පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Friday, January 29, 2010

ජනාධිපතිවරණය පෙන්වන දිශාව.

මීදුම ජනාධිපතිවරණය ප්‍රතිපල තුලින් දකින සත්‍ය පිලිබදව සටහනක් කරන්නට අදහස් කරයි. මෙය මීදුම මතවාදයන් හා ගැළපුනත් විවිධ වෙනත් මතවාදයන් ඇතිවිය හැකි බැවින් ඒ සදහා “සිතුවිලි “ ඉඩක් කර ගන්නා මෙන් සහෘදයනට මීදුම ආරධනය කරයි.

ජනාධිපතිවරණය ආරම්භ වන්නේ මහින්දගේ නිලකාලය අවුරුදු දෙකක් ඉදිරියට තිබිය දී ඔහුගේ බලය තහවුරු කර ගැණුමේ ව්‍යාපෘතියක් ලෙසටයි. රනිල්‍ වික්‍රමසිංහ මහතා ප්‍රතිවාදී අපේක්ෂකයා ලෙස සලකා මහින්දට අභියෝගයක් නො තිබිණි. මේ අතර කතා බහට පැමිණි “ නිර්පාක්ෂ අපේක්ෂකයා “ අප දුටුවේ සැබැවින්ම නිර්පාක්ෂියකයෙක් ලෙස තරග බිමට විත් ඕනෑ කෙනෙක් මට චන්දය දී මා ජනාධිපති කරවන්න කියා පවසන්නෙකි. ඔහු හදවතින්ම නිර්පාක්ෂිතකයෙක් යයි සිහිනයක් අපට ඇතිවිනි. නමුත් සිදු වුයේ එජාපයේ ,ජවිපෙ සහ මනෝ ගනේෂන් , හකීම් , දුවිඩ සංධාණයේ සහ මංගල සමරවීර නියෝජිතයෙකු ජනාධිපති තරගයට පිවිසීමයි.

මහින්ද සිංහල ජන සමාජය හදුනා ගන්නේ දේශීය චින්තනයක් සහිත වු දේශ හිතෛෂී නායකයෙකු වශයෙනි. ඔහු ඒ බව තහවුරු කරනා ක්‍රියා දාමයන් රැසක් පසුගිය පාලන සමයේ ඉටු කරන ලදී. ඔහු ජනාධිපතිවරණ වේදිකාව තුලද දිග හැර දැම්මේ එම සිතුවිලි මිස ආර්ථිකය වැනි අනාගත අවශ්‍යතාවයන් නොවේ. ජයග්‍රහණයේ එක් සාධකයක් ලෙස ජනතාව අද පලමුව රට - දෙවනුව බඩ යන චින්තනයට පත්ව ඇත්දැයි විමසීම මේ ජනාධිපතිවරණ ප්‍රතිපල අපට ඉගිකරයි.

නිර්පාක්ෂිමක අපේකකයා වු සරත් ෆොන්සේකා මහතා කීර්තිමත් සෙනවියෙකි. ඒ කීර්තිය අත දරා පැමිණි ඔහු දේශපාලකයෙකු වීමේදී ලබා ගත යුතු පන්නරය නොමැතිව තම ජයග්‍රහණය උදෙසා උපාය මාර්ග සකස් කර ගත්තේ යුද බිමක අත් දැකීම් තුලින් යයි මීදුම සිතයි. මැතිවරණ වේදිකාව ද්වේෂයෙන් සහ වෛරයෙන් උද්යෝගයෙන් නැගුණ හඩ ඔහු ජනතාවගෙන් දිනෙන් දින ඈතට රැගෙන යන ලදී. රුපියල් දසදහසක පඩි වැඩි වීම වැනි රනිල්ගේ “ චුවිංගම් “ පන්නයේ පොරොන්දු ජනතාව සිනහවට ගත් අතර රාජ්‍ය සේවකයෝ චන්දය දීමේ දී ඒ බවක් ගනන් ගත් බවක් වත් පල නොවේ.

යුද්ධ ජයග්‍රහණයේ අයිතිය දේශපාලනඥයාගේ උරුමයක් බව ජනතාව තේරුම් ගත් බවක් 2005ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතා ලබා ගත් ජන්ද හා සසදන විට ත් පරාජයට පත්වු නුවරඑළිය වැනි දිස්ත්‍රික්කවල දී මහින්ද ලබාගත් චන්ද ප්‍රමාණය වැඩි කර ගැණීමෙනුත් නිවේදනය වෙන්නේ යයි මීදුමට සිතේ. බහුතරයක් වු සිංහල ජන පදනමට ආමන්ත්‍රණය කරන්නට තිබු ඉඩ මනෝ ගනේෂන් , හකීම් , දුවිඩ සංධාණය හා බැදීමෙන් අහිමි කර ගත් සරත් ෆොන්සේකා මහතා මඩකලපුව , වන්නි, යාපනය සහ දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වැනි මැතිවරණ ආසන ජයග්‍රහණය කිරීමෙන් සුළු ජාතින්ගේ උවමනා වන් ඉටු කර දීමට ගිවිසුම් ගතවු බව තහවුරු කරන ලදී. මේ සැකය නිසාම බොහෝ දෙනා එතුමා හැර මහින්දට නැඹුරු වු බව සටහන් කල යුතුවේ.

ජාතිවාදය සහ මව් බිමේ උරුමය යන්න දෙකකි. සියලු ජාතීන්ගේ මව් බිම මේ මහ පොලොව ලෙස තවමත් බදා ගන්නා අය විරල වේ. අප එසේ සිතන්නට වඩා නැඹුරු වුවත් බහුතර ද්‍රවිඩ ජාතිකයන් තවමත් එසේ සිතන්නට පටන් ගෙන නැති බව මීදුම අදහස් කරයි. මේ අදහස් දරන කණ්ඩායමට අතීතයේ චන්ද ලබා ගැණිමේ අරමුණින් ඉල්ලන දෙයක් දී ඡන්දය පමනක් ලබා ගැණීමට කටයුතු කිරීම නිසා ප්‍රභාකරන් බලවත්වු බව රහසක් නොවේ. ඒ අත්දැකීම නිසා දකුනේ බහුතරය , ද්‍රවිඩ සංධාණය සමග ගිවිසුම් ගැසීමේ භයානකත්වය හඳුනා ගෙන කටයුතු කල බව දකුනේ ප්‍රතිපල පෙන්වා දෙයි.

මහින්ද ජයග්‍රහණය කරන්නේ නාගරික ජනගහනයෙන් බැහැර ග්‍රාමීය ජන පදනම තුලිනි. සරත් ෆොන්සේකා වටා සිටි එජාපයේ මුල් වඩා පිහිටන්නේ නාගරික සමාජය තුලයි. ඒ බව මහනුවර , ගාල්ල සහ කොළඹ මැතිවරණ කොට්ඨාස සරත් ෆොන්සේකා ජයග්‍රහණය කිරීමෙන් අපට පෙන්වයි. කාර්මික සහ කාර්යාලිය ආදායමෙන් යැපෙන සහ සුපර් මාකට් වලින් පරිභොජන දුව්‍ය මිලට ගන්නා පැලැන්තිය ජීවන බර වැඩීවිම තදින්ම ගනන් ගත් බවකි. ඉන් අමතරව සුපර් මාකට් වලින් පරිභොජන දුව්‍ය මිලට ගන්නා පැලැන්තිය ට වියදම් කිරීමට ප්‍රමානවත් ධනය උපයා ගැණීමේ ඉඩකඩ වඩා නිර්මාණය වන්නේ එජාපය තුලින් බව මුල් බැස ගත් මතවාදයක් ඔවුන් තුල අතීතයේ සිට පැවත එන්නෙකි.

හම්බන්තොට වරාය සහ ජාත්යසන්තර ගුවන් තොටුපල ඉදිවීම කොළඹ සුපිරි වෙළද පන්තිය ආදරයෙන් පිළිගන්නා සංවර්ධන කටයුතු නොවේ. සදාකාලික වම කොළඹ වාණිජ මධස්ථානය බවට පත්ව තිබිය යුතු බවට සිතනා අයද අපට හමුවේ.

මේ සියල්ල පසෙක තබා අද ජනාධිපතිවරණයක දී නියෝජනය කරන දේශපාලන පක්ෂය වැදගත්ම සාධකය නොවී තනතුර සදහා ඉදිරිපත් වන පුද්ගලයා දෙස නෙත් හැර බැලීමට තරම් ඡන්දදායකයා බුද්ධිමත් ව සිටින බව මහින්ද ට ලැබු චන්ද 60,15,934 සනාථ කරයි.

මව් බිමට සුබ අනාගතයක් උදා වේවා යි මිදුම ප්‍රාර්ථනය කරයි.

Thursday, January 28, 2010

ප්‍රජාතන්ත්‍රවාදයට ලංසුවක්‌!



………..
මේ පලවන්නේ  දිවයින ජාතික පුවත් පත මැතිවරණයට කලින් පල කල කතුවැකියකි. මේ කතාන්දර සියල්ල අමතක ව යලිත් ඒවා සිහියට ගන්නේ ඊළඟ මැතිවරණය ලංවු විටය. මෙවැනි ක්‍රියාදාමයන් නිහඩ වීමට නම් අදාළ වු නීති ශක්තිමත් විය යුතු බව මීදුම සිතයි. එහෙත් කිසි දා එම සිතිවිල්ල ක්‍රියාත්මක තලයට නො පැමිණෙන්නෙකි. යහ සමාජයක් නිර්මාණය වන්නට මුලින් ම උපුටා දැමිය යුත්තේ වරප්‍රසාද ලත් පන්තියේ මැර අවීනීතකම්ය. මේ මැතිවරණ ප්‍රතිපල  මහින්දට පෙන්නා දෙන්නේ ද වරප්‍රසාද ලත් පන්තියේ අභිප්‍රාය සහ වරප්‍රසාද නො ලත් පන්තියේ අභිප්‍රාය බව මීදුම අවධාරණය කරයි.
“..................හැම දෙයකට ම තිබෙන්නේ මිලක්‌ හෙවත් වෙළෙඳ වටිනාකමක්‌ බව ධනවාදී පාරිභෝගික සමාජයක එන මූලික සිද්ධාන්තයකි. ඒ අනුව නිශ්චල හා චංචල දේපොළ පමණක්‌ නොව සාහිත්‍ය කලාව, සාරධර්ම හා පුද්ගලයෝද විකිණෙති. සාහිත්‍ය කලාව, සාරධර්ම යනාදිය විකිණීම යනු ඒ සමාජය කුණු වී ඕජස්‌ ගලන වණයක්‌ බවට පත්වීමක්‌ සේ සමහරු හඳුන්වති. එහෙත් එය වැළැක්‌විය හැකි ද?

ඡේ. ආර්. ජයවර්ධන උතුමාණන්ගේ විවෘත ආර්ථික සොරොව්ව ඔස්‌සේ මේ රටට ගලා ආ සංස්‌කෘතික හා සදාචාර පරිහානිය තුළින් අප තවමත් පාඩම් ඉගෙන ගෙන ඇති බවක්‌ ද කිව නොහැක. මේ උතුමාණන්ගේ දේශපාලන භාවිතයේ බරපතල මෙන්ම දුෂ්ටතම ප්‍රතිඵලයක්‌ වූයේ ප්‍රජාතන්ත්‍රවාදයටත් මිලක්‌ නියම වීමය. ඒ අනුව දේශපාලනඥයාටද අගයක්‌ නියම වීමය.

1948
දී අප ලද නාමික නිදහස යටතේ වුවද අපේ දේශපාලනය ගරු ගාම්භීර ජනතා සේවයක්‌ ලෙස ඇරැඹී ගලා ආ බව අප පිළිගත යුතුය. තට්‌ටුමාරු ක්‍රමය යටතේ ප්‍රධාන පක්‍ෂ ලෙස එජාපයත් ශ්‍රී. ල. නිපයත් ප්‍රමුඛ පක්‌ෂද ඒවා සමඟ සන්ධානගත වූ පක්‌ෂද මේ රට පාලනය කළහ.

1977
න් ඇරඹුණු නව දේශපාලනය විසින් රටට අත්පත් කර දුන් යහපතට වඩා අයහපත වැඩි බව විවිධ ක්‍ෂේත්‍රයන්හි විද්වතුන්ගේ නිගමනය වී තිබේ. අප කතා කරන්නේ එහි එක්‌ අංශයක්‌ වන දේශපාලනය ගැන පමණි. එතෙක්‌ ගරු සේවයක්‌ ලෙස තිබුණු මන්ත්‍රීකම විශ්‍රාම වැටුප් සහිත රැකියාවක්‌ බවට පත්වීම ඇරඹීමත් සමඟ මේ රටට සිදු වූ සන්තෑසිය කවුරුත් දනිති. එහි බරපතලම විපාකය වූයේ බුද්ධිමත් හා උගත් බහුශ්‍රැතයන් විසින් නියෝජනය කරන ලද දේශපාලනයේ දොරටු පාතාල මැරයන්ට දූෂිතයන්ට හා නූගත් කළු සල්ලිකාරයන්ටද විවෘත වීමය.

අද කාටත් එපා වී තිබෙන විධායක ජනාධිපති ක්‍රමය සමඟ හඳුන්වා දුන් ජාතික ලැයිස්‌තුවද වැඩිපුරම ඉඩ සලසා ඇත්තේ නන්නත්තාර දේශපාලනයකට බව අපගේ විශ්වාසයයි. විධායක ජනාධිපති ලෙස මන්ත්‍රීවරුන්ගේ ඉල්ලා අස්‌වීමේ ලියුම් ලබාගෙන සාක්‌කුවේ දමාගෙන සිටි ඡේ. ආර්. ට හෝ ව්‍යවස්‌ථාව බහුබූත එකක්‌ යෑයි හඬ තැලූ චන්ද්‍රිකා කුමාරතුංගට හෝ එම ක්‍රමයෙන් රටට වැඩක්‌ කළ නොහැකි විය.

මේ දෙදෙනාම විධායක ක්‍රමය නමැති කුණ්‌ඩලාභරණය පැළඳ ගාම්භීරව සිට නිකම්ම විශ්‍රාම ගියෝය. එහෙත් එය ආභරණයක්‌ නොව රටට වැඩක්‌ කළ හැකි බලයක්‌ බව වටහාගත් මහින්ද රාජපක්‍ෂ එය උපයෝගී කර ගනිමින් තිස්‌ අවුරුදු ත්‍රස්‌තවාදී ශාපය අවසන් කිරීමට සමත් විය. අද බොහෝ දෙනකුට අමතක වුවද එය විශිෂ්ට ඓතිහාසික වාර්තාවකි.

කෙසේ හෝ අද එම දේශපාලනය විසින් නිර්මාණය කරන ලද මන්ත්‍රීකම, නැතහොත් ගරු මන්ත්‍රීකමට සිදුවී තිබෙන අභාග්‍යය අපට පමණක්‌ නොව රටටම මහා විනාශයක්‌ බව කනගාටුවෙන් වුවද කීමට සිදු වී තිබේ. ඒ එකී ගරු මන්ත්‍රීවරුන් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස වෙන්දේසි වීමය.

අද ගරු මන්ත්‍රීවරයකුගේ මිල රුපියල් කෝටි ගණන්වලින් තීරණය වන්නකි. ජනතාවගේ මනාපයෙන් තේරී පත් වී දේශපාලන මණ්‌ඩුකයන් හෙවත් මැඬියන් බවට ස්‌ව කැමැත්තෙන්ම පත්වන්නෝද සිටිති. ඔවුන්ට ගෙවන ලදැයි කියන කෝටි ගණන් මුදල් ගැන අදත් ඇසෙයි. පක්‍ෂයත් ප්‍රතිපත්තිත් මුදලට පාවා දෙන්නන් ලෙස අවමානයට ලක්‌ වුවද ඔවුහු වගේ වගක්‌ නොමැතිව සිටිති.

අද මන්ත්‍රීවරයකුගේ අගය කෝටි ගණනින් මනිනු ලබන්නක්‌ වුවද කලකට පෙර පනස්‌දහසක්‌ වැනි මිලකට ආණ්‌ඩු පෙරලන්නට හවුල් වූ ගරු මන්ත්‍රීවරුන් ගැන ද දේශපාලන ඉතිහාසයේ එයි. එහෙත් මේ කිසිවක්‌ තහවුරු වී නැති වාර්තා බව ද අප කිව යුතුය. තහවුරු නොවූ නිසාම ඒවා කටකතා ලෙස බැහැර කළ හැකි ද? ඒ කුමක්‌ වුවත් දැන් යළිත් එම වර්ගයේ තුච්ඡ දේශපාලන ගනුදෙනුවක්‌ පිළිබඳ බරපතල චෝදනා පත්‍රයක්‌ ඉදිරිපත් වී තිබේ.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මන්ත්‍රීවරයකු වන එම්. මුසම්මිල් මහතාට ලක්‍ෂ 300 ක අල්ලසක්‌ ලබා දීමට තැත් කළ බවට දැන් ජ. නි. පෙ. සභාපති විමල් වීරවංශ මන්ත්‍රීවරයා එකී බරපතල චෝදනාව නගා තිබේ. හේ ඒ පිළිබඳ සාක්‍ෂි ඇතුළු වෙනත් හඬපටවල් පවා මාධ්‍යවලට ලබා දී ඇත.

