Wednesday, October 19, 2011

සේරුවාවිල රජ මහා විහාරය.




1921 වසරේ දී දඔගස්ආරේ සුමේධංකර මහා නා හිමියන් ඉතා දුෂ්කර ගමනක් ගෙවා මෙම පුද බිම සොයා පැමිණෙන විට චෛත්‍ය මහ වන ගහනක් මැද රූස්ස ගස් කොළන් වලට මැදිව පස් ගොඩැල්ලක් ලෙස තිබි ඇත. උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යයෙන් සහ බෞද්ධ දානපතියන්ගේ  සහයෙන් මෙම පස් ගොඩැල්ල මහා සෑයක් ලෙස පුණරුප්පත්තිය ලබන්නේ 1924 වසරේ දීය .  1930 සැප්තැම්බර් මාසයේ දී කොත් පැළඳවීමෙන් චෛත්‍ය කර්මාන්තය  සම්පූර්ණ වන්නේය.
1984 වසරේදී සුමේධංකර මහා නා හිමියන්ගේ අපවත් වීමෙන් පසුව මෙම ඓතිහාසික රජ මහා විහාරයේ වර්මාණ විහාරාධිපතිත්වයට පත්වන්නේ සේරුවිල සරණකිත්ති නාහිමියන් ය. කොටි ත්‍රස්තවාදය විසින්  යලිත් අඳුරු කාලයක් උදා කර දී තනිවන්නට ඉඩ හැර තිබු සමය නිමා කර අද යලිත් පිබිදෙන සේරුවාවිල රජ මහා විහාරය  නැගණහිර සංචාරය යෙදෙන කොයි කාගේත් වන්දනාවට පත්වන පුදබිමකි.
ත්‍රිකුණාමලයේ සිට සේරුවාවිල පුද බිමට වන්දනාමාන කිරීම සඳහා යන්නේ නම් මුහුද හරහා මෙන්ම ගොඩබිම මතින් ද ගමන් කළ හැකි මාර්ග කිහිපයකි
  • Ø  මින් එක් මගකින්  ත්‍රිකුණාමලයේ සිට බෝට්ටුවෙන් කි.මී. 14 1/2 ක් පමණ දුරක් පමණ මුතූර් දක්වා ගමන් කර එතැන් සිට තවත් කි.මී. 16 ක් පමණ ගමන් කර සේරුවාවිල රජ මහා විහාරයට ලගාවිය හැක..
  • Ø  තවත්  මගක් වන්නේ ත්‍රිකුණාමලයේ සිට කින්නියාතොට, උප්පුආරුතොට හරහා පැමිණෙන විට කි.මී. 15 කට ආසන්න දුරක් ගෙවීමෙන් මෙම පුද බිමට ළඟාවිය හැකි ය.
  • Ø  කන්තලේ සිට සේරුවාවිල  දක්වා වැටී ඇති මාර්ගයේ දී කි.මීටර් 90 ක පමණ දුරක් ගෙවා සේරුවාවිල පුද බිම වෙත පැමිණිය හැකි ය.

මාගම රාජ පරපුර ආරක්‍ෂා කරගෙන සිටි බව කියන සර්වඥයන් වහන්සේගේ ලලාට ධාතුව සහ තපස්සු බල්ලුක වෙළෙඳ දෙබෑයන්ට බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ ලබා දුන් කේස ධාතූන් ගෙන් කොටසක් ද නිධන් කර සෑදූ මහා සෑය මංගල මහා සෑය වශයෙන් වහරණු ලබන අතර මීට වසර දෙදහස් දෙසීය ගණනකට පෙර මෙම ස්තූපය සඟසතු කර පූජා කර ඇත්තේ චුල්ල පිණ්ඩපාතික හා තිස්ස විහාරයේ සාගල නම් භික්‍ෂූන් වහන්සේගේ උපදෙස් පරිදි බව ද ධාතුවංශයේ සඳහන් වෙයි.
එදා ලංකාවේ පළාත් බෙදීම් අනුව, රුහුණු බෞද්ධ රාජ්‍යයේ කෙළවර පිහිටි මෙම පුදබිමෙහි කාවන්තිස්ස රජතුමා විසින් තුන් යොදුනක් මානයේ ගම් බිම් පුදා මෙම පූජනීය පුදබිමෙහි මතු දියුණුවට වැඩ සැලසූ බවත් වංශකතාවන්හි සඳහන් වෙයි.










1 comment:

ඔබ නොදු‍ටු ලොවක්..... said...

බොහොම පිං මේ විස්තරේට...