Monday, January 23, 2012

අබ්දූල් කලාම් අපට කියා දුන් පාඩම / Lesson taught to Lanka by Abdul Kalam


Posted: 21 Jan 2012 06:34 PM PST
මෙ ලිපිය w3 lanka   අඩවියෙන් උ පුටා පලකරන්නකි.

මේ දිනවල ලංකාවේ චාරිකාවක නියැලී සිටින හිටපු ඉන්දීය ජනාධිපති අබ්දූල් කලාම් The Island පුවත්පතට වැදගත් ප්‍රකාශයක් කර තිබේ.
පුවත්පත පහත සඳහන් ප්‍රශ්නය අසයි.
Question: What will be your advice to Sri Lanka’s majority Sinhalese and minority Tamils and Muslims to live together without ethnic tensions?
 Kalam: My nation, India, with its population of multi-culture, multi-religion, multi-language has a very important tool of living together for more than 60 years. That is: democracy, democracy and democracy. Democracy gives equal rights to every citizen to prosper and live peacefully. Since Sri Lanka and India are close friends, let the people of our two countries enjoy together the fruits of democracy.
 වාර්ගික ආතතියකින් තොරව එකට ජීවත් වීම පිණිස ශ්‍රී ලාංකික බහුතර සිංහලයන්ටත්, සුළුතර දෙමළ මුස්ලිම් ජනතාවන්ටත් දෙන අවවාදය කුමක්දැයි ඇසූ කල ඔහු පවසන්නේ බහු වාර්ගික, බහු ආගමික, බහු භාෂාමය  ජනගහණයක් ජීවත් වන ජාතියක් වන ඉන්දියාවේ සාමූහික ජීවනය සඳහා වැදගත් වූ උපකරණ වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, ප්‍රජාතන්ත්‍රවාදය හා ප්‍රජාතන්ත්‍රවාදය බවයි. 

w3 lanka  මෙසේ කියයි.

ඉන්දියාවේ පරම ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති බවක් අපි පිළි නො ගනිමු. ඉන්දීය ප්‍රජාතන්ත්‍රවාදයේ සෑම තලයක ම ගැටලු තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය යනු පරමාදර්ශී සංකල්පයක් වන අතර සමාජයක පවතින්නේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා අරගලයකි. සමාජයක ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම් තහවුරු වන්නේ අරගලයේ තරමට ය. 
ජාතීන් අතර ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමේ ලා අරගලයේදී ඉන්දීය ජාතිය අපට වඩා ඉදිරියෙන් සිටින බව අවිවාදිත ය. භාෂා 300කට අධික ගණනක් ව්‍යවහාර වන, ජනවාර්ගික විවිධත්වය විස්තර කළ නො හැකි තරම් වන ඉන්දියාවේ රාජ්‍ය ඒකීයත්වය තුළ මේ සියල්ල කළමනාකරණය වී තුලනයක පවතී. වෙන් වීමේ ප්‍රවණතා නැති බවක් මෙයින් අදහස් වන්නේ නැත. ඒවා හැමදාමත් පවතිනු ඇත. මන්ද, ඉන්දියාව යනු සංකීර්ණ ප්‍රපංචයක් වන හෙයිනි. 
ඉන්දියාවත්, ලංකාවත් සංසන්දනය කළ විට ඉන්දියාවට ඉන්දීය ජාතියක් ඇත. ලංකාවට ලාංකික ජාතියක් නැත. ඉන්දීය ජාතිය ගොඩනැඟුණේ ජනවර්ගයන් තුළ හා අතර ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවීම සඳහා ගනු ලැබූ පියවර හේතුවෙනි. ඒ ඔස්සේ ඉන්දියානුවන්ට ඉන්දීය ජාතික අනන්‍යතාවක් සේ ම ජනවාර්ගික අනන්‍යතාවක් ද තිබේ. ජනවර්ගයන්ට හා ප්‍රදේශවලට දේශපාලන බලය බෙදී යන ශක්තිමත් බලය බෙදා ගැනීමේ දේශපාලන ව්‍යූහයක් ගොඩනඟා ගැනීම ඉන්දීය එක්සත්භාවයේ රහසයි.

භාෂාන්තර ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවීම පිණිස ඉන්දියාව සිය ප්‍රාන්ත, දිස්ත්‍රික්ක ආදී දේශපාලන හා පරිපාලන ඒකක තුළ ප්‍රාදේශීය භාෂාවන්ට ප්‍රමුඛස්ථානය දීම පිණිස පියවර ගෙන ඇත. ඉන්දීය ජනයා ප්‍රධාන භාෂාව ලෙස හින්දි ද ජාත්‍යන්තර භාෂාවක් ලෙස ඉංග්‍රීසි ද උගනිති. භාෂා තුනක් හැසිරවීමේ හැකියාව ඉන්දියාවේ සාමාන්‍ය තත්වයකි.

ඉන්දියාවේ සමයාන්තර සමගියේ මූලික කොන්දේසිය වන්නේ ඉන්දීය මධ්‍යම රජය අනාගමික එකක් වීමයි. ඉන්දියාවේ ලංකාවේ මෙන් රාජ්‍ය ආගමක් නැත. රාජ්‍යය ආගමික වීම පසුගාමී ප්‍රජාතන්තුවාදයක ලක්ෂණයකි. ආගමික රාජ්‍ය අනිවාර්යයෙන් ම සමයාන්තර ප්‍රජාතන්ත්‍රවාදයට බාධාවකි. අවශ්‍ය වන්නේ රාජ්‍යය ආගම් වැළඳ ගැනීම නො ව, ආගම්වල නිදහස් පැවැත්ම හා මිනිසුන්ගේ ආගමික නිදහස තහවුරු කිරීමයි. 
ලංකාවේ ඇත්තේ ජනවර්ග හා ආගම් අතළොස්සකි. ප්‍රධාන භාෂා දෙකක් පමණි.  එහෙත්, ලංකාවේ ජාතීන් අතර සමගියක් නැත. ඒ නිසා ලාංකික ජාතියක් ද නැත. බහුතරයක් මිනිස්සු දන්නේ එක ම භාෂාවක් පමණි. බහුතර ජාතිය වන සිංහලයන් අතර මෙම තත්වය සුලබ ය.
අදත් ඉන්දියාවේ අගමැති සුළුතර සික් ජාතිකයෙකි. හිටපු ජනාධිපති අබ්දූල් කලාම් මුසල්මානයෙකි. හින්දි බස කතා කරන බහුතරයක් ජීවත් වන ඉන්දියාවේ ජාතික ගීය ඇත්තේ බෙංගාලි බසිනි. ලංකාවේ මෙවැනි තත්වයක් සිහිනයකි. ජාතීන් අතර ප්‍රජාතන්ත්‍රවාදයේ තත්වය මෙසේ වුණත්, සිංහල ජාතිවාදීන් කියන්නේ ජාතින්ගේ ප්‍රශ්නයක් නැතිබවයි. සුළු ජාතීන්ට ප්‍රශ්නයක් ඇති බව ඔවුන් කියන්නේ නම් මහ ජාතිය කුමක් කීවත් වැඩක් නැත. 
කලාම් ලංකාවේ ජනතාවට මෙවැනි උපදෙසක් දෙයි: 
"Languages have a very important role in connecting the individual minds, articulate aspirations of the people and shape the dreams of a nation. Learning in one’s mother tongue is natural. But learning the other languages of the people of your nation and a link language will create harmony of thought and can lead to a prosperous and peaceful society."
 පුද්ගල මනස් සම්බන්ධ කිරීමේදී ද, ජනතාවන්ගේ අභිලාෂයන් ප්‍රකාශ කිරීමේදී ද ජාතීන්ගේ සිහින හැඩගස්වා ගැනීමේදී ද භාෂාවන්ට වැදගත් භූමිකාවක් ඇති බව කලාම් පවසයි. කෙනෙකුගේ මව් බස ඉගෙනීම සාමාන්‍ය දෙයකි. ඔබේ ජාතියේ සෙසු ජනයාගේ භාෂා ඉගෙනීම හා සම්බන්ධීකරණ භාෂාවක් ඉගෙනීම විසින් චින්තනයේ සුසංවාදයක් ඇති කරන අතර එමගින් සෞභාග්‍යවත් හා සාමකාමී සමාජයකට මග එළි දැක්වේ.

