පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Tuesday, March 01, 2011

ලිප්ස්- ලාටු පුඩිම.



රස රස ආහාර දොරට වඩින්නේ දානේ ගෙවල් වලදී සහ මගුල් ගෙවල් වලදීය. ඒත් මගුල් ගෙවල් හෝටල් වලට කොන්ත්‍රාත් දෙන මේ කාලයේ  රසවත් ආහාර කෙසේ වෙතත් බටහිරටත් චීනයටත් නැති  මෙරට සම්ප්‍රදායටත් නැති කෑම පේලියකින් සැරසූ  මේසයක් බූපේ නමින් මොඩ්වී පෝලිමක ගොස් බෙදා ගෙන රසබැලිමට සකසන්නේය.  අන්තිමට ළුනුත් නැති ඇඹුළුත් නැතිව ගිල දමා ගෙදර විත් හෝටල් කාරයාට ළුණු ඇඹුල් ඇතිව බැණ වදින්නේය . මෙනුව මෝස්තරයට තේරූ ඇනවුම් කරු නොදන්නා වගේ සිට ගොඩ යන්නේය.

තාමත් දානේ  ගෙවල් වලදී දෙන්නේ හාමුදුරුවරුන් අකමැත්තෙන් හෝ ගෙවල් වලට වඩින නිසාවෙන් විය හැක. නැත්නම් එයත් හොටල් කාරෙකුට බාරදී බිලත් ගෙවා හාමුදුරුවන්ට බිල පූජා කරන උපාසක අම්මලා සහ උපාසක තාත්තලා මේ දශකය වන විට බිහිවී හමාරය.

මේ කතාව දානේ ගෙවල් මගුල් ගෙවල් ගැන නොවූවත් දානේ ගෙයක් අවසාන වී සතුටු සාමිචියකදී මතුවු රසවත් ආහාරයක් පිළිබදවය.

ජුජුබ්ස් සහ මාෂ්මෙලෝස් අපේ රටට ආධුනික රසකැවිල්ලක් වුයේ මීට වසර තිහකට පමණ පෙරය. එකල ජනප්‍රිය රසකැවිල්ලක් බවට පත්ව සිටි ජුජුබ්ස් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කර  එක් සමාගමක් මුළු  රටටම ග්ලුකෝරස නමින් ජුජුබ්ස් බෙදුවේය. ඉන් වසර කිහිපයකට පසු මාෂ්මෙලෝස් වෙළද පලට ආ අතර එකල රසකැවිලි වෙළද නාමයන් අතර ජනප්‍රියව තිබු ප්‍රමුඛ වෙළද නාමයන් මාෂ්මෙලෝස් වෙළදපල ජය ගෙන තිබුනේය.  

මීදුමට ඒ මේ වන විට එම වෙළද නාම  නම් අමතකව ගොස් ඇත.

පසු කාලයක් වන වි ශ්‍රී ලංකාවේ නාගරිකව ඉවුම් පිහුම් කලාව උගන්වන කුකරි ක්ලාස් බිහිවී අපේ කැවුම් කොකිස් මුල්ලට තල්ලු කර  බටහිර ,චීන පන්නයේ ආහාර ලේඛණ  විසින් දියවැඩියාව අධික රුධිර පීඩනය ,සමග තරබාරුකම ඇති ශරීර නිර්මාණය කලේය.
 මේ ක්‍රියාවට දායකවු මීදුමගේ වැඩිමහල් සොහොයුරියද කුකරි ක්ලාස් ගොස් විත් නානා පන්නයේ ආහාර ලේඛණ නිවසේදී නිෂ්පාදනය කර අපට පිළිගන්වා හොද නරක මෙන්ද ඒවා නැවත නැවතත් නිෂ්පාදනය සදහා අත්දැකීම් එකතු කර ගත්තේය. අපටත් නිතර නිතර වෛද්‍යවරයා හමුවීමට යාමට මග සැලැස්වීය.

  
මේ කුකරි ක්ලාස් එකක් හරහා අපේ නිවසට ගොඩ වැදුන මාෂ්මෙලෝස් නිෂ්පාදනය කරන මෙනුවක නිෂ්පාදන පිළිවෙල  මෙසේය.

අවශ්‍ය ද්‍රව්‍ය. - ජෙලටින් ග්‍රැම් 10ක්, සීනී ග්‍රැම් 500ක් වතුර මිලි 400 ක් සහ රසකාරක (වැනිලා) වර්ණක,
සාදන ක්‍රමය. - ජෙලටින් වතුරේ මිශ්‍රකර විනාඩි 05ක් පමණ තබන්න. සීනි ද්‍රාවනයක් සදා ලිපේ තබා උණුකරන්න . හැදිගාමින් සීනි පදමට සකස් කර ජෙලටින් මිශ්‍රණය එක් කරන්න. ඉන්පසු නිවෙන්න සලස්වා රසකාරක සහ වර්ණක එකතු කර බීටරයකින් හොදින් බීට් කරන්න. මෙසේ ද්‍රාවණය බීට් කරන විට අර්ධ ඝණ ද්‍රාවණයක් ලෙස පත්වන විට බටර් ගා සකස් කරගත් නොඇලෙන තැටියක සෙමි 03ක් පමන උසට වක්කර පැය 24ක් පමණ කාලයක් තබන්න.
තැටියේ ඝණව ඇති  මාෂ්මෙලෝස් උසට සරිලන කැබලි වලට කපා ඉන්පසු අයිසින් සුගර් මේස හැදි 02ක් සහ කොන්ප්ලවර් මේස හැදි 02ක් එක් කරගත් මිශ්‍රණයක දවටා ගන්න.
   
එක් දවසක අක්කා කුකරි ක්ලාස් ගොස් ඉගන ගෙන ආ මාෂ්මෙලෝස් පාඩම අපේ මද්දුම නංගීට අහුවිය . අක්කාත් ගෙදර නැතිවේලේ ඇගේ අඩුම කුඩුම ටික එකතු කරගත් මේ පන්ඩිතී ලිප ගිනි දල්වා මෙනුවට අනුව සිනී දමා උණුකර අනෙකුත් අඩුම කුඩුම මිශ්‍රණය කර  මාස්මෙලෝස් නිෂ්පාදනය කලේය. 
පදම වැරදී ‍ජෙලියක් නිර්මාණය විය. මේ අළුත්ම රසකැවිල්ල  කන්නත් බැරිය. ගිය වියදම නිසා ඇයට  විසිකරන්නත් ලෝභය. ඇයට අළුත් අදහසක් ඇතිවිය. ගෙදර තිබු පළතුරු වර්ග දෙක තුනක් ( ඇපල්, කෙසෙල් අඹ වැනි) කුඩා කැබලි වලට කපා අර ජෙලි මිශ්‍රණයට  හොදින් මිශ්‍ර කර ශීතකරණයේ තබා සිසිල් කලේය. ඉන් පසු නිර්නාමික  පළතුරු පුඩිමක් බවට පත්වු මාෂ්මෙලෝස් මිශ්‍රණය හතරැස් කැබලි වලට කපා අතුරු පසක් ලෙස කෑම මේසේට පැමිණියේය.
කෑම මේසේ එහාට මෙහාට මාරුවු පුඩිම රස බැළු මද්දුමයා අක්කේ මේක කන්න අමාරුයි  රසවුනාට.  යයි කෑ ගැසීය. පුඩිම කෑ පුංචි එකාගේ උඩු තොලත් යටි ‍තොලත්  එකට ඇලී අතින් පයින් සංඥා නිකුත් කරන්න පටන් ගත්තේය.
හැම එකටම කට දාන පොඩි එකී මදුදුමීගේ පුඩිමට නමක් යෝජනා කලේය.
එදා සිට මාෂ්මෙලෝස් හදන පදම වැරදි වුනදාට අපේ ගෙදර ලිප්ස් - ලාටු පුඩිම නිෂ්පාදනය වී මේසේට පැමිණියේය.


No comments: