පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Sunday, August 25, 2013

අපි ගමනක අවසානයේ ?.

 සුගිය කාලයේම අපට  තොග ගණනින් අසන්නට ලැබුනේ  දේශපාලකයින්ගේ සහ ඔවුන්ගේ අතකොළු විසින් කරන මැරකම් මිණීමැරුම් සහ ස්ත්‍රී දූෂණ සහ බාලපරාධ පිලිබද ප්‍රවෘත්තීන්ය. . රටේ සමාජ සහ  දේශපාලන ක‍්‍රමය කුණුවී තිබෙන තරම ඉන් හොඳින් පෙන්නුම් කරයි. සමාජය ද දේශපාලකයින් අනුගමනය කරන්නාක් මෙන් සිල්ලරට නොව තොග ගනනේ මැරකම් කරන්නට පටන් ගෙන ඇති බව නිතර නිතර අසන්නට ලැබෙන්නකි.  අප කුඩා අවධියේ එනම් මීට දශක පහකට හයකට පෙර  මිණිමැරුමක් යන්න දැඩි අවධාණය හිමි කරගන්නා සංවේදී ප්‍රවෘත්තියකි. වර්තමානය වනවිට මිණිමැරුමක් යන්න සිත් කම්පා නොවන ප්‍රවෘත්තියක් බවට පත්ව ඇත.
රටේ හැමතැනකම ඇතිවන මේ ක්‍රියාවන් පොදු තත්ත්වයක් ලෙස සැලකිය නොහැකි වුවත් මෙම බිහිසුණු පිළිකාව පැතිරීම වළකා මුළුමනින් ඉවත් කරන තැනකට යන්නට රට අසමත් වෙතොත් කවදා හෝ අප අපම විනාශයට පත්වන දිනක් උදාවිය හැක.කොළඹින් පටන් ගත් කුඩ්ඩන්ගේ රාජධාණිය  හද්දා පිටිසර කහවත්තේද ශාඛාවන් පිහිටුවාගෙන ඇත. දැරණියගල නූරිය වෙනම පාලන ක්‍රමයක් ස්ථාපනය කරගත් භූමි ප්‍රදේශයක් බවට පත්වී ඇත. මේ සියලු ක්‍රියාදාමයන් පිටිපසින් සිට මෙහෙවන නැත්නම් මෙම පාපකාරීන් ආරක්‍ෂාකරන දේශපාලකයෝ පිරිසක්ද  සිටින බවටද අනාවරනය වී ඇත.


මේ නව ප්‍රවනතාවය වික්ටර් අයිවන් විසින් අගෝස්තු 04 දා රාවයට ලියන ලද ලිපියක විග්‍රහ වන්නේ මෙසේය.

ප්‍රධාන ප්‍රවාහයේ දේශපාලනඥයින්ගේ රැකවරණය යටතේ සිටින ප‍්‍රාදේශීය දේශපාලන නායකයන් මහජනයා බියගන්වා මැර බලයෙන් ඒ ප‍්‍රදේශවල කටයුතු පාලනය කරන කොල්ලකාරී ප‍්‍රාදේශීය අධිපතීන්ගේ තත්ත්වයක් හිමිකරගෙන සිටින්නේයැයි කිව හැකිය. ප‍්‍රදේශයේ මත්පැන් හා මත්ද්‍රව්‍ය බෙදීමේ ඒකාධිකාරී බලය තිබෙන්නේ ඔවුන් අතය. දැව තිබෙන ප‍්‍රදේශයක් නම් හොර දැව ජාවාරම තිබෙන්නේද ඔවුන්ගේ ආධිපත්‍යය යටතේය. ලොකු විකිණීම්වලදී හා මිලදී ගැනීම්වලදී ඔවුන්ට කප්පම් ගෙවිය යුතුය. ප‍්‍රදේශයේ ඕනෑම කාන්තාවක තනිව හෝ තමන්ගේ කල්ලියේ සගයන් සමග හෝ දූෂණය කිරීමේ බලය ඔවුහු භුක්ති විඳිති. තමන්ට අවනත නොවන අයට හිංසා පීඩා කිරීම් පමණක් නොව තමන් අකමැති අය මරාදැමීමේ අයිතියද ඔවුහු භුක්ති විඳිති. ප‍්‍රදේශයේ දේශපාලන මහා බලවතාගේ රැකවරණය ඔවුන්ට ලැබෙන්නේය.
එම දේශපාලන බලවතාට මැතිවරණවලට අවශ්‍ය ධනයද, මැර බලය පමණක් නොව ඔහු අපේක්ෂා කරන ඡන්ද සංඛ්‍යාවද ඔවුහු ලබාදෙති. ප‍්‍රාදේශීය පොලිස් බලවතුන්ද ඔවුන්ට පක්ෂපාතය. ඔවුන් ප‍්‍රධාන කොට යැපෙන්නේද ඔහුගෙනි. ඒ නිසා නීතිය කෙරෙහි ඇතිකර ගන්නා බියකින් තොරව සිය නීති විරෝධී සාහසික කටයුතු කරගෙනයෑමේ බලය ඔවුන්ට ලැබී තිබේ.

මේ දෙපිරිස අතර සමීප සම්බන්ධයක් ඇතිවීම ආරම්භවන්නේ විධායක ජනාධිපති ක‍්‍රමයක් ඇතිවීමත් සමගය. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන පාලන කාලයේ ආරම්භයේදී වෘත්තීය සමිති සටන් හා ශිෂ්‍ය සටන් මර්දනය කිරීම සඳහා මැරවරයන් යොදාගත්තේය. ස්ත‍්‍රී දූෂණ චෝදනාවලට අධිකරණය විසින් දඬුවම් කරනු ලැබූ ගෝනවල සුනිල්ට සමාව දුන්නේය. ඉන්පසු සාමදාන විනිශ්චයකාරකමක්ද ලබා දුන්නේය.

දේශපාලනඥයන් හා අපරාධකාරයන් එකට කල්ලිගැසී ක‍්‍රියාකරන තත්ත්වයක් ඇතිවීම ආරම්භවන්නේ ජවිපේ දෙවැනි කැරැල්ල ආරම්භවීමත් සමගය. එම කැරැල්ල දේශපාලනඥයන්ට සැබෑ ජීවිත තර්ජනයක් ඇතිකර තිබුණේය. දේශපාලනඥයන්ට ප‍්‍රමාණ වත් තරමින් හමුදාවේ හෝ පොලිසියේ ආරක්ෂාව ලබාදීමට පුළුවන්කමක් නොතිබීම හේතු කොටගෙන තමන්ගේම ආරක්ෂක කණ්ඩායම් ඇතිකර ගැනීමේ බලය ආණ්ඩුව විසින් දේශපාලනඥයන් වෙත ලබාදෙන ලදී. ඒ සමග ප‍්‍රාදේශීය මට්ටමෙන් සිටින අපරාධකරුවන් දේශ පාලනඥයන් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ආරම්භ කරන ලද අතුරු හමුදාවලට එකතුවන තත්ත්වයක් ඇතිවිය.
ඔවුන්ට ආරක්ෂක හමුදා විසින් නවීන ආයුධ පරිහරණය පිළිබඳ පුහුණුවක් ලබාදෙන ලද අතර අතුරු හමුදාවලට අවශ්‍ය අවි ආයුධද ලබාදෙන ලදි. පළාත් සභා ක‍්‍රමයක් ඇති කිරීමෙන් පසු පළාත් සභාවලට තරගකරන අපේක්ෂකයන්ට හා තේරීපත්වූ මන්ත‍්‍රීවරුන්ටද ජීවිත තර්ජනය එල්ල වීම නිසා ඔවුන්ටද තමන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය අතුරු හමුදා පවත්වාගෙන යෑමට ඉඩ දෙන ලදි. ඒ නිසා අතුරු හමුදා පවත්වාගෙන යන දේශපාලනඥයන්ගේ ගණන දහස් ගණනක් බවට පත්විය. මෙසේ දේශපාල නඥයන්ගේ අතුරු හමුදාවට එකතු වූ අපරාධකරුවන් ඒ නිසා තමන්ට හුරුපුරුදු අපරාධකාරී ජීවන රටාව අත්හැරියේ නැත. ඒ වෙනුවට සිදුවූයේ දේශපාලන බලවතා මුවාවක් කරගනිමින් තමන්ගේ කටයුතු වඩා ශක්තිමත් ලෙස ඉදිරියට ගෙනයෑමට ඔවුන්ට අවස්ථාවක් ලැබීමය. මෙම අපරාධකරුවන් තවදුරටත් අපරාධකරුවන් ලෙස නොව දේශපාලන බලවතුන්ට සමීප දේශපාලනඥයන්ගේ ආරක්ෂකයන් ලෙස සලකා ඔවුන් සමග සහයෝගයෙන් ක‍්‍රියාකරන්නට පොලිසියටද සිදුවූයේය. ඒ නිසා ඔවුන් විසින් කරන අපරාධ ඉදිරියේ ඇස් වසාගෙන සිටින ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමට පොලිසියට සිදුවිය.

ඉන්පසු දේශ පාලනඥයන්ගේ ජීවිත රැකීමේ ප‍්‍රධාන වගකීම පැවරී තිබුණේ අපරාධකරුවන්ටය. අපරාධකරුවන් තමන් වෙනුවෙන් කරන සේවය සලකා පෙරළා මේ අපරාධකරුවන් ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කිරීමට දේශපාලකයන්ටද සිදුවිය. අපරාධකරුවෝ තමන්ට ලැබී තිබුණු මෙම වාසිදායක වටාපිටාවෙන් උපරිම ප‍්‍රයෝජන ගත්තෝය.
දේශපාලනඥයන් දැන හෝ නොදැන මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනයට දේශ පාලනඥයන්ගේ නිල වාහන යොදා ගත්තෝය. නැත්නම් ඒ සඳහා පොලිසියේ වාහන යොදා ගත්තෝය. වෙනත් අපරාධ කටයුතු සඳහාද දේශපාලනඥයාගේ හෝ පොලිසියේ නිල වාහන යොදා ගත්තෝය. සමහරවිට මෙම අපරාධකරුවන් නීති විරෝධී මාර්ගවලින් උපයන ආදායමකින් කිසියම් පංගුවක් සමහර දේශපාලකයන්ටද ලැබුණා විය හැකිය.
දේශපාලනඥයෝද සිය ආරක්ෂාව සඳහා පමණක් නොව සිය විරුද්ධවාදීන් බියගැන්වීම හා මර්දනය කිරීම සඳහාද අපරාධකරුවන් ප‍්‍රයෝජනයට ගත්තෝය. දේශ පාලනඥයන්ගේ හොර ඡන්ද ව්‍යාපාර මෙහෙයවන ලද්දේ එම අපරාධකරුවන්ය. ඒ සමග දේශපාලනඥයා පොලිස් නිලධාරියා හා අපරාධකාරයා යන වර්ග තුනට අයත් මිනිස්සු එකට එකතු වී සහයෝගයෙන් වැඩකරන තත්ත්වයක් ඇතිවිය. අපරාධකාරයන්ට ලබාදෙන රැකවරණය වෙනුවෙන් දේශ පාලනඥයාට සේ ම පොලිස් නිලධාරියාටද ප‍්‍රතිලාභ ලැබුණේය. අනෙක් අතට දේශපාලකයා වෙනුවෙන් කරනු ලබන කාර්යභාරයට අපරාධ කාරයාටද පෙරලා ප‍්‍රතිලාභ ලැබුණේය. ඒ නිසා මේ දෙපිරිස එකිනෙකා මත රඳා පවතින මනා සහයෝගයෙන් වැඩ කරන දෙපිරිසක් බවට පත්වූහ.

ජේවීපී කැරැුල්ල පරාජය කිරීමෙන් පසු දේශපාලනඥයන්ට එල්ටීටීඊ යෙන් එල්ල වී තිබුණු තර්ජන නිසා දේශපාලනඥයන්ගේ ආරක්ෂාව සඳහා ඇතිකරන ලද එම ක‍්‍රමය කඩාබිඳ දැමීමකින් තොරව ඉදිරියට ගලා යන දෙයක් බවට පත්විය.

සහජීවනයේ ප‍්‍රතිවිපාක

දේශපාලනඥයන් හා අපරාධකාරයන් අතර ඇතිවූ මෙම සහජීවනය ආර්ථිකය කෙරෙහිත්, නීතිය කෙරෙහිත් දේශපාලනය කෙරෙහිත් බලපෑවේය. ව්‍යාපාරික අංශවල නීති විරෝධී ක‍්‍රියාකාරකම්වල ශීඝ‍්‍ර වර්ධනයක් ඇතිවී ආර්ථිකය තුළ කළු ආර්ථිකයේ ප‍්‍රමාණය ශීඝ‍්‍ර ලෙස ඉහළ ගියේය. විදේශ සමීක්ෂකයන් කණ්ඩායමක් කර තිබෙන ගණන් බැලීමකට අනුව එය ආර්ථිකයේ හිමි කරගෙන තිබෙන පංගුව සියයට 50ක් තරම් විශාලය. එම තත්ත්වය විසින් කළු සල්ලිකාරයන් ධනවතුන් අතර සිටින බලවත්ම පිරිස බවට පත් කළේය. ලූම්පන් පසුබිමක් ඇති අය රටේ ලොකුම සල්ලිකාරයන් බවට පත්වූහ.

අපරාධකාරයන්ට දේශ පාලකයන්ගෙන් ලැබෙන රැකවරණය හා අනුග‍්‍රහය නිසා අපරාධවලට එරෙහිව නීතිය ක‍්‍රියාත්මකවීම අඩපණ වී රටේ සිදුවන අපරාධවල ප‍්‍රමාණයද ශීඝ‍්‍ර ලෙස ඉහළ ගියේය. අපරාධ නඩුවලදී වැරදිකරුවන් වන අයගේ අනුපාතිකය ලංකාව සඳහා පවතින්නේ 3%ක් තරම් පහත් මට්ටමකය. ඉන්දියාවේ සිට 65%ක් වන අතර යුරෝපය සඳහා වන එම අනුපාතිකය 80%කි. ආදායම් බදුවලින් ආණ්ඩුව උපයන 20%ක් තරම් වන මට්ටමකට පහත වැටී ආදායම් බදුවලින් උපයන රජයේ ආදායම 80%ක් තරම් ඉහළ නැග තිබේ. කොටස් වෙළෙඳපොළට පත් කරන ලද ප‍්‍රධාන විධායක නිලධාරීන් තිදෙනකුම එක් අයකුට පසු තවත් අයකු වශයෙන් එම තනතුරෙන් ඉවත්ව ගියේ ස්වාධීනව ක‍්‍රියාකිරීමට පුළුවන්කමක් නැති බව ප‍්‍රකාශ කරමිනි. ආර්ථිකයේ වැදගත් මර්මස්ථානයක් ලෙස සැලකිය හැකි කොටස් වෙළෙඳපොළ කෙරෙහි පවතින කළු සල්ලි කාරයන්ගේ ආධිපත්‍යයේ තරම ඉන් මනා ලෙස පෙන්නුම් කරයි.

රටේ ප‍්‍රධාන හැම දේශපාලන පක්ෂයකම පාහේ කළු සල්ලි මත යැපෙන තත්ත්වයකට පත්වන්නට සිදුවී තිබේ. මැතිවරණ වියදම් සඳහා පාලනයක් නැතිකම නිසා මැතිවරණ කටයුතු සඳහා යන වියදම් අසාමාන්‍ය ලෙස ඉහළ නැග තිබෙන අතර කළු සල්ලිකාරයන්ගේ ආධාර නැතිව දේශපාලන පක්ෂවල මැතිවරණවලට තරග කළ නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබේ. මෙම විශේෂ තත්ත්වය දේශපාලන පක්ෂ මහජනයා මත යැපෙන තත්ත්වයෙන් ඉවත් කොට කළු සල්ලිකාරයන්ගෙන් යැපෙන තත්ත්වයක් ඇති කිරීමට හේතුවී තිබේ. එම තත්ත්වය බලයට පත්වන ආණ්ඩුවල ස්වභාවයද වෙනස් කිරීමට හේතුවී තිබේ. බලයට පත්වන ආණ්ඩු මහජනයා කෙරෙහි වෙනුවට කළු සල්ලිකාරයන් කෙරෙහි විශ්වාසය තබා ක‍්‍රියාකරන තත්ත්වයකට තල්ලූ කිරීමට හේතුවී තිබේ. ඒ මගින් බලයට පත්වන හැම ආණ්ඩුවක්මත් අනියම් ලෙස පාලනය කිරීමේ හැකියාව කළු සල්ලිකාරයන්ට ලැබී තිබෙන්නේය. දැන් කලක සිට දේශපාලනයේ තිබිය යුතු ප‍්‍රජාතන්ත‍්‍රවාදී වටිනාකම්වල ඇතිවී තිබෙන මහා ගරාහැලීම කෙරෙහි සමාජ-දේශපාලනයේ ඇතිවී තිබෙන එම වෙනස්කම්ද වැදගත් හේතුවක් ලෙස බලපා තිබේ.

ප‍්‍රතිසංවිධාන අවශ්‍යතාව

රට තිබෙන්නේ සමාජ-දේශපාලන ක‍්‍රමයේ හැම අස්සක් මුල්ලක් නෑරම කෙරෙහි විහිදෙන මහා ප‍්‍රතිසංවිධානයකින් තොරව ඉදිරියට යා නොහැකි තත්ත්වයකය. එහෙත් ඒ සඳහා වන ගැඹුරු විශ්ලේෂණයක් හෝ දර්ශනයක් මොනම දේශපාලන පක්ෂයකටවත් තිබෙන බවක් පෙනෙන්නට නැත. සමාජ දේශපාලන ක‍්‍රමයේ ඇතිවී තිබෙන මහා කුණුවීම ගැන මේ කිසිදු දේශපාලන පක්ෂයක් තුළ බලවත් කම්පනයක් ඇති බවක්ද පෙනෙන්නට නැත. එවැනි කම්පනයක් සමාජය තුළ පවා තිබෙන බවක් පෙනෙන්නට නැත.

මෙම තත්ත්වයෙන් ගොඩඒම සඳහා ශක්තිමත් ඉදිරි දර්ශනයක් අවශ්‍ය වන අතර එවැනි දර්ශනයක් ඇතිකර ගැනීමට හැකිවනු ඇත්තේ ඇතිවී තිබෙන මෙම තත්ත්වය හා ඒ කෙරෙහි බලපා තිබෙන හේතූන් පිළිබඳව ශක්තිමත් විශ්ලේෂණයක් ඇති නම් පමණය. විශ්ලේෂණයක අවශ්‍යතාව ඇතිවනු ඇත්තේද තිබෙන යථා තත්ත්වය පිළිබඳව ඇති කරගත් බලවත් කම්පනයක් ඇති නම් පමණය. එහෙත් තාමත් අප ඉන්නේ දේවල් සරල ලෙස දකින තත්ත්වයකය. අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සමග ඇතිකර ගන්නා සරල ආණ්ඩු පෙරළියකින් මේ තත්ත්වය ජයගත හැකිවනු ඇතැයි තාමත් බොහෝ අයගේ කල්පනාව වී තිබෙන බවද පෙනේ.

රට ඇද වැටී තිබෙන මෙම කාලකණ්ණි තත්ත්වය නවීන චින්තනයක් ඇති කරගැනීමෙන් තොරව නවීන රටක් බවට පත්වීමේ පරස්පරයද වැදගත් හේතුවක් ලෙස බලපා තිබෙන්නේයැයි කිව හැකිය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් අප නිදහස දිනාගත්තේද නිදහස දිනාගැනීමෙන් පසු ඉදිරියට යන්නට උත්සාහ කළේද ගොඩනැගී තිබුණු ජාතික රාජ්‍යයේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වූ එක්සත් ජාතියක්වත් ලැබී තිබුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුක‍්‍රමයේ ඵලදායී ක‍්‍රියාකාරීත්වයක් සඳහා අත්‍යවශ්‍ය වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක්වත් ඇතිකර ගැනීමෙන් තොරවය. එක්සත් ජාතියක් නැතිව ගිය ගමන ජාතික රාජ්‍ය විකෘති කළේය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් නැතිව ගිය ගමන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුක‍්‍රමයද විකෘති කළේය. ඒ දෙකේ ඇතිවූ මහා විකෘතීන් රට කෙළවරක් නැති තරමට ලේ හලන රටක් බවට පත් කළේය. ලේ හලන එම ප‍්‍රචණ්ඩ වටාපිටාව එක දිගට අවුරුදු 30කට ආසන්න කාලයක් රටේ පැවතියේය. රටේ ජනගහනයේ තරමට නොගැළපෙන තරම් විශාල පිරිසක් අකාලයේ මරණයට පත්වූ අතර නොමැරී ඉතිරි වූ මිනිසුන් ද සිය සංවේදී අංග අහිමි කරගත් පිරිසක් බවට පත්කළේය. එම විශේෂ වටාපිටාව සමාජ-දේශපාලන ක‍්‍රමයේ ඇතිවී තිබුණු කුණුවීම උපරිම කිරීමට හේතුවිය.




මෙම තත්ත්වය ජයගත හැකිවනු ඇත්තේ වර්ග භේදවාදී, ආගම් භේදවාදී හා කුලභේදවාදී ආකල්පවලට තිබෙන පිළිගැනීම නැති කොට එකිනෙකා කෙරෙහි සමාන ගෞරවයෙන් ක‍්‍රියාකරන එක්සත් ශ‍්‍රී ලාංකික ජාතියක්ද, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වටිනාකම් කෙරෙහි සංවේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක්ද ඇතිකර ගැනීමට හේතුවන ආකාරයට මජර ගලන තරමට කුණුවී තිබෙන සමාජ-දේශපාලන ක‍්‍රමය වෙනස් කරමින් අභිනව ශ‍්‍රී ලංකා රාජ්‍යයක් ප‍්‍රතිනිර්මාණය කිරීමට හේතුවන මහා ප‍්‍රතිසංවිධාන වැඩපිළිවෙළකට රට යොමු කිරීමෙනි.

එසේ නොවෙතොත් මේ ගමන නතරවනු ඇත්තේ මහා අරාජිකත්වයකිනි. එයද සැලකිය යුතුව තිබෙන්නේ සමාජය විසින් දැනුවත්ව ප‍්‍රඥාවෙන් හා මහත් ඉවසීමෙන් යුතුව සම්පූර්ණ කළ යුතුව තිබුණු ඓතිහාසික කාර්යයක් ඉටු නොකිරීම නිසා ඉතිහාසය විසින් ඉතාමත් රළුපරුෂ ලෙස හා විකාරරූපී ආකාරයකින් කරන විනාශකාරී කාර්යයක් ලෙසය






notes of imaginary

1 comment:

Unknown said...

ඔබගේ ලිපිය කියවීමට තරම් වේලාවක් මේ මොහොතේ නැහැ. නමුත්, පසුවට තබා ගනිමි. මඟ හරීමක් නොවේ.