මෙම සිදුවීම පිළිබඳ අල්ලස්‌ කොමිසමට පැමිණිලි කර එහි සියලු තතු රටට හෙළි කරන බව ද විමල් වීරවංශ මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණි. ජ. වි. පෙ. අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා එයට අභියෝගයක්‌ද කර තිබුණි. ඉතිරි හරිය අපට පසුව බලාගත හැකිය. එහෙත් අපට තිබෙන වේදනාව ගරු මන්ත්‍රීකම මේ ලෙස මුදලට විකිණෙන මෙවලමක්‌ බවට පත්ව තිබීමය.

මන්ත්‍රීවරුන් මිලට ගැනීම මෙන්ම විකිණීමද ඉතා පහත් හා බාල ක්‍රියාවක්‌ බව අපි ඉඳුරා කියමු. ආණ්‌ඩු පෙරළා දැමීමට මෙන්ම බලය ලබා ගැනීම සඳහා කෙරෙන මේ වර්ගයේ තුච්ඡ ගනුදෙනුවලට සම්බන්ධ අය නීතියේ රැහැනට හසු කර දීමද අවශ්‍යම දෙයකි. මේ වර්ගයේ මෙහෙයුම් පසුපස විවිධ දූෂිත චරිත මෙන්ම මේ රට වනසන දුෂ්ට බලවේගද තිබෙන බව අප තේරුම් ගත යුතුය.

මෙම සර්ප මෙහෙයුමේ සැලසුම්කරුවා හෝ සැලැසුම්කරුවන් රටට අනාවරණය කිරීම යනු ප්‍රජාතන්ත්‍රවාදය පවිත්‍ර කිරීමක්‌ ද වේ. ප්‍රජාතන්ත්‍රවාදයට ලංසුවක්‌ තබන අමනයන්ගෙන් රටකට සිදුවිය හැකි යහපත කුමක්‌ද?
 ප්‍රජාතන්ත්‍රවාදය බාල්දු කරන මේ වර්ගයේ තක්‌කඩි දේශපාලුවන්ගෙන් රට බේරා ගැනීමේ වගකීම ජනතාවට බාරය.......................“


මහින්දගෙන් ජනතාව බලාපොරොත්තුවන්නේ බඩ නොව රටයග රට හදාගෙන බඩ පුරවා ගැණීමයග

Tuesday, January 19, 2010

සරත්ද ? මහින්දද ?


ජනාධිපතිවරණ ප්‍රතිපල පිළිබදව නොයෙක් අනාවැකි පලවේ. සරත්ද ? මහින්දද ? යන්න අද දවසේ මාතෘකාවයි. මැතිවරණ වේදිකාව නම් ඌරන් ලගින මඩ වලකි. දුගද මිස සුවඳක් නැති වේදිකාව ඡන්දය කාටවත් නොදෙන්න තරම් ම අප්‍රසන්න කරයි.

එහෙත් රටට නායකයෙකු අවශ්‍ය නිසාවෙන් වඩා සුදුසු කෙනාට චන්දය පාවිච්චි කිරීම ජනතාව රටට කරන යුතුකමකි.

මීදුම පසු ගිය පලාත් සභා මැතිවරණය පාදක කර ගෙන මේ කරනු ලබන සංඛ්‍යාත්මක හරඹය කඩේ යාමක් නොවේ. ප්‍රතිපල පිලිබදව කරනු ලබන සංඛ්‍යාත්මක විමසා බැල්මකි.

පලාත් සභා මැතිවරණය වලදී උතුර පලාත් සභාව හැර අනෙක් පලාත් සභා මැතිවරණ  වලදි පාවිච්චි වු ඡන්ද පුමාණය මෙසේ  විය.

1.      එක්සත් නිදහස් සංධානය                         51,37,170   -62.23%

2.      එක්සත් ජාතික පක්‍ෂය                              26,09,386 - 33.04%

3.      ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය සහ DEMOCRATIC  UNITY ALLIANCE      යන පක්‍ෂ  329535  -  4.37%කි.


වර්තමානය වන විට සරත් ෆොන්සේකා මහතා සමග එජාපය සහ අනෙක් පක‍්ෂ එකතුව ඇති බැවින් මේ ඡන්ද වල අයිතිය ඔහුට යොමු කරමු.  එවිට ඔහු ඡන්ද  29,38, 921ක් වු  ප්‍රතිශතයක 37.41% ආරම්භයක් මුලින්ම වාර්තා කරනු ඇතැයි උපකල්පනය කර  ,  මේ අනුව ම සිතා මහින්ද රාජපක්‍ෂ මහතා ඡන්ද 51, 37,170    වු  62.23% ප්‍රතිශතයක  හිමිකාරයෙක් වේ.

අද වන විට එක්සත් ජාතික පක්‍ෂ   සාමාජිකයන් යම් පිබිදීමක සිටී. ඒ රනිල්ට වඩා ඉදිරියට යාමක් ලෙස දේශපාලන කරලියේ පෙනෙන්ට ඇති දෙයකි. සියලු වාසි සහගත තත්වයෙන්     සරත් ෆොන්සේකා මහතාට යොමු කරමින්  2009 පලාත් සභා මැතිවරණ පුතිපල වල සිට ඉදිරියට සිතීම මීදුම අරමුණයි.                       

2008 මැතිවරණ ලියා පදිංචි කිරීමේ ලේඛනයන්ට අනුව 1, 40, 88,500 කට මෙවර මැතිවරනයේදී ඡන්දය පාවිච්චි කිරීමේ වරම් ලැබේ. මින් 70% ක් පමණ ඡන්දය භාවිතා කරනු ඇතයි මීදුම උපකල්පනය කරයි. පලාත් සභා මැතිවරණයක දීට  වඩා ජනාධිපතිවරණයක දී තම ඡන්දය භාවිතා කිරීමේ උනන්දුවක් කලින් පැවත්වු මැතිවරණ පුතිපල විමසන විට පැහැදිලි වන්නකි. 70% ක්වු  එම ඡන්ද ප්‍රමානය 98, 61, 950කි. 

මෙය බෙදා ගන්නට සටන ඇත්තේ අපේක‍්ෂකයෝ 20 කින් මේ දෙදෙනා අතර පමනි.ඉතිරි විසිදෙනාටම ඡන්ද ලක්‍ෂ දෙකක් අඩු කල විට ලියා පදිංචි ඡන්ද 96,61,950ක ඉතිරියකි. අපේ ඡන්දදායකයෝ  ඡන්ද අවලංගු කරවන ලෙසද භාවිතා කරයි.එය 3% සිට 6.5% ක පමණ අනුපාතයක පිහිටන බැවින්  4.5% ක ප්‍රතිශතයක් වලංගු ඡන්ද ප්‍රමාණයෙන් ඉවත් කරමු. එවිට  92,27162ක් පමණ අපේක්‍ෂකයන් අතර බෙදී යන බව උපකල්පනයට ගනු ලැබේ.

යාපනය සහ වන්නි  යන දිස්ත්‍රික දෙකේ 2008 මැතිවරණ ලියා පදිංචි කිරීමේ ලේඛනයන්ට අනුව
යාපනය දිස්ත්‍රික්කයේ  721,359  ඡන්ද ප්‍රමාණයකුත් වන්නි දිස්ත්‍රික්කයේ 266,975 කුත් ලියා පදිංචිව ඇත.   මින්  70% ක් වලංගු ඡන්ද ලෙස ගණනය කල විට ( මෙම පුතිශතය මීට වැඩිවිය හැක .)  එම ඡන්ද ප්‍රමාණය                 6 , 91833කි . මෙම ඡන්ද ගොඩේ අයිති  55% ක්ම හංසයාට පිරිනමා 25% ක් මහින්ද ගේ ගොඩට යොමු කරමු. එය පිළිවෙලින්   300508ක් සහ 172958කි.  20%ක් අනෙක් ද්‍රවිඩ අපේක්‍ෂත්වයට හිමි කරමු.

මහින්ද රාජපක්‍ෂ මහතාට    එරෙහිව විශාල ජනමතයක් ගොඩ නැගීමට මෙම මැතිවරණයේදී විපක්‍ෂයට නොහැකිවිනි. ප්‍රබල චෝදනාව වු  දුෂණය  සහෝදර සමාගමේ ව්‍යාප්තිය වේදිකාවේ බෙරිහන් දුන් තරමට ජනතාව ග්‍රහණය කර ගැණීමට උනන්දුවක් දැක්වුයේ නැත. මැතිවරණ කොට්ඨාශ මට්ටමෙන් ඔහුගේ ඡන්ද පදනම නාය ගිය බවක් පෙනෙන්නට තිබුනේ නැත. එක් මැතිවරණ කොට්ඨාශයකින් ඡන්ද දායකයෝ 2000ක් ඔහු අතහැර සරත් ෆොන්සේකාට ඡන්දය දුන්නා යයි පදනමේ පිහිටා ගනණය කලත් ඔහුට අහිමි වන ඡන්ද ප්‍රමාණය 2000*160කි එනම් 3,20000කි.  එහෙත් එසේ සිදුවු බවක් දක්නට නැත.

මෙම ජනාධිපතිවරණයේදී  පලාත් සභා මැතිවරණයට වඩා 6,50000 ක පමණ ඡන්ද ප්‍රමාණයක් භාවිත වේයයි උපකල්පන ය කරමු. මෙම ඡන්ද පලාත් සභා මැතිවරණය නොසලකා හැරිය ඡන්දදායකයන්ගේ ඡන්දවේ. මින් වැඩි කොටස වු 4,00000ක් සරත් ෆොන්සේකාටත් 2,50000ක්වු අඩු කොටස මහින්ද රාජපක්‍ෂටත් යොමු කරනු ලැබේ.

මහින්ද රාජපක්‍ෂ ඡන්ද                             51, 37,170 – 3,20000+ 172958+2,50000   = 52, 40128
සරත් ෆොන්සේකා  ඡන්ද                        29,38, 921 +3,20000+300508+400000      =39, 59429

මෙම ගණිත හරඹය මීදුම හිතළුවක් විය හැකි වුවද මහින්ද රාජපක්‍ෂ මහතාට ජනාධිපති තනතුර අහිමි වීමට තරම්          ජන මතයක් රට තුල ඇති බවක්  නම් විද්‍යමාන නොවේ.                                                                                                                                                                            

Monday, January 18, 2010

කිරින්ද Kirinda


කිරින්ද වෙරල  තීරය

කිරින්ද රජ මහා විහාරය
වෙරළ තීරය
 

Friday, January 15, 2010

මව් බිම දිනවමු.



මව් බිම දිනවමු කී විට මහින්ද රාජපක්‍ෂයන්ගේ නම මේ දිනවල සිහිපත් වේ .  එහෙත් මෙම උදාන පාඨයේ නියම හිමිකරුවා වන ජනතා විමුක්ති පෙරමුණ එම උදාන පාඨය අත්හැර  රාජපක්‍ෂ රාජ වියරුවෙන් රට බේරා ගෙන ඒ උරුමය ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමාට බාර දීමට මග පෙන්වමින් සිටී .
‘මව් බිම නැත්නම් මරණය  මෙන් ම    මව් බිම පාවා දෙන්නන්ටත් මරණය  හිමි කර දුන් ජනතා විමුක්ති පෙරමුණ අද මව් බිම නෝර්වේ පිඹුරු පතට  ප්‍රභාකරන්ට  ලියා දුන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමග එකම ‍වේදිකාවේ - සොයා සොයා ආවා සෙවුව මැණික හමු වුනා කියමින් ගීතවත් වන අතර, සුදු නෙළුම රැගෙන ගිය මංගල , ප්‍රභාකරන්  මිත්‍ර සමාගම වන මනෝ ගනේෂන්  රාවුප් හකීම්  සමග ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමා ගේ ජයග්‍රහණය පතා ජනතාවට ආමන්ත්‍රණය කරනු ලබන්නේ ලෙන්ගතුව ය. අරමුණ නූතන මහරජානන් පලවා හැර ජෙනරාල් මහරජානන් කරවීමටය.
ජනතා විමුක්ති පෙරමුණට ලැජ්ජාවක් තිබිය නො හැක. දැන් ජවිපෙය දෙපතුලේ සිට සරම උස්සොගෙන  මූණ වසා සිටින බවක් පල කරනවා යැයි මගේ මිත්‍රයෙකු උදාහරණයක් ලෙස දැක්වීය.. වාමාංශික නැඹුරුවක් ඇති පක‍්ෂයකට මේ ඇත්තන් සමග දීගයෙක යා හැකි ද යන්න මීදුම ද  සිතනා කරුණකි.
1989 දී මගේ නිවසට යාබද නිවසේ විසුව එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා දරුවනුත් බලා සිටිය දී දණ ගස්වා වෙඩි තබා මරා දැමීය. එයට පුතිචාර දැක්වුව එක්සත් ජාතික පක්‍ෂය ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයෙකු ලෙස හඳුන්වමින් අසල්වාසී ගුරුවරයෙකු තම පාසලේ   වැසිකිළියකට ‍ ගෙන ගොස් වෙඩි තබා මරා දැමිය. අපට අසල්වාසීන් දෙදෙනෙකු අහිමි විය. පවුල් දෙකක පියවරු න් අහිමි කරමින් දු දරුවන් අසරණ කරවීය.   මෙවැනි ම සිද්ධින්  උතුරේ හැර  අනෙක් පලාත්වලින් කොයි තරම් වාර්තා ව ඇති ද. කාලය ගෙවී 2010 වන විට  මේ දෙගොල්ල ම  එක ම වේදිකාවේ රාජපක්‍ෂ රාජ වියරුවෙන් අපේ මව් බිම බේරා දෙන අභිමාන සටනේ පෙර ගමන් කරුවන් බවට පත් ව ඇත.
අපට නම්  ජනතා විමුක්ති පෙරමුණට ඇහුම් කන් දෙන්න කිසි සේත් නොහැකිය. පසු ගිය ජනාධිපතිවරණයේදී මහින්ද ජනාධිපති කරවීමෙන් පසු අයවැයෙන් මහින්දගේ ආණ්ඩුව හොල්ලා ඊට මහින්ද පුතිචාර දැක්වු අන්දම දිරවා ගත නොහැකිව  මහින්දට පාඩමක් උගන්වන්න මේ පාවා දෙන්නේ මව් බිම නොවන්නේද ?.මහින්දත් සමග ආණ්ඩුවේ සිට රටට සේවයක් කර හැකි ව තිබිය දී  කරන ලද අල කලංචියෙන් මහින්දගේ ආණ්ඩුව වැටුනේ නැතත් රටට සිදුවුයේ විශාල හානියක් බව අප පිළිගත යුතු ව ඇත. මහින්ද ‍ගේ ආණ්ඩුවේ මංත්‍රීවරුන් විශාල පිරිසක් සමග සිටත් ජනතා විමුක්ති පෙරමුණට ආණ්ඩුව පාලනය කර ගත නො හැකි විය. ඉදිරි පාර්ලිමේන්තුවක ජාතික ලැයිස්තුවෙන් පමනක් මංත්‍රී ආසන තුනක් හිමි වෙන ජනතා විමුක්ති පෙරමුණට  ජනාධිපති ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමා ගේ ආණ්ඩුව පාලනය කර ගත හැකි වේද ? මෙය නම් අපූරු සිහිනයකි.
ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමා  වේදිකාවේ ඇති වන  ප්‍රශ්න සදහා ප්‍රතිචාර දක්වන අන්දමට ම එතුමා අනාගතයේ රටේ පුශ්ණ වලටත් පුතිචාර දක්වනු ඇත. අපට ජනතා විමුක්ති පෙරමු නේද පිහිට නැතිව දෙවියන් ගේම පිහිට     ප්‍රාර්ථනා කිරීමට අනාගතයේ දී සිදු වනු ඇත !.
 පසුගිය ජනාධිපතිවරණයේ දී මව් බිමේ ම වාසනාව විසින් ඒ අවස්ථාවේ රනිල්ගේ ජයගුහණය සදහා ඇතිව තිබු  සියලු ජයග්‍රහණ සාධක පරද්දවා  මහින්ද ජයග්‍රහණය කරවීය. මෙදා ද  මව් බිම වාසනාවන්ත නම්  මව් බිම පිළිබදව තීන්දු තීරණ ගන්නා නායකත්වයට පුද්ගලයෙකු පත් කරන ජනාධිපතිවරණයේ දී සුදුසුම පුද්ගලයාට ඡන්දය දීමට මව් බිම විසින් අපට ප්‍රඥාව ලබා දෙනු ඇත.
අනාගතය පීඩනයට පත් නොකර ගෙන සුදුස්සන් අතරින් වඩාත් ම සුදුස්සාට ඡන්දය දීමට 
අපට  ප්‍රඥාව ලැබේවා යි ! මීදුම ප්‍රාර්ථනා කරයි .
අපි අපේ මව් බිම දිනවමු .

Monday, January 11, 2010

කඩේ යාමට හිතක් පහල කර ගත යුතුද?.

මිදුම ආණ්ඩුවට හෝ විපක්ෂයට කඩේ යාමට උත්සහා නොකරයි. එහෙත් සැම විටම තම මව් බිමට කඩේ යාමට උත්සාහ කරයි.මීදුම පලකරන අදහස් පාදක කරගන්නා තේමාවන් විග්‍රහ වෙන්නේ ස්වාධීන අදහසින් මිස ආණ්ඩුවට හෝ විපක්‍ෂයට කඩේ යාමේ අදහසින් නොවේ. මීදුම වෘත්තිකයෙකු වශයෙන් ද ස්වාධින පරාසයක ජීවත් වන්නෙකි. අප විසින් මහන්සියෙන් උපයා ගන්නා ආදායම පවා 10% ක ආසන්නව විවිධ පෞද්ගලික බදු වශයෙන් ගෙවමින් ඊට අමතරව ජනතාව සමග පරිභෝජනයට ගන්නා සෑම දේකටම බදු ගෙවමින් රට පවත්වා ගෙන යාමට මීදුම දායකවේ.
එවන් අපට නාමිකව දේශපාලනඥනයට මෙන් නොව අනෙක් පුරවැසියන්ට මෙන්ම රට ගැන නිරායාශයෙන්ම විශාල කැක්කුමක් ඇති වෙන බව පහන්වු සංවේගයෙන් සටහන් කරමි.
 වර්තමානයේදේශපාලකයන් ද කරනු ලබන්නේ ව්‍යාපාරයකි. ඔවුන් බලය සමග අපට වඩා ඉදිරියෙන් මුදල් රැස් කිරීමේ ව්‍යාපාරයක යෙදී සිටි. විපක්ෂයට ඇත්තේ සිල්ලර කඩ වන අතර , ආණ්ඩු පක්‍ෂය තොග කඩ පවත්වා ගෙන යති. අද මීදුම විවරණය කරන්නේ ඒ ව්‍යාපාර ගැනයි.

අපි පහළ මට්ටමෙන් ම පටන් ගනිමු. ප්‍රාදේශීය සභාව සහ සුළු නගර සභා ප්‍රථමික දේශපාලන ආයතනයයි. මෙම ආයතන වලට තරග කරන අපේක්‍ෂකයෝ  මැතිවරණයක් සදහා වියදම් කරන මුදල කොයි තරම් අස්වාභාවික ද යන්න අප හිතා බලමු. වියදම් කරන එම මුදල තම නිල කාලය තුලදී ලැබෙන දිමනාවෙන් පියවා ගන්නට තබා හිතන්න වත් බැරි තරම් වේ. එහෙත් මේ සා මුදල් කන්දරාවක් ආයෝජනය කර බලය සදහා වලි කන්නේ බලය ලැබුනොත් එය ලාභ සමග උපයා ගන්නට නොවේ යයි තර්ක කරන්නේ කවුරුන් විසින්ද ?.
ප්‍රාදේශීය සභා සහ සුළු නගර සභා සිල්ලර කඩ වලට වර්ග කරමු. පලාත් සභාවත් පාර්ලිමේන්තු විමධ්‍යගත මුදල් සහ උඩරට ගැමි පුනරුත්තාපන කොමිසම වැනි ආයතනය න් සංවර්ධන උදෙසා වැය කරන කුඩා පරිමාණ ව්‍යාපෘති සියල්ලම සිදුකරන්නේ මෙම ආයතනයෙනි. මෙම ආයතන දෙකේ ම පූර්ණ බලධාරියා බවට පත් වන්නේ සභාපති වරයාය. සුළු නගර සභාවක නම් නගරාධිපතිවරයාය. මේ ආයතන වලට ලැබෙන සංවර්ධන අරමුදල් , සම්පත් ඉතාමත් විනිවිද භාවයෙන් යුතු ව ටෙන්ඩර මගින් බෙදා ගෙන සංවර්ධන කාර්යයත් ඉටු කරනු ලබන්නේ සභාවේ මංත්‍රීවරුන්ගේ සහ ප්‍රධානියාගේ නියෝජිතයෝ විසිනි . මින් කිසිම ආයෝජනයකින් තොරව 5% සිට 10% දක්වා නොනිල මුදල් සාක්කුවට ගලා එන බව නොරහසකි.

පලාත් සභාවේ අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් ද මීට අනුරූප ක්‍රීයා දාමයක කටයුතු නො කරන බව තහවුරු කල හැකි ද ?.ජාතික තලයේ අමාත්‍යවරු කොයි තරමක් මහජන මුදලක භාර කාරවරුන් වන්නේද?. එතරමින් එම මුදල් හුවමාරු වීමේදී අතරමැදි වන්නේද ?.

පසුගිය පලාත් සභාවට තරග කල අපේක්ෂකයෙකු මැතිවරණය සදහා ලක්ෂත හැත්තෑවක් වියදම් කල බව පෙර සටහනක මීදුම පවසා ඇත. මාසික දීමනා වෙන් මෙම මුදල උපයා ගන්න බැරි නිසා මෙම මැතිතුමා වෙනත් අන්දමකින් එම මුදල උපයා ගන්නට තැත් නො කරන බවට සහතිකයක් ඇතිවිය නො හැක.ඒ සැම්පලයක් පමනි. මෙවරනි උත්තමයෝ ලංකාවේ දේශපාලනයේ තව බොහෝ දෙනෙක් ඇත.

විද්යාර්ථියෙක් , රජයේ මාණ්ඩලික නිලධාරියෙක් අඩුම තරමේ තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබා ගැණීමට අවුරුදු කීයක් ගිණි තැපිය යුතු ද ?. සාමාන්‍ය සේවකයෙක් වැටුප් වර්ධකයක් උදෙසා කෙතරම් කැඹිරිය යුතුද ?. එහෙත් ‍දේශපාලන උත්තමයන් හට අවුරුදු හතරක් පහක් කෙටි නිල කාලය තුල විවෘත වෙළද පොලේ අලවි කර රුපියල් ලක්ස පනහක් පමණ උපයා ගත හැකි තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබා දෙන්නේ අර මුලින් කී නොනිල උපයා ගැණීම් වලට අමතරව ය. මේ තීරු බදු සහනය පලාත් පාලන ආයතන වල ප්‍රධානීන්ට සහ පලාත් සභාවේ සියළුම සාමාජිකයන්ට.ත් පාර්ලිමේන්තුවේ සියළුම සාමාජිකයන්ටත්  ඛේදයකින් තොර ව හිමි වන්නේ ය.

මීදුම වැනි ස්වාධීනව උපයා බදු ගෙවන්නන්ට මෙම කිසිදු වරපු සාදයක් ජීවිත කාලයේම හිමි නොවන අතර වැර වෑයමින් උපයා ගෙන නියමිත වෙලාවට බදු නොගෙව්වොත් දඩ ගෙවන්නත් අධිකරණ ක්‍රියා මාර්ගයනට යටත්ව හිරේ විලංගුවේ ලගින්නත් සිදුවීම අනිවාර්යය. එහෙත් ඒ බදු මුදල් වලින් කරන නාස්තිය ඉවසා ගෙන සිටිය යුතු ය.
කොයි කවුරුත් විවිධාකාර පුචාරක කටයුතු කරමින් ඉහල නගින්නට උත්සාහ කරන්නේ අපි හදන්න මද ? . මේ මැතිවරණ සමයේ දෙපාර්ශවයෙම වැය කරන මුදල් සම්භාරය තක්සේරු කරමු. මුලින් කී අන්දමින් ආදේශ කරමු.
ඉතින් අපි කා වෙනුවෙන් වත් කඩේ යාමට හිතක් පහල කර ගත යුතුද?.

Saturday, January 09, 2010

නාහේ වැරැද්දට මූණ කපා ගමු ද ?.

බල ලෝභයට ප්‍රඥාව නැති බවක් දැන් දැන් වේදිකාවේ පෙනෙන්ට තිබෙනා කාරණාවක් වී ඇත. මේ අධම මිනිසුන් ඔට්ටු අල්ලන්නේ අපේ මව් බිම සමග යයි මිදුම අනන්ත වාරයක් සිතමින් සිටින්නේ ය.


බලය ලබා ගන්නා පිණිස මේ මිනිසුන් නො කියනා දෙයක් නැත. නො දෙනා පොරොන්දුවක් නැත.


දුවිඩ සංධානය පාර්ලිමේන්තුවේ කොටි නියෝජනය කල දේශපාලන අංශය විය. ඔවුන් ඒකීය රටක් සංකල්පය වෙනුවට දෙමළ රාජ්‍යයයක් ඉල්ලා සිටි කඳවුරේ නියෝජිතයෝ වූහ. දුවිඩ සංධානය ජනාධිපතිවරණයේ දී සහය දෙන අපේක්ෂකයා සපුරා ලිය යුතු පොරොන්දු පත්‍රයක් ඔවුන් ඉදිරිපත් කර ඇත. කොතරම් නැහැයි කීවත් කොන්දේසි විරහිතව ඔවුන් සහයෝගය දෙනු ඇතැයි සිතිය ද නො හැක.


එමෙන්ම කොටි සංවිධානය නියෝජනය කරන දුවිඩ සංධානයට එසේ සීමා කොන්දේසි පැණවීමට සදාචාරාත්මක අයිතියක් ඔවුන් ගේ පාර්ශවයෙන් ඇත.


එම පොරොන්දු මෙතෙක් පවත්වා ගෙන ගිය ක්‍රියා දාමයන් ආපසු හරවන තත්වයන් නිර්මාණය කරන්නේ නම් දකුනේ දේශ හිතෛෂි කිසිම පාර්ශවයකට එම යෝජනා පිළිගත හැකි යෝජනා විය නොහැක. අවුරුදු තිහක් තිස්සේ පීඩා විදිමින් පසු ගිය කාල පරාසයේ ජීවිත පූජා වෙන් සහ මහත් ධනස්කන්දයක් වියදම් කරමින් අපි සොයා ගන්නා ලද සාමය දුවිඩ සංධානය හවුල් කාර පාර්ශවයක් විසින් ආපසු නො හරවනු ඇතයි අපට විශ්වාස කල හැකි ද යන්න විමසා බැලිය යුතු කාරණයකි .


දුවිඩ සංධානය ඉදිරිපත් කර ඇති , සරත් ෆොන්සේකා පිළිගෙන ඇතැයි සලකන යෝජනා රටට හිතකර දැයි සිතා ජනාධිපතිවරණයේ ඡන්දය පාවිච්චි කිරීම අද දවසේ අපට බාරදී ඇති කටයුත්තකැයි මීදුම සිතයි.


මාධ්‍ය පල කරන තොරතුරු අනුව ද්‍රවිඩ සංධානය හා එකඟ වී ඇති වරදාන සමහර කොටසක් මීදුම ලඝු කොට පහත සඳහන් කරනු ලැබේ.


1. අධි ආරක්ෂ ක කලාප ඉවත් කිරීම

2. උතුරු නැගණහිර හමුදා සහ පොලිසි අඩු කිරීම

3. උතුර නැගණහිර යළිත් ඒකාබද්ධ කිරීම

4. රජයේ බුද්ධි අංශ අඩු කිරීම

5. 12000ක්වු කොටි සාමාජිකයන් පුනරුත්තාපනයකින් තොර ව නිදහස් කිරීම





මේ කරුණු කාරනා අපට කියන්නේ කුමක් ද ? . අපි යළිත් ප්‍රභාකරන් සිටි තැනට ගෙන යාමක් නොවන බවට අනතුරක අපට පෙනෙන්නේ නැද්ද ?.


මහින්දට පුන පුනා චෝදනා කරනු ලබන්නේ රාජපක්ෂ පවුලේ සමාගම විසින් සියලු ක්‍ෂෙත්‍රයන් තම ග්‍රහණයට ගෙන ඇති බව පමනකි. ඔහුට දුවිඩ සංධානය ඉදිරිපත් කළ යෝජනා බැහැර කල බැවින් ද්‍රවිඩ සංධානය සරත් ෆොන්සේකා සමග සාකච්ඡා කල බව පැවසේ . මෙහි දී මහින්දගේ දේශප්‍රේමි ස්ථාවරය පදවි තන්හාවෙන් බැහැරව තිරණයකට පත්වු බව පෙනේ.


මේ මැතිවරණයේදී අප රටේ ඊ ලග නායකයා තෝරා ගත යුතුය. ඒ නිසා චන්ද පොලට අනිවාර්යෙන්ම යා යුතුයැයි මීදුම සිතයි.


දුෂණය සහ වංචාව දේශපාලන වේදිකාවේ පමනක් රග දක්වක සමයම්‍ක් බව මිදුම අදහස් කරයි. කොයි බෝධි සත්වයාත් ගරන්නට ගිය තැන ගරනවා මිස සිල් ගත් බවක් කිසිම පොතක පලවි තිබු බවක් මීදුමට සිහියට නොනැගේ. හිටපු ඇත්තෝද හත්මුතු පරම්පරාවම මොනයම් ක්‍රමයකින් හෝ ස්වයං පෝෂිත කරගෙන ඇත. එ බැවින් තනතුරු සමග බැදුණු කවුරුත් කර ඇති : කරන්නට බලාපොරොත්තු වන දුෂණය සහ වංචාව ගැන මීදුම මායිම් කරන්නේ නැත.


පතරංග ජාතකය බදු අපේකක ලැයිස්තුවේ ඉදිරියෙන් දුවන්නේ මහින්ද හා සරත්ය.


සරත් උතුරට ගිය විට - උතුර ද්‍රවිඩ ජනයාට දෙයි. දකුණට ආ විට - දකුනේ දේශප්රේමියෙකි. නොරච්චෝලය අසලට ගිය විට නොරච්චෝල ව්‍යාපෘතිය නතර කරයි. රාජ්‍ය සේවකයින් හමු වු විට වැටුප් අසමාන‍ ලෙස වැඩි කරයි. හමුවෙන හැම දෙනා ගේම සිත් ගන්නා අයුරින් හැමට ම මොනවා හරි දෙයි. ඔහු දෙවියෙකි.


මහින්දට හෙන පාත්වේ. හොරා හොරා යයි කියයි. පෝඩා ( පලයන් ) පෝඩා කියයි. ඔහු නම් දුෂිත ව පවුල් සමාගම පමනක් සංවර්ධනය කරන රට සංවර්ධනය ගැන නො සිතන බියකරු යක්ෂයෙකි. වේදිකාව දෙදරන්නේ මෙවන් ප්‍රලාප වලිනි.


නොදන්නා දෙවියන් රටට වඩා කතා කරන්නේ “ තමන්“ ගැන යයි මීදුම සිතයි. දෙන්න පුළුවන් රට නම් ( මව් බිම සහ අම්මා සමාන වටිනාකමක් ඇතැයි කියනු ලැබේ. ) එය දී හෝ තනතුරට පත් විය යුතු යැයි සිතන බවක් පල කරයි.


දන්නා යක්ෂයා බඩ ඉබේම පිරේ යැයි සිතා ගෙන රට ගැන කතා කරයි .

මේ කවුරුන් මොන වරදානයක් දී මඩිය තර කර ගැණීමට උත්සහා දැරුවත් ඒ උත්සහායන් ව්‍යාවර්ථ කිරීම බහුතර ලාංකේය හැගිමක් ඇති චන්ද දායකයන් ට හැකි විය යුතුවේ.

Tuesday, January 05, 2010

ජනාධිපතිවරණය.



මහින්ද තම නිලකාලය තව අවුරුදු දෙකක් ඉදිරියට තිබිය දී  ජන මතය විමසීමේ අරමුණෙන් මැතිවරණයක් කැඳවනු ලැබීය.  මීදුම මෙම ක්‍රියාව දුටුවේ මේ අවස්ථාවේ නොකළ යුත්තක් ලෙසය. අවුරුදු දෙකක් කාලය තිබියදී මැතිවරණ සදහා වියදමක් දැරීම මීදුම අනුමත කල වැයක් නොවීය. පාර්ලිමේන්තු මැතිවරණය නියමිතව තිබෙන බැවින්   ඒ සදහා ජාතික ධනය වියදම් කල යුතු වීම අනිවාර්ය විය. මේ නිසා ජනාධිපතිවරණයක් කැදවිම  බලය අනිසි භාවිතයක් ලෙස මීදුම හදුන්වා දුන්නේය.


රෙද්දෙන් වසනු ලැබුව නිර්පාක්‍ෂික අපේක්‍ෂකයෙකු කරළියට ආවේ මැතිවරණ කතා බහ ජනතාව අතර පැතිර යාමත් සමගය. නිර්පාක්‍ෂික අපේක්‍ෂකයා  මහින්ද වෙව්ලා වැටෙන මාදිළියේ චරිතයක් බව ඒ අතර පැතිර ගියේය. සරත්ලා දෙන්නෙක් මේ කතා බහ අතර සිටි අතර ජෙනරාල් සරත් කරළිය එළිය කල චරිතය බවට අවසානයේදී පත් විය.


මේ වන විට ජෙනරාල් වරයා නිර්පාක්‍ෂික අපේක්‍ෂකයා ලෙස  සාදරයෙන් පිළි ගැණීම ට  මීදුම අදහසක් ඇති කර ගන සිටියේය. ඒ ඔහු හමුදාපති වරයා වශයෙන් සිටි අවදියේත්  යුද්ධය පවතින අවදියේත් කොටි සංවිධානය කෙරෙහි ඔහු දැක්වු ප්‍රතිපත්තිමය  විග්‍රහයන් සහ පුතිචාර නිසා වෙන් සහ ඔහු  පාබල හමුදාවන් මෙහෙයවමින් නායකත්වය දෙමින් කටයුතු කළ ආකාරය ගැන ප්‍රසාදයක් මීදුමට ඇතිව තිබිණි .ඔහු දේශපාලකයෙකු නොවීය. දේශපාලන පක්ෂ‍ සහ එම පක්ෂ මෙහෙයවන නායක කාරක ආදී න් ගැන මීදුමට මහත් අප්‍රසාදයක් ඇත. ඇත්තෙන්ම ඔවුන් “ හක්කේ බුදු රැස්  -බොක්කේ දඩ මස්“ මොඩලයේ   මිනිසුන් ලෙස දශක හතරක පමණ අතීතයක සිට අත්දැකීම් තුලින් ලබා ගත් ආකල්ප  මීදුම ට ඇතිව ඇත. ඒ තුලින් ඇතිවු අප්‍රසාදය ජෙනරාල් වරයා සාදරයෙන් පිලිගැණිමේ උවමනාව දක්වා මීදුම තල්ලු කලේය.





මුල් වටයේදීම   නිර්පාක්‍ෂික අපේක්‍ෂකයා  කලඑලි බැස්සේ  හමුදා ඇදුම ගලවමින් සිවිල් ඇදුමට මාරු වෙන අන්දමින්ම  රාවුෆ් හකීම් ,මනෝ ගනේෂන් , මංගල සමරවීර . ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය සමග ඔවුන්ගේ  සළු පිළි ඇද ගෙන “ නිර්  “ ඇදුම  පසෙක තබා “පාක්‍ෂික “ සළු පිළි වලින් සැරසී ගෙනය. ටිකක් කළකිරුණු හිතින් ඒත් ඉවසුමෙන්  බලා සිටිය යුතුයයි මීදුම තීරණය කලේය. එයට හේතු කාරක වූයේ ජේ.ආර් ගේ අපරාජිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවය.





ජේ.ආර් ගේ ව්‍යවස්ථාව කිසි දා වෙනස් කළ හැකි ව්‍යවස්ථාවක් නොවන බව මීදුම හදුනා ගෙන ඇත. මීදුම මේ සම්බන්ධව කියවා ඇති අන්දම නිවැරදි නම්  පාර්ලිමේන්තුවේ 2/3 අනුමැතියකුත් ජන මත විචාර ණයකුත් මේ වෙනස් කම සදහා අවශ්‍ය වන්නේ ය. ඉතින් මේ ටික මේ කප දී  ලැබෙන්නේ නැති බව අප  කවුරුත් දන්නා දෙයක් ව ඇත.





ජේ.ආර් ගේ ව්‍යවස්ථාව  තුල විධායක ජනාධිපති තනතුරට  ඇති බලතල ඔහු ම විග්‍රහ කලේ “ මෙයින් බැරි ගැහැණියක පිරිමියෙක කරන්නත් -  පිරිමියෙක ගැහැණියක විතරක් බැරි “ තනතුරක් ලෙසටය. මෙම තනතුරට පත්වු කිසිවෙකු තම අභිමතය පරිදි කටයුතු කලා විනා අන් මතයට ඇහුම් දී කටයුතු කල අය සිටියේ නැත. “ දෑළි පිහිය බාබර් අතට පත්වු විට රැවුල කැපුවත් - වදුරා අතට පත් වු විට  ඌ කලේ බෙල්ල කැපීමය “ . වංචාව දූෂණය  සමාජ ව්‍යුහයම ඉහල සිට පහලටම ගිල ගෙන ඇති සමාජයක් පවිත්‍ර වන්නට නිර්පාක්‍ෂික අපේක්‍ෂකයාට  තනතුර ලැබීමෙන් පසු තීරණයක් ගැණිමට ජනතාවට අවංක විය හැකිය . දේශපාලන පක්ෂ වලට ගැති නොවු විට දේශපාලන වේදිකාවෙන් බැස ගිය පසු ජනතා හිතවාදී වන්නට හැකිවෙනු ඇතැයි මීදුම කල් බලමින් සිතුවේය.





අද වන විට  ජෙනරාල් වර සරත් ෆොන්සේකා  මහතා රාවුෆ් හකීම් ,මනෝ ගනේෂන් , මංගල සමරවීර . ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය යන බන්ධනාගාර නිලධාරීන්ගේ අත් අඩංගුවට පත්  හිරකාරයෙක් වී ඇත. ඔහු ඇද බාන්නේ ඔහුත් සමග අපත්  වල පල්ලට යවන  දේශනාය. රටේ පැවති ආරක්ෂක කටයුතු ගැන ඔහු වේදිකාවේ කතා කළ යුතු නැත. ඒ අදීන සමුහ ක්‍රියාදාමය තුළ සිදුවු ක්‍රියාකාරකම් සිදුවුයේ රට වෙනුවෙන් යහපතට මිස අයහපතට නොවන බව ජනතාවගේ පිළිගැණිම බවට පත්ව ඇත.


එක්සත් ජාතික පක්ෂය , මංගල සමරවීර . ජනතා විමුක්ති පෙරමුණ තිස් අවුරුද්දක් රට මුහුණ දුන් කාළකින්නිම ගැට‍ළුවේ දී  සිට ගත්තේ ප්‍රභාකරන්ගේ පැත්තේ සිටය. රාවුෆ් හකීම්ට ,මනෝ ගනේෂන් ට ඒ සම්බන්ධව අයිතියක් ඇතැයි අප සිතමු. එහෙත් එක්සත් ජාතික පක්ෂය ට, මංගල සමරවීරට ඒ සදහා අයිතියක් නැත. ජනතා විමුක්ති පෙරමුණ අයවැයේ දී ආණ්ඩුව අක්‍රීය කරන්නට තැත් කරන තෙක් ජනතාව සමග  සිට මේ වන විට ජනතාව වෙනුවෙන් කරනු ලබන කොන්ත්‍රාත්තුවෙන් බැහැරව වෙනත් පෞද්ගලික ගමනක යෙදී සිටින බවක් මීදුම අප්‍රසාදයෙන් යුතු ව හඳුනා ගෙන ඇත.





දෙපාර්ශවයේ ම  ජනාධිපතිවරණ වේදිකාව අද පිරී ඇත්තේ අවලාද  වලින් මිස ප්‍රතිපත්තිමය සාකච්ඡා වලින් නොවන බව පැහැ දිලිය. මහින්දට එරෙහිව රාජපක්ෂ පවුලේ වර්ධනය  එම පවුල වටා ගෙතෙන ගනුදෙනු සරත් ෆොන්සේකා  වමාරන විට මහින්දගේ වේදිකාවේ සරත් ෆොන්සේකාගේ පවුල වටා ගෙතෙන  ගනුදෙනු දිග ඇරෙන්නේ ය. සුපිරි සිදු චරිතයක් බවට හඳුන්වා දුන් සරත් ෆොන්සේකා  ද අද එකම ගණයේ දූෂිතයන් බව ජනතාව හඳුනා ගෙන ඇත. වේදිකාවේ වෙනසකට ඇත්තේ මහින්ද සරත්ට එරෙහිව අවලාද නොනගන අතර ඒ කටයුත්ත ගෝලයින්ට බාර දීමය. නු පුරුදු කාරයෙක් වු සරත් හිරිකිතයකින් තොර ව එම කටයුත්ත තමුන්ම කිරීමය.





මේ රාවුෆ් හකීම් ,මනෝ ගනේෂන් , මංගල සමරවීර . ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂ නඩයත් සමග වේදිකාවේ එදා වේල සොයන  කතා වලින් අද වන විට   ජෙනරාල් වර සරත් ෆොන්සේකා  මහතාගේ  අනාගත දේශපාලනය ක්‍රියාකාරකම්  පිළිබදව මැවී ඇති චිත්‍රය කෙසේවත් ඒ  මහතා අගය කිරීමට පුමානවත් නැත. 





එතුමාට සැබැවින්ම තිබුණේ නිර්පාක්‍ෂික අපේක්‍ෂකයා  වීමය. එහෙත් අද සිදුව ඇත්තේ දේශපාලන අපේක්ෂකයෙක් වීමය. ඒ මදිවාට ඒ අයගේ පදේට නැටීමය.





 මීදුම ජෙනරාල් වර සරත් ෆොන්සේකා  මහතාට ඉතා ඉහලින්ම ගෞරව කරයි .


ඒ  සමග ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා  මහතා  නො වටිනා පුද්ගලයෙකු බවට පත්වීම ගැන කනගාටු වෙයි.

Sunday, January 03, 2010

ඔබ හැමට සෞභාග්‍යමත් ජීවිතයක්

අපි සැම ජනවාරි 01 දාමත් , සිංහල හින්දු අළුත් අවුරුදු උදාවත්මත් සමග එකිනෙකාට “ සුබ නව වසරකට “ ආසිරි පතන්නට පුරුදු වී සිටින්නෙමු. වසර තිහක ඉතිහාසයේ එවන් පැතුම් පැතුවත් ඒවා පල දරා ගන්නට අපට නොහැකිවිණි.
වසර තිහක් ම අප ඇසුවේ කුරිරු ත්‍රස්ත්‍රවාදයේ බියකරු බෝම්බ හඩය. බසයක ,ගොඩනැගිල්ලක, මායිම් ගම්මානයක පිපිරුණ බෝම්බයක , කිසිදු සම්බනයක් නැති පිරිසක් ඉලක්ක කර ගත් ප්‍රාහාරයක විලාපය නොඇසු දිනක් වසර තිහක් තුල නොවීනි. පාන්දර නිවසින් පිට ව නැවත නිවසට එන තුරු බියෙන් සැකෙන් විසු අපි අද සැහැල්ලුවෙන් ගමනක් බිමනක් රැකියා කටයුත්තක් සදහා ගොස් එන්නට වාසනාව ලබා ඇත්තෙමු.


2009 වසර දක්වා වසර තිහක් අපට වධ වේදනා දුන් අශිෂ්ට පව් කාර මෘග මිනිසා සදහට ම නිහඬ කරමින් වන්නි වන පෙතේ නන්දිකඩාල් කලපුවෙන් අහසට නැගුණු ජයගොස සමග අපි නැවතත් සම්පුදාණුකූල සුබ ප්‍රාර්ථනාවන්ට අර්ථාන්විත බවක් ඇති කරමින් මෙම වසරේ ජනවාරි 01 දා අනාගත බලාපොරොත්තු හිත පුරවා ගෙන “ සුබ නව වසරක් වේවා ! යි සුබ පැතීමට හැකිවීම පමනක්ම භාග්‍යයක් යයි සිතමු.


මෙවන් සිසිලක් අපට උරුම කර දීමට අපේ ලක් මවගේ දහස් ගනනක් විරු දරුවන් ඇස් , අත්, පා අහිමි කර ගනිමින් අප වෙනුවෙන් අසරණ වන්න ඇත. තම ජීවිත ලක් මව වෙනුවෙන් පූජා කරමින් තමන්ගෙන් යැපෙන මව්පියන් අඹු දරුවන් අසරණ කරන්නට ඇත. අප නිදහසේ හදවතේ පුරවා ගන්නා සෑම සුසුමක් ම ඔවුන්ට කරන උපහාරයක් බවට පත් වේවා යයි අපේ ප්‍රාරථනය විය යුතු ය.ඔවුන් අපට උරුම කර දුන්නේ නිදහසයි.


මේ දෙවන ජාතික නිදහස් ගමන නම් එහි පෙර ගමන් කරුවන්ට අපි සදා ණය ගැති වෙමු.


මේ ජනාධිපතිවරණයක් කැදවා ඇති සමයක නොකිය යුතු දේ ඇති වුනත් සිහි කල යුතු දේ සිහි නොකලහොත් ඒ අප ගුණමකුවෝ වන නිසාම දෙවන ජාතික නිදහසේ සටනට නායකත්වය සැලසූ මහින්ද රාජපක්ෂ ජනපතිඳුන්ට අපි අපගේ ප්‍රණාමය පලකරමු. ඒ ඓතිහාසික විමුක්‌ති සටනේ මුදුනෙහිම සිටි ගෝඨාභය රාජපක්ෂයන් සහ ත්‍රිවිධ හමුදාපතිවරුද පොලිසිපතිතුමන් ඇතුළු සියලු සිවිල් බලකායද අපි හද පිරෙන බැති යෙන් සිහි කරමු.


මේ දිනවල අසන්නට ලැබෙන යම් යම් ප්‍රවෘත්ති ගැන සිතන විට අප ලද ජයග්‍රහණයන් වටා එතෙන
අඳුරු වළා සෙවණැලි ගැන සිත් සංකා ඇති වෙයි. අශිෂ්ට පව් කාර රැල මෙහෙයවන ලද සහ බලල් අත් කර ගත් අපරදිගයන් අපගේ උදාර මාතෘභූමිය යළිත් ගොදුරු කරගන්නට තතනන බවක් සිතෙයි.
අපි විමසිල්ලේ සිටිමු.


අප යලිත් අපගේ දෙවන නිදහස්‌ සටනේ විජයග්‍රහණය ආපසු හරවන්ට ඉඩ නොදෙමු.
සිය රුධිරයෙන් ,ලක් මව නැහැවු අපගේ විරු දරුවන්ගේ සහෝදරවරුන්ගේ ඒ අප්‍රමාණ පරිත්‍යගයන් යලි පාවා නොදෙමු.




2010 වසරේ ඔබ හැමට සෞභාග්‍යමත් ජීවිතයක් උදා වේවා!

සෞභාග්‍යමත් වසරක්‌ම වේවා!

අපි සැම ජනවාරි 01 දාමත් , සිංහල හින්දු අළුත් අවුරුදු උදාවත්මත් සමග එකිනෙකාට “ සුබ නව වසරකට “ ආසිරි පතන්නට පුරුදු වී සිටින්නෙමු. වසර තිහක ඉතිහාසයේ එවන් පැතුම් පැතුවත් ඒවා පල දරා ගන්නට අපට නොහැකිවිණි.
වසර තිහක් ම අප ඇසුවේ කුරිරු ත්‍රස්ත්‍රවාදයේ බියකරු බෝම්බ හඩය. බසයක ,ගොඩනැගිල්ලක, මායිම් ගම්මානයක පිපිරුණ බෝම්බයක , කිසිදු සම්බනයක් නැති පිරිසක් ඉලක්ක කර ගත් ප්‍රාහාරයක විලාපය නොඇසු දිනක් වසර තිහක් තුල නොවීනි. පාන්දර නිවසින් පිට ව නැවත නිවසට එන තුරු බියෙන් සැකෙන් විසු අපි අද සැහැල්ලුවෙන් ගමනක් බිමනක් රැකියා කටයුත්තක් සදහා ගොස් එන්නට වාසනාව ලබා ඇත්තෙමු.

2009 වසර දක්වා වසර තිහක් අපට වධ වේදනා දුන් අශිෂ්ට පව් කාර මෘග මිනිසා සදහට ම නිහඬ කරමින් වන්නි වන පෙතේ නන්දිකඩාල් කලපුවෙන් අහසට නැගුණු ජයගොස සමග අපි නැවතත් සම්පුදාණුකූල සුබ ප්‍රාර්ථනාවන්ට අර්ථාන්විත බවක් ඇති කරමින් මෙම වසරේ ජනවාරි 01 දා අනාගත බලාපොරොත්තු හිත පුරවා ගෙන “ සුබ නව වසරක් වේවා ! යි සුබ පැතීමට හැකිවීම පමනක්ම භාග්‍යයක් යයි සිතමු.

මෙවන් සිසිලක් අපට උරුම කර දීමට අපේ ලක් මවගේ දහස් ගනනක් විරු දරුවන් ඇස් , අත්, පා අහිමි කර ගනිමින් අප වෙනුවෙන් අසරණ වන්න ඇත. තම ජීවිත ලක් මව වෙනුවෙන් පූජා කරමින් තමන්ගෙන් යැපෙන මව්පියන් අඹු දරුවන් අසරණ කරන්නට ඇත. අප නිදහසේ හදවතේ පුරවා ගන්නා සෑම සුසුමක් ම ඔවුන්ට කරන උපහාරයක් බවට පත් වේවා යයි අපේ ප්‍රාරථනය විය යුතු ය.ඔවුන් අපට උරුම කර දුන්නේ නිදහසයි.

මේ දෙවන ජාතික නිදහස් ගමන නම් එහි පෙර ගමන් කරුවන්ට අපි සදා ණය ගැති වෙමු.

මේ ජනාධිපතිවරණයක් කැදවා ඇති සමයක නොකිය යුතු දේ ඇති වුනත් සිහි කල යුතු දේ සිහි නොකලහොත් ඒ අප ගුණමකුවෝ වන නිසාම දෙවන ජාතික නිදහසේ සටනට නායකත්වය සැලසූ මහින්ද රාජපක්ෂ ජනපතිඳුන්ට අපි අපගේ ප්‍රණාමය පලකරමු. ඒ ඓතිහාසික විමුක්‌ති සටනේ මුදුනෙහිම සිටි ගෝඨාභය රාජපක්ෂයන් සහ ත්‍රිවිධ හමුදාපතිවරුද පොලිසිපතිතුමන් ඇතුළු සියලු සිවිල් බලකායද අපි හද පිරෙන බැති යෙන් සිහි කරමු.

මේ දිනවල අසන්නට ලැබෙන යම් යම් ප්‍රවෘත්ති ගැන සිතන විට අප ලද ජයග්‍රහණයන් වටා එතෙන
අඳුරු වළා සෙවණැලි ගැන සිත් සංකා ඇති වෙයි. අශිෂ්ට පව් කාර රැල මෙහෙයවන ලද සහ බලල් අත් කර ගත් අපරදිගයන් අපගේ උදාර මාතෘභූමිය යළිත් ගොදුරු කරගන්නට තතනන බවක් සිතෙයි.
අපි විමසිල්ලේ සිටිමු.

අප යලිත් අපගේ දෙවන නිදහස්‌ සටනේ විජයග්‍රහණය ආපසු හරවන්ට ඉඩ නොදෙමු.
සිය රුධිරයෙන් ,ලක් මව නැහැවු අපගේ විරු දරුවන්ගේ සහෝදරවරුන්ගේ ඒ අප්‍රමාණ පරිත්‍රාගයන් යලි පාවා නොදෙමු.


2010 වසරේ ඔබ හැමට සෞභාග්‍යමත් ජීවිතයක් උදා වේවා!