Tuesday, March 23, 2010

අහම්බයක මතක වත.

මතකයේ  සිතිවිලි අතර පාවෙමින් සිටිනා විටක මට අහම්බයෙන් හමුවු රංජිත් නම් වු සහෘදයෙකුගේ සුවද මා අසලට විත් නතරවිනි. දින කිහිපයක මා අසල දැවටී ඉන් පසු කිසිදාක හමු නොවුන මේ මිනිසා ගේ නිසල දේහයට බුහුමන් කරන්නට මට පින් ලැබු නේද අහම්බයකිනි.

1978 වසරේ එක් සිහිවටනයක් ව පවතින දිනක සිට මා බස්රියකින් හෝ පෞද්ගලික රියකින් රත්නපුර නගරය පසු කරන විට පුංචි කදු ගැටයක් මත ඉදි කර තිබු හැටේ දශකයේ ගෘහ නිර්මානයන් උරුම කර ගත් නිවසක් දෙස බැලිමට නිතැතින්ම පුරුදුවි සිටියෙමි. මින් වසර පහකට පමණ පෙර එක් දිනක කොළඹ බලා යන අතර එම නිවස දෙස පුරුද්දට බලන විට සුදු බැනරයක් මත රංජිත්ගේ සම්පුර්න නම සමග ඔහුගේ අභාවය සටහන් කර තිබු බැනරයත් සුදුවට සැරසු අවට පරිසරයත් මගේ ගමන එතනින් නතර කර බස්රියෙන් මා බැස්සවීමට සමත් විය.

මම එතන සිට කතාව කියමි.

හොන්ඩා වාට්ටු රට පුරා ඇතිවුන, විවෘත ආර්ථිකේ කවුළු තුලින් රටට ගලා බසින ලද මෝටර් බයිසිකලයක් නිසා අප පලමු දවසේ මුණ ගැසිණි. මගේ සහෝදරයා බයිසිකල් අනතුරකින් ඉතාමත් බරපතල තත්වයකට පත්ව සිටියේය. ඔහු රත්නපුර මහ රෝහලේ ගිලන් ඇදක් මත තීරණාත්මක සටනක යෙදෙමින් අප අසරන තත්වයකට පත් කලේය. රත්නපුර මහ රෝහලේ අද මෙන් සෞඛ්‍ය පහසුකම් නොතිබු එම අවධියේ රෝගියා කොළඹ මහ රෝහලට මාරු කර යවීම සිදු කල යුතුව තිබුනත් කිසියම් අවාසනාවකට එම කාර්ය කඩිනම් නොවීය.

මට රංජිත් මුණ ගැසෙන්නේ මේ අසීරු අවස්ථාවේදීය. මම රෝගියා සමගම රෝහලට පැමිණ ඔහුගේ උපස්ථායකයා බවටත් නිසි බලධාරියා බවටත් පත්ව සිටිනා විටක පලමු පැයේ සිටම නන්නාදුනන රංජිත් මගේ දේවතාවා විය. මට වන මුදල් හැර සියළු අඩු පාඩු වහා හදුනා ගන්නා ඔහු ඒ සියල්ල ඉටු කර දුන්නේය. කොට්ට ඇද ඇතිරිලි උනුසුම් බෝතල් පවා ඔහුගේ නිවසින්ම වහා සපයන්න විය. දෙවන දිනයේ දහවල වන විට රෝගියා පිළිබදව අනියත බියකින් පිලියම් සොයමින් සිටිනා විටක ඔහුගේ බිරිද සහ තරුන දියණියද අප සනසන්නට හා පිහිටට රෝහල් වාට්ටුවට ආවා මතකය. මේ අතර රෝගීයා කොළඹ මහ රෝහලට රැගෙන යාමේ වැඩ පිලිවෙලක් පිටත සිටින අනෙක් සහෝදරයින් සකස් කර ගත්තත් ඔහු සෙලවීමටවත් සුදුසු තත්වයක නො සිටි බැවින් ගිලන් රථයක අවශ්‍යතාවය ඇතිවිය. ඔහු වහා කාර්යට මැදිහත් විය.  රෝහලේ පරිපාලන නිළධාරියා සම්බන්ධ කර ගත් ඔහු  රජයේ ගාස්තු ගෙවා ගිලන් රථයක් ලබා ගැණීමට අවස්ථාව සකස් කර දීමට කටයුතු කලේය.

රංජිත් ගිලන් රථය පසු පසින් ගිය අනෙක් වාහනයේ ඔහුගේ සියළු කාර්ය භාරයන් අමතක කර ද මා අපත් සමග කොළඹ මහ රෝහලටත් ගියේය. අසරන බවට පත්ව තිබු අපේ සිතිවිලි රංජිත්ගේ මනුෂ්‍යත්වය පිටි පසින් ගලා ගෙන ගිය ඔහුගේ වෘත්තිය හදුනා ගැණීමට තැත් නො කලේය. නුපුරුදු රොහල් පරිසරයේ අපට හදුනා ගත හැකි වුයේ ඔහු අප වෙත දැක්වු දයාව පමණය.

අපට බලාපොරොත්තු රහිතව දින හතරක් පමණ ගෙවී බලාපොරොත්තු බිහි කල පස්වන දවසේ රංජිත්ට රත්නපුරයේ ඔහුගේ නිවස සිහිවී තිබිණි.

ඔහු හිස් අතින් එවීමට මට කොහොමවත් සිදුකල නොහැකි කටයුත්තකි . රත්නපුර රෝහලේදී අප හට කරන ලද මෙහෙය කිසිදා මුදලින් තක්සේරු කර ගත නොහැකි තරම් අධික වටිනාකමකින්ද යුක්ත විනි. එහෙත් කිසියම් වටිනාකමට නොතරම්වු සුළු වු මුදලක් අතමිට මෙලවු මම රෝගියා බැලීමට ආ පිරිසකගේ වාහනයකින්ම ඔහුගේ නිවස කරා යොමු කර ඔහු වෙනුවෙන් කෘතවේදී වීමට හිත හදා ගත්තෙමි.

අද මෙන් සන්නිවේදන මං සහ සුලබ ගමනාගමන පහසුකම් නොතිබු එම අවධීයත් , අපේ ජීවන අරගලයන් හී ඇතිවු පීඩනයත් රංජිත් හා මා අතර ඇතිවුන සම්බන්ධතාවය දිය කිරීමට හැකිවිය. මා කාලයත් සමග රත්නපුර ඔහුගේ නිවස පසු කරන විට පමනක් ඒ දෙස විපරමින් බලා ගෙන යන නරඹන්නෙක් බවට පත්ව සිටියාය.

පසු කලක ඔහුගේ ජීවන වෘත්තිය මට හෙලි වුවත් මේ මානව හිතවාදියා ගැන මගේ සිත තුල ඉදිවු ස්මාරකය කඩා දැමීමට කිසිදා කිසිදු උවමනාවක් මට ඇති නොවීය.ඒ එදා දැක්වු දයාව ඔහුගේ වෘත්තිය අභිබවා ගොස් මතුව තිබු මිනිස් කම නිසාවෙන් විය යුතුය.

No comments: