Tuesday, July 07, 2009

දුකාගේ ටීචර්.

Commends වලට එන්නේ නැතිව මීදුමෙන් ඌණ පූරණයක් කලාට දුකා මාත් එක්ක අමනාප වෙන එකක් නැහැ කියලා හිතනවා. "පුතාට නිතර ටීචර් පහර දෙන නිසා පාසලින් අස් කරගත්තාට පසුව වෙනත් පාසලකට භාරනොගත් නිසා සිත් තැවුලට පත් පියා වස පානය කර මිය යයි - පුවතක් . . . !"
මේ පුවත ඔස්සේ ජූලි 5 වෙනි ඉරිදා දුකාගේ සිත අවදිවනවා. මේ පුංවි රටේ ජවිපේ භීෂණ සමයේ ඇඹිලිපිටියේ ජාතික පාසලේ සිටි මිණීමරු ගලප්පත්ති වගේ විදුහල්පතිවරු වගේම අනන්තවත් දුකාගේ වීර ගුරු මාතාව වගේ ගුරුවරු ජීවත්ව ඉන්නවා. මේ පියාත් ආත්මශක්තියක් ඇත්තෙක් නෙමෙයි.පුතාට ප්‍රශ්න ගොඩක් ඉතිරි කරලා ජීවිතයෙන් පලා ගිහින් . එහෙම තාත්තෙක් ඉන්නවට වඩා නැති එක පුතාගේ දිරිය වැඩීමට යහපත්.ටීචර් නම් උගන්නන්න දන්නේ නැති .පොලිසියට හරි බන්ධනාගාර දෙපාර්මේන්තුවේ රැකියාවකට සුදුසු පිස්සු හටනක් වෙන්න ඇති.
දුකාගේ ආවර්ජනය එක්කම මමත් ආයෙත් පාසල් ගියා. අපිට වීජ ගණිතය ජ්‍යාමිතිය උගන්නපු ප්‍රේමවර්ධන සර් , රසායන විද්‍යාව විජ්ජාවක් වගේ කියාදුන්න වීරසිංහ සර්, භෞතික විද්‍යාව කල් කදුරු තිත්ත කසායක් වගේ පෙව්ව සුගතදාස සර් , තාමත් අපේ දෙවි වරු.මට මතකයි එක දවසක සුගතදාස සර් “ඩස්ටර් එක” මගේ අතට දීලා පීඩනය වැඩිකරන්න කියපුවම අත ලිහිල් කරලා - පීඩනය අඩු කරන්න කියපුවම අත තදින් උන්ඩි කරපුවම ජාතක පොත් වහන්සේ විතර දිග පලල “වයිට්ලි ගේ භෞතික විද්‍යාව’ පොත මගේ ඔළුවට පියාසර කරවපු හැටි.ඒත් සර් තාමත් මගේ දෙවියෝ.අපිට ගුරුවරුන් ගැන හිතන්න පුළුවන් චින්තනයක් තිබුනා පුංචි කාලෙදිත්. අම්ම තාත්තා වගේම ගුරුවරුත් අපිට යහ මග පෙන්වනවා කියන සිතිවිල්ල දුකාටත් තියෙන්න ඇති.

හැත්තෑවේ දශකයට පෙර ගුරුවරු පාසලට ආවේ උගන්වන්න ඉගෙන ගෙන. ගුරු විද්යා ලවල පුහුණුවන කාලේ ගණිතය විතරක් නෙමෙයි නැටුම් සංගීතයත් එක්ක විෂයයන් ගණනාවක් හදාරා තමයි පත්වීම ලබා ගන්නේ. මේ අය ඕනෑම දේකට ඔට්ටුයි. දක්‍ෂයි. ඕනෑම විෂයයක් නිවරදිව ඉගැන්නුවා.මේ අය උගන්වන හැටිත් ප්‍රවීනයන් ගෙන් හදාරා ගෙනයි පත්වීම ගත්තේ. උසස් පෙල පන්ති වලදී තමයි අපට විශ්ව විද්යාාල උගතුන් මුණ ගැහෙන්නේ මෙයාලත් විෂයය නිර්දේශයට විතරක් යට වුන ගුරුවරුන් නෙමෙයි. වර්තමානයේ වගේ බ්‍රොයිලර් පන්නයේ උපාධි ධාරීන් එකල බිහිවුනේ නැහැ.මේ හැම කෙනාම උගන්නවාට අමතරව දරුවන් ගැන හොයා බලන්නත් කාලය යොදාගත්තා.අපි ගෙදර අම්මලා තාත්තලාගෙන් නිදහස් වෙලා පාසලට ආවේ පාසලේ අම්මලා තාත්තලාගේ තුරුලට.මේ ගුරු මව් පියවරුන්ගෙන් අද ඉන්නේ 1970 තරම් කාලයේ පත්වීම් දල සුළු පිරිසක් විතරයි අනෙක් ඇත්තෝ සේවයෙන් විශ්‍රාම අරගෙන.
සාහිත්‍ය - කලාව කන්නද? අහපු උත්තමයෝ අපේ ජන සමාජයේම මොළ සෝදලා යාන්ත්රීමකරනය කලා. අපි ඒ කාලේ වාර අවසන් වෙන කොට පුංචි උනත් හොද කලා සන්දර්ශණයක් තියලා නිවාඩු කාලේට ගෙදර ගියේ අප්‍රමාන සතුටෙන් .පසු කාලේ ජාතික මට්ටමේ නාටය උලෙලවල් වල ආන්දෝලාත්මක නාටය බිහිවුනේ මේ පුංචි එවුන්ගෙන්.මේවා ගුරු ගෝල සම්බන්ධතා ගොඩනගාපු වයාපෘති.අහල තියෙනවද හොරණ විදයාරත්නයේ “සුදු ඇතා ආවට පස්සේ” “ආඩි ටිකයි අම්බලමයි”. තක්ෂිලාවේ “අල කලංචිය” පැල්මඩුල්ල මධය මහා විදයා ලයේ “ නරි උගුල” .‍‍මේවයින් බිහිවුන අය තමයි ධර්මසිරි බණ්ඩාරනායක, ජනක ප්‍රේමලාල් ,ලාල් කුලරත්න නිශ්සංක දික්දෙනිය වගේ අය තවත් නම් තියෙනවා. අද පාසල් වල ඒ වගේ වැඩ බාහිර වැඩ වෙලා. අවුරුද්ද අවසන් වෙන්න කලින් විෂයය නිර්දේශය කොටල හරි පොවන්න තමයි අම්මලා තාත්තලයි ටියුෂන් මාස්ටරුයි උත්සහා කරන්නේ.වර්තමානයේ ගුරුවරයායි සිසුවනු අතර තියෙන්නේ වෟත්තීය බැදීමක් විතරයි.වැටුපට කරන කාර්යභාරයක් වෙලා ඉගැන්වීම.සල්ලි නැත්නම් අද මොනවත් කරගන්න බැරි සමාජයක් බිහි වෙලා ඒකට තමයි ධාර්මිෂ්ඨ සමාජය කියන්නේ.
ගුරුවරුන් බදවා ගැණිමේත් සීමා මායිම් නැහැ. ඉස්සර ගුරු අභ්‍යාස විද්‍යාල වලට ඇතුලත් වීමේදී ප්‍රවේශ විභාගයක් තිබුනා. සුදුසු අය ගුරු අභ්‍යාස විද්‍යාල වලට ගිහින් ඉගන ගෙන ඇවිත් ඉගැන්නුවා.විභාගයකින් සිසු ගුරුවරුන් ලෙස බදවා ගෙන ගුරු අභ්‍යාස විද්‍යාලවලට ඇතුලත් කර ගෙන පුහුණු කරපු කොටසින් පස්සේ විධිමත් පරිපාටියක් ගුරුවරුන් බදවා ගැණිමට තිබුනේ නැහැ.1970දී සිරිමාවෝ රජයේ මැති ඇමතිවරු දිගට හරහට ගුරු පත්වීම් දුන්නා. ගෙදරට පණිවිඩ යවලා ගෙන්නා ගෙන. නුපුහුනු ගුරුවරුන් ලෙස. Job bank කියලා ඉලව්වක් අටවගෙන 1977 පස්සේ ගුරු පත්වීම් ඇතුළු රාජ්‍ය සේවයේ පත්වීම් කලා “නැති බැරි අය ඇති හැකි අය” කල යුගයේ 25000 ක් ජන සවිය පදනම් කරගෙන ගුරු පත්වීම් දුන්නා. අධ්‍යාපන සුදුසුකම නොසලකමින්.වන්ද්‍රිකාකා යුගයේ උපාධිධාරීන් 25000ක් බදවා ගත්තා. ඌව සහ මධ්‍යමපලාත් පාසල් වල ඉන්නවා විජමු සහ එස්.බී. බදවා ගත් පිරිසක්. මේ අයත් ගුරුවරු. ඒත් ගුරු සහයක කියනවා.මේ කවුරුවත් උගන්නන්න ඉගන ගත්ත අය නෙමෙයි. මේ වකවානුව වන විට ගුරු අභ්‍යාස විද්යාල වසා දමලා. ඉතින් පුළුවන්ද ලමයින්ට උගන්නන් දන්නා පිරිසක් පාසලට එවන්න. ඒ වෙනුවට උසස් පෙල සමත් සීමිත පිරිසක් විද්යාපීඨ වලට බදවා ගෙනගුරු ක්‍ෂෙත්‍රයට මුදා හරිනවා. ඒ ගුරුවරයෙකුයි මේ ඉහතින් කියාපු වෟත්තීය නුපුහුනු ගුරුවරයෙකුගෙයි ඉගැන්වීමේ පන්නරය අහසට පොලොව වගෙයි.උපාධිධාරී ගුරුවරු උගන්වන්න ඉගන ගන්නේ දරුවන්ගෙන් . විෂයය දැනීම විතරක් තිබුනට උගන්නන්න බැහැ.පසුව අධ්‍යාපන ඩිප්ලෝමාව කරනවා වෘත්තීය සුදුසුකම ලබා ගන්න. ඒක නැත්නම් වැටුප් එක තැන නතර වන නිසා.ඉතින්මේ අය අතර යකා ආවේශ වන ආදරය කරුනාව ඉගනගෙන වත් නැති නුපුහුනු, අත්දැකීම් නැති , රක්ෂවට පමනක් පාසලට එන අය දාහකට එකක් විතර ඉන්න පුළුවන්.
මම වියමන් කලේ කාරනා දෙකක් විතරයි.දුකාගේ වියමනෙන් මතුවුන කාරනා බොහොමයි. මට වියමන් කරන්න ඉදිරියේදි මාතෘකා රැසක් ඉතිරි වෙලා තියෙනවා. දුකාත් සිහිපත් කරමින් ඒවාට පිවිසෙන්න මම හිතනවා මතු දිනක.

