පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Monday, December 28, 2009

රොමානිස් සංශෝධන.

අපේ අසල් වාසියෙක් රොමානිස් . වැඩිහිටියෙක් නිසා කවුරුත් කිව්වේ රොමානිස් අයිය කියලා. සති කීපයක් ආ ගිය අතක් නැතිව හිටිය රොමානිස් අයියගේ මළසිරුර පුංචි වන රොදක් තුල තිබිලා හමු වෙන විට මිය ගොස් දින දෙක තුනක් ගත වෙලා තිබුණා.

මේ වන විට ඔහුගේ වයස අවුරුදු අසූවක් විතර වෙන්න ඇති. අපි දන්න කාලයේ සිට මනුස්සයාගේ ජීවන වෘත්තිය ආණ්ඩුවේ කැලෙන් දර කපා ගෙන ඇවිත් විකුණන එක.
ගමේ තිබුණා කම්හලක් . පිහිය මන්න කැති වගේ උපකරණ හදන. මේ කම්හලේ ලිපට ඕන කරන දර සදහා යොදා ගත්තේ ප්ර දේශයේ තිබුන “මරන් “ කියන ගස් වර්ගය. ප්‍රදේශයෙන් මේ ගස් වර්ගය වද වෙන තුරු ම දර සපයන්න ජීවිත කාලය ම කැප කර රොමානිස් අයියා මියයන වකවානුව වන විට කම්හලත් වැසී ගිහින්.

මුල් කාලයේ කැලේ දර විකුණන්න පුළුවන් වුනත් කාලයක් යන විට දර සොයා ගන්න අපහසු වුනා. ගමේ ජනගහනය පසු ගිය දශක පහේ දස ගුණයකින් විතර වැඩි වුනා. කාලයක් යන විට වැඩි වුන ජනගහනය ට නිවාස ප්‍රශ්නය විසඳන්න ආණ්ඩුවේ කැලෑව වැසියන් අතර බෙදා දුන්නා. නැත්නම් ඉඩම් අනවසරයෙන් අල්ලා ගෙන පැල් කොටයක් අටවා ගෙන පදිංචි වුනා. ගම විසින් ගිල ගත් කැලෑව ජනා වාස වුනේ ඔය විදියටයි.

කැලේ දවසින් දවස අඩු වුනා. අපේ කථානායකයා වන - රොමානිස් අයියට දර සොයා ගන්න බැරි අවස්ථාව ආවාත් ඔහු රස්සාව අත් හැරියේ නෑ. කැලේ ගස් කපලා දර බවට පත් වෙන්න හැරලා ඉන් පස්සේ විකුණන්න පටන් ගත්තා. අන්තිමේ කැලේ නැත්තට ම නැති වුනා. වන සංරක්ෂණ‍ය උදෙසා වගා කර තිබූ වන වගාව ආක්‍රමණය කරලා දරට විකුණා දමමින් පොලිසි උසාවි ගානේ යාමිනුත් මරණය තෙක් ම තම රක්ෂාව නම් අත් හැරියේ ම නැහැ. රජයේ නිලධාරියන්ගන් රැකියාවට පීඩන වැඩි වෙන කොට තාවකාලික රැකියාවකට ගමෙන් බැහැර වුනත් ටික දවසකින් ගමට ආ විට ආයෙත් පරන රස්සාවට බැස්සා.

ඔහුගේ දේශපාලනය හැමදා මත් ප්‍රතිසංස්කරනවාදියි. අප දැනුම් තේරුම් ඇති කාලයේ සිටම තදබල සමසමාජ පාක්කයෙක්. අවුරුදු හත අටකට ඉස්සර සමෘද්ධි සහනාධාර පිළි බද ප්‍රශ්ණයක් ඇතිවී එජාපයට ගිය ඔහු තද බල එජාප වාදියෙක් වුනා. ඔහු ගම් වැසියන් දරන හැම මතයම දැක්කේ එහුතේ කෝණයෙන් වැරදි මතයක් ලෙසයි. ඒ හැම මතයට ම ප්‍රති විරුද්ධ මතවාදයක් ඔහු ට තිබුණා. කැලේ විනාශ කිරීම හැර. ඒ ඔහු ගේ රස්සාව නිසා කරන වැඩේ වැරැද්දක් දුටුවේ නෑ. නිතරම කතා කලේ ගමේ සිදු වන දේවල් ගැන විරුද්ධ මතයක සිට ඔහු සෑහීමකට පත්වෙන මතවාදයක් ගමේ කවදාවත් තිබුණේ නැහැ. පාරක් හැදුවත්, ළිඳක් හැදුවත් ,ජල නල මාර්ගයක් එළුවත්, ඒ වැඩේ කරන අන්දම ගැන වැරදි පැත්තක් තමයි ඔහු දුටුවේ.

මොහු හොද කියවන්නෙක් . දිනපතා ම පුවත් පතක් කොයි තරම් අමාරු කම් මැද්දේ උනත් මිළ දි ගැණීමේ පුරුද්දක් ඔහු ට තිබුණා. කලින් “ඇත්ත , රාවය , දිවයින ,හිරු වගේ විකල්ප පුවත් පත් , පසු කාලයක ලංකාදීපය වැනි පුවත් පත් කියවන බව ගම් වැසියන් නිරීක්ෂණ‍ය කරලා තිබුණා. මේ පුවත්පත අකුරක් නෑරම කියවීම ඔහුගේ පුරුද්ද. මේවායින් ඔහු දැනුවත් වුනා. කේන්ති කාරයෙක් වුන රොමානිස් අයියා සමග වාද විවාදවල පැටලෙන්න නම් කවුරුත් කැමති වුනේ නැහැ.

ජීවිතයේ අවසාන මාස දෙක ටිකක් අවසිහියෙන් වගේ ගත කල ඔහුට ගම්වැසියන්ගේ ආධාර උපකාරයෙන් යැපෙන්න සිද්ධ වුනා. අවසාන කාලයේ දී ඔහු අවසිහියෙන් දේශපාලන මතවාදී තර්ක දොඩවන්න පටන් ගත්තා.
ව්‍යවස්ථාව ගැන අපූරු අර්ථ කථනයක් ඔහුට තිබුණා. එයාගේ මතයේ හැටියට මේ පවත්වන මැතිවරණ ප්‍රමානය ඕනාවටත් වඩා වැඩියි. මේවා ඔක්කොම එක දවසින් තියන්න පුළුවන් මැතිවරණයක් බවට පත් කරන්න ඕනි.

ජනාධිපතිවරණයයි පාර්ලිමේන්තු මැතිවරණයයි එකක් වෙන්න ඕනී. ජනාධිපතිවරණයේ දී දෙවැනි තැනට පත් වෙන එක් කෙනා පාර්ලිමේන්තුවේ අගමැති වෙන්න ඕන. ඇමති මණ්ඩලය වැඩි වුනාට කමක් නෑ. තරග කරන පක්ෂ ලබා ගන්නා ඡන්ද ප්‍රමානය අතර මන්ත්‍රීවරු පත් කරගෙන ඒ අනුව එම අනුපාතයට ම ඇමතිවරු පත් කර ගන්න ඕනී. “ ඇන කොටා ගන්නේ නැතිව බෙදා ගෙන කන්න හොද ක්‍රමයක් “ කියලා තමයි ඔහු ගේ අදහස.

අසල්වාසීන් රොමානිස් අයියගේ ව්‍යවස්ථා සංශෝධනට හිනාවුනත්, අපුරු මතවාදයක් මේ අහිංසක මනුස්සයා අවසිහියෙන් වුනත් කියවන්නේ කියලා මට හිතුණා.

මීදුම මේ අහිංසක ව්‍යවස්ථා යෝජකයාට නිවන් සුව ප්‍රර්ථනය කරනවා.

( සත්‍ය සිද්ධියකි.)

6 comments:

Anonymous said...

මටත් පිස්සු නිසා මෙහෙම හිතෙනවාද මන්දා, මට රොමානිස් තියරියේ අඩුපාඩුවක් පේන්නේ නෑ.. මොකද්ද ඒකේ ඇති වැරැද්ද?
කොහොම උනත්, රොමානිස් මාමාට නිවන් සුව !!!!

sanjeew said...

රොමානිස් මාමාට නිවන් සුව ලැබේවායි පතමි, ව්‍යවස්ථාවනම් මට නොතේරේ

Bandula - බන්දුල said...

මීදුම මාමේ, මටත් 'අවසිහියද' කියල හිතුනා.
http://mynotion-bandula.blogspot.com/2009/12/blog-post.html

දුකා said...

ඇත්තෙන්ම ඒ රොමානිස් මාමගේ ව්‍යවස්තා සශෝධනය නම් ගොඩක් හොඳ එකක් වගේ මටත් හිතෙන්නේ

සිංහ said...

අද අපේ රටට රොමානිස් අය්යා වැනි 'අවසිහියෙන්' ලෝකය දකින අය ගොඩක්ම උවමනයි... කවුරු හෝ කරන හැම දෙයකම අව පක්ෂය ගැනම හිතන එක හොඳ නැතිවුනත් වැ‍රැද්දක් යයි තමාට හැ‍ඟෙන දෙයක් දු‍ටු තැන එය වැරදි බව ප්‍රසිද්ධියේ කීමට සහ තම හෘද සාක්ෂියට එකඟ නම් මුලු සමාජයම වැරදි ලෙස දකින දෙයක් වුනත්නොබියව, නොපැකිලී දිගටම කරගෙන යාමට තරම් ආත්ම ශක්තියක්, නිර්භීත කමක් සහ අවංක කමක් ඇති රොමානිස් අය්යා වැනි අය විරළ වීම අද අපේ සමාජය තුල දක්නට ඇති ලොකුම ඛේදවාචකය බව මගේ හැඟීමයි. මට කියන්න තියෙන්නෙ රොමානිස් අය්යට නිවන් දකින්න ඉස්සරල තව එක පාරක් මේ පැත්තෙ ඇවිත් යන්න පුලුවන් නම් හොඳයි කියලයි.

Udantha said...

නිහප අදහස . ගෙම් අපි ෙනාදන්න ෙරාමානිස් ගැ න කීව ෙද්වල් අපි දැනහිටිෙයත් නැෙන්.