Sunday, November 16, 2008

Keeping the mind as a fortified city

තානායමේ උත්සව ශාලාවේ කෙලවරේ වාඩිවුනා. අසබඩින් ගලා යන ගගට මුහුනලාගෙන. කොතෙක් කාලයක සිට මම මෙතන වරින් වර වාඩිවෙලා විවාහ උත්සව සදහා සහභාගීවන්න ඇද්ද කියලා මටම මතක නැති තරම්.
මිතුරන්ගේ ඤාතීන්ගේ පසු කාලයේ ඔවුන්ගේ දූ දරුවන්ගේ.....

මට මගේ කල්පනාවන් මෑතක සහභාගීවුන විවාහ උත්සවයක මතක අවධි කරන්න සමත් වුනා . විශාල ඤාති හිතවතුන් පිරිසක් මැද ගෙවුන සම්භාවනීය දවස ගෙවී ගොස් තවම මාස තිහක්වත්නැහැ.
තරුන යුවලගේ විවාහය අද වනවිට විශාල අර්බූදයක් බවට පත්වෙලා .. වසර හය හතක ආදර කතාවක් විවාහයෙන් පසුව මාස තිහක් ගතවෙන විට අර්බූදයක් වීම අරුමයක් . පුංවි පුතාට මාස අටයි.
දරුවාගේ ආගමනයෙන් පසු අම්මා තාත්තට ඉස්සර වගේ ආදරේ නැහැ. තාත්තා කියන්නේ එහෙමයි.
අම්මා අඩා හැලෙනවා . එයා මටත් දරුවටත් ආදරේ නැහැ කියලා. දැන් දෙන්නා දෙපලේ. දරුවා අම්මා ලග. තාත්තා බෝඩිමක.ගෙදර එන්නේ නෑ. දෙන්නාම එකතු කර ගත්ත සල්ලිවලින් හදන්න හදපු ගේ වහල දක්වා ගොඩනගලා අතරමග නතරවෙලා.
ආදරය කොයි වගේ ද මට හිතාගන්න බැහැ.භෞතික වස්තුවක්ද රසායනිකයක්ද විදුලියක් වගේද ? ෆුඩ් සිටියෙන් සුපර් මාකට් එකෙන් මිළට ගන්න හැකි දෙයක්ද ?.
අපේ පුංචි කාලේ අපිට මතක් වෙනවා. දඩබ්බරයෙක් හැර හිතුවක්කාරෙට පෙලවහක් කරගන්නවා අහන්න ලැබෙන්නේ කලාතුරකින්. වැඩිහිටියන් මැදිහත් වෙලා කේන්දර බලලා ,නෑදෑයෝ බලලා, ගෙවල් දොරවල් බලන්න ගිහින් විවාහයක් තීන්දු කරගන්නා තෙක් කොයිතරම් සම්ප්‍රදායික වැඩ කොටසක් කරනවාද.
අද මේ සියල්ල වෙනස් වෙලා .දෙමව්පියන්ට අහන්න වෙන්නේ තීන්දුව විතරයි. විවාහ උත්සවයට සූදානම් වෙනවා හැරෙන්නට විකල්ප යක් එයාලට ඉතිරි කරන්නේ නැහැ.
සරල ආර්ථික රටාවක් තිබූ අපේ අම්මලා තාත්තලා අවුරුදු ගානක් “උඹ නොදකින් “ කියන්න පවුල් රැක්කා . තාත්තා උපයා ගෙන ආවා .අම්මා වියපැහැදම් කලා .කෙනෙක් සද්දයක් දාගෙන ආවොත් අනෙක් කෙනා නිශ්සබ්ද වුනා.වැඩ කටයුතු බෙදා ගත්තා . දුක් කරදර වගේම සතුටත් ඉවසුවා අපිට කවදාවත් දෙන්නා දෙමහල්ලෝ “ උඹ මට ආදරෙයිද බන් “ කියලා අහනවා අහන්න ලැබිලා තියෙනවාද ? . ඒ වුනත් ඒ ගොල්ලෝ ආදරෙන් ඉන්නා බව අපට දැනුනා.
වර්තමානය සංකීර්ණයි . ආර්ථිකය සන්තෘප්ත වන්න උපයන්න ඕනී . සැමියාත් බිරිදත් උදේ පිටත්වෙලා හවස එන්නේ වෙහෙසින් මහන්සියෙන්. දරුවා බලාගන්නා සේවිකාව බිරිද එනතුරු බලාගෙන ඉන්නවා ඇගේ නිවසට යන්න. බිරිදගේ උදේ පටන් ගන්නා ඒකාකාරි වෘත්තීය ජිවිතය නිමාවන්නේ තවත් වෘත්තියක ආරම්භයත් සමග.නිවසේ වැඩ කටයුතුත් දරුවාත් සමග කරන යුද්දෙත් අවසන් කරන විට .......
පාසල් යන කාලේ , විශ්ව විද්යා.ලයේ ඉන්න කාලේ වගේ සැහැල්ලුවෙන්න ඉඩ ඉතිරි වෙන්නේ නෑ.මේ පුංචි දේ තේරුම් ගන්න බැරිව සුරංගනා ලෝක මවන තාත්තලා අම්මලා ජීවිතය තේරුම් ගන්නේ නෑ. අර්බූද හිතේ මවාගන්නවා.දෙන්නාත් එක්ක විසදගන්න පුළුවන් ප්‍රශ්නයකට උත්තර සොයන්න උපදේශන වැඩක් නැහැ. තමන්ගේ මතය තහවුරු කරන්නම කරුණු ඉදිරිපත් වෙන විට විසදුමක් නැහැ.

මට ධම්ම පදය සිහියට එනවා “ කය මැටි බදුනක් යැයි සිතා - සිත නුවරක් කරගන්න” එක් ගාථාවක සදහන්වනවා. අපේ සිත් නුවරක් කරගමු.

1 comment:

හේමරාජි ගුණසේකර said...

ලිපයේ තියෙන වචනයක් ගානේ සහතික ඇත්ත. එත් මේ හැම දෙයක් ම තේරැම් යන කාලය එනකොට ඒ වගේ පුවුල් ජීවිත වළ නටඹුන් වත් සොයා ගන්න බැරි තරමට ඒවා සුනුවිසුනු වෙලා අවසානයි නේද? ඉතිං විසඳුම් ලැබෙනකොට ජීවිතයේ යහපත් ම කාලය අවාසනාවන්ත ලෙස ගෙවී අවසන්....