6 comments:

දුක්ගන්නාරාළ said...

"Camments වලට එන්නේ නැතිව මීදුමෙන් ඌණ පූරණයක් කලාට දුකා මාත් එක්ක අමනාප වෙන එකක් නැහැ කියලා හිතනවා." අනිවාර්යයෙන්ම නැහැ මහත්මයා . . . මට බොහෝම සංතෝෂයි ඒකට. . . ඒ වගේම හරිම හරවත් ඔබතුමාගේ ලිපිය . . . අනාගතයේදී ගුරු වෘත්තියට එක් වෙන්න සිහින මවන කිසිවෙක් ඔබේ ලිපිය බැලුවොත් ඔහු හෝ ඇයට ගුරු වෘත්තිය මුදල් උපයන තවත් මාර්ගයක් නොව රටක් . . . අනාගතයක් නිර්මාණය කරන්න තමන්ගේ දායකත්වය ලබා දී ආත්ම තෘප්තිය ලබන්න පුලුවන් යහපත් සමාජ මෙහෙවරක් කියන හැගීමෙන් ගුරු වෘත්තියට එක්වෙන්න හැකිවේවි කියන එක මට නම් හොදටම විශ්වාසයි . . .

දුක්ගන්නාරාළ said...

"මේ හැම කෙනාම උගන්නවාට අමතරව දරුවන් ගැන හොයා බලන්නත් කාලය යොදාගත්තා" මට තාම මතකයි අපට ඉංග්‍රීසි උගන්වපු ගුරුවරියක් ජපානයේ සාම්ප්‍රදායික ඇදුම වූ කිමෝනාව ගැන පාඩමක් උගැන්වීමේදී ඇය පුද්ගලික මුදලින් කිමෝනාවක් අරගෙන හෝ මස්සවා පාසැලට ගෙනත් එය අපට බලන්න දී එය අදින ආකාරය පවා ප්‍රයෝගිකව පෙන්වා දුන්නා . . මෙවැනි ගුරු මෑණිවරුන් පියවරුන් නිසා තමයි අප නිර්මාණශීලී යමක් කිරීමට ආභාෂය ලැබුවේ . . . රසවින්දය ඉගෙන ගත්තේ . . . ඒකයි අදටත් නින්දට පෙර මෛත්‍රී භාවනාව කරත්දී ඔවුන්ට නිරෝගී සුව පතන්නේ . . .

දුක්ගන්නාරාළ said...

"මම වියමන් කලේ කාරනා දෙකක් විතරයි.දුකාගේ වියමනෙන් මතුවුන කාරනා බොහොමයි. මට වියමන් කරන්න ඉදිරියේදි මාතෘකා රැසක් ඉතිරි වෙලා තියෙනවා. දුකාත් සිහිපත් කරමින් ඒවාට පිවිසෙන්න මම හිතනවා මතු දිනක"

ඔබ තුමාගේ ඉතිරි වියමන් ටිකත් හැකි ඉක්මනින් කරන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා . . ඒ වගේම ඒවා එනතුරු නොඉවසිල්ලෙන් බලා ඉන්නවා. . .

malee_msg said...

මේ ලිපියත් අනර්ඝයි..! මම ඔබතුමා පෙන්වා දෙන ‍කරුණුත් එක්ක හොදටම එකග වෙනවා.. මොකද අපි වැඩිපුර ඉගන ගත්තේ ඉගෙන ගත්තට උගන්නන්න දන්නේ නැති ගුරුවරුන්?ගෙන්.. එයින් වුනේ අපි පබගාල් වල පැටළුනු එක විතරයි!

änthräX said...

සම්පූර්ණයෙන්ම එකග වෙන්න පුලුවන් කතාවක්. අපේ ගුරුතුමෙක් හිටිය "මාගලක් වගේ syllabus එකක් තියෙන්නෙ, ඉක්මනට ඉවර කරන්න ඕනා" කියල අත මිටි කරලා පෙන්නන. මම හිතන්නෙ මනුස්සයට දෑනටත් මාගල ගෑන අවබෝධයක් නෑ.

තමන්ගෙ විශය ධාරාවෙ කෙල පෑමින සිටියත් එක තව කෙනෙකුට දෙන හෑටි දන්නෑත්තම් වෑඩක් නෑ නේද?
ඒත් එක්කම උගන්නන්න දන්න, ඒ වෑඩේ කෑපවීමෙන් කරපු (කරන) අයත් ඉන්නවා කියලා අමතක කරන්නත් හොද නෑ.ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ අද කාලෙ බොහෝ දෙනා ගුරුවරු වෙන්නෙ වෙන කරන්න දෙයක් නෑතුව ගියාමනෙ.

ebookfree said...

මට කියන්න වචන නැහැ. ඔබගේ පැහැදිලි කිරීම ඉතා අනර්ඝයි. මේ ටික අපේ අධ්‍යාපනයේ ඉහල පුටුවලට තේරෙනවානම්?