Wednesday, August 05, 2009

ජංගම දුරකතන වාරනය කැකිල්ලේ තීන්දුවක්ද ?.

පසුගිය සතිය ‍ජංගම දුරකතන වලට සහ චිත්‍රපටිවලට අසුබ වූ සතියක්. ‍ජංගම දුරකතනය සිසුවියක් අකැප අන්දමින් භාවිතයට ගිහින් සිය දිවි නසා ගෙන. ජනාධිපතිතුමා ක්‍ෂනික තීන්දුවකට පැමිණ පාසල්වල දුරකතන භාවිතය තහනම් කරලා.මීදුමට හිතුනේ පාසල්වල පොත් පත් සහ අධ්‍යෘපන උපකරණ හැරෙන්නට අනෙක් දේවල් තහනම් කරන්න ජනාධිපතිතුමාම ඕනිද ? කියන පර්‍ශ්නයයි.
පාසල් වල පරිපාලනයක් තියෙනවා. විදුහල්පති වරු ඉන්නවා . මෙයාලට පුළුවන්නේ පාසල් කාලය තුල අනවශ්‍ය දේවල් පාසලට වැද්දගන්නේ නැතිව ඉන්න. දැන් දැන් විදුහල්පතිකමත් රටේ ජනාධිපතිතුමාට කරන්න වෙලා.

අම්මලා තාත්තලත් අනවශ්‍ය දෑ දරුවන්ට අරගෙන දෙන්න යන්නත් හොද නෑ. විවෘත ආර්ථිකය , ලෝකය එකම ගම්මානයක් වීම අපේ රට බදා ගත්තේ රටේ දියුණුවට සාපේක්ෂතව නෙමෙයි.ආනයනික භාණ්ඩ මත යැපෙන අපි නිෂ්පාදනය කරන රටවලටත් පෙර ඒ භාණ්ඩ භාවිතයට ගන්නනවා. හරියට වලංකඩේට ගොනා පැන්න වගේ ඉවක් බවක් නැතිව වේගයෙන්.අපට ලැබුන අළුත් තාක්ෂණය පරිහරණය කරන්නේ අවශ්‍යවතාවයන්ට ඔබ්බට ගිහින්.

අපි භාවිතා කරන ජංගම දුරකතනවල පහසුකම් තියෙන්නේ සන්නිවේදණයට විතරක් නෙමෙයි.පරිගණකයක තරම් පහසුකම් ‍ජංගම දුරකතනවල තියෙනවා. අම්මලා තාත්තලා ලමයින්ට අරන් දෙන්නෙත් පහසුකම් වැඩි ‍ජංගම දුරකතන. ඉතින් ඒවයින් අන්තර් ජාලයේ සැරිසරනවා .පින්තූර ගන්නවා. මේවයින් යොවුන් වියේ දරුවන් මනස තුල පිලිසිදින කුතුහලය සොයා ගෙන යනවා.මග වරද්දා ගෙන ලමයින් නොමග යනවා. වැරැද්ද කරලා තියෙන්නේ අම්මලා තාත්තලා.
දරුවන් ගෙදරින් පාසල් ගිය පසු සම්බන්දතාවය තියාගන්නනම් ප්‍රාථමික පහසුකම් ඇති ‍ජංගම දුරකතනයක් තිබුනත් ඇති කියන අදහස අම්මලා තාත්තලාට නැහැ. තමන්ගේ වත්කම පෙන්නන උපකරනයක් බවටත් ‍ විලාසිතාවක් බවටත් ජංගම දුරකතනය පත් වෙලා.

දරුවොත් අධ්‍යාපන ධාවන තරගෙක ඉන්නේ. පාසල් කාලයෙන් පස්සේ අතිරේක පන්ති වල.උදේ නිවසින් ගිය දරුවෝ නැවත නිවසට එන්නේ හැන්දැවෙන කොට. මේ අතර කාලය දෙමව්පියෝ දරුවන් ගැන සොයා බලන්නේ දරුවන්ට අරන් දෙන ‍ජංගම දුරකතනයෙන්. එහෙම බලාපුවම ‍ දරුවන් ලග තියෙන ජංගම දුරකතනවල වැදගත් කමක් තියෙනවා.ඉන් ඔබ්බට යනවනම් සොයා බලන්න දෙමව්පියෝ දැනුවත් වෙලා ඉන්නත් ඕනී.

දිවි නසා ගත් සිසුවිය තමා පත්වුන ලජ්ජාව නිසා නැවත පාසල් සමාජයට දෙමව්පියනට මුණ දිමට ඇති බිය හේතු කරගෙන මේ අනතුර කරගන්න ඇති. ගුරුවරු යොවුන් වියේ දරුවන් සමග ඇතිවන මෙවැනි ගැටළු සහගත අවස්ථාවලදී කටයුතු කලයුතු ක්‍රමවේදයන් අනුගමනය නොකිරීමත් අනතුරට හේතුවක්.දරුවන් අවමානයටත් ඉච්චාභඃගත්වයටත් පත්වෙන අයුරින් දඩුවම් කිරීම මෙවැනි අවස්ථා නිර්මානය කර ගැනීමක්.
පසුගිය සති දෙක තුනක අධ්‍යාපන ක්ෂෙත්‍රයට අදාලව පුවත් පත්වල පලවු ප්‍රවෘත්ති ගුරු භවතුන්ගේ ක්‍රියාකලාපයන් ඔවුන් තම වෘත්තියේ නිපුනත්වයක් නොමැති බව පල කරන නිදසුන් බවට පත් වෙලා. ගුරුවරුන් දවස ගෙවන්නේ දරුවන් එක්ක.පොතෙන් විතරක් අකුරු කරන්න විතරක් විභාග පාස් කරලා ලේබල් එල්ලා ගත්තට මදි.දරුවන් තේරුම් ගන්නත් ඉගන ගෙන ඉන්න ඕනී.

No comments: