පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Friday, August 16, 2013

ගහමුකෝ අමුඩයක් !.




මීදුමට පැරණි කතා බහක් සිහිපත්විය.

රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ දෙවර්ෂ  පාර්ලිමේන්තුවේ උතුරු මැද පලාතේ මන්ත්‍රී උත්තමයෙකුගේ ඉලක්කයට ලක්වු  මීදුමට නෑකම් කියන විදුහල්පති වරයෙකු  මේ කතාබහේ පාත්‍ර වර්ගයා අතර එක් ප්‍රධාන චරිතයකි.
අනෙක් ප්‍රධාන චරිතය එකී මන්ත්‍රී උත්තමයාම  වන්නේය.

ජනප්‍රිය විදුහලක විදුහල්පතිවරයෙක් ලෙස කටයුතු කිරීම අසීරු කටයුත්තක් බව දෙමව්පියන් නොදන්නා කරුණක් විය හැක. පන්තියක සිටිය යුතු උපරීම ශිෂය සංඛ්‍යාවද ඉක්මවි ගිය පසුත් සිසුන් ඇතුලත් කර ගැණිම අසීරු කටයුත්තක් වන අතර  සිසුන් සංඛ්‍යාව වැඩිවු විට ගුරුවරුන් හට තම සිසුන්ගේ ක්‍රීයාකාරකම් අගයමින් ඉගැන්වීමේ කටයුතු අසීරු බව දෙමව්පියන් අදහන්නේ නැත.

තම විද්‍යාලයේ සිසුන්ගේ අධ්‍යාපනය සහ අධ්‍යාපන ප්‍රමිතීන් මුල්තැන ලා සලකන දඩබ්බර පන්නයේ අයෙකුවු විදුහල්පතිතුමා යකාටවත් තම අදහස් වෙනස් කරන්නට කැමතිවුයේ නැත.

මේ කියන වකවානුවේ මන්ත්‍රීතුමාගේ ගෝල බාලයෙකුට තම දරුවා මේ විදුහලට ඇතුලත් කර ගැණිමට අවශ්‍ය විය. තමන්ද පසුව මංත්‍රී උත්තමයා මගින්ද කොතරම් ඉල්ලීම් කලත්  පන්ති කාමරයේ සිසුන් සීමාව ඉක්මවා ගොස් ඇති නිසා විදුහල්පතිවරයා එම සිසුවා තම පාසලට බදවා ගැණිම ප්‍රතික්ෂෙප කලේය.

තම පැජරෝවට මංත්‍රී ගෝලයාද නන්වා ගත්     මන්ත්‍රී          උත්තමයා පාසලට පැමිණ විදුහල්පතිවරයා සොයා  කාර්යාලයට කඩා වැදුනේය.

එතැන් සිට  විදුහල්පතිවරයා විසින් අදත් සිනහවෙමින් සිහිපත් කරන එදා සිදුවු  කතා බහ මේලෙස විය.

කෝ මේකේ විදුහල්පති ?. 

ආයුබොවන් ! වාඩිවෙන්න මංත්‍රීතුමා.

වාඩිවෙන්න නෙමෙයි මොනවද තමුසේ කරන මේ වැඩ? මෙයාගේ ළමයා අදම පාසලට ඇතුලත් කර ගන්න ඕනි .

මංත්‍රීතුමා ,  පන්ති කාමරවල ඉඩ නැහැ පන්තියේ ලමයි හතලිහකට වැඩියි. නිසා තවත් බරක් වෙන්න ලමයි  බාරගන්න බැහැ

තමුසේගේ කතා වලින් වැඩක් නැහැ  මේ ලමයා ගන්න ඔනී.

මට නම් වැඩේ කරන්න බැහැ.  

මන්ත්‍රී  උත්තමයාට අන්තිමේදී මල පැන්නේය.

තමුසේ අමුඩයක් ගස්සලා මේ ස්කොලෙන් පන්නන්නේ  තේරුනාද ? තමුසේ කතා කරන්නේ කා එක්කද ?

මෙච්චර වෙලානම් මංත්‍රීතුමාත් එක්ක.

මංත්‍රීතුමා ,  මම මෙහේට ආවේ දකුණු පලාතේ ඉදන් . මගේ අප්පච්චි ගොවියෙක්. කුඹුරු පිටි වගේම හරකා බාන අප්පච්චිගේ උරුමේ. අප්පච්චි වැඩපලට ඇන්දේ අමුඩේ.මාත් මෙහේට ( උතුරුමැද පලාතට ) එන්න ඉස්සෙල්ලා අප්පච්චීගේ වැඩපලට උදව් උනේ අමුඩේ ගහගෙන.

ඉතින් ඔබතුමාට අරුමයක් උන මේ අමුඩේ මට නම්  අරුමයක් නැහැ. ගම්මුකෝ රෙදිකෑල්ලක් දැන් අමුඩයක් ගහන්න !.

මේ වනවිට මංත්‍රීතුමාගේ ගෝරණාඩුවට වටාපිටාවේ ගුරුවරුන්ද කාර්යාලයට රොක්වෙලාය. විදුහල්පතිවරයාගේ දේශණාවට  මන්ත්‍රී උත්තමයාට කට උත්තර තිබුනේ නැත පිරිස මැද මංත්‍රීතුමා කරකවලා අතහැරියාක් මෙන් විය.
ඔහු ගෝලයාත් නන්වා ගෙන මේ දඩබ්බරයාට හොද පාඩමක් උගන්නම් යයි සිතා  පලාත් අධ්‍යාපන කාර්යාලය දක්වා පසුබැස්සේය.

මෙකල කොන්ද පණ නැති විදුහල්පතිවරු , නියෝජ්‍ය  විදුහල්පතිවරු තමන් දුන් සාක්ෂි කට උත්තර දිවුරුම් පෙත්සම් මගින් අස්කර ගන්නා රටක මේ විදුහල්පතිවරයාට  තිබුනේ නොනැමෙන කෂේරුවක් වීම නිසා උතුරු මැද පලාතේ සිට මධ්‍යම පලාතට ක්ෂණික මාරුවක් ලැබ කොට්ට මෙට්ට අකුලාගෙන යාමට එදා සිදුවිය

රනිල්ගේ දෙවර්ෂ පුර්ණය අවසානයේ මන්ත්‍රී උත්තමයාට පාර්ලිමේන්තුව අත්හැර ගෙදර නතරවන්න සිදුවිය. විදුහල්පතිවරයා  මධ්‍යම පලාතේ සිට නැවත එම පාසලටම විදුහල්පතිවරයා ලෙස  පත්ව  පසු කාලයේ අධ්‍යාපන නිලධාරියෙක්ව විශ්‍රාම ගියේය.






notes of imaginary

3 comments:

Anonymous said...

කශේරුවක් නෙවෙයි කශේරුකාවක්

මාරයාගේ හෝරාව said...

අර අමුඩේ මොකක්ද කියලා ළමයින්ට පෙන්නපු කතාවත් මතක් උනා මේක දැකලා...

miduma said...

ඇනෝ , කශේරුකාව නේන්නම්!