුණු වනමල් සුවඳ හමද්දී,
ඈ මට හමුවූවා.....
ඇවිලුනු ගිනිදැල් නිවි නිවි යද්දී....

රන්කේඳි දහරින් පෙරි පෙරි ඉතිරී....//
හිරු අවරට ඇදුනා..
පාළුව තනිකම රජයන විටදී....//
ඈ මට හමුවූවා....

සුසිනිඳු සළුවක් සුළඟට ඇඹරී....//
රහසක් මට කීවා..
සුදු-මුදු වැල්ලේ සිටියදී තනිවී....//
ඈ මට හමුවූවා....

ඇවිලුනු ගිනිදැල්....//

විශ්වා ඒ අතීතයෙන් මිදිලා වර්තමානය දරු මුණුපුරන් ගැන කතා කරනවා මම අහගෙන ඉන්නව. පිරිස ගෙන් විශ්වාට පණිවිඩයක් ලැබෙන කම් .විශ්වා ගෙන් සමු අරන් මගේ තාවකාලික නවාතැනට යන්න. 

නුවරඑළියට ගලන මීදුමත් එක්ක ඉරත් බස්ණාහිරට සේන්දු වෙනවා. 



notes of imaginary

2 comments:

S. L. මැලේ රාළ said...

මමත් ආසම සින්දුවක්...... අවුරුදු 40කට පස්සේ දැක්ක කෙනෙක්ව ඔච්චර ඉක්මනට හදුනා ගත්ත කියන්නේ හොද යාලුවෝ වෙන්න ඇති ඒ කාලේ

Lionel Liyanagamage said...

අවුරුදු දහයක් විතර එකට උසස් පෙල දක්වා..............