Sunday, July 14, 2013

ජුලි මතකය.

මේ මීදුමගේ හපන්කමක් නෙමෙයි. මීදුමගේ එදා තිබු දුර්වල කමක්. මීදුමට  මොළය දීලා තියෙන්නේ මොනවටද කියලා තේරුමක් ඒ අවධියේ තිබුනේ නැහැ. 1976 වන විට මීදුමට වයස අවුරුදු විසි අටයි.  අතපය ඇගපත හයි හත්තිය  තියෙන වයස වුනත් මොළයත් එක්ක බද්ධ නොවී ඇගපත පාවිච්චි කරපු අවස්ථාවකුත් එක්ක තාමත් මතක තියෙන, සිහිපත් වෙන සුන්දර අත්දැකීමක් බෙදා හදා ගන්න මීදුම අවුරුදු හැටපහක් වෙනකම් ජීවත්ව ඉන්න  එක  මේ  කාලේ හැටියට වැදගත් සංසිද්ධියක්.

මේ  කියන හපන්කම ජීවිතය තේරුම් ගන්න වගේම ජීවිතයේ එක්  හැරවුම් ලක්‍ෂයක් වෙන්න ඇති කියලා මීදුම හිතනවා.

මීදුමට නරක පුරුදු අදත් තියෙනවා . නන්නාදුන කෙනෙක්ගේ හරි දුකක් වේදනාවකට පිහිට වෙන්න බෙල්ල වුනත් දෙන්න වහා ඉදිරිපත් වෙනවා. “ අපි මොනවා හරි කරන්න බලමු කියලා  වැඩේට බහින්නේ මීදුමගේ කාලයත් නාස්ති කරගෙන.මොනවා හරි සහනයක් ලබා දෙන්න.  මේ නිසා රෝහල් පොලිසි සහ රජයේ විවිධ කාර්යාල වල සේවය කරන පුද්ගලයින් ගේ නම් පිරිච්ච දුර කතන නාමාවලියක්  මීදුමට උරුමකරලා දීලා තියෙනවා.  මීදුමීගෙන් බළු බැණුම් අහන දුරකතන බිලක් මාසේ අන්තිමට ගෙදරට ගෙන්න ගන්නවා
මේ සමාජ සත්කාර කලාට මීදුම දේශපාලනය කරන මැට්ටෙකුත් සමාජ සේවා කටයුතු වල කැපී පෙනෙන්න කතා පවත්වන නළුවෙකුත් නෙමෙයි.

අද වියමන් කරන    කතාව සිද්ධ වෙලා මේ 2013 ජුලි මාසේ ට අවුරුදු තිස් හතක් වෙනවා.  
ඒ කාලේ ලංකා ගමනාගමන මණ්ඩලය බොහෝම බලවත් ආයතනයක්. රියදුරු මහත්තුරු කො‍න්දොස්තර මහත්තුරු හරි ගරු ගාම්භීරයි.

මමත්   මගේ පුංචි නංගිත්  ගෙදරට එන්න ශත තිහේ ටිකට් දෙකක් අරගෙන බස්එකට ගොඩ වෙන කොට පුංචි එකෙකුත් වඩාගත්ත අම්මා කෙනෙක් මේ ශත තිහට ටිකට් එකක් අරන් එන්න,  මම නගින්නම් කියලා පුංචි එකත්  වඩා ගෙන  බස් එකට ගොඩ වෙන ගමන් මීදුමට කොන්ත්‍රාත් එකක් දුන්න. එයාගේ ටිකට් එක ගන්න.  අන්තිමටම බස් එකට ගොඩ වුන මීදුම කොන්දොස්තර මහත්තයට ශත තිහ දික්කරලා ටිකට් එක ඉල්ලලා - “නගින්න නගින්න කියන අණට කීකරු වෙලා බස් එකට ගොඩවුනා. දැන් බස් එක පිටත් වෙනවා.

මම අර අම්මාගේ  ටිකට් එක නුදුන් නිසා නැවත සිහිපත් කලාම කොන්දොර මහත්තයා "සල්ලි දුන්නේ නෑ නේ" කියලා නැවත සල්ලි ඉල්ලනවා. අරගලයට මුල ඔන්න ඕකයි. කොන්දොස්තර මහහත්තයාත් මල පනින ජාතියේ තරුන චරිතයක්. කතාව දුරදිග ගිය තරම කොච්චරද කියනවා නම් මීදුම මොළය බස්එකේ ෆුට් බෝර්ඩ් එකේම තියලා තමුසේ බේගල් නේ කියන්නේ කියලා  දකුණු අත කොන්දොස්තර මහත්තයාගේ වම් කණ හරහා අතහැරලා.

මේ අගමැති සිරිමාවෝ ගේ හත් අවුරුදු පාලනේ අන්තිම වසර. මීදුම අත උස්සලා පහත් කරලා තියෙන්නේ  එතුමියගේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලේ නිදහස් සේවක සංගමයේ ලේකම් මහත්තෙකුගේ  කණ රහා .

මීදුමට  මුහුන දෙන්න තිබුනේ බස් කොකොන්දොස්තරවරයෙකුට බරපතල ලෙස පහර දී ඔහු සන්තකයේ තිබු ටිකට් පොතත් මුදල් සම්භාරයත් පැහැර ගත්තා කියන බරපතල චෝදනාවකට. සෙල්ලම් නැහැනේ මැතිණියගේ ආණ්ඩු සමයේ එතුමියට අයත් වෘත්තිය සමිතියක ලේකම් මහත්තෙකුගේ ලේ හෙල්ලීම සහ සන්තකයේ තිබුණු රාජකාරී ලියකියවිලි සහ මුදල් පැහැර ගැණිම.

මීදුම තාවකාලික වීර චරිතයක් රගපෑවාට , පොලිසිය මීදුම අත්අඩංගුවට ගන්න හොයන කොට බය හිතුනා . පොඩ්ඩක් මග ඇරලා උසාවියට ඉදිරිපත් වෙනවා කියලා හිතුවා. ක්‍රම වේදය  සම්පුර්ණයෙන්ම වැරදුනා. කොන්දොස්තර මහත්තයාගේ වෘත්තීය සමිතියත් තනතුරත්, ඒ කාලේ රජය නියෝජනය කරපු ප්‍රදේශයේ මන්ත්‍රීතුමියගේ බලයත්  තේජසත් රජ වෙලා. කඩුල්ල මහ උළු ගෙදර රදවනතුරුම දවස් හතරක් මගී ගමනාගමනය අත්හිටවලා ඩිපෝව වෘත්තීය ක්‍රියා මාර්ගයකට පිවිසුනා. අන්තිමේදී කඩුල්ල පොලිසිය භාරයට පත්වුනා. ගමනා ගමනය යථා තත්වයට පත්වුනා.
පොලිසිය බී වාර්තාවක් මත මහේස්ත්‍රාත් තුමාට චුදිතයා  ඉදිරිපත් කලාම  එතුමා  චුදිතව රැදවියෙක් ලෙස  මහ උළු ගෙදරට යැවීමෙන්  එදා දවස නිමා වුනා.

ඒ තමයි ගෙවුන ජීවිත කාලයේදීම  හරි වැරද්ද සිවිල් සමාජය තුලදීම නිවරදි කරන්න ශක්තිය යොදා ගත්ත අන්තිම දවස සහ මුල්ම දවස. ඉන් පස්සේ වැරදි නිවරදි කර ගන්න ඔළුව පාවිච්චි කරන්න  පුරුදු වුනා.
ඒ ක්‍රමයෙන් බොහෝම වැරදියි කියන ඒවා නිවරදි කර ගන්න කාලය ගතවුනා. අවුරුදු ගනන් උසාවි ගානේ රස්තියාදු වෙවී බලා ඉන්න සිද්ධ වුනා
එදා නම් හිතේ හැටියට වැරද්ද නිවරදි කරලා වැරදි කාරයා රෝහල් ගත කරලා මහ උළු ගෙදර රැදවියෙක් වගේ  දවස් තුනක් තපින්න වුනා.

සැතපුම් 100 ක් දුර මහ උළුගෙදර දක්වා මහත් වෙහෙසකර ගමනක් ගොස් නන්නාදුන රක්ෂිතයෝ 150 ක් පමණ රදවා තිබු ශාලාවක තාවකාලිව ලැගුම් ගත් මීදුමට  බයත් තනිකමත් ඉහට උඩින් පිරිලා ඉතිරිලා තිබුනා.
හෙට දවසේ නිදහස බාර දීලා තිබුනේ තාත්තට අම්මට. එයාලාගේ පිහිට තමයි හෙට දවසේ තීරණය. හෙට දවසේ වෙන්න තියන වෙනස් කම් පිලිබදව බලාපොරොත්තුවක් වත් හිතේ ඇදිලා තිබුනේ නැහැ.
ඉර පානවා - බැහැගෙන යනවා විතරයි දකින්නේ.
හතරවෙනි දවසේ අධිකරණයට ඉදිරිපත් කරපු මීදුම ට යාන්තම් ඇප ලැබිලා , තවත් මාස නවයක් අධිකරනයට බඩ ගාලා 1977 අප්රේල් 11 වෙනිදා  විත්තිකාරයා නිදහස් කියලා අධිකරන තින්දුවක් ලැබිලා හිත නිදහස් කර ගත්තා.

බියෙන් ගැහී ගැහී මහ උළු ගෙදර "එල් හෝල්" එකේදී  මීදුමට හමුවු හැම තරාතිරකම වැඩිහිටියාම හිත නිවී පහන් වන සේ හිත සනස්සන්නත් කෑම බීම ටික සපයන්නත් සීතල පොලොවේ නිදා ගන්නේ නැතිව ඇතිරිලි සපයන්නත් සෞඛ්‍ය පහසුකම් සලස්වා ගන්නත් උදව් වුනා.   නිදහස් ජීවිතයේ හමුවන මිනිසුන්ට වඩා මේ මිනිස්සු දෙවි වරුන්ට සමානයි කියලා හිතේ පින්තූරයක් ඇදුනා.

රැදවියන්ට රාත්‍රී කෑම ටික දීලා එකයි දෙකයි කියලා එකසිය පනහ ගානට ගැනලා,  ජේලර්ලා ගාඩ්ලා රැදවියෝ රොත්ත  ශාලාවට ගාල් කරලා , ශාලාවේ පිටතින් දොර අගුල් දාලා වැහුවා
අදුරත් සමග පලපුරුදු රැදවියෝ නිදාගන්න සුදානම් වුනා .
නායක රැදවියෙක් ගේ අනකට කවුරුත් ශාලාවේ ටින් එකක සැමන් ඇහුරුවා වගේපේලි තුනකට  දිගා වුනා . මීදුම ආගන්තුකයි. හවුහරනක් නැතිව අසරනව වට පිට බැළුවා. රැදවියෙක් ගෙන් මීදුමටත් දිගාවෙන්න ඉඩක් ලැබුනා.
දෑස පියෙවෙන්නේ කොහොමද ?. ගමන් වෙහෙස. බිය සැක සංකාවන්ගෙන්  ඔළුව පිරිලා. නානාප්‍රකාර බියකරු සිතිවිලි වලින්  පිරෙන ජවනිකා ඇහ ඉද්දරපීදිලා  පිපිරිලා යනවා.

මේ අතරේ පලපුරුදු නවාතැන්කරුවෝ එක් එක් ගීත යන්නට පටන්ගත්තා. ඒ ගීත කණ්ඩායමම ගයනවා ඒවායේ පිරිලා තිබුනේ පාළුව තනිකම විරහ වේදනාව. 
මේ ගීත අතරින් මට අවසානයට ඇසුනේ ................

රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ
මගේ තනි නොතනියට නුබ වත් නැතුවානේ
හෙට දින නුඔත් දීගෙක ගිය පසු නෑනේ
මාසේ පෝයදා වාගෙයි ගම්මානේ

එගොඩහ ගොඩේ ඉස්මත්තෙදී දුටුවාට
වැව කන්ඩියේ ඉදගෙන අතවැනුවාට
මද්දුම මහගෙට මම බහ දුන්නාට
නාඩන් මස්සිනේ පෙර පින් නැතුවාට

හැදුවේ ගෙපැල මට තනියෙන් සිටින්නද
බාලේ ඉදන් බැදි ආලේ බිදින්නද
රෑ තුන් ය‍මේ හැටි මේ හැටි දුක් දෙවන්නද
හීනෙන් මිසක හැබැහින් එක් නොවන්නද

නෑනා නැතත් කල දවසක් ගෙවන්නයි
සිටු කුමරියක් කර කාරෙට ලැබෙන්නයි
පත්තිනි ගම්බාර දෙවියන් රකින්නයි.
කුරහන් කපනදා මා සිහිකරන්නයි.

රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ
මගේ තනි නොතනියට නුබ වත් නැතුවානේ
හෙට දින නුඔත් දීගෙක ගිය පසු නෑනේ
මාසේ පෝයදා වාගෙයි ගම්මානේ

 නැවත ඇස් ඇරලා බලන කොට අද මොනවද මීදුමට වෙන්නේ   කියලා හිතාගන්න බලාපොරොත්තුවේ හිරු නැවතත් උදාවෙලා.!.
අහලා බලන්න මාත් එක්ක. අජන්තා රණසිංහ පද රචනය කල ත්‍යාගා එඩ්වඩ් ගායනා කරන  ලද මේ ගීතය. 
මීදුමගේ ජීවිතයට මුලින්ම  " නෑනා නැතත්"   සම්බන්ධ වෙන්නේ ඔන්න ඔහොමයි.
ඒත් පහු ගිය අවුරුදු තිස් හයක කාලේ ජුලි හත්වෙනිදට රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ මතක් නොවී තිබුනේම නැහැ. අනිවාර්යෙන්ම මතක් වුනා.
ජීවිතේ එක් වරක් විදපු අත්දැකීමක් සහ ජීවිතයට මොළය දුන්න අත්දැකීමක් නිසා.වෙන්න ඇති එහෙම වෙන්නේ.
මේ සිද්ධි සම්භාරය නිමාවනවත්  එක්ක මීදුමගේ ජීවිතයට යලිත් හදපෑවුවා.ඊලග අවුරුද්දේ  ජුලි මාසේ 20 වෙනිදා “නෑනා නැතත් කල දවසක් ගෙවන්නයි - සිටු කුමරියක් කර කාරෙට ලැබෙන්නයි” කියන ප්‍රාර්ථනාව ඉටුවෙලා මීදුමීගේ සෙවන ලැබුනා.

notes of imaginary

1 comment:

Naleen Dilruksha said...

බොහොම තදින්ම හිතට වැදුන සටහනක් වගේම අපුරුම ශෙලියකින් රචනා කරන ලද්දක්. ඒ වගේම තමා රාජකාරි කරන මොකෙක් ඉදිරියේ වුවත් අප කෙතරම් නිවැරදි වුවත් බොහොම කල්පනාවෙන් තමයි වැඩ කළ යුතු වන්නේ.