ලංකාවේ ඇත්තේ ලාංකික ජාතියක් නො වේ. රාජ්‍ය බලය හිමි සිංහල අධිපති ජාතිවාදයක් හා ප්‍රතිචාරාත්මක දෙමළ ජාතිවාදයක් ගැටුම් වාතාවරණයක් පමණි. මේ ජාතිවාදයන් දෙක පවතින තාක් කල් ලංකාවේ කිසි කලෙක ලාංකික ජාතියක් ගොඩ නැ‍ඟෙන්නේ නැත. එය සිදු වන තාක් කල් ලංකාවේ ජාතීන් අතර සංහිඳියාවක් ඇති වන්නේ ද නැත. ජාතිවාදී නො වී ජනවාර්ගික අනන්‍යතාව පිළිබඳ සංවේදී වීමට මිනිසුන්ට පුළුවන. සිංහල ස්වෝත්තමවාදී ශ්‍රී ලාංකික හා දෙමළ ඊලාම්වාදී අනන්‍යතාවන් වෙනුවට ලාංකික සිංහලභාවයක් හා ලාංකික දෙමළභාවයක් සහිත ලාංකික ජාතියක් වෙනුවෙන් අරගලයක් අවශ්‍ය ය.
බහුතර, බලවත් සිංහල ජාතිය ජාතික සහජීවනය සඳහා අවශ්‍ය තීරණාත්මක පියවර ගැනීමේ අභියෝගය භාර ගත යුතු ය. එය මූලික කොන්දේසියකි. සුළුතර ජාතීන්ගේ බිය, සැකය සහ ඒ මත පදනම් වන ප්‍රතිචාරාත්මක ජාතිවාදය නැති කළ හැක්කේ එවැනි පියවර ඔස්සේ පමණි.
සුළුතර ජාතීන්ගේ ජාතිවාදයන් විවේචනය කර කර සිටීමෙන් කිසිදු පලක් වන්නේ නැත. අවශ්‍ය වන්නේ බහුතර ජාතියේ ජාතිවාදය දුරලීම සඳහා පියවර ගැනීමයි.
මෙහිදී සිංහලයන් අතර තිබෙන තමන් බහුතරය හා බලවත් ජාතිය වෙමින් ම සුළුතර ජාතියක් ලෙස සිතන හීනමාන මානසිකත්වය හා ඒ ඔස්සේ ඇති වන බිය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීම අවශ්‍ය ය.
සිංහලයාගේ මෙකී සුවිශේෂ  මානසිකත්වය තේරුම් ගැනීමේ වගකීමක් දෙමළ ජාතියට ද තිබේ. සිංහලයා යනු ලංකාව නම් කුඩා දිවයිනේ පමණක් ජීවත් වන, සුවිශේෂී භාෂාවක් හා සංස්කෘතියක් හිමි, වෙනත් රටවල භූමිපුත්‍ර ප්‍රජාවන් සමග ඍජු සම්බන්ධයක් නැති, කෝටි දෙකකට අඩු ජනගහණයක් වන, ලෝකයේ අධිපති සංස්කෘතීන්ගේ ආක්‍රමණික තර්ජනයන්ට ලක්ව සිටින, ඒ නිසා ම බියපත් ජාතියක් බව දෙමළ ජනයා තේරුම් ගත යුතු ය.
ලංකාවේ දෙමළ ජනයා සිය ජාතිවාදී දෙමළ ඊලාම් සංකල්පය ප්‍රවර්ධනය කිරීමෙන් සිදු වන්නේ බියපත් සිංහලයන් තවත් බියපත් වීම හා සිංහල ජාතිවාදය තවත් ශක්තිමත් වීම බව දෙමළ ජනයා තේරුම් ගත යුතු ය.
දෙමළ, සිංහල සමාජයන් දෙකෙන් ම අවශ්‍ය වන්නේ ලාංකික ජාතියක් ගොඩනැඟීම සඳහා මූලාරම්භයන් ය.


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

No comments: