Sunday, September 06, 2009

සුන්දරව නොවු මරණයද සුන්දරයි.

මිතුරන් ඇති කරගන්න නම් පලමුව තමන් හොද මිතුරෙකු විය යුතු යැයි කියමනක් ඇති බව මම අසා ඇත්තෙමි. මේ කියමන සිහිවී එක් සිද්ධිමය වටිනාකමක් අසල මම නතර වුනෙමි. මට ඥාතිවරයෙකුගේ අකල් ජීවිත සමාප්තියකට සහභාගි වන්න සිදුවිය. ඔහු සිගිති පුතාත් ආදරණිය බිරින්දෑත් සදාකාලිකවම අතහැර ගිය ඒ ශෝකා කූල ගමනේදී සැබැ මිත්‍රයෙකුයැයි තහවුරු කල සාධකයන් ජීවමාන වන්නට විය.

ඔහුට මා වැඩිහිටි ඥාතිවරයෙකු පමනක්ම විය. කලාතුරකින් මුණ ගැසුන අපි වැඩිහිටි පවුර විසින් දෙපසට වෙන් කල චරිත බවට පත් කර තිබිණි. එහෙයින් දෝ අප අතර විශේෂවු සම්බන්ධතාවයක් ඇතිවී තිබුනේ නැත.මට අවසන් වරට ඔහු හමුවු දවස සිහිපත් විය. ඔහු ඥාතීයෙකුගේ විවාහ මංගල්‍ය උත්සවයක තම බිරින්දෑත් සමග සහභාගීවී සතුටු සාදයක අපුරු රංගනයක සහ ගායනයක යෙදෙමින් සිට කවුරුත් අතර ප්‍රසාදයට පත්විය.එදා මගෙන් සමුගත් ඔහුගේ දෙවුර බදා තෙරුවන් සරන පතා ආශිර්වාද කලා මට සිහිපත් විය. ඉන්පසුව මා ඔහු මුණ ගැසෙන විට අනතුරකට ලක්ව රෝහලේදී තම ජීවිතය අතහැර ගොස් සිටියාය. සමීප ඥාතීන් කම්පිතව හා අසරනව සිටි ඒ මොහොතේ සිටම මෙතෙක් හදුනා නොගත් ඔහුගේ ජිවිතය හදුනා ගැනීමේ අවස්ථාව මට නිර්මාණය විය.

මහා විශාල ධනවතෙකු හෝ සමාජයේ ඉහල තලයක වැජඹෙන වෘත්තියක් නොකල ඔහු වැවිලි සමාගමක ඉඩම් වාහනයක රියදුරෙකු ලෙස සුළු යයි සිතන රැකියාවක නිරතවිය. ඔහු තවමත් තමන්ට කියා නිවසක් ඉදිකරගන්නවත් නොසිතූ සිතන්නට බැරි ජීවන අරගලයක නිරත වෙමින් වතු සමාගම සැපයූ නිවාසයක තාවකාලික පදිංචිකරුවෙකු විය.තවත් ඔහුගේ ජීවන අරගලය පැහැදිලි කල යුතු නැත. ඔහු සමාජයේ ධන සිට සෲණ දක්වාවු පරපුරකට හිමිකම් කීවත් පම්පෝරියකින් තොරව ජීවත්වු බව නම් මට ඔහුගේ අසල්වාසීන්ගේ මත වාද තහවුරු කලාය.

මේ පුංචි මිනිසාගේ අකල් සමුගැන්මේ පුවත ඇසු වතුකරයේ ද්‍රවිඩ ජනතාවද ,සියළු තරාතිරමේ සිංහල ගම්වාසීන්ද විවිධ ආගම්වල ආගමික පුජකවරුද පාසල් සිසු සිසුවියන්ද විටින් විට පැමිණ අජීවි ඔහුට ආචාර කරමින් ශෝකාකූලව මුමුනමින් ඔහුගෙන් සමුගත්තේය. දෙදහසක් පමන ජන ගගක් දෙදිනක් තුල රැස් කර ගැනීමට මේ පුංචි මිනිසාට තිබුන ශක්තිමත් බවේ හේතු පාදකත් ඔහුගේ ආකර්ෂනයත් සොයමින් මම මේ අතරටවී කම්පිත මනසින් යුතුව බලා සිටියේය. දරුවාගේ සහ සහ අසරනවු තරුන බිරිදගේ අවිනිශ්චිතවු අනාගතය ගැන සිතනා විට තව තවත් සිත පීඩාවට පත් කලේය.

ඔහු අනේක විධ ජීවන දුෂ්කරතා මැද උවද , ජීවත්වු සමාජය තුල සිනහවත් සුන්දර කතාවත් අතහැර දමා නොතිබිණි. කිසිදා ‘නැත’ යන්නත් ‘බැහැ’ යන්නත් ජිවිතයට ආදේශ කරගෙන නොතිබුන මේ පුංචි මිනිසා හට අයදුම් කල පුංචි උදව්වක්වත් කිසිදා බැහැර කරන්නට සිතක් නොතිබිණි. මේ ගුණාංගයන් ජීවත්වු පරිසරයේ ඔහු මහා විශාල මිනිහෙකු බවට ඔහු පත්කර තිබෙන බව මම ගලන ජන ගග දෙස බලමින් තේරුම් ගත් කාරනාවක් විය.

මිනිසෙකු මසුරු කමින් ජීවිත කාලයක් රැස් කළ මහා මුදල් සම්භාරයකට නොකලහැකි බොහෝ දේ ඔහුට මරණයෙන් පසුවත් කලහැකිව තිබිණි. මරණය ප්‍රදේශයම කම්පා කල පුවතක්ව දෙනෝ දහසක් ජනයා ඔහු අබියස කිසියම් ප්‍රාර්ථනයක නිරතවී “මොහු නැවත අප අතරට පැමිනේවා”යි ප්‍රාර්ථනා කලාද විය හැක.

ඔහු හොද මිතුරෙකුව සිට බොහෝ මිතුරන් එක් රැස්කර ගෙන සිටි බැවින්දෝ අකල් සමුගැන්මෙන් අසරනවු බිරිදට හා දරුවාට පිලිසරනක් නිර්මානය කරදෙන්නට බලකරනා පසුබිමක් ඔහුගේ මරණයෙන් පසුව උපත ලබා සිටියේය.ඔහු ගේ සේවාදායකයා ඔහු ගෙන් වෙන්ව යන්නට නොහැකි යුතුකමක් තිබු බැවින්දෝ දරුවාට සහ බිරිදට රැකවරනය සැලසීමට රැකියාවක් සහ රාජකාරි නිවස පැවරීමෙන් තහවුරු විය.
මුදල් පමනක් අගයන සමාජයක මේ අපුරු මිනිසා ලබා තිබු සමාජ වටිනාකම් මිළ මුදලින් නම් කවදා වත් උපයා ගත නොහැකි බව මට ඉන්පසු පසක් වු කාරනාවක් විය.සුන්දර නොවු මරණයද සුන්දරවු මිනිසුන්ගේ මරණයෙන් මතුවද සුන්දර වන බව සටහන් වන්නේ එබැවිනි.

1 comment:

ඉන්දික said...

ඔබතුමා පවසන සත්‍යය මා හට ද සියක් වර පසක් වූවකි(..මාගේ රැකියාව අනුව මා දක්නා දේවල්...)